ලන්ඩන්, පැරිස්, බර්ලින්, මොස්කව් නම් නගරවලින් මා වාඩාත්ම ප්‍රියකරන්නේ බර්ලින්වලටයි. සෙසු නගරවලද විවිධ ප්‍රියජනක ලක්ෂණ තිබේ. එහෙත් නූතන ඉතිහාසය ගැන උනන්දුවන්නෙකුට බර්ලීනය සුපිරි අභියෝගයක් බවට පත්වෙයි. මෙම නගරය නූතන යුරෝපයේ කඳුළු මෙන්ම සිනහ කතාව පිළිබිඹු කරන්නකි. යුරෝපීය අර්ධද්වීපය හරි මැද පිහිටි ජර්මනියේ අගනුවර වූ බර්ලින් වමට මෙන්ම දකුණටත් කලින් කල නතු වූ නගරයක් වශයෙන් සැලකිය හැකිය.
අප පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින් කීපදෙනෙකු සමඟ පසුගියදා මම බර්ලිනයට හා ඉන් ඔබ්බට බෝල්ටික් මුහුදු දිශාවේ පිහිටා ඇති පොමරේනියාව හා මැක්ලන්බර්ග් නමැති ප්‍රාන්තවල සංචාරයක යෙදුනෙමි. අප දූත කණ්ඩායමට කථානායක කරු ජයසූරිය, සම්බන්දන්, හකීම්, අනුර දිසානායක, අකිල විරාජ් කාරියවසම් යන මන්ත්‍රීවරුන් සහ මා ඇතුළත් වුණි.
මුලින්ම 1970 දී බර්ලින්වලට ගිය මට මෙවර ගමනින් මා ප්‍රියතම නගරයේ ඇති කරන ලද වෙනස්කම් දැක ගැනීමට අවස්ථාවක් සැලසුණේය. 1970 දී මම බර්ලීනයට මුලින්ම යනවිට එය දෙකට බෙදුන නගරයක් විය. නගරය හරි මැද උස් තාප්පයක් විය. එම තාප්පයෙන් ඔබ්බට යාර කිහිපයක් විතර තහනම් තීරයක්ද විය. නැගෙනහිර බර්ලීනයේ සිට එම තාප්පයෙන් ගොඩවී බටහිරට පැණීමට තැත්කළ ජර්මන් ජාතිකයින්ට මරණීය දඬුවම හිමිවිය. යුරෝපයේ මේ සුන්දර නගරය එසේ දෙකඩ කර තිබුණේ හිට්ලර්ගේ පරාජයෙන් පසුව ජයග්‍රාහී මිත්‍ර රටවල් ජර්මනියත් එහි අගනුවර වූ බර්ලීනයත් ඔවුන් අතර කුට්ටි වශයෙන් කඩාගෙන බෙදාගෙන තිබුණ නිසාය. ඉංග්‍රීසි, ප්‍රංශ, අමෙරිකන් හා සෝවියට් රුසියානු ජයග්‍රාහකයින් හිට්ලර්ගේ පාලනය සුනු විසුනු කිරීමෙන් පසුව එම රට තම තමන් අතර බෙදා වෙන්කර ගත්තෝය. 1960 ගණන්වලදී බටහිර රටවල් තුන තම කලාප එකාබද්ධ කර බටහිර ජර්මනිය සැදුවෝය. ඒ සමගාමීව බටහිර බර්ලීනය ස්ථාපිත කරන ලදී. ඉතිරිවූ නැගෙනහිර බර්ලීනය කොමියුනිට්ස්වාදී ජර්මන් ජනරජයේ අගනුවර හැටියට පරිවර්තනය විය. හැත්තෑ ගණන්වල අප විටෙක බටහිර බර්ලීනයටත් විටෙක නැගෙනහිර ජර්මනියටත් වෙනම ආරාධනා ලැබූ නිසා නිතර නිතර එම කලාප දෙකටම යෑමට හැකිවිය.
විදේශීකයින් වශයෙන් අපට එක් කලාපයකින් තවත් කලාපයකට ගමන් කළ හැකි වූවද කොමියුනිට්ස් පාලනය යටතේ සිටි ජර්මානුවන්ට බටහිරට යෑම තහනම් කරන ලදී. එම තහනම නොඉවසා දහස් ගණන් බටහිරට සංක්‍රමණය වීමට පටන් ගත්විට ඔවුන් කොටුකර තැබීමට තාප්පයක් ගොඩනගන ලද්දේ රුසියානු නායක කෘෂ්චොප්ගේ අණක් අනුවය. එහෙත් 1982 ගණන්වන විට නැගෙනහිර කොමියුනිට්ස් පාලනය බිඳ වැටී තාප්පයත් පෙරළා දමන ලදී. මෙම පරිවර්තනයට උරදුන් අමෙරිකාවේ සී.අයි.ඒ රහස් සංවිධානය එම සිද්ධියෙන් උද්දාමයට පත්වී බිත්තියේ කොටසක් ඔවුන්ගේ වොෂින්ටන් කාර්යාලය ඉදිරිපිට සවිකළේය. මේ කතාව එකල ලොවම වෙලාගත් සීතල යුද්ධයේ කොටසක් විය.
