2017 ජුලි 08 වන සෙනසුරාදා

ලබිබට තිබ්බ අත පුහුලටත් තියනවද?

 2017 ජුලි 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 837

මහාචාර්ය රොහාන් සමරජීව

බොහොමයක් ක්ෂේත්‍ර ගැන හොඳ වැටහීමක් තියෙන ඔබ දකින විදිහට මේ ආණ්ඩුව දැන් යන පාර හරිද?

ආණ්ඩුවක් ඉදිරියට ගමන් කරද්දී පියවර තුනක් තියෙනවා. මුලින් ප්‍රශ්න ගැන විග්‍රහයකුත් දෙවනුව එම ප්‍රශ්න සඳහා විසඳුමුත් තියෙන්න ඕනෑ. තෙවනුව ඒ විසඳුම් ක්‍රියාත්මක කළ යුතුයි. මේ ආණ්ඩුවට වසර දෙකේ ගමනේ ප්‍රශ්න ගැන තිබෙන විග්‍රහයට මම දොස් කියන්නෙ නැහැ. දෙවැනි පියවර ලෙස එවන් ගැටලුවලට කළ යුත්තේ කුමක් ද කියලත් ආණ්ඩුව දන්නවා. ඒත් විසඳුම් ක්‍රියාත්මක කිරීමේ දී අඩුපාඩු තියෙනවා. නමුත් ආණ්ඩුට තව අවුරුදු දෙකක් තියෙන නිසා හරි පාරට වැටෙන්න තවමත් අවකාශයක් තියෙනවා.  

ක්‍රියාත්මක කිරීමේදි තිබෙන ආඩුපාඩු මොනවද කියලා නිදසුනකින් පැහැදිළි කළොත්?

ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් යන එක් රාජ්‍ය ව්‍යවසායට අවුරුද්දක බිලියන 30ක පාඩුවක් දරන අවස්ථාවේ රටේ ජනගහණයෙන් 40% කට බලපාන එහෙමත් නැත්තම් කුටුම්බ මිලියනයකට ප්‍රතිලාභ ලැබෙන මුළු සමෘද්ධියටම වියදම් කරන්නේ බිලියන 11යි (2011 දී). ඒක මට ප්‍රශ්නයක්. මේ ගුවන් සේවය මහජන මුදල් කාබාසීනියා කරන තත්ත්වයට ගෙනත් තියෙන්නේ රාජ්‍ය ව්‍යවසායක් වීම නිසා එහි ව්‍යූහය තුළින්ම නිලධාරීන් සහ දේශපාලනඥයන් ඇඟිලි ගැහීම හේතුවෙන්. 

දැන් මොකද්ද මේකට විසඳුම?

මගේ නිගමනය මේ ආයතනය විකුණා දැමීමෙන් තොරව සිදුවෙන පාඩුවෙන් බේරන්න විදිහක් නෑ. නමුත් ආණ්ඩුව යෝජනා කළේ පාලනය තමන් අතේ තියාගෙන වෙන කෙනෙක්ට ආයෝජකයෙක්ට කරන්න කියලයි. සල්ලි ආයෝජනය කරලා ඒ ආයතනය පාලනය කරන්න බැරිනම් කවුරුත් ඉදිරිපත් වෙන්නෙත් නැහැ. ආණ්ඩුව ප්‍රතිපත්තියෙන්ම ප්‍රශ්න ගැන නිවැරදිව විග්‍රහ කරගත්තාට විසඳුම ක්‍රියාත්මක කිරීමේ අන්තිම පියවරේදි නියම විසඳුමට ගියේ නෑ.

රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කරනවාය කියන චෝදනාවන්ට බය නිසාද එවැනි විසඳුම්වලට රජය යන්නෙ නැත්තේ?

