මෙරට සිදුවුණු ඝාතන අතුරින් ලසන්ත වික්‍රමතුංග ඝාතනය සුවිශේෂය. ඒ හේතුවෙන් ලසන්ත ඝාතනයට සම්බන්ධ ඕනෑම කරුණක් හෝ සිද්ධියක් හෝ ජනතාවට ඉතා සංවේදී වෙයි. ඔහු මෙරට බිහිවූ ජාත්‍යන්තරයේ පවා නම රැන්දූ එසේම ගවේෂණාත්මක පුවත්පත් කලාව නව මානයකට ගෙන ගිය විශිෂ්ට කතුවරයෙක් විය. නමුත් ලසන්ත මේ තරම් සංවේදී පුද්ගලයකු බවට පත්වූයේ පුවත්පත් කලාවේ දැක්වූ දස්කම් හේතුවෙන් නොව ඔහු ඝාතනය කරනු ලැබීම හේතුවෙනි. එම ඝාතනය පසුපස රැඳී තිබෙන නොවිසඳුණු අබිරහස තවම හෙළිකර ගැනීමට නොහැකි වී තිබෙන බැවිනි.
ලසන්ත වික්‍රමතුංගගේ පුවත්පත් කලාව මුල සිටම බැඳී තිබුණේ රටේ ප්‍රධාන දේශපාලනය සමගිනි. සන්ඩේ ලීඩර් පුවත්පත ඔහුගේ කර්තෘත්වයෙන් ආරම්භ වීමට පදනම වැටුණේද එම දේශපාලන සබඳතා හේතුවෙනි. ඔහු රටේ සියලුම ප්‍රධාන දේශපාලන පක්ෂවල නායකයන් සහ ජ්‍යෙෂ්ඨයන් සමඟ මාධ්‍යවේදියකු වශයෙන් සබඳතා පැවැත්වූ අතර සුළු පක්ෂවල නායකයෝද ඔහුගේ සගයන් අතර වූහ.
මේ හේතූන් නිසා ලසන්තගේ මාධ්‍ය භූමිකාව ඇතැම් දේශපාලන පක්ෂවල ජ්‍යෙෂ්ඨයන්ගේ අකැමැත්තට හේතු වී තිබිණි. ඔහු ඇතැම් පක්ෂවල නායකයන්ට මිතුරකුව සිටියත් තවත් සමහරුන්ට දේශපාලන වශයෙන් සතුරෙක් බවට පත්ව සිටියේය. චන්ද්‍රිකා ජනාධිපතිව සිටි කාලයේ ඔහු ගමන් කළ මෝටර් රථයට පහරදී තුවාල සිදු කළ අතර තවත් අවස්ථාවකදී ඔහුගේ නිවෙසට වෙඩි ප්‍රහාර එල්ල කර තිබිණි. ඔහු පළ කළ ඇතැම් ලිපිවලට එරෙහිව අධිකරණය ඉදිරියේ නඩු පැවරිණි. මේ කුමක් වුණත් ලසන්තගේ පෑන නිහඬ නොවීය.
එහි ප්‍රතිඵලය වූයේ අවසානයේ ඔහු 2009 ජනවාරි 08 වැනිදා ඝාතනය කරනු ලැබීමයි.
ලසන්ත ඝාතනය කිරීමෙන් පසුව ආණ්ඩු ගණනාවක් වෙනස් විය. ඒ හැම මැතිවරණයකදීම ලසන්ත ඝාතනය ඇතුළු සෙසු ඝාතන සම්බන්ධයෙන් විමර්ශනය කොට වැරදිකරුවන් අධිකරණයට ඉදිරියට පමුණුවන බවට වූ පොරොන්දු ලබාදෙනු ලැබීය. එහෙත් මේ වනතුරු ඒ පොරොන්දු ඉටු වුණේ නැත. ලසන්තගේ ඝාතනය සිදුවූ දා පටන් ඒ පිළිබඳ විමර්ශන සී.අයි.ඩී.ය මගින් සිදු කරනු ලැබුවත් මේ දක්වා ඝාතනයට සම්බන්ධ බවට සැක කරන කිසිවකුත් අත්අඩංගුවට ගෙන නොතිබීමද කැපී පෙනෙයි. එහෙත් සාක්ෂිකරුවන් විශාල පිරිසකගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. නමුත් විමර්ශන හැමදාමත් කැරකුණේ එකම තැනකය.
