කෝකියන් වැඩි වූ විට සුප් එක සවුත්තු වන බව කියති. මේ යහපාලන ආණ්ඩුවටද සිදුවී ඇත්තේ එවැන්නක්දැයි රටේ මිනිසුන්ට මේ වනවිට නොසිතෙනවා නම් පුදුමය.
ආණ්ඩුවේ ඇතැම් කෝකියන් ප්‍රකාශ වෙන්නේ එක්කෝ ඔවුන් කලකිරීමෙන් සිටින බවය. නැතහොත් අසතුටින් සිටින බවය. එහි අනෙක් අදහස මේ බොහෝ දෙනෙකු සිටින්නේ අසහනයෙන් බවය. 2015 වසර ආරම්භයේදී තමන්ගේ යහපාලන ආණ්ඩුවට තිබූ ජනප්‍රියත්වය, සහයෝගය ඉක්මන් සෝදාපාළුවකට ලක්වෙමින් තිබීම ඊට හේතුව බවට සැකයක් නැත. මේ සෝදාපාළුව කොතරම්දැයි කිවහොත් ආණ්ඩුව පුංචි ඡන්දයට මුහුණදීම දවසින් දවස කල් දමමින් සිටින්නේද ඒ නිසාය. මේ රට තුළ ඡන්දයක් කල් දැමීමට ඕනෑතරම් හේතු සොයාගත හැකිය.
ඡන්දයක් තිබ්බොත් වෙන්න පුළුවන් කුමක්දැයි අනුමාන කිරීම අපහසු නැත. යූ.එන්.පී.ය තුළ නම් ලොකු ප්‍රශ්නයක් තිබෙන බවක් පෙනෙන්නට නැත. නමුත් ශ්‍රීලනිපයට එසේ නොවන බව තනතුරැ අතහැරීමට සූදානම්ව සිටින ආණ්ඩුවේ ශ්‍රීලනිප මැති ඇමැතිවරුන්ගේ හැසිරීම් රටාවෙන් පැහැදිලි වෙමින් තිබේ. මෛත්‍රීපාල ජනාධිපතිවරයාගේ ඇරියුමින් ආණ්ඩුවට එකතු වූ ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනකුද ඇතුළු 18 දෙනකු තනතුරැ අතහරින්නට සූදානම් බව පසුගිය සති අන්තයේදී ප්‍රකාශයට පත්වෙන්නේ ඒ අනුවය. ආණ්ඩුවේ සම්මුතියට වසර දෙක පිරැණායින් පසුව තමන් තවදුරටත් ඇමැති තනතුරු නොදරණ බව ඔවුන් ප්‍රකාශ කර තිබේ. කෙසේ වුවද 18 දෙනාම මේ අදහස දරන්නේදැයි පැහැදිලි නැත. නමුත් මේ අදහස කුළුගන්වන පිරිස කියන්නේ එහා මෙහා විය හැකි ඔළු ගෙඩි ගණන 22ක් දක්වා ඉහළ යා හැකි බවය.
