රජයේ අරමුදල් තමන්ගේ බූදලයක් කරගන්නා මැති ඇමැතිලා ඕනෑම ආණ්ඩුවක සිටිති. මේ කතාව වත්මන් ආණ්ඩුවට අදාළ නැත. මේ වනතුරු එවැනි චෝදනාවක් එල්ල වී නොමැති බැවිනි. නමුත් කාලයක සිට මේ චෝදනාව පැවති ආණ්ඩුවලට එල්ල වී තිබේ. එවැනි චූදිතයන්ට එරෙහිව කිසිදු විනය ක්‍රියාමාර්ගයක් ගැනීම හෝ තමන් පරිහරණය කළ මුදල් ආපසු ගෙවන ලෙසට කිසිදු ඉල්ලීමක් හෝ නොසිදුවීම වඩාත්ම ඛේදජනක සිද්ධියයි.
අපගේ දේශය පුවත්පතේ ප්‍රධාන පුවතින් මෙවර හෙළිදරව් කර තිබෙන්නේ ජනපති අරමුදල අවභාවිත කළ හිටපු මැති ඇමැතිවරුන්ට එරෙහිව නඩු පැවරීමට පියවර ගනිමින් සිටින බවය. මේ පිරිස අතර හිටපු අග්‍රාමාත්‍යවරයකුද සිටින බවත් ඔහු ජනපති අරමුදලින් පසුව ආපසු ගෙවීමේ පොරොන්දුව මත ලබාගත් මුදල රුපියල් දෙකෝටි අනූලක්ෂයක් බවත් සඳහන්ය. ඊට අමතරව තවත් හිටපු අමාත්‍යවරුන් කිහිප දෙනකුද රුපියල් කෝටියකට අධික මුදල් ලබාගෙන ඒවා ආපසු ගෙවීම පැහැර හැර තිබේ. මන්ත්‍රීවරුන් කිහිප දෙනකුම මේ ආකාරයට ජනපති අරමුදලේ මුදල් අවභාවිතයට ගෙන ඇති බවද සඳහන්ය. කෙසේ වුවද හිටපු අමාත්‍යවරයකු වූ ලක්ෂ්මන් ජයකොඩි මහතා ආපසු ගෙවීමේ පොරොන්දුව මත ජනාධිපති අරමුදලින් ලබාගත් මුළු මුදලම ආපසු ගෙවා ඇති බව ඒ මහතාට හරසර පිණිස සඳහන් කළ යුතුය.
රජයේ අරමුදල් යනු ජාතියේ පිනට පහළවෙන ධන නිධානයක් නොවේ. මේ බව රටේ ජනතාව දැන සිටියද ඇතැම් දේශපාලකයන් දන්නේ නැත. නැතහොත් ඒ අරමුදල් ප්‍රයෝජනයට ගනු ලබන්නේ ඒ ගැන නොදන්නා පාට් එක දාගෙනය. මේ නිසා රටේ ජනතාවගේ බදු මුදලින්ද රජයේ විවිධ ව්‍යාපාර හරහා ලබාගන්නා දායකත්වය ඇසුරින්ද ගොඩනැංවෙන රජයේ අරමුදල් කිසිදු හිරිකිතයකින් හෝ ලැජ්ජාවකින් හෝ තොරව ඔවුහු රිසි සේ පරිහරණය කරති. ජනාධිපති අරමුදල එසේ දැඩිව අවභාවිතයට ලක්වූ අරමුදලක් බවට පත්ව තිබෙන බව පසුගිය කාලයේදී අනාවරණය විය. ඒ පිළිබඳ පාර්ලිමේන්තුවේදීද ප්‍රකාශයට පත් කෙරිණි. එම ප්‍රකාශයෙන් පසුව හිටපු සමහර මැති ඇමැතිලා ගලේ පෑහැරූ බළලුන්ගේ තත්වයට පත්වූ බවද ජනතාවට දැකගත හැකි විය.
