- බරපතළ වංචා හා දූෂණ සෙවීමේ ජනාධිපති කොමිසමේ හිටපු ලේකම් ලැසිල් ද සිල්වා
ඔබ දූෂණ වංචා කොමිසමෙන් බැහැර වුණාට පස්සේ එදා එහි තිබ්බ කටයුතු සහ අද තත්ත්වය කොහොමද සංසන්දනය කරන්නේ? හොඳද නරකද?
දූෂණ කාර්යංශය ගැන කතා කරන්න අද මට අයිතියක් නෑ. සාමාන්‍ය පුරවැසියෙක් විදිහට මට ඇහෙන දේ තමයි. පහුගිය රජයේ අඩුපාඩු රාශියක් තිබුණා. දූෂණ වංචා විශාල වශයෙන් සිදුවුණා. මේ රජය මැතිවරණ පොරොන්දුවක් හැටියට වංචා දූෂණ සහමුලින්ම නවත්වනවා, යහපාලන රාජ්‍ය පාලනයක් ජනහිතකාමී පරිපාලනයක් හඳුන්වා දෙනවයි කියලා පොරොන්දු වුණා. අද අපි දකින්නේ කිසියම් විදිහට මිනිසුන්ගේ අපේක්ෂාවන් සිඳීබිඳී ගිය, දූෂණය තවදුරටත් වැඩි වෙච්ච, අවුරුදු දහයකට ආසන්න කාලයට පෙර රජය කළ වංචා දූෂණවලට වඩා වැඩි වේගයකින් රටේ දූෂණයක් වැඩි වෙච්ච බවක් තමයි පේන්න තියෙන්නේ. බැඳුම්කර කොමිෂන් සභාවේ හෙළිවුණු කරුණු කාරණාවලින් හෙළි වුණේ අදහාගත නොහැකි තරමට රට දූෂණ වෙලා කියලයි.
අපේ රටේ දක්ෂ පාලකයන් බිහි නොවීම කරුමයක්
ඔබ මේ යහපාලන රජයට මුල්ම කාලේ සිට සහය දුන් නිලධාරියෙක්. ඔබට එවැනි රාජකාරියක් නැවත දුන්නොත් ඔබ භාරගන්නවාද?
එදා යම්කිසි විදිහකට වගකීමක් ඇතිව කළ දේ නැවත ස්වාධීනව කරන්න බාරදුන්නොත් රට වෙනුවෙන් අනිවාර්යෙන්ම භාරගන්නවා වගේම ඒ වගකීම සියට සීයක්ම ඉටුකරන්නත් පුළුවන්. එදා මැතිඇමතිවරැ රාජ්‍ය නිලධාරීන් තැති ගැන්මකට ලක්වුණා අපි දූෂණ වංචා සොයා ගිය ආකාරය සම්බන්ධයෙන්. ඉතාම කාර්යක්ෂම අයුරින්, සූක්ෂම ආකාරයෙන්, අවුල් සහගත තත්ත්වයන් නිර්මාණය කර නොගෙන මතගැටුමක් නැතිව දූෂණයට ලක්වෙච්ච පුද්ගලයන් සමඟ සුහදව කටයුතු කළා. හිටපු ජනාධිපතිතුමා පවා කිසිම ආරවුලක් නැතිව විමර්ශනයට කරන්න පුළුවන් වුණා. සාර්ථකව කරගෙන ගියා. හැබැයි මම වැඩකරන්න කැමති මට කිසිම ඇගිල්ලක් ගහන්නෙ නැතිව නිදහස් පරිසරයක් තියෙනවා නම් විතරක්.
ඒ කියන්නේ ඔබ රාජකාරි කරන කාලේ ඔබට අදාළ රාජකාරී කිරීම සම්බන්ධව ඉහළින් බලපෑම් තිබ්බ ද? ඇඟිලි ගැසීම් සිදුවුණා ද?
ජනාධිපතිතුමා නම් බලපෑම් කළේ නෑ. නමුත් එවකට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඇතැම් බලපෑම් තිබුණා. විවිධ අපහසුතා තිබුණා. නමුත් ඒවා මම නිරවුල් කරගත්තා. ඒනිසා ජනාධිපති කාර්යාලයෙන් බාධා තිබුණා කියන්න බෑ. නමුත් විවිධ බලපෑම් තිබුණා.
දැන් හිටපු මුදල් ඇමැතිවරයාගේ කාලේ සිදුවෙච්ච බැඳුම්කර වංචාව ගැන හොයන්න ජනපති විමර්ශන කමිටුවක් පත්කර විමර්ශන කටයුතු සිදුවෙනවා. ඔබ ඒ කාලෙ හිතුවද මේ රජයේ ඇමතිවරයකුට මෙවැනි දෙයක් සිදුවෙයි කියලා?