යහපාලන ආණ්ඩුව මේ වනවිටත් තමන්ගේ ජනප්‍රියත්වය රැකගෙන තිබුණා නම් මේ මැති ඇමැතින් පිරිස මෙවැනි තීන්දුවක් නොගනු ඇති බවට සැකයක් නැත. එසේ වුවත් සමහරුන්ගේ මතය නම් ආණ්ඩුව ජනප්‍රියත්වයෙන් පිරිහී තිබෙන්නේ නම් ඊට මේ ශ්‍රීලනිප මැති ඇමැතිලාද වගකිව යුතු බවය. ආණ්ඩුව එකතු වී කිසියම් තීන්දුවක් ගත්විට එය ක්‍රියාත්මක නොකෙරෙන තැනට වැඩ කළේ මේ ඇතැම් ඇමැතිලා බවද ඔවුන් වැඩ නොකර සිටියා පමණක් නොව මාධ්‍ය සාකච්ඡා පවත්වා ආණ්ඩුව ඇතුළේ කුණු රෙදි එළිපිටම සේදීමට කටයුතු කළ බවද ඔවුහු කියති. යූ.එන්.පී. ඇතැම් මැති ඇමැතිලාද වැඩ කළේ ඊට නොදෙවැනි ආකාරයකටය. කෝකියෝ වැඩිවී යහපාලන සුප් එක සවුත්තු වීම ගැන මේ දෙපිරිසම තම තමන්ට දොස් පවරා ගන්නවාට වඩා වෙනත් කළ හැකි දෙයක් නැත. ජනාධිපතිවරයා පසුගිය කැබිනට් රැස්වීමේදීම වේගවත් කතාවක් කිරීමට පෙළඹුණේ මේ පසුබිම හේතුවෙන් බවට කතා දෙකක් නැත. ආණ්ඩුවට සම්බන්ධ වී සිටින 18 දෙනකු ස්වාධීන වුවහොත් එය නිසැකවම ආණ්ඩුවේ පැවැත්මට ලොකු හානියක් සිදු කරන බව පැහැදිලිය. තවත් අතකින් එය යූ.එන්.පී.යට වෙනත් මන්ත්‍රීන් කිහිප දෙනකුගේ සහාය රැගෙන තනි ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට අවස්ථාවක් පෑදීමක්ද විය හැකිය. එහෙම වුණොත් මෛත්‍රීපාල ජනාධිපතිවරයාට සහාය නොදක්වන ශ්‍රීලනිප මන්ත්‍රීන් කිහිප දෙනකුට යූ.එන්.පී.යේ දොර විවෘත වීමටද හැකියාවක් තිබේ.
ජනාධිපතිවරයා කැබිනට් රුස්වීමේදී සිදුකළ වේගවත් කතාව මහින්ද පාර්ශ්වයට සේම යූ.එන්.පී.යටද වැදුණු බව පැහැදිලිය. ඔහු දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයේ වැඩකටයුතු ගැන කළ තදබල විවේචනයෙන් කෙළින්ම පහර වැදුණේ නීතිය හා සාමය පිළිබඳ ඇමැති සාගල රත්නායකයටය. සාගල යටතේ ක්‍රියාත්මක විෂයයන් තමන්ට මාස තුනක් ලබාදුන්නොත් හොඳට කරන හැටි පෙන්වන බව ජනාධිපතිවරයා සදහන් කළේ ආණ්ඩුව වෙනස් වී මහින්ද නායකත්වය දෙන පිරිස අතට බලය ගියොත් තමාත් තම දරුවනුත් බරපතළ අනතුරකට මුහුණ දෙන බව සඳහන් කරමින් බවද කියති. යූ.එන්.පී.යට එවැනි තත්ත්වයක් යටතේ කිසිදු හානියක් සිදු නොවනු ඇති බවටද ජනාධිපතිවරයා සඳහන් කළේය. මේ කතාවේ ප්‍රතිඵල දැන්ම පෙනෙන්නට තිබේ.
දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය මගින් අල්ලපු හොරකු නැතිබවට චෝදනාවක්ද නැගෙන්නේ ඒ අනුවය. කැබිනට් මාධ්‍ය හමුවේදී රාජිත ප්‍රකාශ කර තිබුණේ මහා පරිමාණ දූෂණ වංචා සෙවීමට මෙම කාර්යාලය ආරම්භ කළත් සිදු වූ දෙයක් නැති බවය. වැඩිදුර ශ්‍රීලනිප ඇමැතිවරුන් ගැන සොයාබැලීම් කරන බවට එම කාර්යාලයට චෝදනා එල්ල වන බවද රාජිත කියා තිබිණි. ජනාධිපති, අගමැති දෙදෙනාම මෙම කාර්යාලයට අප්‍රසාදය පළකළ බවද රාජිත සඳහන් කළේය. බිලියන කෝටි ගණන් වංචා කරපු, මිනී මරපු, තාජුඩීන්ලා ඝාතනය කරපු අය නිදැල්ලේ. මේවා ගැන සොයා බලා නැහැ. ඒ ගැන කැබිනට් මණ්ඩලයේදී දැඩි ලෙස සාකච්ඡා වුණා යැයිද රාජිත කියා තිබුණේය.
