අනුරාධපුර ශික්ෂණ රෝහලේදී වෛද්‍යවරියකට සිදුවූ ලිංගික හිංසන සිද්ධිය හේතුවෙන් රටම හොල්මන් විය. ඒ සමඟ සිදුවූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මගින් ක්ෂණිකව ක්‍රියාත්මක කෙරුණු වැඩවර්ජනය අනුරාධපුර රෝහලින් බැහැරව සෙසු ප්‍රධාන නගරවල රෝහල් පද්ධතිය කරා විහිදී ගොස් එය පැය 24 ක වැඩවර්ජනයක් දක්වා ඇදී යාම රටේ සියලුම රෝගීන් අමාරුවේ දමනු ලැබීමක් විය. මේ සිදුවීම් දෙකම රටේ පවතින බරපතළ ඛේදවාචකයක් පිළිබඳ පැහැදිලි ඉඟියක් ලබා දී තිබේ.
අනුරපුර රෝහලට අනුයුක්තව පුහුණුවන විශේෂඥ වෛද්‍යවරියක වශයෙන් සේවය කරමින් සිටි වෛද්‍යවරියට එරෙහිව සිදුකෙරුණු බරපතළ අපරාධය ඉහළම මට්ටමින් දැඩිව හෙළා දකින බව මුලින්ම අපි සඳහන් කරමු. කාන්තාවකට වෛද්‍යවරියක වශයෙන් සේවයේ නිරතව සිටියදී රෝහල් භූමියේදී පවා ආරක්ෂාවක් නොමැති නම් එය රෝහලේ ආරක්ෂාව “අසාධ්‍ය” තත්වයට වැටී ඇති බව පෙන්වා දීමකි. අවාසනාවකට මෙන් රෝහල්වල පවතින මේ යථා තත්වය අවබෝධ කර ගැනීමට වෛද්‍යවරියකට අතවරයක් සිදුවන තුරු බලධාරීන්ට නොහැකි විය. එය ඛේදවාචකයේ එක් පැත්තකි.
එසේම කිව යුත්තේ වෛද්‍යවරියන්ට රෝහල් පරිශ්‍රය තුළ නිසි ආරක්ෂාවක් නොමැතිවීම අනුරාධපුර ශික්ෂණ රෝහලට පමණක් සීමා වූවක් නොවන බවය. ජනාකීර්ණ ප්‍රදේශවල පවතින ප්‍රධාන රෝහල්වල මේ ප්‍රශ්නය එතරම් සංකීර්ණ තත්වයක නොමැති වුවද රටේ රෝහල් පද්ධතියේ බොහොමයක් රෝහල්වල රාත්‍රී කාලයේදී වෛද්‍යවරියන්ට නිසි ආරක්ෂාවක් නැත. විශේෂයෙන්ම “ඔන් කෝල්” සේවයේ නිරත වන වෛද්‍යවරුන්ට මධ්‍යම රාත්‍රියේ පමණක් නොව අලුයම් කාලයේදී වුවද රෝහලට පැමිණීමට සිදුවන අවස්ථා තිබේ. එවැනි අවස්ථාවල අදාළ රෝගියාට ප්‍රතිකාර කිරීමෙන් පසුව වෛද්‍යවරුන්ට ආපසු යාමට සිදුවන්නේ රෝහල් පරිශ්‍රයේ පාළු මාවත් ඔස්සේය. අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරිය අතවරයට ලක්වන්නේ එවැනි අවස්ථාවකදීය. ඇය තමන් නවාතැන් ගෙන සිටින නිල නිවෙසට පැමිණි අවස්ථාවේ මේ අපරාධකරු ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන අපරාධය සිදුකර පලා ගොස් තිබිණි. එවැනි අවස්ථාවකට මුහුණදෙන වෛද්‍යවරියක හැර එහි භයානකකම වෙන කෙනකුට වටහා ගැනීම පවා අසීරුය.
මේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පෙන්වා දී තිබුණේ අනුරාධපුර රෝහලේ මීට පෙරද යම් යම් අපරාධ ක්‍රියා සිදුවී තිබුණත් රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂවරයා ඒවා මැඩපැවැත්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග නොගෙන රෝහලට ආරක්ෂාව සැලසීම පැහැර හැර තිබූ බවය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද මේ සිද්ධියට අදාළව ක්‍රියාත්මක කළ වැඩවර්ජනය ආරම්භයේදී ප්‍රකාශ කළේද රෝහල්වල පවතින මේ අනාරක්ෂිත තත්වය සම්බන්ධයෙන් මීට පෙරද රජයේ බලධාරීන්ගේ අවධානයට යොමු කළත් ඒවාට විසඳුම් ලබා නොදීම හේතුවෙන් තමන් මේ වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බවය.
එසේ වුවද අමාත්‍යවරයා ප්‍රකාශ කරන පරිදි අනුරාධපුර රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂවරයා මීට පෙර සිය වගකීම පැහැර හරිමින් කටයුතු කරද්දී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඒ දිනවල සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අනුගමනය නොකළේ මන්ද යන්නත් ප්‍රශ්නයකි. ඒ කාලයේ දේශපාලන බලපෑම් මත රෝහලේ ආරක්ෂාව පිරිහෙමින් තිබියදී නිහඬව සිටීමේ ප්‍රතිඵලය වී ඇත්තේ වෛද්‍යවරියකට අපරාධයක් සිදුකිරීමට ජරා මනසක් ඇති අපරාධකරුවකුට ඉඩක් විවෘත වීමය. මේ තත්වය ඉදිරියේදී හෝ වළක්වා ගැනීමට නම් රෝහලේ බලධාරීන් සහ රජයේ බලධාරීන් අතර යහපත් අවබෝධයක් තිබිය යුතුය. එයට දේශපාලනය ඈඳා ගත යුතු නැත.
එසේම මෙහිදී පෙන්වා දිය යුත්තේ වෛද්‍යවරියට සිදුවූ අතවරය හේතුවෙන් වෛද්‍යවරුන් ක්‍රියාත්මක කළ වැඩවර්ජනය පැය 24 කට ඈඳගෙන යාමත් ඒ සඳහා රටේ සියලු රෝහල් පද්ධතිය හවුල් කර ගැනීමත් රෝගීන්ට සිදු කළ බලවත් අසාධාරණයක් බවය. ක්ෂණිකව අනුරාධපුර රෝහලට පමණක් එය සීමා වීම පිළිගත හැකිය. නමුත් එය දීපව්‍යාප්තව පැය 24 කට ඈඳගෙන යාම හේතුවෙන් රටේ රෝගීන් දහස් ගණනක් අමාරුවේ වැටුණාහ. එය සිදුවූයේ සංගමයේ පළමු ඉල්ලීම වූ අපරාධකරු වහා අත්අඩංගුවට ගත යුතු බවට කළ ඉල්ලීම ද ඉටුවීමෙන් පසුව වීම අවාසනාවකි. වෛද්‍යවරුන්ට ආරක්ෂාව සැලසීම තරම්ම රෝගීන්ගේ ජීවිතාරක්ෂාව ද වැදගත් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තේරුම් ගත යුතුය.