සති තුනක පමණ කාලයක් තිස්සේ රටේ හොඳම “කටගැස්මක්” වී සිටි හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් බදාදා (19) උසාවියට බාර විය. අනිවාර්ය නිවාඩු යැවීමෙන් පසුව පොලිස්පති ධුරයෙන් දේශබන්දු තෙන්නකෝන් තාවකාලිකව ඉවත් කෙරුණු නිසා දැනට තවමත් රටේ සිටින්නේ වැඩ බලන පොලිස්පතිවරයෙකි. ධුරය පිළිබඳ යථා තත්වය අධිකරණය සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාව මගින් තීරණය කෙරෙන තුරු ලංකාවේ සිටිනු ඇත්තේ වැඩ බලන පොලිස්පතිවරයකු පමණි.
දේශබන්දු තෙන්නකෝන් ධුරයේ සිටියදීම රිමාන්ඩ් භාරයට පත්වීමට සිදුවූ මෙරට දෙවැනි පොලිස්පතිවරයාය. මීට පෙර එම ඉරණමට මුහුණ දුන්නේ යහපාලන ආණ්ඩුවේ පොලිස්පතිවරයා වශයෙන් පත් කරනු ලැබ සිටි පූජිත් ජයසුන්දරය. ඔහු එම දඬුවමට මුහුණපෑවේ පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට අසමත් වීම හේතුවෙනි.
රටක පොලිස්පතිවරුන් මේ ආකාරයට රිමාන්ඩ් භාරයට පත්වීම අවාසනාවන්ත තත්වයකි. එය තෝරාගැනීමේ වරදක්ද නැතහොත් ධුරය දරන්නාගේ දුර්වලකමක්ද යන්න පැහැදිලි නැත. නමුත් මේ පත්වීම් දෙකම ලබාදෙනු ලැබුවේ රටේ විවිධ පාර්ශ්වවල විරෝධය මැද බව මෑත කාලීන ඉතිහාසය පිරික්සීමේදී පෙනී යයි. පූජිත් ජයසුන්දර මහතා පොලිස්පති ධුරය අපේක්ෂාවෙන් නොකළ දෙයක් නැති බව ඔහුගේ වචනවලින්ම වරින් වර කියැවී ඇති බව මාධ්‍ය ඔස්සේ හෙළිදරව් විය. ධුරය ලබා ගැනීමට පසුවද ප්‍රසංග වේදිකාවල ගී ගැයීම, මහනුවර ඇසළ පෙරහරේ නැටුම් කණ්ඩායම් සමඟ නැටීම වැනි පොලිස්පතිවරයකුගෙන් බලාපොරොත්තු විය නොහැකි හැසිරීම් ඔහුගෙන් ප්‍රදර්ශනය විය. අවසානයේ පොලිස්පතිවරයකුගේ ප්‍රධානම වගකීම් වන රජයේ නීතිය ක්‍රියාවේ යෙදවීමත් මහජන ආරක්ෂාව සැලසීමත් යන වගකීම් දෙකම ඔහු අතින් පැහැර හැරිණි. පාස්කු ප්‍රහාරය පිළිබඳ නඩු විභාගවලදී මේ බව අනාවරණය විය.
දේශබන්දු තෙන්නකෝන් මහතා ද පොලිස්පති ධුරයට පත්කෙරුණේ විවිධ “සාංකූලතා” මැදිනි. ඔහුගේ පත් කිරීම දිගටම කල්ගිය අතර හිටපු පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාට ඒ හේතුවෙන් දිගින් දිගටම සේවා දිගු ලබාදීමට සිදුවිය. එසේම ඔහුට එරෙහිව මානව හිමිකම් නඩු ද පැවරී තිබිණි. ඊට අමතරව තවත් චෝදනා ද ඔහුට එරෙහිව ඉදිරිපත් විය. නමුත් අවසානයේ දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයට පත් කරනු ලැබීය. ඔහුට එරෙහි චෝදනාවලට යම් පදනමක් ඇති බව තේරුම් ගැනීමට පසුගිය දවස් 20 පමණක් ප්‍රමාණවත් බව අපගේ වැටහීමය.
