2017 අගෝස්තු 05 වන සෙනසුරාදා

රවිද? ආණ්ඩුවද?

 2017 අගෝස්තු 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 273

රවි කරුණානායක බැඳුම්කර කොමිසමේ සාක්කි දී එළියට බැස්ස වෙලාවේ ඔහු මාධ්‍ය සාගරයකට මැදිවිය. ඒ මහා සාගරය මැද සිටිමින් රවි අදහස් දැක්විය. පොදුවේ ඔහු කිව්වේ මෙවන් කතාවකි.

“සාක්ෂි නැතිව මා මාධ්‍යයෙන් එල්ලන්න හැදුවා. සියලු දේ බොරුයි කියා මා අද සාක්ෂි සහිතව ඔප්පු කර පෙන්නුවා. මට කියන්න තිබෙන්නේ රජයේ නීතිපති දෙපාර්තමේන්තුව, අපේ චරිතය ඝාතනය කරලා ඒ අය ඉහළ තනතුරැවලට යන්න දඟලන බවයි. 

මේකෙන් අපට පෞද්ගලිකව ජීවත් වෙන්නවත් බැරි තත්ත්වයක් නිර්මාණය වෙලා. අප ආවේ යහ පාලනය, පිරිසිදු පාලනය ඇති කරන්නයි. ඒකට ඉහළින්ම මා කටයුතු කළ පුද්ගලයකුයි.

මා මුදල් අමාත්‍යංශයේ අවුරුදු දෙකහමාරක පිරිසුදු  පාලනයක් ගෙන ගිය බව ඕනෑම කෙනෙකුට පෙනෙනවා. අද මේ සිදුවී තිබෙන්නේ දේශපාලනයේ, අපේම හිතවත් පිරිසක් කරන දේවල්වල ප්‍රතිඵලයි.
ඇත්ත හෙළිදරව් වෙනවා. වසන් කරන්න බැහැ. මාධ්‍ය නිකරුණේ මගේ චරිත ඝාතනය කරලා තිබෙනවා. එය නිවැරදි කරන එක ඔබ සියලු දෙනාගේම කටයුත්තයි. මෙතැන කියපු දේවල් සාක්ෂාත් වෙනවා. 
පෙන්ට් හවුස් (Penthouse) කියා වැරදි දේවල් පෙන්නලා. මා දේශපාලනයට එන්න පෙරාතුව පාර්ලිමේන්තුව ළඟ ගෙදර තිබුණා. මේවා අලුත් දේවල් නෙවෙයි.

නීතිපති දෙපාර්තමේන්තුව හොරුන් පස්සේ යන්නේ නැතුව යහපාලනය හදපු අය පස්සේ යනවා. අද මට සතුටුයි. රජය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයකු විදිහට නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඇවිත් ප්‍රශ්න කරනවා. මේක අවුරැදු 3කට පෙර කළානම් මොනවද වෙන්නේ? සුදු වෑන්වලින් යන්න තිබුණා නේද?”

රවි එහෙම කිව්වත් පැය 24ක් ගත වීමටත් මත්තෙන් ඔහුට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් බාරදී තිබිණි. ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරැන් 32කගේ අත්සන් එහි යොදා තිබූ බවත් එම අත්සන් ගණනාවක් ලබා ගත්තේ කෙහෙළියගේ පුත් රමිත් රඹුක්වැල්ලගේ විවාහ මංගල උත්සවයේදී බවත් පැවැසිණි. පසුගිය බ්‍රහස්පතින්දා (03) සවස බාරදුන් එම විශ්වාසභංගයේ සඳහන් වන්නේ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති අර්ජුන් ඇලෝසියස් මහතා සමඟ සමීප සම්බන්ධයක් පවත්වාගෙන යාම හේතුවෙන් මුදල් අමාත්‍යධූරය හෙබැවූ රවි කරුණානායක මහතා පිළිබඳව සභාවේ විශ්වාසය බිඳ වැටී ඇති හෙයින් ඔහු සියලු අමාත්‍යධූර වලින් ඉල්ලා අස්විය යුතුයි යනුවෙනි. මේ යෝජනාවේ නීත්‍යානුකූලභාවය කතානායකවරයා විසින් විමසීමෙන් පසුව එහි ගැටලුවක් නැතැයි දැනුම් දෙනු ලැබුවොත් එය න්‍යාය පුස්තකයට ඇතුළත් කර විවාදය පැවැත්වීමට පියවර ගැනෙනු ඇත. ඒ සඳහා සති කිහිපයක කාලයක් ගතවෙයි.

