2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා

පුංචි ඡන්දය

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00 41

මෙරට මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා සභිකයන්ගේ ධුර කාලය ලබන ජූනි මස 02 වැනිදා සිට ආරම්භ කළ යුතු බව දැනුම් දෙමින් රජය මගින් අතිවිශේෂ ගැසට්ටුවක් නිකුත් කර තිබේ. ඒ අනුව ප්‍රාදේශීය සභා 274 ක් මහ නගර සභා 27 ක් සහ නගර සභා 36 ක් ඇතුළු සමස්ත පළාත් පාලන ආයතන 337 ක් සඳහා මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව මගින් ඉදිරි පියවර ගැනීමට නියමිතය.

මෙම මැතිවරණය පැවැත්වීම සඳහා බාධාවක් වූ 2023 දී කල් දමන ලද පළාත් පාලන ඡන්දය සඳහා ඇප මුදල් තැන්පත් කළ පුද්ගලයන්ට එම ඇප මුදල් ආපසු ගෙවීමටද මැතිවරණ කොමිසම මගින් කටයුතු කරමින් සිටී. එයට ඉඩ සලසමින් පසුගියදා පාර්ලිමේන්තුවේදී පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ (විශේෂ විධිවිධාන) පනතද සම්මත කරගනු ලැබීය.

මේ රට තුළ මැතිවරණ ඉතිහාසයේ වඩාත්ම හෑල්ලුවකට ලක්වූ මැතිවරණය කුමක්දැයි කිසිවකු හෝ ප්‍රශ්නයක් නැගුවහොත් එයට ඇත්තේ එකම පිළිතුරකි. එනම් පළාත් පාලන මැතිවරණයයි. වසර 04 කට වරක් පැවැත්විය යුතු වන මෙකී පුංචි ඡන්දය අවසන් වරට පැවැතියේ 2018 වසරේදීය. ඒ අනුව ඊළඟට පැවැත්විය යුතුව තිබුණේ 2022 වසරේදී වුවද එම ඡන්දය කල් දමනු ලැබීය. ඒ සමඟ සඳහන් කළ යුත්තේ 2018 එම පුංචි ඡන්දය පැවැත්වුවත් එය නියමිතව තිබුණේ 2017 වසරේදී පැවැත්වීමට බවයි. 2015 දී බලයට පත්ව සිටි සිරිසේන – වික්‍රමසිංහ යහපාලන රජය මේ ඡන්දය පැවැත්වීමට කොතරම් බියක් දැක්වූවාදැයි කිවහොත් පාර්ලිමේන්තුව හරහා විශේෂ විධිවිධාන පනතක්ද ගෙන ඒමට ක්‍රියා කළේය. නමුත් වසරක් ප්‍රමාද වී පැවැත්වූ පුංචි ඡන්දයෙන් එම රජයට අත්වූයේ අන්ත පරාජයකි.

නමුත් ඉන් පසුව බලයට පත්වූ ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවටද එය 2022 දී පැවැත්වීමට නොහැකි වූයේ ඒ වනවිට රජයට එරෙහිව එල්ලවෙමින් තිබූ දැඩි ජනතා විරෝධයේ ප්‍රතිඵලයක් වශයෙනි. ඊළඟට රජය භාර වූ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාද 2023 දී නියමිතව තිබූ පුංචි ඡන්දය කල් දැම්මේ කල් දැමීමට ඡන්දයක් නැති බව පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරමිනි. ඒ සඳහා හේතුව වශයෙන් මුදල් නොමැති බව සඳහන් විය. එහි ප්‍රතිඵලයක් වශයෙන් මේ ගැටලුව ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා ඇදී ගියේය. එහිදී ලැබුණු තීන්දුව වූයේ හැකි ඉක්මනින් පුංචි ඡන්දය පැවැත්වීමට මැතිවරණ කොමිසම ක්‍රියා කළ යුතු බවය.

වත්මන් රජය ඊට අදාළ විශේෂ විධාන පනත පසුගියදා පාර්ලිමේන්තුවේදී තුනෙන් දෙකේ විශේෂ බහුතරයෙන් සම්මත කරගත්තේ ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවට අනුකූලව යමිනි. ඒ සඳහා පාර්ලිමේන්තුවේදී එක් මන්ත්‍රීවරයකු හෝ විරුද්ධ වූයේ නැත. එසේ නම් ඉදිරියේ යෙදෙන ආසන්නම සහ පහසුම දිනයේ පුංචි ඡන්දය පැවැත්වීමට සියලු නීතිමය ප්‍රතිපාදන සැලසී තිබේ. ඒ සඳහා ආණ්ඩු පක්ෂයේත් විපක්ෂයේත් සියලු දේශපාලන පක්ෂවල සහයෝගය මැතිවරණ කොමිසමට ලබාදීම අවශ්‍යය.

ආණ්ඩුවක් කොතරම් අසීරු තත්වයකට මුහුණ දී සිටියද කිසි කලෙකත් ඡන්ද පැවැත්වීම කල් දැමිය යුතු නැත. එසේ කළ හැම ආණ්ඩුවක්ම මුහුණ දුන්නේ දේශපාලන වශයෙන් ඉතා අමිහිරි ප්‍රතිඵලවලටය. 2017 සිට පළාත් පාලන ඡන්ද පැවැත්වීමට බාධා කිරීමේ වගකීමෙන් ගැලවීමට කිසිදු ප්‍රධාන පක්ෂයකට හැකියාවක් නැත. 2017 දී යහපාලන ආණ්ඩුව පළාත් පාලන මැතිවරණ විශේෂ විධිවිධාන පනතක් පාර්ලිමේන්තුවට ගෙන ආවේම මැතිවරණය කල් දැමීමේ යටි අදහසිනි. ඒ අවස්ථාවේදී වත්මන් ජේ.වී.පී./ එන්.පී.පී. මන්ත්‍රීවරුන්ගේ සහායද හිමි වී තිබුණේ එම ආණ්ඩුවට බැවින් එකී තීරණයට ඔවුන්ගේද විරුද්ධත්වයක් නොතිබිණි. ඡන්ද කල් දැමීමේ ආදීනව හොඳින් දැන සිටින වත්මන් ආණ්ඩුව යළිත් එම වැරැද්ද සිදුවීමට ඉඩක් නොදිය යුතුය.

 

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 02:00