2025 මාර්තු 08 වන සෙනසුරාදා

බැටන් පොලු හරස් කර නොගෙන පොලිසියේ අවුල විසඳමු

 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00 17

ජාතික පොලිස් කොමිසමත් වැඩ බලන පොලිස්පතිවරයාත් අතර පවතින ප්‍රබල මත ගැටුම පොලිසියේ එදිනෙදා කටයුතුවලට පවා මහත් හිසරදයක් බවට පත්වෙමින් තිබේ. එය දෙපාර්ශ්වයක් අතර සීතල යුද්ධයක් නොව එළිපිට සිදුකෙරෙන උණුසුම් යුද්ධයක් වන ලකුණු පහළ කරමින් සිටී. මේ දෙපාර්ශ්වයම එක අඩියක් හෝ පසුපසට ගැනීමට සූදානම් නැති බවත් පෙනෙන්නට තිබේ. ප්‍රතිඵලය ගැටුමේ අවසානයක් පෙනෙන්නට හෝ නොතිබීමයි.

වැඩ බලන පොලිස්පතිවරයා පසුගියදා නැගූ චෝදනාවක් වූයේ පොලිස් නිලධාරීන්ගේ ස්ථාන මාරු සහ අභ්‍යන්තර කටයුතුවලට ජාතික පොලිස් කොමිසම මැදිහත් වීමෙන් ඒවාට බාධා පමුණුවන බවය. නමුත් එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරමින් කොමිසම මගින් පසුගියදා නිකුත් කළ නිවේදනයේ සඳහන්ව ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පොලිස්පතිවරයා හැර පොලිස් නිලධාරීන්ගේ පත්කිරීම්, උසස් කිරීම්, ස්ථාන මාරුකිරීම්, විනය පාලනය කිරීම් සහ ඔවුන් සේවයෙන් පහකිරීමේ බලය ජාතික පොලිස් කොමිෂන් සභාවට තිබෙන බවය. එම බලතල ක්‍රියාත්මක කිරීම සැමවිටම සිදුකෙරෙන්නේ පොලිස්පතිවරයා විමසා බවද එම නිවේදනයේ සඳහන්ව තිබිණි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එරෙහිව තීන්දු තීරණ ගැනීමට එම ව්‍යවස්ථාවට අනුකූලව පිහිටුවනු ලැබූ කොමිසමකට හැකියාවක් නැත. එසේ අත්තනෝමතික ලෙස පොලිස් නිලධාරීන්ගේ මාරුවීම්, උසස් කිරීම්, විනය පියවර ගැනීම් සිදු කළහොත් අගතියට පත් නිලධාරීන්ට එම තීන්දු තීරණවලට එරෙහිව උසාවියට ගිය හැක. අනෙක් අතට කොමිසම සිය නිවේදනයෙන් පැහැදිලි කර තිබුණේ පොලිස් සේවයේ ගුණාත්මකභාවය රැකීමටත් පොලිසියේ කාර්යක්ෂමතාව උපරිම ලෙස පවත්වාගෙන යාමටත් නිලධාරීන්ගේ සුබසාධන සහ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමටත් කොමිසම සැමවිටම සැලකිලිමත් වන බවය. ඒවායින් බැහැරව කටයුතු කරන්නැයි කොමිසමෙන් ඉල්ලා සිටීමට පොලිස්පතිවරයකුට හැකියාවක් නැත.

දැන් මේ ගැටලුව නීතිපතිවරයා හමුවට පවා ඉදිරිපත් වී තිබේ. වැඩ බලන පොලිස්පතිවරයා වරක් ප්‍රකාශ කළේ තමා පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ පත්කිරීම් සම්බන්ධයෙන් බලතල පොලිස්පතිවරයාටද තිබෙන බව නීතිපතිවරයාගෙන් කළ විමසීමකදී දැනගත් බවය. නමුත් ජාතික පොලිස් කොමිසම එය පිළිගන්නේ නැත. කොමිසම ප්‍රකාශ කර තිබුණේ තමන්ද ඉදිරි දිනකදී නීතිපති හමුවී මේ පිළිබඳ පැහැදිලි කරගන්නා බවයි.

