2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා

“සෝලා” විදුලියට කපන්නේ ගල්අඟුරු මාෆියාවද?

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00 4

විදුලිබල මණ්ඩලය සාමාන්‍යයෙන් ජනතාවට දෙන්නේ ඇඟ හිරිවට්ටන කතාය. එහෙත් පසුගිය අලුත් අවුරුදු දිනවලදී මණ්ඩලය කියා තිබුණේ වෙනස් කතාවකි. එහි මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු ධම්මික විමලරත්න මහතා අපගේ සහෝදර ලංකාදීප පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ අලුත් අවුරුදු උත්සව සමයේ මහා පරිමාණ ජල විදුලි බලාගාර සහ “සෝලා” පැනල මගින් පමණක් ජාතික විදුලි පද්ධතිය ක්‍රියාත්මක කළ බවය. එම දිනවල සියලුම ඉන්ධන බලාගාර සහ නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයේ එක ජනක යන්ත්‍රයක්ද අක්‍රීය කර තැබුණු බවද ඔහු කියා තිබිණි.

මේ පියවර ගැනීමට සිදුවූයේ උත්සව සමයේදී විදුලි ඉල්ලුම සැලකිය යුතු මට්ටමකින් පහත වැටීම හේතුවෙන් විදුලි බල පද්ධතිය සමතුලිතව පවත්වාගෙන යාම සඳහා බවත් සඳහන් විය. අපගේ ජාතික විදුලි බල පද්ධතියේ සමතුලිතතාව පිළිබඳ කතා කරන විටත් පාරිභෝගිකයන්ගේ ඇඟපත හිරිවැටෙයි. මේ සමතුලිතතාව බිඳවැටීම රටේම විදුලි පද්ධතිය බිඳ වැටීමටද හේතු වන බව දැන් ඔවුන් අත්දැකීමෙන්ම දන්නා බැවිනි. පසුගිය දිනවල සිදුවූ බිඳවැටීම වඳුරකු පිටින් ගියත් සිද්ධ වුණේ එය බව මණ්ඩලය පසුව රටට දැනුම් දීමට තරම් “කාරුණික” විය.

සාමාන්‍යයෙන් ඕනෑම පාරිභෝගික භාණ්ඩයක හෝ සේවාවක හෝ ඉල්ලුමට වැඩි සැපයුමක් තිබීම පාරිභෝගිකයාට ගෙන දෙන්නේ වාසියකි. නමුත් විදුලිය සැපයුම එසේ නොවන බව දැන් අපි දැන සිටිමු. එහිදී වැඩි සැපයුමක් එකතුවීම යනු එකවිට දිවයින පුරාම විදුලිය විසන්ධි වීමට හේතු විය හැකි දැඩි අවදානමකි. මේ අවදානම පිළිබඳ දැන සිටින මණ්ඩලය ද යළිත් වරක් “අත පුච්චා” ගැනීමට නොයා කල් තබාම විදුලිය පාරිභෝගිකයන්ගෙන් ඉල්ලීමක් කර තිබුණේ 13 වැනිදා සිට 21 වැනිදා දක්වා සෑම දිනකම වහළ මත සවිකර ඇති සූර්ය පැනල පද්ධති අක්‍රීය කරන ලෙසටය. පසුව සඳහන් කර තිබුණේ මණ්ඩලය මගින් කෙටි පණිවුඩයක් හරහා දැනුම් දෙන දිනවලදී පමණක් එම විසන්ධි කිරීම සිදු කිරීම ප්‍රමාණවත් බවය.

ගල්අඟුරු බලාගාර මෙන්ම ඩීසල් බලාගාරවලත් සැපයුම අත්හිටුවීම ජාතික විදුලි උත්පාදන වියදම සෑහෙන තරමකට සැහැල්ලු කිරීමකි. මේ ආකාරයට අතිරික්ත සැපයුමක් ඇතිවීමට හේතුව පසුගිය කාලය තුළදී වහළ මත සවි කරන සූර්ය පැනල ඇතුළු පුනර්ජනනීය විදුලි බල ජනනය හරහා ජාතික පද්ධතියට විදුලිය එකතු වීමය. නමුත් එම පුනර්ජනනීය විදුලිය උත්පාදනය, විශේෂයෙන් “සෝලා” පද්ධති අධෛර්යවත් කරන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් පවතින බවට පසුගිය දිනවල විශාල කථිකාවක් ගොඩනැගිණි. එවැනි කථිකාවක් සූර්ය පැනල භාවිතයට හුරුවෙමින් පවතින රටකට සුදුසු නැත. එය තමන්ගේ වහළයෙන් ජාතික බල පද්ධතියට පවා විදුලිය ලබාදීමට තරම් වර්ධනය වෙමින් තිබෙන විදුලි බල උත්පාදන ක්‍රියාවලියක් අඩපණ කර දැමීමක් බව බලශක්ති ක්ෂේත්‍රයේ ඇතැම් විශේෂඥයන්ගේ මතය ද වෙයි.

මෙවැනි පියවරක් අනුගමනය කිරීමට සිදුව ඇත්තේ විදුලිය ඉල්ලුමට වඩා සැපයුම වැඩිවීම වළක්වා ගැනීමේ පියවරක් වශයෙන් බවට මණ්ඩලය කරන ප්‍රකාශය තාක්ෂණික වශයෙන් සත්‍යයක් වුවද එයින් සිදුවන්නේ අඩුම මුදලකින් උත්පාදනය වන විදුලියට අවහිර කිරීමකි. බාධා පැමිණවීමකි. ගල්අඟුරු, ඩීසල් සහ නැප්තා සංයුක්ත චක්‍ර බලාගාර හරහා නිපදවන විදුලියට දැරීමට සිදුවන අධික නිෂ්පාදන වියදම අඩු කිරීමට හේතු වන “සෝලා” විදුලියට අවහිර කිරීම රටේ විදුලිය පාරිභෝගිකයාගේ පැත්තෙන් විශාල අවාසියකි. ඔවුන්ට දිගින් දිගටම අධික විදුලි බිලක් ගෙවීමට බල කිරීමකි. මේ තත්වය මණ්ඩලය අවබෝධ කරගත යුතුය. ඔවුන් සැලසුම් හැදිය යුත්තේ සෝලා විදුලියට රුකුල් දීමට මිස එය අඩපණ කර දැමීමට නොවේ.

මෙවැනි තත්වයක් ඇතිවන්නේ සෝලා විදුලිය ගබඩා කිරීමට හැකියාවක් නොමැතිවීම බව කියති. එසේ නම් මණ්ඩලය කල් තබාම සිදු කළ යුතුව තිබුණේ පුනර්ජනනීය විදුලිය උත්පාදනයෙන් ඉහළ වර්ධනයක් ඇති කරගෙන සිටින සෙසු රටවල් ආදර්ශයට ගනිමින් අතිරික්ත සෝලා විදුලිය ගබඩා කිරීමට සුදුසු ක්‍රමවේදයක් කල් තබාම සැකසීමයි. නමුත් ඒ වෙනුවට ඔවුන් කර ඇත්තේ වඩාත් පහසුම ක්‍රමය වන සෝලා විදුලියේ ස්විච් එක නිවා දැමීමට කටයුතු කිරීමයි.
මෙය ගල්අඟුරු මාෆියාවේ මෙහෙයුමක්ද යන්න දැන් රටේ ජනතාවගේ සැකයයි. එය එසේ නොවන බව පෙන්වීමේ වගකීම විදුලිබල මණ්ඩලය සතුය.

 

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00