වත්මන් බ්‍රිතාන්‍ය ආණ්ඩුව එරට ජනතාවට ලබාදුන් මැතිවරණ පොරොන්දුවක් ඉටුකිරීමට ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන්ට සම්බාධක පනවමින් රාජ්‍ය තාන්ත්‍රිකමය වශයෙන් මහා විකාරයක් කර තිබේ. මහා බ්‍රිතාන්‍යය මෙතෙක් ප්‍රසිද්ධව සිටියේ අකුරට නීතිය ක්‍රියාත්මක කරන නීතියේ ආධිපත්‍යය වෙනුවෙන් පෙනී සිටින රටක් හැටියටය. එවැනි රටකින් මෙවැනි ආකාරයේ කැකිල්ලේ තීන්දුවක් කිසිදු රටක් කොහෙත්ම බලාපොරොත්තු වන්නේ නැත. එවැනි තීන්දුවකින් බ්‍රිතාන්‍යය ලොවට ප්‍රකාශ කර ඇත්තේ තමන්ගේ ඡන්ද පොරොන්දුවක් ඉටුකිරීමට ශ්‍රී ලංකාව වැනි කුඩා රටවල් “පාපන්දුවක්” කරගැනීමට වුවද නොපැකිලෙන බවකි. එය බ්‍රිතාන්‍යය වැනි “හිරු නොබසින අධිරාජ්‍යයකට” නොගැලපෙන බෙදුම්වාදී ත්‍රස්තවාදී ක්‍රියාවලට උඩගෙඩි දීමකි.
මේ සම්බාධක පැනවීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් බ්‍රිතාන්‍ය විදෙස්, පොදුරාජ්‍ය මණ්ඩලීය සහ සංවර්ධන කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම් ඩේවිඩ් ලැමී ප්‍රකාශ කර තිබුණේ ශ්‍රී ලංකාවේ හිටපු යුද හමුදාපතිවරුන් වන ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, ජෙනරාල් ජගත් ජයසූරිය සහ හිටපු නාවික හමුදාපති අද්මිරල් වසන්ත කරන්නාගොඩ තිදෙනාටත් හිටපු එල්.ටී.ටී.ඊ. නායකයකු වන විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන්ටත් එරෙහිව මේ සම්බාධක පනවනු ලබන්නේ 2024 ජූලි මාසයේදී පැවැති මහ මැතිවරණයේදී බ්‍රිතාන්‍යය ජනතාවට ලබාදුන් පොරොන්දුවක් ඉටු කිරීමක් වශයෙන් බවයි. අතීත මානව හිමිකම් කඩකළ සහ හිංසන සිදුකළ පුද්ගලයන්ට වගවීමෙන් මිදීමට බ්‍රිතාන්‍යය ඉඩ නොතබන බවත් ඒ අනුව යමින් හිටපු හමුදාපතිවරුන්ට සහ එල්.ටී.ටී.ඊ. හිටපු ජ්‍යෙෂ්ඨයකුට එරෙහිව සම්බාධක පැනවූ බවත්ය. එසේම මානව හිමිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ නව රජයක් සමඟ කටයුතු කිරීම තමන්ගේ අභිලාෂය වන බවද එහි සඳහන්ය.
දැනට වසර 16 කට පෙර අවසන් වූ සිවිල් යුද්ධයකදී සිදුවූ බව කියන මානව හිමිකම් චෝදනා කඩකිරීම් හා හිංසන ක්‍රියා මේ සම්බාධක පැනවූ බවට හේතුව වශයෙන් දක්වා තිබේ. එසේ වුවද බ්‍රිතාන්‍යය ගෙන ඇති පියවර සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් රජය ප්‍රකාශ කරන්නේ එය බ්‍රිතාන්‍යය රජය මගින් ගන්නා ලද ඒකපාර්ශ්වික පියවරක් බවත් එවැනි පියවර ශ්‍රී ලංකාවේ දේශීය සංහිඳියා ක්‍රියාදාමයට කිසිදු සහායක් නොදක්වන බවත්ය. එම තත්ත්වය තවදුරටත් ව්‍යාකූල කිරීමට එය ඉවහල් වනු ඇති බවත් වගවීම හා සංහිඳියාව පිළිබඳ දේශීය යාන්ත්‍රණ ශක්තිමත් කිරීමේ ක්‍රියාවලියක රජය නිරතව සිටින බවත් රජය දැනුම් දී තිබේ. අතීතයේදී සිදුවූ යම් මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ඇතොත් ඒවා පිළිබඳව දේශීය වගවීම් යාන්ත්‍රණය හරහා කටයුතු කෙරෙන බවත් සඳහන්ය.
