2025 පෙබරවාරි 08 වන සෙනසුරාදා

ආණ්ඩුව වැඩ කරන්නේ දෙමළ ඩයස්පෝරාව සතුටු කරන්න

 2025 පෙබරවාරි 08 වන සෙනසුරාදා, ප.ව. 02:00 70

නායක නව ජනතා පෙරමුණ සුගීෂ්වර බණ්ඩාර

  • මේ රටේ දේශපාලනයට වෛරය එකතු කළේ ජවිපෙයි
  • මාර්තු - අප්‍රේල් වෙනකොට අපේ වැඩ බලාගන්න පුළුවන්
  • ගෝඨාභය මහත්තයා ඇවිත් දවස් දහඅටකදී කුමන්ත්‍රණයක් පටන් ගත්තා
  • උද්ඝෝෂණය කරලා පාරට බහින තැනට අපි තාම ආවේ නෑ
  • ආණ්ඩුව දැන් ඉන්නේ දැඩි ආතතියකින්
  • ප්‍රශ්නවලට විසඳුම් නැතුව විපක්ෂය දඩයම් කරනවා

 

අපි දන්නවා පහුගිය කාලයේ දේශපාලන වශයෙන් විශාල සද්ද නගපු දේශපාලනඥයෝ වර්තමාන ආණ්ඩුව පත්වුණාට පස්සෙ නිශ්ශබ්ද වෙලා. සුගීෂ්වර බණ්ඩාරත් එහෙමයි. ඇයි ආණ්ඩුවට බයද?
දේශපාලනයේදී අපි උපාය උපක්‍රම පාවිච්චි කරන්න ඕනෙ. සටනකදී ඉදිරියට ගිහිල්ලා පහර දෙනවද, නැත්නම් පසු බැහැලා පස්සෙ පහර දෙනවද කියලා තීන්දු කරන්නෙ සටන අනුව. අපි මේ ආණ්ඩුව අධ්‍යයනය කරමින් ඉන්නෙ. හැබැයි ජනතාව දන්නවා ජනතාවගේ බලය මංකොල්ලකෑවේ, පික් පොකට් ගැහුවේ බොරු කියලා බව. දැන් ජනතාවට තේරුම් යමින් තියෙන්නෙ තමන්ව සම්පූර්ණයෙන් මුලා කළේ බොරුව සහ වෛරයෙන් කියලා. ජනතාවට මේ දේ තේරුම් යනකොට අපි එකතු වෙලා පොදු විපක්ෂයක් ගොඩනගලා යනවා මේ ප්‍රශ්නවලට පිළිතුරක් හොයන්න. මේ වෙනුවෙන් ජනතාව පෙළගස්වමින් ඉන්නවා. ඔබට බලාගන්න පුළුවන් වෙයි විපක්ෂයේ වැඩ මාර්තු අප්‍රේල් වෙනකොට.

ඇයි මේ මාර්තු අප්‍රේල් වෙනකම් ඉන්නෙ?
නෑ අපේ එකඟතාවයක් තියෙනවා මේ ආණ්ඩුවටත් කාලයක් දෙන්න ඕනෙ කියලා. මාස දෙකෙන් තුනෙන් ආණ්ඩුව සම්බන්ධව තීන්දුවකට අපි එන්නෙ නෑ. නැත්නම් ආණ්ඩුව කියනවනේ අපිට වැඩ කරන්න දෙන්නෙ නෑ, කකුලෙන් ඇද්දා කියලා. හොඳම උදාහරණය ගෝඨාභය රාජපක්ෂ මහත්තයා පත්වෙලා දවස් දහ අටක් වගේ යනකොට ගානියා බැරිස්ටර්ගේ කතාව හැදුවා. දවස් දහ අටක් වගේ කාලයක් ඇතුළත තමයි එදා ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුවට එරෙහිව කුමන්ත්‍රණය පටන් ගත්තෙ. හැබැයි අපි විපක්ෂයක් හැටියට ඒ දේවල් කරන්නෙ නෑ. මොකද විපක්ෂය විසින් නෙවෙයි ප්‍රශ්න හදලා තියෙන්නෙ. ආණ්ඩු විසින්මයි ප්‍රශ්න හදලා තියෙන්නෙ. ඒ නිසා අපි සූදානම් වෙනවා විපක්ෂයක් හැටියට ලොකු සටනක් දෙන්න. අපි මේ ආණ්ඩුවට බයේ නම් නෙවෙයි.

