2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා

දේශද්‍රෝහීන් ජාතික වීරයන් කිරීම

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00 5

සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් කිව්වම වැඩි දෙනකුට මේ නම නිච්චි නැත. හැබැයි පිල්ලෙයාන් කිව්වොත් නොදන්නා කෙනෙක් නැත. හැම ආණ්ඩුවක් යටතෙම වගේ “චරිතයක්” වෙලා හිරේ ගිය, එළියට ආව මේ පිල්ලෙයාන් දැන් වත්මන් මාලිමා ආණ්ඩුව යටතෙත් පුවත් මවන්නෙක් වුණේ ඔහු මඩකලපුවටම ගොස් සී.අයි.ඩිය මගින් අත්අඩංගුවට ගැනීමෙන් පසුවය. කොළඹ ගෙනා පිල්ලෙයාන් තවත් ප්‍රසිද්ධ වුණේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පිල්ලෙයාන්ට දුරකථනයෙන් කතා කිරීමට අවසර ඉල්ලීමේ කතාව සමඟිනි. ඔහුට ඒ අවස්ථාව නොලැබිණි. නමුත් පිල්ලෙයාන් වෙනුවෙන් තමන් පෙනී සිටින බව ප්‍රකාශ කළ පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිලට ඒ අවස්ථාව ලැබුණි. ඔහු පිල්ලෙයාන් හමුවී සාකච්ඡා කර එළියට පැමිණ මාධ්‍ය සාකච්ඡාවක්ද තැබුවේය. “පිල්ලෙයාන් කියන්නේ කොටි සංවිධානය අතහැරලා අපේ හමුදාව එක්ක බෙදුම්වාදයට එරෙහිව ජීවිතය පරදුවට තියලා සටන් කරපු දේශප්‍රේමියෙක්” බවද එහිදී ගම්මන්පිල කිව්වේය. “මේ රටේ කොටි ත්‍රස්තවාදය අවසන් කරන්න පිල්ලෙයාන් කළ තීරණාත්මක කාර්යභාරයට ඔහු ජාතික වීරයකු ලෙස සලකන්න ඕනෑ” බවත් ගම්මන්පිල කීය.

ගම්මන්පිල කියන මේ “දේශප්‍රේමී”, “ජාතික වීරයකු” වන පිල්ලෙයාන් කියන්නෙ කවුද? ඇයි ඔහු දැන් අත්අඩංගුවේ ඉන්නේ? මේ ගැන හොයාගන්න පිල්ලෙයාන්ගේ අතීතය ගැන දැනගත යුතුය.

කෙටියෙන් කිව්වොත් පිල්ලෙයාන් මඩකලපුවේ කල්කුඩා අසල ගමක උපත ලබා අවුරුදු 16 දී කොටි සංවිධානයට බැඳුණු “ළමා” කොටි සොල්දාදුවෙකි. ඔහු සා.පෙ. දක්වා ඉගෙනුම ලබා තිබියදී කරුණා හෙවත් විනයාගමූර්ති මුරලිදරන්ගේ මගපෙන්වීමෙන් කොටි සංවිධානයට එක් වී තිබේ. පාසලේ දී ක්‍රිකට්, පිහිනුම් සහ වොලිබෝල් ක්‍රීඩා සඳහා දස්කම් දැක්වූ බවද සඳහන්ය.

2004 දී ප්‍රභාකරන් සමඟ ගැටුමක් ඇතිකරගත් කරුණා කොටි සංවිධානයෙන් කැඩී ගොස් නැගෙනහිර බලය අල්ලාගත්තේ පිල්ලෙයාන් සමඟිනි. මේ කරුණා පාර්ශ්වයට කොටි සෙබළුන් 1000කට අධික පිරිසක් හිටියත් ඒ කණ්ඩායමේ දෙවැනියා කරගත්තේ පිල්ලෙයාන්ය. කෙසේ වුවද ප්‍රභාකරන්ට පක්ෂපාතී නැගෙනහිර කොටින් කරුණා පාර්ශ්වයට පහර දී ඔවුන් පරාජය කර නැගෙනහිර දකුණු කෙළවරටම තල්ලු කර දැම්මේය. කරුණා ශ්‍රී ලංකා හමුදාවට එකතු වූයේ ඒ වෙලාවේදීය. හමුදාවට කරුණා ඉතා ප්‍රබල උපායමාර්ගයක් විය. කරුණා තමිල් මක්කල් විදුතලයි පුලිකල් (ටී.එම්.වී.පී.) වශයෙන් දේශපාලන පක්ෂයක්ද පිහිටුවාගෙන තිබූ අතර එහි කාර්යාල මඩකලපුවේ සහ කොළඹත් පිහිටුවා ගැනීමට ද සමත් විය.