මේ චෝදනා එල්ල වූ සාගල ඇමැතිවරයා පසුගිය 06 වැනිදා බ්‍රහස්පතින්දා කොළඹ අරලියගහ මන්දිරයේදී මාධ්‍ය හමුවක් පවත්වා කිව්වේ තමාට බාරදුන් වගකීම් නිසිලෙස ඉටුකළ බවට තමන්ට සීයට සීයක් විශ්වාස බවය. සමහර විමර්ශන සිදු කිරීමට කල් යන බවත් ඉන්පසුව අධිකරණයට කරැණු ඉදිරිපත් කර නඩුව විභාග වන විට නීතිය හා සාමය අමාත්‍යංශයට කිසිදු බලපෑමක් කළ නොහැකි බවත් සාගල කීවේය.
මේ අතර ත්‍රෛයිනිකායික මහානා හිමිවරැන් ඇතුළු මහා සඟරුවන පසුගිය 04 වැනිදා අඟහරැවාදා මහනුවර අස්ගිරිය විහාරස්ථානයේදී රැස් වී විශේෂ සංඝ සමුළුවක් පැවැත් වූහ. එහිදී ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට විශේෂ යෝජනා තුනක් සම්මත කර ගැනීමට උන්වහන්සේලා ක්‍රියා කළහ. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඉදිරිපත් නොකිරීම, සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පිළිබඳ ගැටලුව කඩිනමින් විසඳීම සහ පසුදින (05) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත වූ අතුරුදන් වූවන් පිළිබඳ පනත කල් දැමීම එම යෝජනා විය. ජාතික ආගමික වශයෙන් සිංහල බෞද්ධ ජනතාවට සිදුවී ඇති අසාධාරණකම්, රට තුළ ඇති වන විවිධ ජාතික ආගමික ගැටුම්කාරී තත්ත්වයන් සහ පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ආගමික ස්ථාන ආරක්ෂා කිරීම සම්බන්ධයෙන්ද මහ සඟරැවන විසින් එහිදී කරුණු අවධාරණය කර තිබිණි.
කෙසේ වුවද මෙම ඉල්ලීමට කන්දීමක් දැයි එක එල්ලේම පැවැසිය නොහැකි වුවද අතුරැදන් පනත වශයෙන් හඳුන්වන බලහත්කාරයෙන් අතුරැදන් කිරීම් වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුති පනත් කෙටුම්පත නියමිත පරිදි 05 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් රජය වැළකුණේය. එම පනත් කෙටුම්පත විවාදයට නොගන්නා බව සභානායක කිරිඇල්ල ඇමැතිවරයා ප්‍රකාශ කළද එයට හේතුවක් ඉදිරිපත් කලේ නැත. නමුත් ඊට පසුදා (06) ඔහු පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කලේ එකී පනත ඉදිරි දිනයකදී ඉදිරිපත් කරන බවය. මේ පනත න්‍යාය පුස්තකයේ තිබෙන බවත් පනත ඉල්ලා අස්කර ගැනීමක් සිදු නොවූ බවද ඔහු කීය.
කිරිඇල්ල ඇමැතිවරයා එසේ කියන විට මහින්ද සමරසිංහ ඇමැතිවරයා කොළඹ ඩාර්ලිපාරේ ශ්‍රීලනිප මූල ස්ථානයේදී එදිනම (06) පැවැති මාධ්‍ය හමුවේදී කියා තිබුණේ අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට පෙර ඒ ගැන තවදුරටත් අධ්‍යයනය කළ යුතු බවටත් එතෙක් එය විවාදයට නොගත යුතු බවටත් ජනාධිපතිවරයා තීන්දුකර තිබූ බවය. එය තීරණය කර තිබුණේ ත්‍රෛයිනිකායික මහ සඟරුවන මේ සම්බන්ධයෙන් ඉල්ලීමක් කිරීමට පෙර යැයි සඳහන් කර තිබුණි.