අප මේ කරුණු සඳහන් කළේ පොලිස්පති ධුරයට සිදුකෙරෙන පත් කිරීම කොතරම් සියුම් අන්දමින් සිදුවිය යුතුද යන්න පෙන්වා දීමටය. ඕනෑම ආණ්ඩුවක් රාජ්‍ය නායකයෙක් තමන්ට හිතවත් හෝ තමන් දන්නා හඳුනන පොලිසියේ උසස් නිලධාරියෙක් පොලිස්පති ධුරයට පත්කර ගැනීමට උනන්දු වන බව නොරහසකි. නමුත් එය පහසු නැත. එම ධුරයට සුදුස්සකු වීමට ජ්‍යෙෂ්ඨත්වය තිබීම පමණක් ප්‍රමාණවත් නැත. ධුරය පුරප්පාඩු වූ විට සුදුසු නම් තුනක් ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථා සභාවට යොමුකළ යුතු අතර තීන්දුව ගනු ලබන්නේ ව්‍යවස්ථා සභාව මගිනි. මේ ක්‍රමවේදය ඇතිකර තිබෙන්නේ රටේ පොලිස්පති ධුරය වඩාත් ස්වාධීන ලෙස පවත්වාගෙන යාමේ අරමුණිනි. නමුත් කෙටි කාලයක් තුළ පොලිස්පතිවරුන් දෙදෙනකුටම රිමාන්ඩ් භාරයට පත්වීමට සිදුවීම පෙන්වා දෙන්නේ මේ ක්‍රමවේදයේ කොතැනක හෝ හිඩැසක් තිබෙන බවය. නැතහොත් පොලිස්පති පත්කිරීමේ ක්‍රමවේදය බාහිර බලපෑම් හේතුවෙන් කුරුවල් වී තිබෙන බවය. එය සිදු නොවිය යුත්තකි.
හිටපු පොලිස්පති දේශබන්දුට එරෙහිව චෝදනා පිළිබඳව ද රටේ මහජනතාව දැඩි විමසිල්ලකින් සිටින බව ආණ්ඩුවද වටහා ගත යුතුය. රටක පොලිස්පතිවරයා පසුපස ඔහුගේම පොලිසිය පන්නාගෙන යාම එක අතකින් කොමඩි චිත්‍රපටයක කතාවක් බඳුය.
පොලිස්පති ධුරයේ ගෞරවනීය බව එතරම් පහළ තත්වයකට ඇද නොදැමිය යුතු බව අන් සියලු “උපදේශක”වරුන්ටත් වඩා අවබෝධ කරගත යුතුව තිබුණේ දේශබන්දු තෙන්නකෝන් මහතාමය. උසාවියට ඉදිරිපත් වන ලෙසට කෙරුණු දැනුම්දීමට ඔහු අවනත විය යුතුව තිබිණි. අභියාචනාධිකරණය ද මේ බව ඉතා පැහැදිලිව ප්‍රකාශ කර තිබිණි. රටක පොලිස්පතිවරයකු නීතියට අවනත නොවීම බරපතළ ක්‍රියාවක් බව එහිදී පැහැදිලි ලෙස සඳහන් විය.
මින් අනතුරුව හෝ පොලිස්පතිවරුන් සඳහා මෙවැනි “ජෝකර්”ලා පත් නොකිරීමට රටේ සියලු නායකයන් දැනගත යුතුය. නීතියට අවනත නොවන පොලිස්පතිවරයකුගෙන් රටේ මහජනතාවට ආරක්ෂාව සැලසෙනු ඇතැයි බලාපොරොත්තු වීමත් විහිලුවකි.