ලංකාවේ විදුලි බලය ගැන අනාගත තීරණ ගන්න වඳුරෙක් වැටී විදුලි බිඳවැටීමක් සිදුවිය යුතුමද? පසුගිය වසර 15 ක පමණ කාලය අතරතුර සිදුවූ විදුලිය බිඳවැටීම්වලට හේතු සාධක සෙවීමට පත් කළ විද්වත් කමිටුවල නිර්දේශ සම්බන්ධයෙන් රටේ විදුලි පාරිභෝගිකයා අඳුරේ සිටියදී තව තවත් කමිටු පත් කිරීමෙන් පෙනී යන්නේ එවැන්නක් සිදුවිය යුතුම බවය. එම පුරුද්දට අනුව නමින් මෙවරද ලංවිම කණ්ඩායම් 03 ක්ද විශේෂ කණ්ඩායමක්ද විදුලියේ බිඳවැටීම සෙවීමට පත් කර තිබේ.
විදුලිය බිඳවැටීම මහා ගැටලුවක් නොවේ. විවිධ තාක්ෂණික සහ පාරිසරික හේතූන් මත ඕනෑම රටක විදුලිය බිඳවැටීම සිදුවිය හැක. නමුත් අපේ රටේ සැබෑ ගැටලුව තරමක ලොකු අස්ථායිකරණයක් සිදුවුවහොත් මුළු රටේම විදුලිය තත්පර කිහිපයක් තුළදී බිඳ වැටීමයි. එය අසාමාන්‍ය තත්වයකි. එයට හේතු පැහැදිලි කිරීම් ගණනාවක් තිබේ. ප්‍රධානම හේතුව රටේ විශාලතම විදුලිය උත්පාදකයා වන නොරොච්චෝලේ බලාගාර 03ම එවැනි අවස්ථාවලදී එකී බලාගාරවලට සිදුවිය හැකි බරපතළ හානිය වළක්වා ගැනීමට ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන වෑල්වයක් හරහා ක්‍රියා විරහිත වීම බව විදුලිබල මණ්ඩලය කියයි.
මේ තත්වය මීට පෙරද ඇතිවී තිබේ. මෙය තාක්ෂණික වශයෙන් යථාර්ථය බව අපි පිළිගනිමු. නමුත් එවැනි තත්වයක් රටේ විදුලිය පද්ධතිය අසමතුලිත වන හැම අවස්ථාවකදීම සිදුවීම වළක්වා ගැනීමට මේ දක්වා කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැත්තේ ඇයිද යන ප්‍රශ්නය මෙහිදී පැන නගී. විදුලි ඉංජිනේරුවරුන් සිටින්නේ බිඳවැටීම් සිදුවන සෑම අවස්ථාවකම මේ ආකාරයට ඒ පිළිබඳ හේතු දැක්වීමට නොවන බව පිළිගත යුතුය. මෙරට සිටින විදුලි ඉංජිනේරුවරුන් ලොවේ ඕනෑම විදුලි ඉංජිනේරුවරුන් හා සම තැන් ගැනීමට තරම් දක්ෂ පිරිසක් බව අපගේ පිළිගැනීමයි. එසේ නම් මේ රට වරින් වර සම්පූර්ණයෙන් අඳුරේ ගිල්වීමට හේතුවන තාක්ෂණික දෝෂ මගහැර ගැනීමට අවශ්‍ය ප්‍රතිකර්මයක් තවම සොයාගත නොහැක්කේ ඇයිද යන්නත් ඒ සඳහා පවතින බාධා කුමක්ද යන්නත් දැනගැනීමට විදුලි පාරිභෝගිකයාට අයිතියක් තිබෙන බවද මෙහිදී පෙන්වා දිය යුතුය.