නීතිපතිගේ පැහැදිලි කිරීම් මත පදනම් වෙමින් පොලිස් ස්ථානාධිපතිවරුන්ට අදාළ පත්කිරීම් සිදුකිරීමට තමන්ටද වගකීමක් තිබෙන බවට වැඩ බලන පොලිස්පතිවරයා ප්‍රකාශ කළත් එය ප්‍රතික්ෂේප කර තිබූ පොලිස් කොමිසම එම ප්‍රතික්ෂේප කළ ලිපියේ පිටපතක් ව්‍යවස්ථා සභාවටද යවා තිබිණි. මේ ගැටුම තවදුරටත් දිග්ගැස්සුණේ මේ පසුබිමේය.

වත්මන් ආණ්ඩුව බලයට පත් වී නව වැඩ බලන පොලිස්පතිවරයකුද පත්කර ගැනීමෙන් පසුව තමන්ගේ අභිමතයට අනුව පොලිස් ස්ථානාධිපතිවරුන් 180 කට ආසන්න පිරිසක් මාරු කිරීමට ගත් පියවර ඇනහිටීමෙන් මේ ගැටුම ඇතිවිය. මේ ඇතැම් මාරුවීම් පොලිස් කොමිසම අනුමත කර තිබුණත් මාරුවීම් 40 කට ආසන්න සංඛ්‍යාවකට අනුමැතිය නොලැබිණි. මෙහිදී වැඩ බලන පොලිස්පතිවරයා ප්‍රකාශ කර තිබුණේ තමන්ට අවශ්‍ය පරිදි පොලිසිය සංවිධානය කරගැනීමේ වැඩපිළිවෙළට එම මාරුවීම් සිදු නොවීමෙන් බාධා පැමිණෙන බවයි.

මෙහිදී ජාතික පොලිස් කොමිසමේ ක්‍රියා පටිපාටියට සහාය දක්වන ඇතැම් පිරිසක් පෙන්වා දෙන්නේ කොමිසම හේතුවෙන් පොලිසිය නිර්දේශපාලනීකරණය වන බවය. වඩාත් ස්වාධීන ආයතනයක් වශයෙන් ක්‍රියාත්මක වන බවය. නමුත් එය යථාර්ථය නොවන බව පසුගිය කාලය තුළදී පොලිසිය වැඩ කළ ආකාරය අනුව පැහැදිලි වෙයි. එක් එක් ආණ්ඩු යටතේ පොලිසිය ක්‍රියාත්මක වූයේ ඒ ඒ ආණ්ඩුවේ ඕනෑ එපාකම් අනුවය. තමන්ට අවශ්‍ය නැති ස්ථානාධිපතිලා මාරු කිරීමටත් තමන්ගේ පාලන ප්‍රදේශයට තමන්ට අවශ්‍ය ස්ථානාධිපතිලා සහ ඉහළ පොලිස් නිලධාරීන් ගෙන්වා ගැනීමටත් ඒ කාලවලදී පියවර ගනු ලැබීය. එය සිදු නොකළ හැකි වූයේ මැතිවරණයක් ප්‍රකාශ කිරීමෙන් පසු ගතවන කාලය තුළදී පමණි. නමුත් එවැනි අවස්ථාවලදී පවා පොලිස් මාරුවීම් සිදුකිරීම් වුවත් ඒවා නැවැත්වූයේ පොලිස් කොමිසම මගින් නොව මැතිවරණ කොමිසම මගිනි.

පොලිස් කොමිසමත් වැඩ බලන පොලිස්පතිවරයාත් අතර මතුව තිබෙන මතභේදකාරී තත්වය විසඳාගත යුත්තේ මේ කරුණු සියල්ල පිළිබඳ යථාවබෝධයකින් යුතුවය. වෙනත් ආණ්ඩු කළ වැරදි වත්මන් ආණ්ඩුවද කළ යුතු නැත. නමුත් ආණ්ඩුවට පොලිසිය වඩාත් ස්වාධීනව හැඩගස්වා ගැනීමට තිබෙන අවශ්‍යතාව පිළිබඳ පැහැදිලි අදහසක් පොලිස් කොමිසමටද තිබිය යුතුය. ජාතික පොලිස් කොමිසම තිබුණත් සම්පූර්ණයෙන් නිර්දේශපාලනීකරණය වූ පොලිසියක් මෙරට තිබුණේ නැත. යථාර්ථය එයයි.

 

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 02:00