චෝදනාවලින් බේරෙන්න ඕන නම් දේශපාලනයට නොගිහින් ගෙවල්වලම ඉන්න පුළුවන්. දේශපාලනයට යන්නේ ප්‍රශ්න විසඳන්න. ප්‍රශ්න විසඳද්දී යම් කොටසක් චෝදනා නගනවා. කවුරු හරි රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කරන්න එපා කියනවා නම් මම අහන්නේ මහජන මුදල් කාබාසීනියා කරන ආයතන පවත්වා ගැනීමෙන් ඔබලා ලබන අභිමානය කුමක්ද කියලයි. මේ ආණ්ඩුව ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් පාඩු ලබන්න හේතුව එහි තිබුණු දූෂණ, වැරදි තීන්දු ගැනීම් කියලයි කියන්නේ. ඊළඟට වැරදි විදිහට ගත්ත ගුවන් යානා ගැනත් කතා කරනවා. ඒගොල්ලො විරුද්ධ පක්ෂයේ සිටිද්දි තමයි වැරදි විදිහට ගුවන් යානා ගත්තේ. ඒකාලේ හොයලා බලන්න තිබුණා. දැන් මහා මුදල් කන්දරාවක් ගෙවනවා. වැරදි තීන්දු ගත්ත, වැරදි ආකාරයෙන් ගුවන් යානා ගත්තා නම් ඒ අය හිරේ දාන්නවත් ආණ්ඩුව මොකක් ද කරලා තියෙන්නේ? රාජ්‍ය ආයතන පාඩු වළක්වන එක ගැන මේ ආණ්ඩුව මොකුත් කරලා තියෙන බවක් මම දකින්නෙ නෑ.

සිල්ලර කතා පස්සෙ ආණ්ඩුව යන්න හොඳ නැහැ

විපක්ෂයෙන් හැම තිස්සෙම චෝදනා කරනවා මේ ආණ්ඩුව රට විකුණන්න හදනවා ආර්ථිකය විනාශ කරනවා වගේ චෝදනා. ඇයි මේ වගේ චෝදනාවලට ආණ්ඩුව ලක්වෙන්නේ?

ගැටලුව පැහැදිළි නොකළ නිසයි චෝදනා එල්ළ වෙන්නේ. ලොකු විභවයක් තියෙන හම්බන්තොට වරයෙන් රටට වාසියක් ලබා ගන්න නම් තවත් සෑහෙන ආයෝජන ප්‍රමාණයක් එහෙ කරන්න ඕනෑ. ඒ ආයෝජන ණය අරගෙන හරි විදේශ ආයෝජකයෙක් එක්ක හවුලේ හරි කරන්න පුළුවන්. ණයක් අරගෙන කළොත් අවදානම වැඩියි. හවුල් ව්‍යාපාරයේදී අවදානම හා පාඩුව අඩුයි. අවදානම බෙදාගන්න හොඳම කට්ටිය චීන ආයෝජකයෝ. මේ ආණ්ඩුව චීන ආයෝජකයෙක් හොයාගෙන 80:20 බෙදාගන්න අදහස් කළා. කලින් ආණ්ඩුව බහාලුම් පර්යන්ත අවදානම 80:15 බෙදාගන්න ගිවිසුම අත්සන් කළා. ඊට වඩා විශාල මුදලක් මෙතන වියදම් කරන්න තියෙනවා. ඒ වුණත් එච්චර මුදල් අපි ළඟ නෑ. ඒ බව පැහැදිළි කර දෙන්න වෙනවා. ආර්ථිකය කියන්නේ ආයෝජනය කරලා දියුණු කරලා ඉස්සරහට යන දෙයක්. ඒ නිසා රජය අවධානය යොමු කළ යුත්තේ සිල්ලර තර්කවලට නෙවෙයි අවදානමටයි.

ඔබ දියුණු විදෙස් රටවල අත්දැකීම් තියෙන කෙනෙක්, අද මේ රටේ උසස් අධ්‍යාපනය විශාල අර්බුදයක් වෙලා තියෙනවා. මොකක්ද මේ වෙලා තියෙන්නේ?