ලසන්ත ඝාතනය කෙරුණේ මහින්ද රාජපක්ෂ පාලන සමය තුළදීය. එම කාලය තුළදී ඝාතනයට ලක්වූ මාධ්‍යවේදීන් මෙන්ම පහර කා මාරාන්තික තුවාල ලැබූ මාධ්‍යවේදීහුද වෙති. කිසිවකුටත් ඒ කාලය තුළදී යුක්තිය ඉටු වූයේ නැත. යුක්තිය ඉටුවීම තබා ඒ පිළිබඳ විමර්ශන හෝ ඉදිරියට ගෙන ගියේ නැත. මාධ්‍යවේදීන් ඝාතනයට අමතරව තාජුඩීන් - හිටපු රගර් ක්‍රීඩකයාගේ මරණය සම්බන්ධ පරීක්ෂණද අතරමග නැවතිණි.
කෙසේ වුවද මේ වගේ ඝාතන සහ පහරදීම් ඇතුළු මාධ්‍යවේදීන්ට එරෙහිව වූ ක්‍රියාමාර්ග පොදුවේ ආණ්ඩු මගින් ජනතාවගේ භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස මර්දනය කිරීම යන පොදු මාතෘකාව යටතට ගැනෙයි. එසේම පුද්ගලයකු මාධ්‍යවේදියකු වීම හේතුවෙන් ඝාතනය කරනු ලබන විට එහි වගකීම පැවරෙන්නේ ආණ්ඩුවටය. වැරැද්දේ ඇඟිල්ල දිගුවන්නේ ආණ්ඩුවේ නායකයන් දෙසටය. ලසන්ත ඝාතනයේදීද එය සිදුවිය.
මේ මර්දන කතාව විපක්ෂයට හොඳම සටන් පාඨයකි. එය ලසන්තගේ ඝාතනයට පමණක් නොව රිචඩ් ද සොයිසාගේ ඝාතනයටද අදාළය. රිචඩ් ද සොයිසාගේ ඝාතනය සිදුවුණේ ප්‍රේමදාසගේ ආණ්ඩුව කාලයේදීය. ඒ කාලයේදී ආණ්ඩුවේ මර්දනය පමණක් නොව ආණ්ඩුවට එරෙහිව කැරලි ගසමින් සිටි ජවිපෙ ප්‍රමුඛ කැරලි කණ්ඩායම්වල මර්දනයක්ද දියත් වී තිබිණි. තේවිස් ගුරුගේ, ප්‍රේමකීර්ති ද අල්විස් වැනි මෙරට ප්‍රධාන පෙළේ ගුවන්විදුලි මාධ්‍යවේදීන්ටද සිය ජීවිත අහිමිවූයේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. ඒ වගේම විජය කුමාරංග, හර්ෂ අබේවර්ධන සහ නන්දලාල් ප්‍රනාන්දු (යූ.එන්.පී හිටපු සභාපති හා ලේකම්), ප්‍රදීප් එක්නැලිගොඩ වැනි දේශපාලනඥයෙන්ද ඝාතනය වූහ. ඒ ඝාතන සම්බන්ධව සිදු කෙරුණු පරීක්ෂණවලට කුමක් සිදුවී දැයි කියන්න දන්නා කෙනෙක් නැත.
හැබැයි මේ වගේ ඝාතන ඔක්කොම ඊළඟ මණ්ඩලයේදී සුපිරි සටන් පාඨ වීම වළක්වනු බැරිය. ප්‍රේමදාසගේ පාලනයද අවසන් වූයේ කොටින් සිදු කළ ප්‍රේමදාස ඝාතනයෙනි. මේ සිදුවීම් ඔක්කොම 1994 දී පැවැති ජනාධිපතිවරණය ජය ගැනීමට චන්ද්‍රිකාට හොඳ උත්ප්‍රේරක විය. චන්ද්‍රිකාගේ ආණ්ඩුව බලයට පත් කිරීමට ගෙන ගිය කැම්පේන් එකේ වැඩකරුවන් වී සිටි මංගලලාගේ කට්ටිය රට පුරා ගැසූ “අමතක නොකරමු සැමදා - සමාව නොම දෙමු කිසිදා” යන වෛවර්ණ පෝස්ටරයට ජනතාව ආකර්ශනය විය.
එහෙම කියාගෙන බලයට ආවත් චන්ද්‍රිකාගේ කාලයේදී ලසන්ත ප්‍රහාරයට ලක්වීම අවාසනාවන්ත සිද්ධියක් විය. එපමණක් නොව රූකාන්ත ගුණතිලක වැනි ජනප්‍රිය කලාකරුවන්ටද මහත් හිරිහැර සිදුවූයේද චන්ද්‍රිකාගේ කාලයේමය. මේ සිදුවීම් ඒ කාලේ “බැද්දගානේ සංජීව”ලාගේ කරපිටින් ගියත් ඒවායේ සැබෑ වැරදිකරුවන් කවුද යන්න ගැන වැටහීමක් රටේ පොදු ජනතාව අතරේ තිබිණි. 2001 දී චන්ද්‍රිකා ජනාධිපතිව සිටියදීම මහ මැතිවරණයෙන් පරාජය වීමද ඒ වැටහීමට බලපා තිබුණි.
