2017 ජුලි 29 වන සෙනසුරාදා

ඇමැතිට බැහැයි කියන හයිය නිලධාරින්ට තියෙන්න ඕන!

 2017 ජුලි 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 145

- රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ හිටපු ලේකම් ජිනසිරි දඩල්ලගේ

ජිනසිරි දඩල්ලගේ යනු මෙරට රාජ්‍ය සේවයේ දශක ගණනාවක පළපුරුද්දකින් හෙබි රජයේ විවිධ උසස් තනතුරු දැරූ නිලධාරියෙකි. වර්තමානයේ අග්‍රාමාත්‍ය මහජන සම්බන්ධතා කාර්යාලයේ උපදේශකත්වය උසුලන ඒ මහතා සමඟ මෙරට රාජ්‍ය සේවය හා ඒ හා බැඳුණු සෙසු කරැණු කිහිපයක් පිළිබඳ කෙරුණු සංවාදයකි මේ. 

අගමැති මහජන සම්බන්ධතා කාර්යාලය සහ එහි කාර්යභාරය කුමක්ද කියල මුලින්ම පැහැදිලි කිරීමක් කළොත්? 

රාජ්‍ය ආයතන හරහා ඉටු නොවන කාරණා සම්බන්ධයෙන් ජනතාව අගමැතිවරයාටත් අගමැති ලේකම්වරයාටත් දන්වා එවන කරුණු තියෙනවා. උදාහරණයකට නිවාස, ඉඩම් ගැටලු, දේශපාලන පළිගැනීම් ගැන, අධ්‍යාපන, සෞඛ්‍ය ප්‍රශ්න ආදී විවිධ ප්‍රශ්න ගැටලු ගැන අගමැතිතුමාටත් ලේකම්තුමාටත් කරුණු වාර්තා වෙනවා. මේ ආයතනය පිහිටුවන්න කලින් ඒ සියල්ල සිදුවුණේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ අංශ කිහිපයක් හරහායි. ඒ අංශ සියල්ල එකට එකතු කරමින් තමයි මේ ආයතනය පිහිටුවලා තියෙන්නෙ. මේ ආයතනයෙන් සිදුවන්නේ යම් ප්‍රශ්නයක් අපට ලැබුණාට පස්සෙ අපි ඒක අදාළ ආයතනය වෙත යොමු කරලා එහි පසු විපරම් කටයුතු සිදුකිරීමයි. 

අග්‍රාමාත්‍ය කාර්යාලය යටතේ තියෙන වෙනත් ආයතනයකට සෙසු රාජ්‍ය ආයතනවලට නියෝග දෙන්න පසු විපරම් කටයුතු කරන්න නීතිමය අයිතියක් තියෙනවද? 

එහෙම පසුවිපරමක් කරන්න හැකියාව අනිවාර්යෙන්ම තියෙනවා. ඒකට නීතිමය තත්ත්වයක් අවශ්‍ය නැහැ. ඒක කළමනාකරණ ප්‍රවේශයක්. යම් පුරවැසියකුගේ ඉල්ලීමක් අගමැතිවරයා වෙත ආවට පස්සෙ ඒ දේ කළමනාකරණය කිරීමක් තමයි මෙතැනදි සිද්ධ වෙන්නෙ. අපි යම් ගැටලුවක් අදාළ ආයතනය වෙත යොමු කරද්දි එහි පසු විපරම් සිදුකරන බව දන්වා යවනවා. එතකොට යම් වගවීමක් සහිතව මේ කාරණය දිහා බලන්න අදාළ ආයතනය පෙළෙඹෙනවා. බෝලෙ පාස් කරන්න ඉඩක් නැහැ. අපේ රටේ බහුලව දකින්න ලැබෙන දෙයක් තමයි දුප්පත් මිනිස්සු තමන්ගෙ ප්‍රශ්නවලට විසඳුම් හොයාගෙන යද්දි ඔවුන්ව එහාට මෙහාට රස්තියාදු කිරීම. එතැනදි රාජ්‍ය සේවකයන් තුළ වගවීමක් තිබිය යුතුයි. රාජ්‍ය සේවය පිහිටුවා තියෙන්නෙම පුරවැසියන්ට සේවා සලසන්නයි.   