නමුත් 2007 දී කරුණා සමඟ ගැටුම් ඇතිකරගත් පිල්ලෙයාන් තම සගයන් සමඟ එක්වී කරුණා පක්ෂයෙන් එළවා දැම්මේය. කරුණා රටින් පැන ගොස් එංගලන්තයට ගියත් ඔහු එහිදී සිරගත කෙරුණි. ඒ අතර පිල්ලෙයාන් මඩකලපුවේ ටී.එම්.වී.පී. පක්ෂ නායකයා වශයෙන් තුවක්කු අතහැර දේශපාලනයට එකතු විය. ඒ වනවිට හමුදාව මඩකලපුවේ සම්පූර්ණ පාලනය අතට ගෙන තිබූ බැවින් එහි 2008 මාර්තුවේ පළාත් පාලන මැතිවරණය පැවැත්විණි. පිල්ලෙයාන් නැගෙනහිර මඩකලපුවේ පළාත් පාලන ආයතන 09ම බලය ලබා ගැනීමට සමත් විය. ඒ සමඟ රජය නැගෙනහිර පළාත් සභා ඡන්දය ප්‍රකාශයට පත් කළේය.

මැයි මස 10 වැනිදා පැවැත්වූ එම මැතිවරණයේදී පිල්ලෙයාන් තරග කළේ මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතු එක්සත් ජනතා නිදහස් සන්ධානය සමඟ එකතු වෙලාය. ආණ්ඩුව ඡන්දය දිනූ අතර වැඩිම මනාප ලබා සිටි පිල්ලෙයාන් නැගෙනහිර මහ ඇමැති ධුරයට පත් කරනු ලැබුවේ නැගෙනහිර ප්‍රථම මහ ඇමැති වශයෙනි. කෙසේ වුවද ඔහුට 2012 දී මහ ඇමැති ධුරය අහිමි විය.

මෙහෙම රාජපක්ෂලා සමඟ දේශපාලනය කරමින් හිටපු පිල්ලෙයාන් මුලින්ම පොලිස් අත්අඩංගුවට පත්වෙන්නේ 2015 ඔක්තෝබර් 09 වැනිදාය. 2005 දෙසැම්බර් 25 වැනිදා, නත්තල් දිනයේ දී මඩකලපුවේ හිටපු ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයකු වූ ජෝශප් පරරාජසිංහම් මහතා ඝාතනය කිරීම ඔහුට එරෙහි චෝදනාව විය. ඉන් පසුව ඔහුට එරෙහිව නඩුව විභාගයට ගනිමින් තිබියදී 2021 ජනවාරි 13 වැනිදා මඩකලපුවේ මහාධිකරණය මගින් එම ඝාතනයට චෝදනා ලබා සිටි පිල්ලෙයාන් ඇතුළු පස්දෙනාම නිදහස් කරනු ලැබූහ. හේතුව වශයෙන් දැක්වුණේ අදාළ නඩුව සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව තවදුරටත් කටයුතු නොකරන බව උසාවියට කළ දැනුම් දීමයි.