අපිට පුංචි පුංචි හැඟීම් ඇතිවුණා. මම කොමිසමේ ඉන්න කාලෙදි තමයි මේ වංචාව ගැන මතවාදයක් ගොඩනැගුණේ. මම ඒ කාලෙදිම ජනාධිපතිතුමන්ට කිව්වා අපිට මේක කරන්න බෑ, අපිට බලය දීලා තියෙන්නේ 2010 ජනවාරි සිට 2015 ජනවාරි වෙනකම් විතරයි. අලුත් ආණ්ඩුවේ ආණ්ඩුවේ වංචා ගැන විමර්ශන කටයුතු කරන්න අපිට බලයක් නෑ. මේවත් කරන්න පුළුවන් අපිට බලය දෙන්න කියලා ඉල්ලුවා. ඒත් ලැබුණේ නෑ.
ආණ්ඩුවකට එරෙහිව මිනිස්සු පාරට බහින්නෙ විනෝදෙට නොවෙයි
යහපාලන රජය බිහිවෙන්නේ හිටපු මහින්ද රාජපක්ෂ රජයේ පැවැති ප්‍රබල දූෂණ සහ වංචාවලට එරෙහිවයි. දැන් ඒ දූෂණ සහ වංචා සිදුවීම් විමර්ශන බොහෝමයක් පැත්තක තිබියදී පවතින රජයේ ඇමැතිවරයකුට එරෙහිව විමර්ශන කරන්න සිදුවීම ඔබ දකින්නේ කොහොමද? මේකෙ වැරැද්ද තියෙන්නේ කොතනද?
එක පැත්තකින් එක්සත් ජාතික පක්ෂයෙත් හොරු හිටියා. පැරදිච්ච හොරැ විශාල පිරිසක් නැවත පාර්ලිමේන්තුවට ගත්තා. එහෙම පරිසරයක් තුළ මේ දේශපාලන ක්‍රියාවලිය තුළ වැඩිදෙනෙක් ඉන්නේ එවැනි පිරිස්. කලින් කාණ්ඩයේ දූෂණ වංචාවලට සම්බන්ධ පිරිස සමඟත් මොවුන්ගේ සම්බන්ධතා තියෙනවා. ඒ නිසයි මේ රජයටත් හරියට කටයුතු කරන්න බැරි වුණේ. අඩුගානේ මාර්තු 12 ගිවිසුමේ එකඟත්වයක් පරිදි නිවැරදි පුද්ගලයෝ පාර්ලිමේන්තුවට පත්කළා නම් මෙවැනි තත්වයක් නිර්මාණය වෙන්නේ නෑ. ජනතාවට සැනසුම් සුසුමක් හෙළන්න තිබුණා.
සමහරු කියනවා බලයේ හිටපු හුඟක් ලොකු ලොක්කො අල්ලන්න බැරිවෙන්න හොරකම් සිදුකරලා තියෙනවා. පස්සෙ ඒවා කාලය නැමැති වැලිතලාවට යටවෙලා යනවා. මේ වර්තමානයේ සිදුවන සිදුවීම්වලටත් ඒකම වෙන්න පුළුවන් ද?
මේ පාර්ෂවය හරිම නවකයොයි වංචා දූෂණවලට. පහුගිය රජයේ දූෂණය වංචාව පිළිබඳ විමර්ශනය කිරීම ඉතාමත් දුෂ්කර කාර්යයක් වුණා. නමුත් මේගොල්ලෝ ක්‍රියාව අතේ කෝට් කියන කතාව වගේ තමයි. රවි කරැණායක ඇමැතිවරයා කරපු සියල්ලම කරල තිබෙන්නෙ කපටිකම නිසා නෙවෙයි අත්දැකීම් නැතිකම නිසයි. මේ පිරිස කරපු බොහෝමක් ඒවා මෙවැනි දේවල්. ජනතාවගේ වාසනාවක් මේක. අල්ලස් දූෂණ නිසා විශාල වශයෙන් සාමාන්‍ය මිනිස්සු බැටකෑවා. රට ජනතාව මුහුණු පාන ගැටලු කාලයක් තිස්සේ සිදුවෙච්ච දූෂණ වංචාව නිසා තාම මිනිස්සු තේරුම් අරගෙන නෑ.
හැම ආණ්ඩුවක්ම බලයට එන්නේ අපි රටේ දූෂණ වංචා නැති කරනවා. හොරකම් මැරකම් නැතිකරනවා කියාගෙන. මේ හැම දෙනෙක්ම බලයට ඇවිල්ලා ටික කලකින් ආපු කාරණේ අමතක කරන ගතියක් තියෙනවා. ඇයි එහෙම වෙන්නේ?