අමාත්‍යංශ ලේකම්වලට බලය තියෙන්නෙ රියදුරන් හා පියන්වරු බඳවා ගන්න පමණයි

 

බ කියන්නෙ අද රාජ්‍ය සේවයේ ඉන්න නිලධාරීන් තුළ වගවීමක් නැහැ කියලද? 

වගවීම වැඩිදියුණු කිරීමත් අපේ ප්‍රධාන අරමුණක්. කවුරැහරි මනුස්සයෙක් අපි ළඟට ප්‍රශ්නයකට විසඳුම් හොයාගෙන ආවම අපිට දෙන්න තියෙන්නෙ උත්තර දෙකයිනෙ. එක්කො මේ වැඩේ කරන්න පුළුවන්. නැත්නම් බැහැ. කරන්න බැරි නම් ඒකට හේතුවත්, නීතිමය තත්ත්වයක් තියෙනව නම් ඒ දේත් පැහැදිලි කළ යුතුයි. එතකොට ඒ මනුස්සයා ආපහු රස්තියාදු වෙවී එන්න ඕනෙ නැහැනෙ. වගවීම කියන්නෙ යහපාලනයේ එක් ප්‍රධාන මූලධර්මයක්. ඒ වගේම සෑම අමාත්‍යංශයකම හා රාජ්‍ය ආයතනයකම මහජන සම්බන්ධතා අංශ වැඩිදියුණු කිරීමටත් අපි යොමුවෙලා තියෙනවා. 

දහ නමවැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ සිදුවුණු වෙනස්කම් රාජ්‍ය නිලධාරියෙක් ලෙස ඔබ කොහොමද දකින්නෙ? රාජ්‍ය සේවය තුළින් රටේ ජනතාව බලාපොරොත්තු වුණු වෙනස ඇතිවෙලා තියෙනවද? 

රාජ්‍ය සේවය තුළ පත්කිරීම්, උසස් කිරීම්, මාරුකිරීම් සිදුකරන්නේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙ අනුදැනුම ඇතිවයි. උදාහරණයක් විදිහට ගත්තොත් අද දේශපාලන පත්වීම් ලබාදෙන්න හැකියාවක් නැහැ. රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් වැඩක් වෙලා නැහැ කියලා සමහර දේශපාලනඥයො කියන්නෙත් ඔවුන්ට හිතුමනාපෙට පත්කිරීම් කරන්න බැරිවෙලා තියෙන නිසායි. මම හිටපු රාජ්‍ය පරිපාලන ලේකම් විදිහට දන්න දෙයක් තමයි අමාත්‍යංශ ලේකම්වරුන්ට බලය තියෙන්නේ රියැදුරන් හා කාර්යාල කාර්ය සහායකයන් බඳවාගැනීමට විතරයි. 

නාමිකව එහෙම වුණාට ප්‍රායෝගික තත්ත්වය ඊට වෙනස්  නැද්ද? රාජ්‍ය සේවයට සිදුවෙන දේශපාලන ඇඟිලි ගැසීම් ගැන ඕනෑ තරම් වාර්තා වෙනවනෙ?  