1980 ගණන්වල සිටම තෘතීය අධ්‍යාපන ක්ෂේත්‍රයේ පෞද්ගලික ආයෝජන තිබුණා. ඒ සන්දර්භයේම කොටසක් විදිහට දේශීය ව්‍යවසායකයෙක් වන වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා අලුත් ව්‍යාපාරයක් පටන්ගත්තා. ඊට එරෙහිව නැගෙන සංවාදයේ යම් අවුල් ස්වභාවයක් තියෙනවා. ඔවුන්ගේ තර්කය වෛද්‍ය සේවය සුවිශේෂි වන නිසා එහි ප්‍රමිතිය ඉතා වැදගත් ය යන්නයි. ප්‍රමිතිය ගැන මම එකඟ වුණාට වෛද්‍ය ක්ෂේත්‍රය විතරක් සුවිශේෂීයි යන කාරණයට මම එකඟ නැහැ. ඉංජිනේරුවරුන්ගේත් හෙදියන්ගේත් ගුවන්යානා නියමුවන්ගේත් අනෙකුත් ක්ෂේත්‍රවලත් ප්‍රමිති තියෙන්නෙ ඕනෑ. ඒ නිසයි සුවිශේෂී යන කාරණයට මම එකඟ නැත්තේ. 

ඇත්තටම ප්‍රමිතිය ප්‍රශ්නයක් නේද?

ප්‍රමිතියේ ප්‍රශ්නය නිසා සැපයුම්කරැවා රජයම විය යුතුයි යන කාරණයට මම එකඟ නෑ. එය පදනම් රහිත තර්කයක්. මොකද සියලුම ගුවන්නියමුවන් රජයෙන් පුහුණු කළ අය නොවෙයි. නමුත් වෛද්‍යවරුන්ගේ ප්‍රමිතිය බැලීමට රජය මැදිහත් විය යුතුයි. ඊට අමතරව අද සයිටම් ආයතනය ජනසතු කළොත් අනිත් ව්‍යාපාරවලට මොකද කරන්නේ කියන ප්‍රශ්නයක් නැගෙනවා. ලබ්බට තිබ්බ අත පුහුලටත් තියනවද? 

එතකොට පෞද්ගලික විශ්වවිද්‍යාල බිහිවීමෙන් රටකට වෙන්න පුළුවන් හොඳක්ද නරකක්ද?

මම හිතන්නේ හොඳක්. නමුත් නියාමන රාමුවක් තියෙන්න ඕනෑ. ප්‍රමිතිය ප්‍රශ්නයක් නිසා. ඒවගේම රාජ්‍ය විශ්වවිද්‍යාලත් සියලුම පීඨවල ප්‍රමිතිය මදියි කියලයි මම හිතන්නේ. රජයේ විශ්වවිද්‍යාලවලින් බිහිවෙන්නෙත් දුර්වල උපාධිධාරීන්. ළමයින්ගේ වරදක් නෙවෙයි රාජ්‍ය අධ්‍යාපනයේ තියෙන ප්‍රශ්න නිසා. ඒනිසා සියලුම දෙනාගේ ප්‍රමිතිය හදන්න නීති රාමුවක් වැඩපිළිවෙළක් රජය හදන්න ඕනෑ. රජයේ විශ්වවිද්‍යාලවලින් වුණත් ප්‍රමිතියෙන් තොර වෛද්‍යවරු බිහිවීම පුරවැසියන් විදිහට අපිට අනතුරක්.

මෙයාලට වැරදිකාරයො අල්ලගන්න බැහැ

මාස තුනකට පළාත් පාලන ඡන්දය තාක්ෂණික ප්‍රශ්නයක් නිසා කල්දාලා තියෙනවා. ඇයි මෙහෙම ආණ්ඩුව ඡන්ද කල් දාන්නේ. ඔබ හිතන විදිහට ඇත්තටම තාක්ෂණික ගැටලුවක් නිසාද දේශපාලනික හේතූන් නිසාද කල් දාන්නේ?