ජර්මනිය මේ මතවාද දෙක අතර පොරපිටියක් බවට පත්වූයේ කෙසේද? එක හේතුවක් නම් ජර්මනියේ පිහිටීමයි. එක් පැත්තකින් ප්‍රංශයත් අනික් පැත්තෙන් රුසියාවත් අතර පිහිටා ඇති ජර්මනිය විටින්විට ඉන් එක් පැත්තක් සමඟ සමගි සන්ධානගතවී යුද්ධවලට පැටලුණේය. දෙවැනි මහා ලෝක යුද්ධ සමයේ ඔවුන් හිට්ලර්ගේ ශක්තිය පිළිබඳ අධිතක්සේරැවක් කොට දෙකොනම පිහිටි රටවල් විරුද්ධවාදීන් බවට පත්කර ගත්තේය. ඊටත් වඩා තීරණාත්මක සාධකය වූයේ යුද සමයේ අමෙරිකාව බටහිර රටවල් සමඟ සන්ධාන ගතවන අතර සෝවියට් දේශයත් සමඟ ද මිතුරැ සම්බන්ධතා පැවැත්වීමයි. එහෙත් යුද්ධයෙන් පසු නැගී එන කොමියුනිස්ට් බල කඳවුරුවලට බියවූ බටහිර ජාතීන් රැසියාව “යකඩ තීරයකින්” වෙන් කළ යුතු යැයි චර්චිල් කළ යෝජනාව මහ ඉහළින් පිළිගත්තෝය. කොමියුනිස්ට් ඉතිහාසයේ ජර්මනිය තීරණාත්මක භූමිකාවක් දැරීය. නොදියුණු රටක් වූ රුසියාවේ නොව විප්ලවය මුලින්ම එන්නේ යුරෝපයේ දියුණුම කාර්මික රට වූ ජර්මනියේ යැයි කාල්මාක්ස් අනාවැකියක් පළ කළේය. එය ඔහුට වැරදුණු තවත් තැනකි. සෝවියටි දේශය දිනාගත් ලෙනින් හා ට්‍රොට්ස්කිගේ ප්‍රධාන අභිප්‍රාය වූයේ ජර්මනියේ කොමියුනිට්ස් විප්ලවයක් දියත් කිරීමයි. එවැනි ජාත්‍යන්තර කටයුතු සංවිධානය කිරීම සඳහා ලෙනින් කොමින්ටර්න් නමැති ජාත්‍යාන්තර සංවිධානය ගොඩ නැගීය.
පළමුවැනි ලෝක යුද්ධයෙන් ජර්මනිය අන්ත පරාජයක් ලැබුවේය. යුද මානසිකත්වය වැපුරෑ ජර්මන් අධිරාජයා පැදුරටත් නොකියා රටින් පලා ගියේය. ඒත් සමඟම වාගේ ලෙනින් පැතූ ජර්මන් කම්කරු පංතියේ නැගිටීම බර්ලින් නුවරින් ආරම්භ කරන ලදී. එයට නායකත්වය දුන්නේ ප්‍රබල ජර්මන් කොමියුනිස්ට් නායකයන්වූ ලයිබ්නිච් හා රෝසා ලක්සම්බර්ග්ය. ඔවුන් ලෙනින් සමඟ මතවාදීව ගැටුනා පමණක් නොව කර්මාන්තකරණයට ලක්වීමෙන් විශාල කම්කරු පංතියක් බිහිවූ ජර්මනිය විප්ලවයේ මධ්‍යස්ථානයක් විය යුතුයැයි තර්ක කළහ. රෝසා කී පරිදි රුසියන් විප්ලවය ඉතිහාසයේ විකෘතියකි. එය මාර්ක්ස් අනාවැකි කී පරිදි ඇති වූ විප්ලවයක් නොවේ. කොතරම් පසු කලෙක තර්ක කළත් එය කම්කරු පංතියේ බලයෙන් රාජ්‍ය බලය දිනූ විප්ලවයක් නොවීය. රුසියන් විප්ලවයේ තීරක බලවේගය වූයේ සෙබළුන් හා නැවියන් මිස කම්කරුවන් නොවේ. මාක්ස්වාදී ඉතිහාසයේ ප්‍රබලම කම්කරැවන්ගේ නැගිටීම ඇතිවුනේ ජර්මනියේය. එහෙත් එම විප්ලවය සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය හා එක්වූ යුද සෙනවියන් විසින් දැඩි මර්දනයක් තුළ තලා දමන ලදී. ඇත්ත වශයෙන් හිට්ලර්ගේ ගමනේ ඇරඹුම එතැන් පටන්ය.
ජර්මන් කම්කරැ විප්ලවය ක්‍රියාත්මක වූ ඒ සුන්දර මාසය තුළ ජර්මන් කම්කරු බලමුළු රජුගේ මාළිගය අල්ලාගෙන එය විප්ලවකාරී ආණ්ඩුවේ මූලස්ථානය බවට පත්කළෝය. ලයිබ්නිච් හා රෝසා ලක්සම්බර්ග් විසින් විප්ලවකාරී කම්කරුවන් ඇමතුවේ එකී රජ මාළිගාවේ බැල්කනියේ සිටගෙනයි. දෙවැනි ලෝක යුද්ධ සමයේ රජ මාළිගාවට බෝම්බ දමන ලද නමුත් එම බැල්කනිය සුරක්ෂිතව පැවතුනි. පසුව ආ කොමියුනිට්ස් රජය එම බැල්කනිය සිය මූලස්ථානයේ සවිකොට රජ මාළිගාව ඩයිනමයිට් දමා පුපුරවා හැරියේය. දැන් එම බැල්කනිය බර්ලින් නුවර ප්‍රධාන පාලක ගොඩනැගිල්ලේ සවිකර තිබේ. එය නැරඹීමට මා අනුර දිසානයක මන්ත්‍රිතුමා සමඟ ගිය අතර, ජර්මනියේ කම්කරැවන්ගේ වැදගත් ක්‍රියාදාමයක් පිළිබඳ අපගේ මතකය එවිට අවදි විය.