මෙම බරපතළ මත ගැටුමකට මුහුණ දී ඇති අතුරැදන් පනත ගැසට් කරන ලද්දේ මේ වසරේ පෙබරවාරි 09 වැනිදාය. එහිදී එවකට විදේශ ඇමැතිව සිටි මංගල සමරවීර ප්‍රකාශ කර තිබුණේ මෙම පනත ගැසට් කිරීම සඳහා පෙබරවාරි 07 වැනිදා පැවැති කැබිනට් රැස්වීමේදී අනුමැතිය ලැබී ඇති බවය. එම පනත බලාත්මක වීමට නම් අවශ්‍ය වන්නේ පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දයකින් සම්මත වීම පමණි. තුනෙක් දෙකක ඡන්දයක් අවශ්‍ය වන්නේ නැත.
පනත සම්මත වුවහොත් එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර සම්මුතියට අනුව බලහත්කාරයෙන් අතුරුදන් කිරීම් අපරාධයක් බවටත් එම අපරාධයේ වින්දිතයන්ට ආරක්ෂාව ලබාදීමටත් නීති සකස් කිරීමට ශ්‍රී ලංකාව බැඳී සිටී. එසේම පනතේ 03 වැනි පරිච්ඡේදයට අනුව රාජ්‍යයේ සහාය හෝ බලය ඇතිව ක්‍රියාත්මක වන ඕනෑම මහජන නිලධාරියකු හෝ පුද්ගලයකු හෝ විසින් යම් කිසි අත්අඩංගුවට ගැනීමක්, තොරතුරු සෙවීමක්, නිරපරාදේ සිරගත කර තැබීමක්, පැහැරගැනීමක්, අතුරුදන් කිරීමක් සිදුකොට එසේ අත්අඩංගුවට ගත් බව, රඳවා ගත් බව, සිරකළ බව හෝ පැහැරගත් බව, එම පුද්ගලයා සිටින ස්ථාන හෙළි කිරීම හෝ ඔහුට අත් වූ ඉරණම පිළිගැනීම ප්‍රතික්ෂේප කරන්නේ නම් එම නිලධාරියා හෝ පුද්ගලයා බලහත්කාරයෙන් අතුරුදන් කිරීමේ අපරාධයේ වැරුදිකරුවෙක් වන්නේය. ඒ සඳහා දඬුවම් වශයෙන් වසර 20කට නොඅඩු සිරදඬුවමක් සහ රුපියල් දස ලක්ෂයක දඩයක් නියම කිරීමට එම පනතින් විධිවිධාන සලස්වා තිබේ.
මෙකී පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන්නේ 2015 වසරේ ඔක්තෝම්බර් මාසයේදී ජිනීවාහි පැවැති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය මගින් ශ්‍රී ලංකාවේද සම අනුග්‍රාහකත්වය ඇතිව සම්මත කරගන්නා ලද යෝජනාවට අනුවය. එම යෝජනාවේ 13 වැනි ඡේදයේ, බලහත්කාරයෙන් අතුරැදන් කිරීම් වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතිය ශ්‍රී ලංකාවේද නීතියක් බවට පත් කිරීමට එකඟතාව පළකිරීම පිළිබඳව ජිනීවා මානව හිමිකම් කවුන්සිලය සතුට පළ කර තිබේ.
ශ්‍රී ලංකාවේ මෙම පනත් කෙටුම්පත තරුණ කැරලි දෙකකින් සහ සිවිල් යුද්ධයකින් අතුරුදන්ව සිටින 65,000ක් පමණ වන පිරිසට අදාළ වන්නේය. කෙසේ වුවද මෙම පනතට තවමත් දකුණු ආසියාවෙන් අත්සන් තබා ඇත්තේ ඉන්දියාව, මාලදිවයින සහ ශ්‍රී ලංකාව පමණක් යැයි මහින්ද සමරසිංහ ඇමැතිවරයා කියයි. එසේ වුවද එය ක්‍රියාවට නැංවීමට පියවර ගෙන ඇත්තේ ශ්‍රී ලංකාව පමණක් බවත් යුරෝපයේ රටවල් වැඩි ප්‍රමාණයක් එම ජාත්‍යන්තර සම්මුතිය අත්සන් කර තිබුණද ශ්‍රී ලංකාවට මානව හිමිකම් සම්බන්ධයෙන් චෝදනා නගන ලෝකයේ ප්‍රබල රටවල් ගණනාවක් තවමත් ඊට අත්සන් තබා නැති බවත් සැලකිල්ලට ගනිමින් ජනාධිපතිවරයා මෙම පනත විවාදයට ගැනීම කල් දැමීමට තීරණය කළ බවද අමාත්‍ය වරයා කියා තිබිණි.