යහපාලන ආණ්ඩුව බලයට පැමිණීමෙන් පසුව රවිට එරෙහිව බාරදෙනු ලැබූ දෙවැනි විශ්වාසභංගය මෙයයි. මීට පෙර 2015 වසරේදී රවිට එරෙහිව ගෙන එනු ලැබූ විශ්වාසභංගය විවාදයට ගැනීමට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරීම හේතුවෙන් එම යෝජනාව විසිවිය. එදා රට තුළ තිබූ තත්ත්වයත් පාර්ලිමේන්තුව තුළ ආණ්ඩුව හසුරැවා ගත හැකිව තිබූ බලයත් අද දවස සමඟ සංසන්දනාත්මකව බලනකල වෙනස්ය. එදා පාර්ලිමේන්තුව ඇතුළේ ශ්‍රීලනිප මන්ත්‍රීවරැන් යූ.එන්.පීයට වඩා සිටියත් මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති පදවියට පත් වැඩිකාලයක් ගත වී නොතිබීමත් රජයේ සේවකයන්ගේ වැටුප් වැඩිකර ඉන්ධන මිලද බස්සවා තිබීම නිසාත් රවිට එරෙහිව විශ්වාසභංගයට මුහුණදීමට ආණ්ඩුවට හැකියාව තිබුණි. එහෙත් අද එහෙමදැයි විමසුවොත් පිළිතුර ලැබෙනු ඇත්තේ නැත කියාය.

අද ආණ්ඩුවේ ඇතැම් ක්‍රියාමාර්ගවලට එරෙහිව රට පුරා තැන තැන උද්ඝෝෂණ පැවැත්වෙයි. වැඩවර්ජනද කෙළවරක් නැත. සයිටම් සටන හැමදාම මහපාරේය. ඒ සමඟ බැඳුම්කර වංචාව රට පුරාම පොදු මාතෘකාවක් බවට පත්ව තිබේ. ආණ්ඩුව ඇතුළෙන්ද ඇහෙන්නේ හතර බීරි කතාය. යූ.එන්.පියට එරෙහිව ශ්‍රීලනිප මැති ඇමැතිවරුන් චෝදනා එල්ල කරන්නේ එළිපිටමය. යූ.එන්.පිය ගිවිසුම් අත්සන් කරන විට රට විකුණන වැඩට අපි නැතැයි ශ්‍රීලනිප වේදිකාවෙන් ඇසෙන්නේය. මීටත් වඩා සැලකිලිමත් විය යුත්තේ පසුගිය සතියේ අවස්ථා දෙකකදී මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා කළ ප්‍රකාශ දෙක ගැනය. එකක් 113ක් ආසන හදාගත්තත් තමන්ගේ ආශිර්වාදය නැතුව ආණ්ඩුවක් හදාගත නොහැකි බවය. අනෙක තමා අපිරිසිදු පාලනයක් ගෙන යාමට සූදානම් නැති බවට කළ ප්‍රකාශයයි. 

මෙහි පළමු ප්‍රකාශය එනම් ආසන 113 කතාව ජනාධිපතිවරයා කළේ හිඟුරක්ගොඩ පැවැති රාජ්‍ය උත්සවයකදීය. පාර්ලිමේන්තුවේ ආසන 113ක් හදාගැනීමෙන් පසුව ආණ්ඩුව සහ ජනාධිපතිවරයා අවසන් බවට විපක්ෂයේ මන්ත්‍රීවරයකු පුවත්පතකට කළ ප්‍රකාශයට පිළිතුරක් වශයෙන් ජනාධිපතිවරයා එසේ කිව්වේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව තමන්ගේ ආශිර්වාදය නැතිව ආසන 113ක් තිබුණත් අලුත් ආණ්ඩුවක් හැදිය නොහැකි බව ජනාධිපතිවරයා කිව්වේ ඒකාබද්ධ විපක්ෂයට පිළිතුරක් හැටියට විය හැකිය. ඒ කතාව කියන විට රවිට එරෙහි විශ්වාසභංගයක් ගැන කතාවක් තිබුණේ නැත. මේ නිසා විශ්වාසභංගය විවාදයට ගැනීමට තීරණය කළොත් ජනපති කියූ 113 කතාවට අලුත් තේරුමක් ලැබීමටද ඉඩ තිබේ. 

