2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා

කොන්ත නෝනගෙ කොණ්ඩෙ වෙච්චි ට්‍රම්ප්ගෙ බද්ද

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00 31

අමෙරිකානු ජනාධිපතිවරයා කවදත් හැඳින්වූයේ “ලෝක පොලිස්කාරයා” වශයෙනි. ලෝකයේ මොන රටක මොන විදියේ අලකලංචියක් ඇතිවුණත් අමෙරිකාවේ අත ඒ යටින් තිබෙන බවට වන හැඟීමක් ලෝ පුරා ජනතාව අතර පැතිර තිබීම ඊට හේතුවය.
ඒ අතින් බැලුවොත් ඩොනල්ඩ් ට්‍රම්ප් “ලෝක පොලිස්කාරයා” නොව “ලෝක පොලිස්පති” නමට වඩාත් ගැලපෙන්නේය. ඒ තරමට ඔහු ට්‍රම්ප් බද්ද වශයෙන් බොහෝ රටවල් හඳුන්වන අමෙරිකාවේ නව අන්‍යොන්‍ය බදු ක්‍රමයෙන් ලෝකයම සසල කර තිබේ. මේ බද්ද හේතුවෙන් ශ්‍රී ලංකාව වැනි කුඩා ආර්ථිකයක් පවතින රටවල ආර්ථිකය හතර ගාතෙන් වැටීමට තිබෙන ඉඩකඩ වැඩිය. එම බදු ක්‍රමය ක්‍රියාත්මක වීම මේ ලෝක පොලිස්කාරයා විසින්ම කල් දැමීමේ වාසිය අපේ රටේත් ආර්ථිකයේ පණ නල ගැටගසා ගැනීම සඳහා කිසියම් ඉඩකඩක් විවර කර දී තිබේ. ඒ ගැන සාකච්ඡාවට මේ වනවිට ජනාධිපති අනුර කුමාර මහතා විසින් පත් කරන ලද දූත පිරිස අමෙරිකාව බලා පිටත්ව ගොස් සිටී.

රටේ ආර්ථික කළමනාකරණයේදී මුහුණ දීමට සිදුවන වඩාත්ම බලවත් අභියෝගය වන්නේ අනපේක්ෂිත ප්‍රහාරයකට මුහුණ දීමට සිදුවීමයි. මෙවැනි ප්‍රහාරයක් සෞඛ්‍ය පැත්තෙන්, යුද්ධයක් ආකාරයෙන් හෝ ස්වභාවික ආපදාවක් වශයෙන් හෝ පැමිණිය හැක. සෞඛ්‍ය පැත්තෙන් කොවිඩ් වසංගතය හරහා වැදුණු ප්‍රහාරයෙන් ලොවේම ආර්ථිකය අඩපණ විය. අපේ රටට ද එය හෙණයක් විය. රුසියා - යුක්රේන යුද්ධයත් ඊශ්‍රායල් - හමාස් යුද්ධයත් ලෝකයේ ආර්ථිකය දැඩි අවිනිශ්චිත තැනකට තල්ලු කරමින් තිබේ. ස්වභාවික ආපදාවක් වශයෙන් අපේ රටට 2004 දී ඇතිවූ සුනාමිය රටේ ආර්ථිකයට මරු පහරක් විය. එය මේ රට මුහුණ දෙමින් සිටි සියලු ගැටලුවලින් මිදීමට අවස්ථාවක් කර ගත හැකිව තිබුණත් මේ රට තුළ අරක්ගෙන ඇති බල ලෝභයෙන්, කුමන්ත්‍රණකාරී වැඩවලින් සහ දූෂිත ක්‍රියාවලින් ජරාජීර්ණ වී තිබූ දේශපාලන වාතාවරණය විසින් ඒ අවස්ථාව ඉතා සාහසික ලෙස ඉවත් කර දැමුණු බවද මෙහිදී සිහිපත් කළ යුතුය.