කොහොම වුණත් පිල්ලෙයාන් නිදහස් කිරීම පසුපස කොළඹ සිට ක්‍රියාත්මක වූ රහසිගත දේශපාලන මෙහෙයුමක් තිබූ බවටත් එවකට සිටි බලවත් දේශපාලනඥයෙක් පිල්ලෙයාන් නිදහස් කිරීමේ කාර්යය පසුපස සිටින බවටත් විවිධ කතා පැතිරුණි. පිල්ලෙයාන් නිදොස් වී එළියට පැමිණ මාධ්‍ය සාකච්ඡාවක් තිබ්බේය. “මාව හිරේ දැම්මේ යහපාලන ආණ්ඩුවයි. ඒක කළේ ආණ්ඩුවට සහාය දක්වන දෙමළ ජාතික සන්ධානය සතුටු කරන්න. මට හිරේ යන්න වුණේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා නිසයි. මේ නඩුවෙන් මම නිදහස් වෙනවා කියලා දැනගෙන හිටියා. මම පරරාජසිංහම් කෙනෙක් කවදාවත් දැකලා නැහැ. මාව හිරේ දැමීමට සුමන්තිරන් සහ මංගල සමරවීර සම්බන්ධයි.”

ඒ වගේම දළදා මාලිගාවට සිදුකළ කොටි ප්‍රහාරය සම්බන්ධයෙන් තමා සමාව ඉල්ලන බවද වරක් ඔහු සඳහන් කර තිබිණි. ඊට පස්සේ 2020 පාර්ලිමේන්තු මැතිවරණයෙන් මඩකලපුව නියෝජනය කරමින් පිල්ලෙයාන් පාර්ලිමේන්තුවට ආවේය. නියෝජ්‍ය අමාත්‍ය ධුරයක් ද හිමිවිය. පිල්ලෙයාන්ට රාජපක්ෂලාගේ දේශපාලන සහාය ලැබෙන බව ප්‍රසිද්ධ රහසක් විය.

ඉන් පසුව රටේ ඇතිවූ දේශපාලන කැළඹීම් මැද යළිත් පිල්ලෙයාන් මතු වූයේ පාස්කු ප්‍රහාරයට ඔහු සම්බන්ධ බවට චෝදනා කරමින් මතභේදාත්මක චැනල් 04 නාළිකාවේ විකාශය වූ වැඩසටහන හේතුවෙනි. පිල්ලෙයාන් එම චෝදනාව ප්‍රතික්ෂේප කළේය.

රාජපක්ෂ ආණ්ඩුවලින් හැර සෙසු ආණ්ඩුවලින් පිල්ලෙයාන්ට ගැලවීමක් නැති බව සනාථ කරමින් මාලිමා ආණ්ඩුව යටතේද ඔහු අත්අඩංගුවට පත්ව සිටී. මෙවර එම අත්අඩංගුවට පත්වීමේ අවසානය කෙසේදැයි දැන්ම කිව නොහැක. හැබැයි ඔහුගේ අත්අඩංගුවට පත්වීම ඇතැම් දේශපාලන නායකයන් තුළ දැඩි කැළඹීමක් ඇතිකර තිබෙන බව නම් පැහැදිලිය. ඔහුව අත්අඩංගුවට ගැනීමට පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවට කතාවක් තිබුණත් ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ 2006 වසරේ දෙසැම්බර් 15 කොළඹ දී සිදුවූ පුද්ගල පැහැර ගැනීමක් සම්බන්ධයෙන් බව කියති. මේ පුද්ගලයා නැගෙනහිර සරසවියේ උප කුලපතිව සිටි මහාචාර්ය රවීන්ද්‍රනාත්ය.

එදා රනිල් වික්‍රමසිංහ අගමැතිව සිටියදී ඇතිකළ සාම ගිවිසුම හේතුවෙන් කොටි සංවිධානය දෙකඩ වී ගොස් කරුණා - පිල්ලෙයාන් හමුදාවට සහාය දක්වන තැනකට තල්ලු වුණත් ඒ සියලු දෙනා දේශද්‍රෝහීන් වශයෙන් හංවඩු ගැසූ, ඒ වගේම දළදා මාලිගාවට බෝම්බ ගැසූ අපරාධකරුවන් වශයෙන් එදා පිල්ලෙයාන්ව පට්ටගැසූ ගම්මන්පිලලා අද පිල්ලෙයාන්ලා ජාතික වීරයන්, දේශප්‍රේමීන් කිරීම කියවාගත යුත්තේ මේ පසුබිම ඇසුරිනි. බලාගෙන ගියාම හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට කියන කතාවත් ඇත්තය.

• ශශීන්ද්‍ර