කෙසේ වුවද පනත විවාදයට නොගැනීම සම්බන්ධයෙන් ද්‍රවිඩ සන්ධානය බලවත් විරෝධය පළ කරන බවක් පෙනෙන්නට තිබේ. ටී.එන්.ඒ.ජාතික ලැයිස්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පාර්ලිමේන්තුවේදී 06 වැනිදා ඒ ගැන ප්‍රශ්න කරමින් ඇසුවේ අදාළ අතුරුදන් පනත විවාදයට නොගන්නේ සංඝ සමාජයේඉල්ලීමට නම් මේ රටට පාර්ලිමේන්තුවකින් ඇති ඵලය කුමක්ද කියාය. මේ පනත විවාදයට නොගැනීම ගැන දෙමළ ජනතාවට බරපතළ සැකයක් මතුවන බවද ඔහු කියා තිබිණි.
අතුරුදන් පනත විවාදයට නොගැනීමත් අතුරුදන් පුද්ගලයන් සොයාබැලීම සඳහා පසුගිය වසරේ ස්ථාපිත කෙරැණු කාර්යාලය ක්‍රියාත්මක නොවීමත් උතුරේ දේශපාලනයට ලොකු බලපෑමක් එල්ල කිරීමට ඉඩ තිබෙන බව පැහැදිලිය. දැඩි මතධාරී දේශපාලනඥයකු වන උතුරේ මහ ඇමැති විග්නේෂ්වරන් විසින් මෙම ප්‍රවණතා නිසැකවම තමන්ගේ දේශපාලන වාසිය සඳහා යොදවාගැනීමට ඉඩ තිබේ. ජාතික ගැටලුව විසඳීම සම්බන්ධයෙන් රජය එතරම් උනන්දුවක් නොගන්නා බවටත් දකුණේ විවිධ සංවිධාන සහ දේශමාමක දේශපාලන බලවේග වලින් එල්ල වන විරෝධතා හමුවේ ආණ්ඩුව පොරොන්දු ඉටුකිරීම මඟහරින බවටත් උතුරේ ජනමතයක් ඇති කිරීමට මෙවැනි තීන්දු තීරණ හේතු විය හැකි බව පැහැදිලිය.
මේ අතර මහ සඟරුවන මගින් ඉදිරිපත් කරන ලද යෝජනා සම්බන්ධයෙන් වහාම ප්‍රතිචාර දැක්වූ ජනාධිපතිවරයා ඊට පසුවදාම (06) උන්වහන්සේලා හමුවීමට මහනුවර ගියේය. අතුරුදන් පනත ඒ වනවිටත් අත්හිටුවා තිබීම නිසා මෙහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳව දළ කෙටුම්පතක් හෝ සම්පාදනය කරන්නේ නම් ඒ පිළිබඳව මහා සංඝරත්නය දැනුවත් කරන බවය. ඒ සඳහා උන්වහන්සේලාගේ අදහස් සහ යෝජනාද ලබාගැනීමට කටයුතු කරන බවය. නව ව්‍යවස්ථාවට අදාළව කොමිසමක් පත් කිරීමටත් සයිටම් අර්බුදය විසඳීමට විශේෂ කමිටුවක් පත්කිරීමටත් පියවර ගන්නා බවට ජනාධිපතිවරයා මහා සඟරුවන හමුවේ ප්‍රකාශ කළ බව පසුව පැවැති මාධ්‍ය හමුවේදී ඕමල්ගේ සෝභිත හිමියන් ප්‍රකාශ කර තිබුණි. මහා සඟරැවන සමඟ මහනුවර විශේෂ සාකච්ඡාව පවත්වා තිබුණේ ජනාධිපතිවරයාගේ ඇරියුමක් පරිදිය.