අපේ රටේ දක්ෂ පාලකයෝ බිහිවෙලා නෑ. ඒකයි කරැමක්කාරකම. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග බලයට ආවේ පොරොන්දු රාශියක් දීලා. පසුගිය රජය වුණත් සුභ අනාගතයක්, ආසියාවේ ආශ්චර්ය වගේ දේවල් ඉදිරිපත් කළා. මේ ගොල්ලොත් ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය වගේ දේවල් කිව්වේ ආණ්ඩු බලය ගන්න උප්පරවැට්ටියක් ලෙස මිසක් රාජ්‍යතාන්ත්‍රයක් හැටියට කටයුතු කරන්න නෙවෙයි. පාර්ලිමේන්තු ක්‍රියාවලියේ තියෙන වගකීම් ව්‍යවස්ථාවේ තියෙන ප්‍රජාතන්ත්‍රවාදය වගේ දේවල් ක්‍රියාත්මක කරන්න දේශපාලනය කරන අයට හැකියාව අවබෝධයක් තියෙන්න ඕනෑ. ප්‍රජාතන්ත්‍රීකරණය හා වගකීමේ යාන්ත්‍රණය වගේ දේවල් පිටපතේ තියෙනවා. ඒත් ක්‍රියාත්මක වෙන්නෙ නෑ. ඒ සඳහා යම්කිසි දේශපාලන අභිලාෂයක් තියෙන්න ඕනෑ.
වැරදි නොකරන රාජ්‍ය නිලධාරීන් බයවෙන්න ඕන නෑ
ඔබ කියන්නේ රට මේ තත්ත්වයට පත්වුණේ දේශපාලන අභිලාෂයක් නැතිකම, පොරොන්දු ඉටු නොකිරීම වගේ දේවල් හින්ද ද?
ශ්‍රී ලංකාව 1948දී ආසියාවේ තුන්වන බලවත්ම රට. එදා කාටවත් ණය වෙලා තිබුණේ නෑ. අද එක් කෙනෙක් ලක්ෂ 5කට වඩා වැඩි ප්‍රමාණයක් ණයයි. ඒ සේරම ජනතා සුභසිද්ධිය නිසාවත් ජනතා අවශ්‍යතා නිසාවත් ගත්ත ණය නෙවෙයි. ඒවගේම රටේ සම්පත් යොදවලා තියෙන්නෙත් රටේ දියුණුවට නෙවෙයි. එහෙම වෙන්නේ අභිලාෂයක් නැති නිසායි. අපි අවුරුදු 30ක් යුද්ධ කළා. දැන් යුද්ධය අවසන් වුණාට පස්සේ ජනතාවට සහනයක් ලබා දෙන්න ඕනැ. නමුත් වෙලා තියෙන්නේ දූෂණය වංචා නිසා රට ආපස්සට ඇද දැමීමක්. ඒ නිසා පොරොන්දු දුන්නා වගේ නෙවෙයි පොරොන්දු ඒ ඉෂ්ඨ කරන්නත් ඕනෑ.
රටපුරා උද්ඝෝෂණ වැඩවර්ජන රැල්ලක් පැතිර ගිහින්. නොවිසඳුණු ගැටලු ගණනාවක් එකතුවෙලා තියෙනවා. මෙහෙම වෙන්නේ රජයේ ක්‍රියාමාර්ගවල වැරැද්ද හින්ද ද?
මිනිස්සු පාරට බහින්නේ විනෝදෙටවත් මොකක් හරි සමරන්නවත් නෙවෙයි. මිනිස්සුන්ට තියෙන සමාජමය ගැටලු අසාධරණ නිසා. ආණ්ඩුවත් උද්ඝෝෂණ කරන්න වෙනම තැනක් හදලා දෙනවා කියනවා. ඒක නෙවෙයි කෙරෙන්න ඕන තියෙන ප්‍රශ්න හඳුනාගෙන විසඳන්නයි ඕනැ. දේශාපලකයන්ට එය කරන්න පුළුවන්කම, හැකියාව තියෙන්න ඕනැ. මිනිස්සුන්ට යන්න එන්න බස් නෑ, පාරවල් කැඩිලා, බෝක්කු කැඩිලා, ඉස්පිරිතාලවල බෙහෙත් නෑ, වෛද්‍යවරු ස්ට්‍රයික්, සයිටම් ප්‍රශ්නය, වරාය ජනසතු කිරීම වගේ ප්‍රශ්න තියෙනවා. මේවා කතාකරලා විසඳගන්න පුළුවන් වෙන්න ඕනැ.
ඔහොම ප්‍රශ්න ගොඩගැහුණේ ඇයි?