විපක්ෂය බොහෝ වෙලාවට සටන්කාමීයි. හැබැයි වර්තමානයේ අපිට පේන දෙයක් තමයි විපක්ෂය ඉතාම දියාරු විදිහට වැඩ කටයුතු කරන්නෙ. විපක්ෂය තාම පරාජයේ කම්පනයෙන්ද ඉන්නෙ?
ආණ්ඩුවට ජනවරම දුන්න ජනතාව බලාපොරොත්තුවෙන් ඉන්නවා මේ අය මොකක් හරි කරයි කියලා. බලාපොරොත්තු මැද ඉන්න ජනතාව අපි මේ වෙද්දි දැනුවත් කරමින් යන්නෙ. අපි නිද්‍රාශීලී නෑ. අපි උද්ඝෝෂණය කරලා පාරට බැහැලා වැඩ කටයුතු කරන තැනට තාම ඇවිල්ලා නෑ. මොකද ආණ්ඩුවටත් සාධාරණ කාලයක් ලබා දෙන්න ඕනෙ. ජනතාව අපිව එපා කිව්වනෙ. ජනතාව හැත්ත හත් වසරක දේශපාලනයට විකල්පයක් හෙව්වනෙ. ඒ නිසා අපි තව ටිකක් ඉවසලා ඉන්නවා. අපි ආණ්ඩුවේ කකුලෙන් අදින්න යන්නෙ නෑ. වැඩ කරන්න දීලා අපි පැත්තකට වෙලා ඉන්නවා.

ඒ කියන්නෙ ආණ්ඩුව මොනවා කළත් ජනතාව එපා කිව්ව නිසා සද්ද වහගෙන ඉන්නවා. ඒකද කියන්නෙ?
නෑ නෑ අපි ආණ්ඩුවේ වැරදි පෙන්වලා දෙනවා. දැන් ඔය කන්ටේනර් සිද්ධිය ගත්තාම අපේ කණ්ඩායමේ අය ඒවා ප්‍රශ්න කළා. අපේ සිවිල් සංවිධාන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවා ගියා. ඒ වගේම හාල් ප්‍රශ්නය වෙලාවෙත් අපි ජනතාව වෙනුවෙන් කතා කළා. අපි බලාගෙන ඉන්නෙ ඒවට මෙයාලා කරන්නෙ මොනවද කියලා.

අපි දන්නවා විපක්ෂය පාර්ලිමේන්තුව ඇතුළෙත් එළියෙත් සංවිධානය වෙමින් ඉන්නෙ. සමහර පක්ෂ සන්ධානගත වෙන්නත් යනවා. හැබැයි අපි දැක්කා පොහොට්ටුව තවම ස්වාධීන ගමනක් යන්න තීන්දු කරලා තියෙන්නෙ. ඒක කොතරම් වාසිදායක වෙයිද පොහොට්ටුවට?
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ වෙද්දී සංවිධානය වෙමින් ඉන්නෙ. නාමල් රාජපක්ෂ මහත්තයත් එක්ක ගමින් ගමට වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා. මම කියන්නෙ පක්ෂයක් හැටියට එහෙම ගොඩනැගෙන එක හොඳයි. අපි මේ අලු‍ත් සන්ධානය හදනකොටත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් එක්ක සාකච්ඡා කරමින් ඉන්නෙ. මම හිතනවා සන්ධානය හැදුණට පස්සෙ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් අපිත් එක්ක එකතු වෙයි කියලා.