මෙම සිදුවීම් අතරේ ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් සම්බන්ධයෙන් සිකුරාදා (07) වන විට දේශපාලන කරළියේ කතාබහ පැතිරෙමින් තිබිණි. මෙම ප්‍රකාශය සිදුකළ බවට පැවැසෙන්නේ ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙකි. ශ්‍රීලනිප මැති ඇමැතින් 18 දෙනකු තනතුරු අතහැර ස්වාධීන වීමට යන තොරතුරු නිසා කලබලයට පත්ව මෙවැනි ප්‍රකාශයක් සිදු කළාදැයි හරිහැටි කිව නොහැකිය. එහෙත් මේ කතාව එළියට ආවේ ජනාධිපතිවරයා කැබිනට් රැස්වීමේදී සිදුකළ සැර කතාවට පසුව බව නම් පැහැදිලිය.
ගෝඨාභය සිකුරාදා (07) මහනුවර ගොස් දළඳා සමිඳුන් වැඳපුදාගෙන මල්වතු අස්ගිරි පාර්ශ්වවල මහ නාහිමිවරුන් බැහැදැකීමට ගියේ මෙම තොරතුරැ ගැන කතා කිරීමට විය හැකිය. ඔහු මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශකර තිබුණේ මාසයක් ඇතුළත තමන් අත්අඩංගුවට ගන්නා බවට ඇමැතිවරයකු ප්‍රකාශ කර ඇති බවය. ඔහු එම ඇමැතිවරයාගේ නමද සඳහන් කර තිබුණි.
මේ අතර මහින්ද රාජපක්ෂ මහතා පසුගිය දිනවල දිගටම දැඩි ලෙස රජයේ කටයුතු විවේචනය කළේය. සයිටම් ප්‍රශ්නය, පින්කැට සීල් තැබීම, උමා ඔය, පුංචි ඡන්දය සහ නව ව්‍යවස්ථාව ඔහුගේ බරපතළ විවේචනයට ලක්විය. අතුරුදන් පනතට එරෙහිවද දැඩි ප්‍රකාශයක් කළේය. අස්ගිරිය විහාරීය කාරක සංඝ සභාව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කිරීමත් ඉන් පසුව විශේෂ සඟ සමුළුවක් පැවැත්වීමත් සිදුවූයේ මේ පසුබිමේය.
කෙසේ වුවද අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී සිකුරාදා (06) පැවැසුවේ ආණ්ඩුවේ ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයේ මෙහෙයුම් කමිටු සභාපතිවරයා ලෙස තමා කටයුතු කරන තාක් බුද්ධාගමට හිමි ප්‍රමුඛස්ථානය අහිමි කිරීමට ඉඩ නොදෙන බවය. සියම් නිකායේ මල්වත්ත පාර්ශ්වය කඩනවා කියලා තර්ජනය කළාම කී දෙනෙක් කතා කළා දැයි අග්‍රාමාත්‍යවරයා ප්‍රශ්න කළේය. මේ සිදුවීම් සම්බන්ධයෙන් තම මතය පළ කළ එක් දේශපාලන විචාරකයෙක් ප්‍රකාශ කර තිබුණේ මහින්ද රාජපක්ෂ පාලන සමයේ මහා සඟ සමුළුවක් කැඳවන බවට ප්‍රකාශ කෙරුණු අවස්ථාවේ සිදුවූ දේ බොහෝ දෙනාට අද අමතකව ගොස් තිබෙන බවය.
කෝකියන් වැඩි වී සුප් එක සවුත්තු වුණත් ජනාධිපතිටත් අගමැතිටත් එක් දෙයක් ගැන නම් හොඳටම සතුටුවිය හැකිය. ඒ අද ඕනෑම කෙනෙකුට ඕනෑම ප්‍රකාශයක් සිදුකර නිදහසේ ගෙදර ගොස් නිදා සිට උදෑසන ඇහැරීමට ඉඩ සැලසී තිබීම ගැනය.
ශශින්ද්‍ර