මහින්දගේ කාලයේත් මර්දනකාරී සිදුවීම් තිබුණේය. මහින්ද මාධ්‍ය සමඟ සමීපව කටයුතු කරමින් ඔවුන්ගේ මිතුරකු බවට පත්ව සිටීම හේතුවෙන් බොහෝ දුරට ආණ්ඩුවත් මාධ්‍යවේදීනුත් අතර සංහිඳියාවක් තිබුණේය. ලසන්ත ද බොහෝ කාලයක් තිස්සේ මහින්දගේ මිතුරෙක්ව සිටියේය. එහෙම සිටියත් අවසානයේ මහින්දගේ පළමු ධුර කාලය අවසන් වීමට පෙර ලසන්ත ඝාතනයට ලක්වීම දෛවෝපාගත සිද්ධියකි.
මේ ඝාතනවල බලපෑම මහින්දගේ පාලනයට එල්ල වූයේ 2015 ජනාධිපතිවරණයේදීය. මහින්ද ජනාධිපති ධුරයේ සිටියදීම ඔහු පරාජය වීමට ඒ ඝාතනවලින් ඇතිවූ ජනතාවගේ පෙළගැස්මද හේතු විය. ඒ වගේම එවර ඡන්දයේදී ලසන්ත, තාජුඩීන් වැනි ඝාතන ගැන විමර්ශන සිදු කරන බවට කළ ප්‍රකාශද හොඳ සටන් පාඨයක් විය.
ඒ සටන් පාඨ අල්ලාගෙන බලයට ආවත් මෛත්‍රීපාල - රනිල් යහපාලන ආණ්ඩුවෙන්ද ඒ ඝාතනවලට ලක්වූවන්ට යුක්තිය ඉටු නොවීය. ඒ වෙනුවට සිදුවුණේ විමර්ශනවල කඩදාසි එහෙ මෙහෙ කරමින් එය උඩින් පල්ලෙන් අතපත ගෑම පමණි.
ලසන්තගේ ඝාතනයට යුක්තිය ඉටුවනු ඇතැයි බලාගෙන සිටි ඡන්දදායකයන්ට සිදුවුණේ කලින් ආණ්ඩුවලින් මුහුණ දුන් තත්වයටම මුහුණ දී වෙන දේ බලාගෙන සිටීමටය. ඊට පස්සේ පාස්කු ප්‍රහාරය සිදුවීමත් සමඟ ලසන්ත - තාජුඩීන් කේස්ද අමතක විය. නැතහොත් අමතක කරවනු ලැබීය. ඒ සමඟම ගෝඨාභය බලයට එන්නේ පාස්කු ප්‍රහාරය පිළිබඳ සියලු තොරතුරු සොයා වරදකරුවන් අධිකරණය ඉදිරියට පමුණුවන බවට ප්‍රතිඥා දෙමිනි. ඒකත් වචනවලට පමණක් සීමා විය.
ඊළඟට ජනාධිපති ධුරයට පත් කරනු ලැබූ රනිල් වික්‍රමසිංහත් මෙම ඝාතන ගැන සොයන්න උනන්දු වුණේ නැත. සමහරවිට රට මුහුණ දී සිටි දරුණු ආර්ථික අර්බුදය විසඳීමට ඔහු ප්‍රමුඛත්වය දෙන්න ඇත.
මාලිමා ආණ්ඩුව බලයට පත්වෙන්නේ මේ පවතින දේශපාලන සංස්කෘතිය වෙනස් කරන බවට ප්‍රතිඥා දෙමිනි. ලසන්තලාගේ ඝාතන ගැන සොයන බවද ප්‍රධාන පොරොන්දුවක් විය. පසුගිය කාලවල සිදුවූ ඝාතන ඇතුළු අපරාධ කාලයේ වැලිතලාවට යටවී යාමට ඉඩ නොදෙන බවටත් ඒවා ගැන සෙවීමට යළිත් විමර්ශන අරඹන බවටත් ජනාධිපතිවරයා කළ ප්‍රකාශවල සඳහන් විය.
මේ ඝාතන ඇතුළු අපරාධ ගැන සොයන බවත් දූෂණ-වංචා සිදු කළ පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවත් කියූ වත්මන් ආණ්ඩුව ගැන ජනතාව තවමත් බලාපොරොත්තු තබාගෙන සිටී. ඒ බලාපොරොත්තුව කොතරම් ප්‍රබලදැයි කීමට පසුගියදා ඇතිවූ සිද්ධිය පමණක් ප්‍රමාණවත්ය.