ආණ්ඩුවට තීන්දු තීරණ ගන්නට බැරිකම එක හේතුවක්. පහුගිය රජයේ ඉඳලා මේ රජය දක්වාම විවිධ දූෂණ වංචා චෝදනා තියෙන පිරිස් ඉන්නවා. දැන් රවි කරැණානායකට තීන්දුවක් ගත්තොත් තව මන්ත්‍රීවරයෙක්, ඇමතිවරයෙක් ඉන්නවා කියලා ඔහු කියාවි. ඉස්සර ඉඳල මේගොල්ලො දූෂණ වංචා පිළිබඳව කටයුතු කළේ ඇල්මැරුණු ස්වරෑපයකින්. දැනට හරි නම් රවි කරුණානායක සම්බන්ධයෙන් තීරණයකට යන්න ඕනැ. මේක පිටරටක වුණා නම් මේ වෙද්දි සේවය අත්හිටුවලා. මේවා සම්බන්ධයෙන් කටයුතු කිරීමට තියෙන අධිකරණය ඇතුළු ස්ථාපිත කර තියෙන අනෙක් ආයතන ශක්තිමත් කර ඔවුන්ට ස්වාධීන වැඩ කරන්න ඉඩ දිය යුතුයි. අල්ලස් හෝ දූෂණ කොමිසම වුණත් අක්‍රිය වී තියෙන්නේ රජයේ අවශ්‍යතා මත වෙන්න පුළුවන්.
මේ සිදුවෙමින් පවතින ඇතැම් විමර්ශන කටයුතු නිසා රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් තීන්දු ගන්න පැකිළෙන ගතියක් අදිමදි කරන ගතියක් පේන්න තියෙනවා. එසේ විය යුතුද?
විමර්ශන කටයුතු කරගෙන යනකොට රාජ්‍ය නිලධාරීන් කියනවා, කොමිෂන් සභා කටයුතු අපිට විශාල ප්‍රශ්නයක්, ඒ නිසා රාජකාරි කටයුතු කරන්න බෑ. ඒ සම්බන්ධයෙන් යම් සහනයක් ඕනැ කියලා. කිසියම් පුද්ගලයෙක් වැරදි කළා නම් අදාල ආයතන ඉදිරියෙ කටඋත්තර දෙන්න ඕනැ, විමර්ශනවලට සහයෝගය දෙන්නත් ඕනෑ. අද කාලේ රාජ්‍ය නිලධාරින්ගේත් අති බහුතරයක් දූෂිතයි. දේශපාලකයෝ වගේම ඔවුනුත් වංචා දූෂණවලට හවුල් වෙච්ච නිසා දෙගොල්ලොම එකඟ වුණා මේ ක්‍රමය තුළම විමර්ශන වැඩපිළිවෙල අසාර්ථක කරන්න. තමන් අනුගමනය කළ යුතු නීතිරීති අනුගමනය කරමින් මූල්‍ය රෙගුලාසි අනුව කොන්ද පණ ඇතුව රාජකාරිය කරනවා නම් රාජ්‍ය නිලධාරීන් බය වෙන්න ඕනැ නෑ. නිලධාරීන් හොඳ නම් සේවාවන් අඩපන වෙන්න ඕන නෑ.
විගණන පනත ක්‍රියාත්මක කරනවට රාජ්‍ය නිලධාරීන් බය වෙන්නත් හේතුව ඒකම ද?
පනත හරියට ක්‍රියාත්මක කර තිබුණා නම් රාජ්‍ය නිලධාරීන්ට පවා දඬුවම් කිරීමට හැකියාව තියෙනවා. තමන් රාජකාරි කරපු කාලේ අයථා විදිහට මුදල් පරිහරණය කරලා තිබුණ නම් දඬවමට ලක්කරනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුවම විගණකාධිපතිවරයාට ඒ බලතලා දීලා තියෙනවා.
මේ රජයේ තවත් පොරොන්දුවක් තමයි ජාතික සංහිඳියාව ඇති කිරීම. මේ දැන් යාපනයේ සිදුවන සිදුවීම් ජාතික සංහිඳියාවට කොච්චර ලොකු බලපෑමක් ඇති කරයිද?
ජාතික සංහිඳියාවයි යහපාලනයයි කියන්නේ යම්කිසි විකාරයක්. මේ රජය බලයට එන්න කියපු දෙයක්. රටේ නොවිසඳුණු ප්‍රශ්න රාශියක් තියෙනවා. රටේ නීතිය ක්‍රියාත්මක කර මිනිස්සුන්ට සාධාරණත්වය ඉටුකරනවා නම් බොහෝ ප්‍රශ්න විසඳගන්න පුළුවන්. මේ ගැටුම් නිර්මාණය කරපුවා. ඒවා තවත් ව්‍යාකූල කරලා. මැතිඇමතිවරැ තම කොටස නිසිපරිදි කරනවා නම් සංහිඳියාව ඉබේම ගොඩනැගෙනවා.
සාකච්ජා කළේ - සකීෆ් සාම් තන්වීරි
සේයාරුව | සුමුදු හේවාපතිරණ