දිනේෂ් ගුණවර්ධන කමිටු යෝජනාවේ අත්තනෝමතිකව කළා යැයි කියන සීමා නිර්ණය විතරක් නෙවෙයි ඒ මුළු ක්‍රමයම සදොස් කියලා මම වගකීමෙන් කියනවා. එය කරලා තියෙන්නේ විදේශ පූර්වාදර්ශයන් සැළකිල්ලට නොගෙන. පක්ෂවල පාබල සේනාව වැඩිකරගැනීමේ උප්පරවැට්ටියක් විදිහට නියෝජිතයෝ ගාණ තවත් වැඩි කරලා තියෙනවා. ඡන්දෙට ඉදිරිපත් නොවුණ අයෙක් පත්කරගැනීමට තරම් පක්ෂවලට පුදුමාකාර බලතල තියෙනවා. ඊට පස්සේ ඒකට උඩින් 25%ක් කාන්තා නියෝජනය කියන පැලැස්තරයත් ගැහුවා. දැන් මේ නීතික්‍රමය අවුල් ජාලයක්. 

එහෙමනම් අවුල ලිහන්නෙ කොහොමද?

මේ ආණ්ඩුව දෙවැනි මණ්ඩලයක් පත්කිරීමේ තීරණයකුත් අරගෙන තියෙනවා. ඒ තීරණය වැදගත් තීරණයක්. දෙවන මණ්ඩලය පත්කරන්නේ කෙසේද? පළවෙනි මණ්ඩලය තීරණය වෙන්නේ එයට අනුවයි. ඒ සභාවන් දෙකම පළාත් සභාවටත් අනතුරු පළාත් සභාව පළාත් පාලන ආයතනවලටත් සම්බන්ධ වෙන්න ඕනැ. මගේ මතය ඒ ඒ පුරුක් ගැලපෙන විදිහට මේ මුළු මැතිවරණ ක්‍රමයම එකවර හදන්න ඕනෑ. එහෙම හදන්න ගියොත් දිනේෂ් ගුණවර්ධන ක්‍රමය නීතිපොතෙන් අයින් කරන්න ඕනෑ. ඉක්මන්ටම ඡන්දෙ පවත්වන්න ඕන නම් මගේ මතය පරණ ක්‍රමයට මැතිවරණය තියන්න. ඊට පස්සේ එකපාරට සියල්ල සම්බන්ධ ප්‍රතිසංස්කරණයක් කරලා අනතුරුව ක්‍රියාත්මක කරන්න. වැරදි දේ කරනවාට වඩා හරි දේ පරක්කු වෙලා කරනවා නම් වඩා හොඳයි.

මේ රජය බලයට පත්වෙනකොට කිව්වෙත් විදේශ ආයෝජකයන් ගේනවා කියලා. ඒකට මොකද්ද වෙලා තියෙන්නේ? ඇයි ආයෝජනකයෝ එන්නෙ නැත්තේ?

ගිවිසුම් ගණනාවක් නම් වශයෙන් ඉදිරිපත් කරලා ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කියලා තිබුණේ රැකියා දසලක්ෂයක් හැදීම සඳහා වෙළඳ ප්‍රවේශයක් ඇති කරගන්නවා කියලයි. ආණ්ඩුවට මේ අවුරුදු දෙක ඇතුළේ කරන්න පුළුවන් වෙලා තියෙන්නේ ලැයිස්තුවේ මුලින්ම තියෙන ජී.එස්.පී ප්ලස් විතරයි. අනෙක් ඒවා කරගන්න තවම බැරි වුණා. වෙළඳ ප්‍රවේශයක් නැත්තම් ආයෝජන ගේන්න දුෂ්කරයි. 

එහෙමනම් අපේ කලාපයේ අනෙක් රටවල් ආයෝජකයන් ගෙන්න ගත්තෙ කොහොමද?

