ජාතික ජනබලවේග ආණ්ඩුවේ මංගල අයවැය ඉදිරිපත් කිරීමේ උණුසුම පහවී යන්නටත් කලින් අලුත්කඩේ උසාවි සංකීර්ණය ඇතුළේ සිදුවූ වෙඩි තැබීමෙන් රටම උණුසුම් වී ගියේය. ඒ සමඟ රටේ අවධානය අයවැයෙන් ගැලවී අපරාධ සහ පාතාලය දෙසට යොමුවිය. දැන් එය ජාතික ආරක්ෂාව සහ මහජන ආරක්ෂාව සම්බන්ධ ගැටලුවක් බවට පත්ව තිබේ. අයවැය මෙන්ම ජාතික ආරක්ෂාවත් මහජන ආරක්ෂාවත් ආණ්ඩුවේ ප්‍රධානම වගකීම් අතර ඉහළින්ම රැඳී පවතී.
පාතාලකරුවෙක් වෙඩි කා මියගිය පළමු අවස්ථාව මෙය නොවේ. නිසැකවම එය අවසාන අවස්ථාවද නොවනු ඇත. ආණ්ඩුව පැමිණි වහාම මෙතෙක් සිදුවෙමින් පැවති පාතාල මරාගැනීම්වල අඩුවක් සිදුවනු ඇති බවට ජනතාව තුළ යම් පමණක හෝ බලාපොරොත්තුවක් තිබුණා නම් එම බලාපොරොත්තුව වෙඩි වැදුණු හිල් කූඩයක් බවට පත්ව තිබේ. එය යම් තරමකට සාමාන්‍ය ජනතාව මානසිකව අතරමං කර තිබෙන අතර ඔවුන් තුළ භීතිය වැපිරීමටද හේතුවකි.
පාතාලයේ ගිනිඅවි ක්‍රියාත්මක වීම් දැන් එදිනෙදා සිදුවීම් තරමටම සාමාන්‍යකරණය වෙමින් තිබේ. එය පසුගිය සති කිහිපය තුළ සිදුවූ අසාමාන්‍ය සිදුවීම් සමුදායක් වශයෙන් උළුප්පා පෙන්වීමට ඇතැම් දේශපාලනඥයන් උත්සාහ දැරුවද මෙය දීර්ඝ කාලයක් තිස්සේ මේ රටේ මුල්බැස ගනිමින් තිබූ භයානක ප්‍රවණතාවක කූඨප්‍රාප්තිය බව යථාර්ථයයි. එකී ප්‍රවණතාව වූයේ පාතාලයේ ගිනිඅවි ක්‍රියාත්මක වුණත් ඒ ගැන වැඩි සෝදිසියකින් තොරව සිටීමට පහුගිය ආණ්ඩු ගණනාවක්ම ක්‍රියා කිරීමයි. පාතාලයෙන් වැඩ ගැනීමට කැමැත්තක් දක්වන දේශපාලකයන්ට මේ ගිනිඅවි අත දරාගෙන ගිනිකෙළි කරන පාතාලයන් පෙනෙන්නේ සුරතලුන් වශයෙනි. මේ සුරතලුන් “දඟ වැඩ” කිරීමෙන් පසුව ඔවුන් බේරා ගැනීමට පොලිසියට කෝල් පිට කෝල් ලබාදෙන දේශපාලකයෝද මේ රටේ හිඟ නොවූහ. පාතාලය බය නැතුව මිනී මැරීමට පටන් ගැනීමේ එක් සංධිස්ථානයක් වූයේ මෙසේ ලැබුණු දේශපාලන තල්ලුවයි.