ට්‍රම්ප්ගේ බදු පැනවීම ද අපේ රටට වැදුණේ ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නාක් වැනි ආකාරයටය. ආර්ථික අර්බුදය හේතුවෙන් බංකොලොත් වූ රට යාන්තමින් එම තත්වයෙන් ගොඩ එමින් කිසියම් ධනාත්මක තත්වයකට හැරෙමින් තිබුණා පමණි. එම අර්බුදයෙන් තවදුරටත් ගොඩ ඒමට නම් අපගේ අපනයන ආදායම වැඩිකර ගැනීමත් අලුත් ආයෝජන අවස්ථා ආකර්ශනය කර ගැනීමත් අත්‍යාවශ්‍ය කොන්දේසි වෙයි. නමුත් ට්‍රම්ප්ගේ බද්ද මේ අවස්ථා දෙකම ශ්‍රී ලංකාවට අහිමි කිරීමට බරපතළ තර්ජනයක් එල්ල කර තිබේ. අපගේ අපනයන ආදායමෙන් 12% ක් පමණ අමෙරිකාව සමඟ කරන වෙළෙඳාම මත රැඳී තිබෙන අතර එයින් 7% ක් පමණ ඇඟලුම් නිෂ්පාදනය මත රැඳී තිබේ. ඇඟලුම් කර්මාන්තයට පහර වදිනවා කියන්නේ අපේ රටේ රැකියා ලක්ෂ ගාණක් අනතුරේ හෙළීමකි.

මේ අල්ල පනල්ලේ අපගේ නිෂ්පාදනවලට වෙනත් වෙළෙඳපොළක් සොයා ගැනීමද පහසු නැත. ට්‍රම්ප්ගේ බද්දේ කම්පනයෙන් කරකවා අතහැරි තත්වයකට වැටී සිටින බොහොමයක් රටවල් තමන්ගේ රටවලට භාණ්ඩ ගෙන්වා ගැනීම පිළිබඳ මේ අවස්ථාවේ ඉක්මන් තීරණ ගන්නේ නැත. තවත් අතකින් අමෙරිකාව අපගේ ඇඟලුම් සහ වෙනත් භාණ්ඩ මිලදී ගැනීමේදී ලබා දෙන මිල වෙනත් රටවලින් ලැබෙන්නේ ද නැත. එවැනි කෙටි කාලීන විසඳුම් සෙවීම ප්‍රායෝගික නොවන බැවින් ට්‍රම්ප්ගේ බදු ගනුදෙනුව බේරාගත යුත්තේ ට්‍රම්ප්ගේ පාලනය සමඟින්ම පමණි. ඒ සඳහා වෙනත් සුදුසු විකල්පයක් දැනට නම් පෙනෙන්නට නැත.

මේ ගැන වෙරිටේ රිසර්ච් ආයතනය ද ප්‍රකාශයක් කරමින් සඳහන් කර තිබුණේ අමෙරිකාව සමඟ සෙසු රටවල් හා එක්ව සන්ධානයක් වශයෙන් සාකච්ඡාවට යාම තනිව ගිවිසුමකට එළඹීමට වඩා සුදුසු බවය. වෙනත් රටවල් පමණක් නොව ලෝක වෙළෙඳ සංවිධානය සමඟ වුවද එක්ව කටයුතු කිරීම සඳහා රජය උනන්දු විය යුතු බවය.

කොන්ත නෝනගෙ කොණ්ඩෙ කොන්ත නෝනට ඕනෑ හැටියට කිව්වා වගේ මෙහි අවසන් විසඳුම ඇත්තේ අමෙරිකාව අතේ බව යන්න යථාර්ථයයි. බද්ද හේතුවෙන් අමෙරිකාව සහ චීනය අතර දැන් ඇතිව තිබෙන වෙළෙඳ යුද්ධයෙන් ජය ගන්නේ කවුද යන්න ගැන කල් තබා අනාවැකි කීමට හැකියාවක් නැත. චීනය මේ ගනුදෙනුව බේරා ගන්නා ආකාරය ශ්‍රී ලංකාවට අදාළ කරගත නොහැක. එහෙත් චීනය ඇතුළු සෙසු බලවත් රටවල් ද අමෙරිකානු ජනතාව ද නගන හඬට කන් දී ට්‍රම්ප් මේ බද්ද තවදුරටත් කල් දැමීමට බැරි නැත. එහෙම හරි ගැටලුවට ඉක්මන් විසඳුමක් නොලැබුණොත් ශ්‍රී ලංකාව වැනි කුඩා රටවලට අබ සරණය.