අපිට තරඟකාරී රටක් වන වියට්නාමය 2000-2014 අතර කාලයේ අපි වගේම විදේශ ආයෝජන දෙගුණ කරගත්තා. ඒ කාලය තුළ ඔවුන්ගේ අපනයන නව ගුණයකින් වැඩිවෙද්දී අපේ වැඩි වුණේ දෙගුණයක්. ඒ කාලය තුළ ඔවුන් විශාල වෙළඳ ගිවිසුම්වලට ඇතුළත් වුණා. ඔවුන් ඉලක්ක කරගත්තෙත් අපනයන ඉලක්කකරගත් ආයෝජන. අපට තියෙන්නේ අපනයනය ඉලක්ක කරගත් ආයෝජන ආකර්ෂණය කරගැනීමට වැඩි අවශ්‍යතාවක් තමයි ඒකට අවශ්‍ය මූලික කොන්දේසිය වන වෙළඳ ගිවිසුම් ඇති කරගන්න ආණ්ඩුවට බැරිවෙලා තියෙනවා. විදේශ ආයෝජකයෝ වෙළඳ ප්‍රවේශයක් නැතිව ඉවත් වෙලා යනවා. ඉතිං ආයෝජන අඩුවීම ගැන මම පුදුම වෙන්නෙ නෑ. ඒ නිසා මම ආණ්ඩුවෙන් අහනවා කරනවා කිව්ව දේවල් කෝ? කරන්න බැරි නම් බැහැයි කියලා අයින් වෙන්න.

මේ වෙලාවේ ව්‍යවස්ථාව සංශෝධනය කරන එක ප්‍රායෝගිකද මේ වගේ ප්‍රශ්න ගොඩක් තියෙද්දී?

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ලංකාවට අවශ්‍ය ප්‍රගතිශීලි දෙයක්. ඒවගේම මැතිවරණ ක්‍රමය සංශෝධනය කරන 20වැනි ව්‍යවස්ථා සංශෝධනයත් අවශ්‍යම දෙයක්. මේ ඡන්ද ක්‍රමයේ දුර්වල ආණ්ඩු බිහිවන ව්‍යූහාත්මක ක්‍රමයේ දුර්වලකමක් තියෙනවා. එය තුළනය කරන්න අපෙ රටේ ජනාධිපති ක්‍රමයක් තියෙනවා. ජනාධිපති ක්‍රමය අයින් කළොත් මේවගේ ඡන්ද ක්‍රමයකින් රජයක් පවත්වාගෙන යාම අසීරුයි. මැතිවරණ ක්‍රමයත් වෙනස් කරන්න වෙනවා. මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමේදී සුළු ජාතික පක්ෂවලට සහ සුළු ජාතික ජනතාවට අවශ්‍ය නියෝජනය දෙන එකත් වැදගත්. ඒක කරන්න යද්දී සමස්ත ව්‍යූහය දෙසම බලන්න සිදුවෙනවා.

මේක ආර්ථිකයට කොහොමද බලපාන්නේ?

රටක ආයෝජනය කරන්න කලින් විදේශ ආයෝජකයා බලනවා රටවැසියෝ නීතිය අනුගමනය කරනවද කියලා. අවුරැදු තිහක් තිස්සේ 13වන ව්‍යවස්ථාව අපි අනුගමනය කරන්නෙ නැහැ. රටේ උත්තරීතර නීතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවවත් අනුගමනය නොකරන කොට අනෙක් නීති ගැන කුමන විශ්වාසයක් තියන්නද? ඒ නිසා අපි මොකක් හෝ කළ යුතුයි. ආණ්ක්‍රම ව්‍යවස්ථාව පූර්ණ සංශෝධනයක් ද පාර්ශ්වීය සංශෝධනයක්ද ද කරන්නේ කියලා දේශපාලනඥයෝ තීරණය කරගත යුතුයි. මේ විදිහටම තවදුරටත් ඇදගෙන ගියොත් ආයෝජනවලටත්, ආර්ථික ප්‍රතිපත්තිවලටත්, සංහිඳියාවට හා අනෙක් දේවලට ඉතිරිවෙන්නේ  බාල වාතාවරණයක්. එනිසා ව්‍යවස්ථා ප්‍රශ්නය විසඳිය යුතුයි. අප නම්බුකාර ජාතියක් හැටියට කියන දේ කරන කරන දේ කියන ජාතියක් වෙන්න ඕන. ජනාධිපතිතුමා ජනමත විචාරණයකින් මෙහා කරන්න පුළුවන් වෙනස්කම් කරනවා කියලයි පොරොන්දු වුණේ. එබැවින් එතුමා ඒ අනුව කටයුතු කළ යුතුමයි.

සාකච්ඡා කළේ සකීෆ් සාම් තන්වීරි
සේයාරුව | සුමුදු හේවාපතිරණ