මේ වනවිට උසාවි බිමේ පමණක් නොව උසාවිය ඇතුළේ විත්ති කූඩුව තුළදීම පාතාලයන් මරා දමන තැනට තත්වය දරුණු වී තිබේ. තත්වය එතරම් දරුණුවීමේ වගකීමෙන් ගැලවීමට වත්මන් ආණ්ඩුවටද කිසිදු හැකියාවක් නැත. පාතාලයට සෙල්ලම් කිරීමට ඉඩ නොතබන බවටත් හැකි ඉක්මනින් පාතාලය මර්දනය කරන බවටත් ජනතාවට ලබාදුන් පොරොන්දු අනුව කටයුතු කිරීමට රජය බැඳී සිටී. මේ දරුණු තත්වය මහජනතාවගේ ආරක්ෂාවෙන් ඔබ්බට ගොස් ජාතික ආරක්ෂාවට පවා තර්ජනයක් බවට විපක්ෂය චෝදනා කරන්නේ පාතාල මර්දනය සම්බන්ධයෙන් රජය ප්‍රමාණවත් තරම් අවධානයක් යොමු නොකිරීම හේතුවෙන් බවද පැහැදිලිය. ඒ ගැන වගකීම පහුගිය ආණ්ඩුව මත පටවා තම දෑත් සෝදා ගැනීමෙන් පලක් නොවන බව රජය දැන සිටිය යුතුය.
පාතාලය මර්දනය කිරීමට ඉදිරියේදී දැඩි පියවර ගන්නා බවට මහජන ආරක්ෂක ඇමැති ආනන්ද විජේපාල මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයේ පෙන්වා දුන් එක් කරුණක් වූයේ පාතාලය සඳහා පොලිස් දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන්ගේද සහාය ලැබෙන බවය. එසේම පසුගිය කාලසීමාවලදී පාතාලය පෝෂණය කෙරුණේ විපක්ෂ දේශපාලනඥයන්ගේ අනුදැනුම ඇතිව ඔවුන්ගේ සහායද ඇතිව බවද ප්‍රකාශ කෙරිණි. මේ කාරණා සත්‍ය බවට සැකයක් නැත. පසුගියදා ගණේමුල්ලේ සංජීවගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර පොලිසියේ දෙදෙනෙක්ද වෙති. මිද්දෙණියේ සිදුවූ පුද්ගලයකු හා දරු දෙදෙනකුගේ ඝාතනයේදී ද පොලිස් නිලධාරියකුගේ සහාය ඝාතකයන්ට ලැබුණු බවද සඳහන්ය. මෙය පාතාල ක්‍රියාවලිය කොතරම් පුළුල් ජාලයක් කරා විහිදී තිබෙන්නේද යන්නත් පැහැදිලි කරයි.
මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න මහතා ද පසුගියදා මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබුණේ රට පුරා අපරාධ ක්‍රියා ශීඝ්‍රයෙන් ඉහළ යාම පසුපස කුමන්ත්‍රණයක් පවතින බවට සැකයක් පවතින බවයි. එසේම ගිනිඅවි අතැති පාතාල කල්ලි 58 ක් ඇති බවත් ඒවාට සම්බන්ධ අපරාධකරුවන් 1400 ක් ඇති බවත් ඔහු කියා තිබිණි. පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළ විමර්ශන අකර්මණ්‍ය කිරීමටත් රට අස්ථාවර කිරීමටත් ඇතැමුන්ගේ උත්සාහයක් පවතින බවද ප්‍රකාශ විය. ඒ හා සම්බන්ධ බුද්ධි වාර්තා ලැබී ඇත්නම් ඒ අනුව පියවර ගෙන සැකකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශය පියවර ගත යුතු වෙයි. ඒ සඳහා කාර්යශූරව, අවංකව රාජකාරි කරන පොලිස් නිලධාරීන් පොලිසිය තුළ සිටින බවට සැකයක් නැත. ඔවුන්ගෙන් වැඩ ගැනීම අමාත්‍යංශයේ වගකීමයි.
ගණේමුල්ලේ සංජීවගේ ඝාතනයට තුඩු දුන් ආරක්ෂක අංශවල පැවති අඩුපාඩුකම් ගැන දිගටම කතා කිරීමෙන් පළක් නැත. දැන් සිදුවිය යුත්තේ යළි එවැනි අඩුලුහුඬුකමකට ඉඩ නොතැබීමයි. මහජනතාවගේ ආරක්ෂාවට අංක එකේ ප්‍රමුඛතාව හිමිවිය යුතුමය.