ජනාධිපති අරමුදල පිහිටුවනු ලැබීමේ එක් මූලික අරමුණක්ව තිබුණේ රටේ වරප්‍රසාද රහිත දිළිඳු ජනතාව වඩාත්ම අමාරුවේ වැටෙන බරපතළ රෝගී තත්වයන්ට මුහුණදෙන අවස්ථාවලදී පිහිටවීමයි. ඒ සඳහා ජනාධිපති අරමුදලින් නියමිත ප්‍රදානය ලබා ගැනීමට සම්පූර්ණ කළ යුතු ලිපි ලේඛන ගණනාවක් තිබේ. එම විස්තර සහ ලේඛන ලබාදීමෙන් පසුවද ලබාදෙන මුදලේ ප්‍රමාණය තීන්දු කෙරෙන්නේ අරමුදලේ භාරකාර මණ්ඩලයෙනි. රටේ ජනාධිපති නිල බලයෙන් එම මණ්ඩලයේ සභාපතිද වෙයි. මේ හැර දිළිඳු දක්ෂ දරුවන්ගේ අධ්‍යාපනය සඳහා ද ජනාධිපති අරමුදල දායක වෙයි.
මේ රටේ මෑත කාලයේ හිටපු මැති ඇමැතිලා කිසිවකුත් වරප්‍රසාද නැති දිළින්දෝ නොවෙති. එසේ වුවද ඔවුන්ටද බරපතළ රෝගී තත්වයක් ඇතිවූ විට අවශ්‍ය නම් ජනාධිපති අරමුදලේ පිහිට පැතීමට බාධාවක් නැත. නමුත් මේ සමහර මැති ඇමැතින්ලා දේශපාලනඥයන් වීම හේතුවෙන් සාමාන්‍ය ජනතාවට වඩා විශාල වශයෙන් එම අරමුදලෙන් ජයටම බෙදාගෙන තිබෙන බව සංඛ්‍යාලේඛන පෙන්වා දී තිබේ. කොහොමත් ඇතැම් හිටපු මැති ඇමැතින්ට මොන ලෙඩක් හැදුණත් ඔවුන් නවතින්නේ සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලේය. එහිදී ප්‍රතිකාර ලැබීමට ලංකාවේ මුදලින් රුපියල් මිලියන ගණන් අවශ්‍යය. මේ සමහරුන් පෞද්ගලිකව කොතරම් ධනවතුන් වුණත් ඔවුන් තමන්ගේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා ලබාගෙන ඇත්තේ ජනාධිපති අරමුදලේ මුදල් බව හෙළි වී තිබේ. නමුත් වැරැද්ද ඇත්තේ එය සාමාන්‍ය පුද්ගලයකු ලබන මුදලට වඩා ඉතා විශාල මුදලක් වීමත් ආපසු ගෙවීමේ පොරොන්දුව මත ලබාගෙන ඇති එම මුදල් යළි ලබා නොදීමත්ය. එය රටේ ජනතාවට එරෙහිව සිදුකළ ද්‍රෝහිකමක් වශයෙන් හැඳින්වීම සුදුසුය. එසේම එය වංචනික ක්‍රියාවක් බවද කිව යුතුය.
තමන් ජනතාවගේ පරිහරණයට ඇති මුදල් වංචනිකව ලබාගෙන ඒවා යළි නොගෙවා සිටීමේ වැරැද්ද මේ මැති ඇමැතින්ට දැනෙනවා දැයි අපි නොදනිමු. නමුත් තමන්ගේ නිවෙස්වල වැසිකිළියේ සබන් කෑල්ල, ටොයිලට් පේපර් එක පවා රජයේ මුදලින් ලබාගත් දේශපාලකයන්ට එවැනි වැඩ කිරීම මහ ලොකු වැඩක් නොවන බව නම් අපි දනිමු. අඩුම තරමින් දැන්වත් මේ වැරැද්දේ, වංචනික ක්‍රියාවේ බරපතළකම අවබෝධ කරගෙන ඔවුන්ගේ පවුල්වල අය හෝ මේ මුදල ගෙවා දැමීමට වහාම පියවර ගත යුතු බව කිව යුතුය.