අපි දන්නවා පක්ෂ විපක්ෂ ගොඩක් අය කෙළින්ම ගහන්නෙ රාජපක්ෂ කල්ලිය කියලා. බොහෝ අයට ප්‍රශ්න තියෙන්නෙ රාජපක්ෂලා එක්ක. එහෙම තියෙද්දි ඒ අය පක්ෂයකට සන්ධානයකට එකතු කරගන්න පුළුවන්ද?
රාජපක්ෂ කල්ලිය කියලා පොදුවේ මේ අය ඔප්පු කරන්න ඕනෙ රාජපක්ෂවරු විසින් රටට කරපු හානිය. දැන් මෙයාලා කිව්වා වගේ උගන්ඩාවේ සල්ලි ටික ගෙනල්ලා ජනතාවට පෙන්නුවොත් ජනතාව ඒක පිළිගනී. එතකොට අපිට හදන සන්ධානයේදී ඒක අවාසියක් වෙන්න පුළුවන්. එහෙම නැතුව මේ බොරු පැමිණිලි දාලා, බොරු චෝදනා කළාට ඒවා පිළිගන්න බෑ.

ඒ කියන්නෙ ආණ්ඩුව කියන්නෙ බොරු කියලද?
අනුර - හරිනි පුනරුද ආණ්ඩුව මේ වෙද්දි දැඩි ආතතියකින් ඉන්නෙ. ඒ විපක්ෂය සංවිධානය වෙමින් ඉන්න නිසා. එයාලට ඕනෙ ඒ එකතු වීම නවත්තන්න. දැන් එයාලා බලය ගත්තෙ පළාත් සභා, පළාත් පාලන, සමූපකාර, ගමේ මරණාධාර සමිතිය, ඒ ඔක්කොගෙම බලය ගන්න. හැබැයි ඒගොල්ලො බලය ගත්ත දවසේ ඉඳලා අද වෙනකම් සමූපකාර ඡන්ද ටික පැරදීගෙන යනවා. මොකද ජනතාව මේ අලු‍ත් සන්ධානයත් එක්ක එකතු වෙලා ඉන්නෙ. මේ විපක්ෂයේ එකතු වීම ආණ්ඩුවට ලොකු අභියෝගයක් වෙලා තියෙන්නෙ. ඒ නිසා දැන් ඒ අය රාජපක්ෂ කල්ලිය කිය කියා මඩ ගහනවා.

ඔබ කියන්නෙ රාජපක්ෂවරු සම්බන්ධයෙන් කරන පරීක්ෂණ දේශපාලන පළිගැනීම් කියලද?
ඕනෑම දෙයක් ගැන පරීක්ෂණ කරලා ඒකෙන් වැරදිකාරයෙක් වුණොත් අන්න අපිට පිළිගන්න පුළුවන්. සමහර දේවල් තියෙනවා විහිළු සහගතයි. අර අනුර යාපා ඇමැතිතුමාව අත්අඩංගුවට ගත්තා, කිසිම තේරුමක් නෑ. ගංවතුර ආධාර වගයක් බෙදුවා කියලා. ඇමැතිතුමා සම්බන්ධත් නෑ. මහ රෑ ගිහිල්ලා ගෙවල් වට කරලා අත්අඩංගුවට ගත්තෙ. ඒක නාඩගමක්. ඇත්ත ප්‍රශ්න තියාගෙන ඒවාට විසඳුම් දෙන්න බැරුව විපක්ෂය දඩයම් කරනවා.

ආණ්ඩුව කියන්නෙ ඒ අය ගන්නකොට හිස්වුණු භාණ්ඩාගාරයක් තිබුණෙ කියලා. ඒ අය තමයි මේ රට මාස දෙකක් තුළ හරි මගට ගත්තෙ කියලා. ඉතින් ඒක විශාල වැඩක්නෙ?
ඒ කොහෙද? ආර්ථික වර්ධන වේගය 5.5 පැනලා තිබුණේ. සංචාරකයෝ මිලියනයක් ආපු රටක්. මේවා මේ නිකම් දේශපාලන ප්‍රකාශ. මම දැක්කා ජනාධිපති කියලා තිබුණා එයා රට යනකොට ගත්තෙ ටිකට් විතරයි, වියදමට දුන්න සල්ලි ටිකත් ඉතුරු කරලා නැවත ගෙනල්ලා දුන්නා කියලා. මේවා මේ අලු‍ත් දේවල් නෙවෙයි. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා පළවෙනි ඉන්දියා සංචාරය යනකොට හත්දෙනයි ගියේ. ඔහුට දුන්න අර වියදම් සල්ලි ඔහු ප්‍රතික්ෂේප කළා. එතුමා එතුමගේ බිරිඳට පවා ටිකට් ගත්ත කෙනෙක් පෞද්ගලික සල්ලිවලින්. ඒවා එතුමා පත්තරවලට කිව්වෙත් නෑ, නිව්ස්වලට කිව්වෙත් නෑ. රනිල් වික්‍රමසිංහ මහත්තයත් එහෙමයි. මේවා මේ අලු‍ත් දේවල් නෙවෙයි.