පැහැදිලිවම නැහැ. දේශපාලන පළිගැනීම් නම් තියෙන්න පුළුවන්. අනිත් කාරණය තමයි අපිට දේශපාලනය පැත්තකින් තියන්න බැහැ. දේශපාලකයන්වත් පත් කරන්නෙ මිනිස්සු. ඒ අය තමා මිනිස්සුන්ගෙ නියෝජිතයො. ඉතින් ඒ අයගේ අදහස් සම්පූර්ණයෙන්ම ඉවත දාන්න අවශ්‍ය නැහැ. හැබැයි එහෙම ඇඟිලි ගහන්න පුළුවන් සමහර කාරණාවලදි විතරයි. අනික රාජ්‍ය පාලනයේදී අපිට සම්මිශ්‍රණයක් දකින්න පුළුවන්. රාජ්‍ය නිලධාරීන් සහභාගී වන ප්‍රදේශිය සංවර්ධන කමිටු රැස්වීම්වල සභාපතීත්වය දරන්නේ ප්‍රදේශයේ දේශපාලනඥයෙක්. සමහරවිට කැබිනට් ඇමැතිවරයෙක්. ඉතින් ඒ තැන්වලදි ගන්න තීරණ හරියාකාරව ඉෂ්ට වෙනවද කියලා හොයලා බලන එක දේශපාලනය පැත්තෙන් සිද්ධ වෙන නිසා ඒ ක්‍රියාවලියේදි දේශපාලකයන් විසින් රාජ්‍ය නිලධාරීන් යම් මෙහෙයවීමකට ලක්වෙනවා. ඕක ඔහොම නැතිව සියලු බලය රාජ්‍ය නිලධාරීන්ට පවරලා තිබුණා නම් නිලධාරීවාදයක් ඉස්මතු වෙනවා. එහෙම නැතුව කිසි හේතුවක් නැතිව, මෙයා මගේ මිනිහෙක් නෙමේ කියල වෙන තැනකට මාරැ කරන්න වගේ දේවල් කරන්න දේශපාලනඥයාට අයිතියක් නැහැ. 

කුණු ගොඩගැහෙන්නේ කළමනාකරණ වරදින්

 

ශපාලනඥයන්ගේ එවැනි තීරණ ප්‍රතික්ෂේප කරමින් ස්වාධීනව කටයුතු කිරීමේ හැකියාව රාජ්‍ය නිලධාරීන්ට තියෙනවද? 

පැහැදිලිව එහෙම තිබිය යුතුයි. එහෙම සිද්ධ නොවෙනවා කියන්නේ අදාළ නිලධාරියා තුළ තිබිය යුතු ශක්තීන් නැහැ කියන එකයි. ඇමැතිවරයා වැරදි දෙයක් කිව්වොත් ඒක වැරුදියි කියලා කියන්න ශක්තියක් අමාත්‍යංශ ලේකම්වරයාට තිබිය යුතුයි. දැන් නම් එහෙම කියන්න පුළුවන් තත්ත්වයක් රාජ්‍ය අංශය තුළ ඇතිවෙමින් යන බවයි මගේ අදහස. මම නම් එහෙම කියලා තියෙනවා.  මම රත්නසිරි වික්‍රමනායක, සරත් අමුණුගම හා කරු ජයසූරිය වැනි ඇමැතිවරැ එක්ක ගොඩක් කාලයක් වැඩ කරලා තියෙනවා. එක පාරක් කොළඹ මහ නගර සභාවේ නිලධාරීන් මාරු කරන්න කියල මට ඉහළින් ආපු නියෝගයක් මම ඉටු කළේ නැහැ. මම කිව්වා කිසිම හේතුවක් නැතිව ඒ වගේ දෙයක් කරන්න බැහැ කියලා. අන්තිමේදී ඒ මාරුකිරීම සිදුවුණේ නැහැ. ඒ හයිය රාජ්‍ය නිලධාරියෙක්ට තිබිය යුතුයි. 

පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීම නිසා රාජ්‍ය නිලධාරීන් ප්‍රාදේශීය මට්ටමෙන් කටයුතු කරගෙන යාමේදී නොයෙකුත් අපහසුතාවලට මුහුණ දෙන බවත් දැනගන්න ලැබෙනවා. විශේෂයෙන්ම කුණු ප්‍රශ්නයේදී ඩෙංගු මර්දනයේදී වගේ රාජ්‍ය නිලධාරීන්ගේ හිස මත වැඩි වගකීමක් පැටවී තිබෙන බව කියැවෙනවා...