සුළු ප්‍රදේශයක හෝ ප්‍රදේශ කිහිපයක හෝ විදුලිය බිඳවැටීම් මෙන් නොව රට පුරා එකවර තත්පර ගාණක් ඇතුළත විදුලිය බිඳවැටීම භයානක තත්වයකි. එය රටේ ජාතික ආදායමට පවා බරපතළ පාඩු සිදුකරවන තත්වයක් පමණක් නොව රටේ ජාතික ආරක්ෂාවට පවා බලවත් තර්ජනයකි. එසේම හිස ඔසවමින් තිබෙන සංචාරක ව්‍යාපාරයේ වර්ධනයටද ඍජු බලපෑම් එල්ල කරන සිද්ධියකි. සාමාන්‍ය ජන ජීවිතය උඩු යටිකුරු කිරීමට පවා රටේම විදුලි බිඳවැටීම හේතුවක් විය හැකිය.
රට පුරා විදුලිය බිඳවැටීමේ ප්‍රතිඵලයක් වූ නොරොච්චෝලේ බලාගාර ක්‍රියා විරහිත වීම යථා තත්වයට පත්වන තුරු සිදුවන අනිවාර්ය පැය එකහමාරේ විදුලි කප්පාදුව හැකි ඉක්මනින් අවසන් කළ යුතු බව අපගේ වැටහීමයි. විදුලිය කප්පාදුව මේ රටේ කඩා වැටෙමින් තිබූ ආර්ථිකය අර්බුදයක් බවට පෙරළා ආණ්ඩුවද පෙරළා දමනු ලැබීය. මේ අමිහිරි මතකය යළි යළිත් ආවර්ජනය කිරීමට රටේ ජනතාව කැමැති නැත. රජය ද කැමැති නොවනු ඇත. ඒ පිළිබඳ රජයට පැහැදිලි අවබෝධයක් තිබිය යුතුය. වඳුරකු වැටීම රටේම විදුලිය බිඳවැටීමට හේතුවක් වූ බව විෂය භාර අමාත්‍යවරයා කරන ප්‍රකාශයෙන් පෙනී ගියේ එවැනි අවබෝධයක් රජයට නොමැති බවයි. රට පුරා විදුලිය බිඳවැටීම තවදුරටත් ජනතාවගේ ඉවසීම “ටෙස්ට්” කිරීමක් බවට පෙරළා ගැනීමෙන් සියලු බලධාරීන් වැළකිය යුතුය.
මෙවර සිදුවූ බිඳවැටීම සම්බන්ධයෙන් විදුලි ඉංජිනේරුවරුන්ගේ සංගමය නිකුත් කළ නිවේදනයේ සඳහන් කරුණු දෙකක් කෙරෙහිද අපගේ අවධානය යොමුවෙයි. ඉන් පළමුවැන්න සූර්ය බල විදුලිය උත්පාදනය ඉහළ යාමේදී සිදුවිය හැකි විදුලි බලාගාර මගින් උත්පාදනය කෙරෙන විදුලියට ඇති ඉල්ලුම පහත වැටීමට තිබෙන ඉඩකඩය. අනෙක කිසියම් දෝෂයක් තිබුණත් නැතත් ඉරිදා වැනි අඩු විදුලිය ඉල්ලුමක් තිබෙන දිනවලදී රටේ විදුලි පද්ධතිය තුළ අසමතුලිත බවක් ඇතිවීමයි. එවැනි තත්වයක් පසුගිය සති කිහිපය තුළදීම නිරීක්ෂණය කිරීමට හැකිව තිබූ බවද සඳහන්ය.
සූර්ය බල විදුලිය උත්පාදනය ඉහළ යාම රටේ තිබෙන ඉහළ විදුලිය ඉල්ලීමටත් ඉහළ විදුලි බිලටත් හොඳ විසඳුමකි. එය කළමනාකරණය කරගැනීම ලංවිම ඉංජිනේරුවරුන්ගේ රාජකාරියකි. ඒ ගැන විස්සෝප වීමටත් රටේම විදුලිය බිඳවැටීමට එය හේතුවක් වශයෙන් පෙන්වා දීමටත් වඩා රටට අවශ්‍ය වන්නේ ඒ සඳහා විසඳුමකි. අසමතුලිත බව ඇතිවීමටත් ප්‍රතිකර්ම යෙදීම අවශ්‍යය. ලංවිම බලධාරීන්ගේත් රජයේත් අවධානය නොපමාව මේ සඳහා යොමුවිය යුතුය.