අලු‍ත් දෙයක් නොවුණට ආණ්ඩුව කියන්නෙ අලු‍ත් දේශපාලන සංස්කෘතියක් ක්‍රියාත්මක කරන්නෙ කියලා?
මෙහෙමනේ. එයාලට දැන් කියන්න දෙයක් නෑ. ඔබට මතක ඇති ජනාධිපති වුණු ගමන් වාහන පෝලිමක් ගෙනල්ලා ගෝල්ෆේස් එකේ පෙන්නුවා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා බලයට පත්වුණාම ඔය වගේ වාහන 1215 ක් තිබුණා. එතුමා මටත් ජනාධිපති ලේකම්වරයාටත් කිව්වේ මේවා මාධ්‍යයට දාන්න එපා, අමාත්‍යංශවලට බෙදලා දෙන්න කියලා. ඒවට මේගොල්ලො මාධ්‍ය සංදර්ශන තියලා මහා දෙයක් පෙන්නුවා. දැන් ඒ වාහන ටික කෝ? කෝ දැන් විකුණනවා කියපු වාහන? තාම ජනාධිපතිතුමාත් මාලිමා ආණ්ඩුවත් හිතාගෙන ඉන්නෙ 3% කණ්ඩායම කියලා. ඒ 3% සතුටු කරන්න තමයි වැඩ කරන්නෙ.

කෝටි සිය ගණනක් වියදම් කරපු නිදහස් උළෙල ඉතාම අඩු මුදලකට චාම්ව පැවැත්වුවා. හොඳ දේවල් නෙවෙයිද?
නිදහස් දිනය එන්නෙ අවුරුද්දට එකපාරයි. ඒක අභිමානයෙන් ජනතාව සමරනවා. පැවති ආණ්ඩු පවා එදාට තමන්ගෙ යුද ශක්තිය ලෝකයටම පෙන්නනවා. මෙයාලා මොකද කළේ, ආපු ගමන් ඉස්සරහ ගිය සිංහයා නැති කළා. දැන් මේවා වියදම් යන වැඩද? මෙයාලා කළේ වියදම් අඩු කරන එක නෙවෙයි. දෙමළ ඩයස්‌පෝරා සතුටු කරන්න තමයි මේවා කළේ. ඇයි අර ආයුධ එහෙම අරන් යනකොට නිවේදකයා කියනවනේ වන්නි සටනෙදි ඒ ආයුධ පාවිච්චි කරන හැටි. ඒවා ඩයස්පෝරාවට අහගෙන ඉන්න බෑ. අපේ අනාගතයට ඉතිහාසයක් අහන්න තිබුණු අවස්ථා නැති කළා. ජාතික ගීතය දෙමළින් ගායනා කළා. ඉන්දියාවේ බලන්නකෝ භාෂා කොච්චරක් තියෙනවද? ඒත් ඒ රටේ ගයන්නෙ එක භාෂාවෙන්. තමන්ගෙ ජාතික ගීය සම්බන්ධවත් එකඟතාවයකට එන්න බෑනෙ. මේ ආණ්ඩුව කෙමින් කෙමින් යන්නෙ බෙදුම්වාදයට. මොකද ඒගොල්ලන්ට බලය දෙන්න දෙමළ ජනතාවත් ඩයස්පෝරා එකත් සෑහෙන්න උදව් කළා. ඉතින් මේ නිසා ආණ්ඩුවට ඒ අයව සතුටු කරන්න කියන කියන දේවල් කරන්න වෙලා තියෙන්න.