පසුගියදා උසාවිය හරහා වාර්තා වී තිබුණේ ලසන්ත වික්‍රමතුංග ඝාතනයට සම්බන්ධ සැකකරුවන් තිදෙනකු නිදහස් කිරීමට හැකියාව තිබෙන බවට නීතිපති පාරින්ද රණසිංහ මහතා සී.අයි.ඩී.යට දැනුම් දී තිබෙන බවය. එය රට තුළ ප්‍රබල මතයක් නිර්මාණය කිරීමට සමත් වූ අතර මාධ්‍ය සංවිධාන එයට එරෙහිව නිවේදන නිකුත් කොට නීතිපති දෙපාර්තමේන්තුව ඉදිරිපිට නිහඬ විරෝධයක් පවා සංවිධානය කළේය. ඒ වනවිට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඒ පිළිබඳ අදහස් විමසීමට නීතිපතිවරයා කැඳවා තිබිණි. කෙසේ වුවද රජය නීතිපතිවරයාගේ කාර්යභාරයට මැදිහත් වීම සම්බන්ධයෙන් කනස්සල්ල පළ කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කර තිබිණි.
ඉන්පසු නීතිපති දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර තිබූ නිවේදනයේ සඳහන්ව තිබුණේ ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණ නඩු අංක බී 92/2009 නඩුකරයට අදාළව නීතිපතිතුමා විසින් 2025-01-27 දිනැතිව අධ්‍යක්ෂ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අමතා යොමුකොට ඇති ලිපියේ නම සඳහන් සැකකරුවන් ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් නොවන බවය. එම මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන අවසන් වී නැති බවත් ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය මගින් ලබා දී ඇති ප්‍රකාශවල පවතින අන්තර්ගතය, නීතිපතිවරයා වෙත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් යොමුකොට ඇති විමර්ශන උධෘත හා නොසැඳෙන බවත් එහි සඳහන්ය. ලසන්ත වික්‍රමතුංග මහතාගේ රියැදුරු 2015 වර්ෂයේදී නැවත ප්‍රකාශයක් ලබාදෙන අතරවාරයේ යම් පිරිසක් 2009 වර්ෂය අග භාගයේදී තමා පැහැරගත් බවට දැනුම් දී ඇති බවත් එම විමර්ශනයට අදාළව සැකකරුවකු ලෙස නම් කරන ලද ප්‍රේම් ආනන්ද උදලාගම යන අය හඳුනා ගැනීම සම්බන්ධයෙන් උද්ගත වූ නෛතික දුර්වලතා හේතු කොටගෙන අපරාධ චෝදනා ගොනු කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි නොමැතිවීම මත නිදහස් කිරීමට තීරණය කරන ලද බවත් සඳහන්ය. තවද ලසන්ත වික්‍රමතුංග මහතා ධාවනය කරන ලද වාහනයේ තිබූ ලේඛනයක් අස්ථානගත කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලද විමර්ශනයේදී අත්අඩංගුවට ගත්
1. හෙට්ටිආරච්චිගේ දොන් තිස්සසිරි ප්‍රසන්න නානායක්කාර,
2. විතාරණ ආරච්චිගේ සිරිමෙවන් ප්‍රසන්න නානායක්කාර අපරාධ චෝදනා ගොනු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැතිවීම මත නිදහස් කිරීමටද තීරණය කළ බවත් සඳහන්ය.
මේ නිවේදනය ලසන්ත වික්‍රමතුංග ඝාතනය යටපත් කිරීම සඳහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවට ඇවිළී යමින් තිබූ ගින්නට වතුර දැමුවාක් විය හැකිය. කෙසේ වුවද මේ සිදුවීම්වලින් පෙනී යන්නේ ඝාතන වසන් කිරීම සඳහා ගනු ලබන කිසිදු උත්සාහයකට රටේ ජනතාවගේ කැමැත්ත හිමි නොවන බවය. මෙම ආයතන පිළිබඳ සත්‍ය තොරතුරු හෙළිකර ගැනීමට ප්‍රතිඥා දී පැමිණි වත්මන් ආණ්ඩුවටද එකී වගකීමෙන් මිදිය නොහැකි බවට මෙම පෙළගැස්ම ප්‍රබල සංඥාවක් ලබා දී තිබේ.
මේ සැකකරුවන් නිදහස් කිරීමේ කතාව කොතරම් දුරදිග ගියා දැයි කිව්වොත් ලසන්තගේ දියණිය අහිම්සා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය අමතා දීර්ඝ ලිපියක් ගොනු කරමින් නීතිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙනැවින් ඔහු ඉවත් කරන ලෙසට ඉල්ලා තිබිණි. ඝාතන යට ගැසීම හිතන තරම් පහසු නැත.
• ශෂීන්ද්‍ර