ඔතන නිලධාරීන්ට තමයි දැන් ප්‍රධාන වගකීම පවරලා තියෙන්නෙ. හැබැයි දේශපාලනඥයෝ හිටියත් නිලධාරීන් තමයි කලිනුත් ඔය වැඩ කළේ. හැබැයි දේශපාලනඥයෝ ඉන්න කොට ඩබල් එන්ජින් එකෙන් වැඩ සිද්ධ වෙනවා. ඒක ඇත්ත. මම දකින්නෙ කළමනාකරණ අඩුපාඩු තිබෙන බවයි. ඒ කියන්නේ ඔය පළාත් පාලන ආයතනවල ඉන්න නිලධාරීන්ගේ අඩු කළමනාකරණ දැනීම. උදාහරණයකට ප්‍රාදේශීය සභාව නියම කරනවා නම් මෙන්න මේ තැන්වල කුණු දාලා තියන්න මේ මේ දවස්වලට කුණු එකතු කරන්න එනවා කියල කියනවා නම් ඔය කුණු ප්‍රශ්නය මඟ හරවා ගන්න පුළුවන්. මම සෑහෙන කාලයක් විදේශ රටක ජීවත් වුණා. එහෙදි කුණු එකතු කරන්න නිවැරදි වෙලාවක් තියෙනවා. අපේ නැත්තෙ කුණු කළමනාකරණය කිරීමයි. මේ දේ දේශපාලනයත් ප්‍රාදේශීය සභාවේ රාජ්‍ය නිලධාරීනුත් එකතු වෙලා කරනවා නම් තමයි සාර්ථක වෙන්නෙ.  

ආණ්ඩු මාරු වෙද්දී ප්‍රතිපත්ති මාරු වීම රාජ්‍ය නිලධාරීන්ට තමන්ගේ වැඩ කටයුතු කරගෙන යාමට බාධාවක් නෙමෙයිද? 

ඉතින් ජනතාව ඡන්දෙ දෙන්නෙ ප්‍රතිපත්ති මාරැ විය යුතු නිසානෙ. ප්‍රතිපත්ති වෙනස් විය යුතුයි. උදාහරණයකට ඉස්සර ජනසතු කිරීමේ ප්‍රතිපත්තියක් තිබුණා. පස්සෙ පෞද්ගලිකකරණ ප්‍රතිපත්තියක් ආවා. ස්ථීර ප්‍රතිපත්ති තිබ්බොත් මලකඩ කනවා. සමාජවාදයේ තිබුණු චීනය අද ප්‍රතිපත්ති අතින් වෙනස් වෙලා ඇවිත් තියෙන තැන බලන්න. ඒ වගේම ප්‍රතිපත්ති නැති තැන්වල ප්‍රතිපත්ති හැදිය යුතුයි. අනික යම් ප්‍රතිපත්තියක් හදලා පාර්ලිමේන්තුවෙන් සම්මත කළොන් ඊළඟ ආණ්ඩුවටත් ඒක ක්‍රියාත්මක කරන්න වෙනවනෙ. 

රටට අලුත් ව්‍යවස්ථාවක් හැදෙමින් පවතිනවා. නමුත් ව්‍යවස්ථාව නිර්මාණය කිරීමේ කටයුත්තේදී පක්ෂ විපක්ෂ විසම්මුතීන් ගණනාවක් දකින්න ලැබෙනවා. මේ වැඩේ හරියයිද? 

ව්‍යවස්ථාවක් කියන්නෙ රටට අවශ්‍ය දෙයක්. පවතින ව්‍යවස්ථාවේ අඩුපාඩු තියෙනවා නම් එය වෙනස් විය යුතුයි. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වෙනස්විම ගැන ලොකු කතාබහක් සහ විවේචන තියෙනවා. ඔය කාරණය දිහා කළමනාකරණ ප්‍රවේශයක් ඔස්සේ මම කියන දේ තමයි වර්තමාන පාලන රටාව තුළ යම් වෙනස්කම් සිදුකිරීමකින් තොරව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් නොහැදිය යුතුයි. උදාහරණයකට පළාත් සභාව තුළ පවතින පරිපාලන ගැටලු විසඳාගනිමින් තමයි අපි අලුත් ව්‍යවස්ථාවකට යා යුත්තේ. මේ ආයතනවල ඵලදායීතාව ඉහළ නංවාගත්තොත් අලුත් ව්‍යවස්ථාවක් සඳහා පවතින පසුබිම වඩාත් පහසු වේවි. 

සංවාදය - රජිත ජාගොඩ ආරච්චි 

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00