යුද්ධය පැවති කාලයේ ජනාධිපති වූ මහින්ද රාජපක්ෂ මහතා ද බ්‍රිතාන්‍යය ගෙන ඇති තීන්දුවට තද පිළිතුරක් ලබා දෙමින් ප්‍රකාශ කර තිබුණේ බ්‍රිතාන්‍යය රජය නගන චෝදනා කිසිවක් ඔප්පු කර නැති චෝදනා බවයි. යුද්ධය පිළිබඳ තීන්දු ගත්තේ රටේ නායකයා වශයෙන් තමන් බවත් හමුදා නිලධාරීන් සිදු කළේ එම තීන්දු ක්‍රියාත්මක කිරීම බවද මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබිණි.
බ්‍රිතාන්‍යය වැනි බලවත් රටවල් තමන්ගේ හිතමිතුරු බලවත් රටවල් සිදු කරන මානව හිමිකම් කඩකිරීම්, හිංසන ක්‍රියා සම්බන්ධයෙන් කවදාවත් කතා කරන්නේ නැත. එපමණක් නොව තමන්ගේ රටේ හමුදා නිලධාරීන් විසින් සිදු කරන රජයේ අණ පිළිපැදීම්වලදී සිදුවන නීති කඩකිරීම්වලදී ඔවුන් ආරක්ෂා කිරීම සඳහා ඉතා ශක්තිමත් නීති හඳුන්වාදීමටද පියවර ගෙන තිබේ. එසේ තමන්ගේ හමුදාවලට එරෙහිව එක ඇඟිල්ලක් දිගු කිරීමට ඉඩ නොතබන බ්‍රිතාන්‍යය ශ්‍රී ලංකාව වැනි කුඩා රටකට මේ ආකාරයට කෙනෙහිලිකම් කිරීම රාජ්‍ය තාන්ත්‍රික මට්ටමට පවා නොගැලපෙන්නකි.
මෙය වඩාත් කැපී පෙනෙන්නේ තමන් මේ අවස්ථාවේදී අදාළ තීන්දුව ගත්තේ පසුගිය මහ මැතිවරණයේදී තමන්ගේ ඡන්දදායකයන්ට ලබාදුන් පොරොන්දුවක් ඉටුකිරීමක් වශයෙන් බව පැවසීම හේතුවෙනි. මේ පොරොන්දුව ලබාදුන්නේ බ්‍රිතාන්‍යයේ පදිංචි දෙමළ ඩයස්පෝරාවේ ඡන්දය ලබා ගැනීම සඳහා බව ප්‍රකට රහසකි. ගාසා තීරයේ සිදුවන ඉතා දරුණු මානව හිමිකම් කඩකිරීම් සිදුවීම් දෙස ඇස ඇර නොබලන බ්‍රිතාන්‍යයට ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩකිරීම් වසර 20 කට පමණ පසු මතක් වෙන්නේ දෙමළ ඩයස්පෝරාව පිනවීම සඳහා බවට වෙනත් සහතිකයක් අවශ්‍ය නැත.
කෙසේ වුවද ශ්‍රී ලංකාවද යුද සමයේ සිදුවීම් සම්බන්ධ නැගුණු චෝදනා විභාග කර බැලීම සඳහා දේශීය යාන්ත්‍රණයක් හරහා කටයුතු කර තිබිණි නම් මෙවැනි අපවාදවලට මුහුණදීමට සිදු නොවන බවද පෙන්වා දිය යුතුය.