ඔබ හිතනවද ජනතාව ඔය බෙදුම්වාදය ජාතිවාදය වගේ දේවල් පිළිගන්නවා කියලා. ජනතාව එක ප්‍රතික්ෂේප කරලා නේද මාලිමා ආණ්ඩුව පිහිටුවා ගත්තෙ?
උතුරේ ජනතාව බලාපොරොත්තු වුණේම ඔබ ඔය කියන කාරණය වෙන්න ඇති.

ඇයි දකුණේ ජනතාව ඒක හිතුවා කියලා ඔබට හිතෙන්නෙ නැද්ද?
දකුණේ ජනතාව බලාපොරොත්තු වුණේ දේශපාලන වෙනසක්. දැන් බලන්නකො මෙයාලාගෙ වැඩ. මේගොල්ලො හැමතිස්සෙම මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ගේ ගැන කතා කරනවා. ගේ අයිති වෙලා තියෙන්නෙ එතුමාට පනතෙන්. එතුමා ගෙයින් ඉවත් කරන්න නම් පනත වෙනස් කරන්න ඕනෙ. තුනෙන් දෙකේ බලයක් තියෙන ආණ්ඩුවට පුළුවන් ඒ දේ කරන්න. ඒත් ඒක නොකර කියව කියවා ඉන්නවා. දේශපාලන බොරුවක් මේගොල්ලො කරන්නෙ. රාජපක්ෂ ජනාධිපතිතුමාව සී.අයි.ඩී. අරන් ගියා. කාව සතුටු කරන්නද? එයාලා බලාපොරොත්තු වුණා බලයට එනකොට විශාල මුදල් ප්‍රමාණයක් ලංකාවට ලැබෙයි කියලා. හැබැයි මේ වෙද්දි දැන් ඒවා ලැබෙන්නෙ නෑ. ඒවා ලබාගන්න ඩයස්පෝරාවේ හිත සතුටු කරන්න එයාලා මේ වගේ දේවල් කරනවා.

ඔබ කියන්නෙ මෙයාලා මේ ජනතාවගේ මතයට පිටුපාලා වැඩ කරනවා කියලද? නැත්නම් මේ තමයි එයාලගේ ඇත්ත ක්‍රමවේදය කියලද?
මේ ආණ්ඩුවේ ඇත්ත වැඩපිළිවෙළ මේක. එයාලට ආර්ථික ප්‍රතිපත්තියක් නෑ. අපි ඒක වේදිකාව තුළ කිව්වා.

එහෙම කිව්වට ජනතාව ඔබලා පිළි අරගෙන නෑනෙ?
ජනතාව දැඩි අසහනයක හිටියා ඒ වෙලාවේ. ආර්ථිකය අවුල් වීමත් වෙනත් දේශපාලන කාරණාත් එක්ක ජනතාව ඉතාම අසහනයෙන් හිටියෙ. හැබැයි මතක තියාගන්න මේ හැත්ත හයක දේශපාලන සාපය කියන අය ඉතිහාසයේ ඉඳලම කලේ වැඩවර්ජනය කරපු එක. එයාලට මේ රට ගොඩනගන්න කිසිම උවමනාවක් තිබුණේ නෑ. ආණ්ඩුවට වැඩ නොකරන්න වැඩ කළේ ජනතා විමුක්ති පෙරමුණ. ඒ අය සම්පූර්ණයෙන්ම මේ රට අවුල ජාලාවක් කළා. හාල් ගබඩා කරන්න තැනක් නෑ කියලා මේ අය කියනවා. 88/89 හාල් ගබඩා කීයක් ගිනි තිබ්බද? ඒ නිසා මේ අය තමයි ඒ දේශපාලනයට වෛරය හැදුවේ. ඒ නිසා ජනතාව ඒ අයගේ කතාවලට රැවටුණා. දැන් ජනතාව දන්නවා ඇත්ත මොකද්ද කියලා.

• ගයාන් ගාල්ලගේ

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 02:00