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් කොමිසමක් පත්කොට ඒ ගැන කරුණු විමර්ශනය ආරම්භ වීම ගැන යූ.එන්.පිය මුල පටන්ම හිටියේ සතුටින් නොවන බව පැහැදිලිය. ඔවුන් මුල සිටම දැරූ අදහස වූයේ එහිදි කිසිම වංචාවක් සිදු වූ බවට තොරතුරු නැති බවය.  යූ.එන්.පිය එසේ කිව්වත් ජනාධිපතිවරයා එම ස්ථාවරයේ නොසිටින බව පැහැදිලි විය. බැඳුම්කර ගනුදෙනුව හේතුවෙන් රජයට එල්ල වන අපකීර්තිය වළක්වා ගන්නට නම් අර්ජුන මහේන්ද්‍රන් මහ බැංකු අධිපති පදවියට යළි පත් නොකළයුතු බව ජනපතිගේ ස්ථාවරය විය. එහි පැහැදිලි සංඥාව වුණේ පුද්ගලයකු හේතුවෙන් ආණ්ඩුවේ අනාගතය අවදානමකට ගැනීමට තමන් සූදානම් නැතැයි යන්නය. 

මේ විවාදය ඇදි ඇදී යද්දී යහපාලන ආණ්ඩුව බලයට ගෙන ඒමට දරදිය ඇද්ද සිවිල් ක්‍රියාකාරිකයන් පවා ගත්තේ ජනාධිපතිවරයාගේ පැත්තය. එක් ක්‍රියාකාරිකයෙක් වරක් කියා තිබුණේ පුද්ගලයකු රැකගන්නට ගොස් අගමැතිවරයා ආණ්ඩුව අහිමිකර ගත යුතු තත්ත්වයකට නොවැටිය යුතු බවය. අවසානයේ ජයගත්තේ ජනාධිපතිවරයාගේ තීන්දුවයි.

ඊළඟට බැඳුම්කර කොමිසම ආරම්භ වීමට පෙර ඇමැතිධූර මාරුවක් ගැන කතාබහ පැතිරැණේය. එය අවසන් වූයේ රවිගේ මුදල් ඇමැති පදවිය හුවමාරුවකිනි. එහිදී දැනගන්නට ලැබුණේ රවිගේ මුදල් ඇමැති පදවිය වෙනස් නොකරන ලෙසට ආණ්ඩුවේ යූ.එන්.පී. පාර්ශ්වයෙන් ජනාධිපතිවරයාට දැඩි ලෙස බලපෑම් සිදු කෙරුණු බවය. නමුත් ශ්‍රීලනිපයෙන් ආණ්ඩුවට එකතු වී සිටින මැති ඇමැතිවරුන් ජනාධිපතිවරයාට දිගටම කියා තිබුණේ ආණ්ඩුවේ හොඳ නම රුකගන්නට නම් රවි මුදල් ඇමැති ධූරයෙන් යා යුතු බවය. එතැනදීද ජනාධිපතිවරයා පුද්ගලයකු වෙනුවට තෝරාගත්තේ ආණ්ඩුවේ පැවැත්මය. ප්‍රතිඵලය රවිට මුදල් ඇමැති පදවිය අහිමිව යාමය.

ඉතිහාසයේ වරින් වර පක්ෂය රැකගන්නට මැති ඇමැතිවරුන්ගේ පට්ටම් ගහලා ගිය අවස්ථා ගණනාවක් තිබේ. එක් උදාහරණයක් ලැබෙන්නේ ශ්‍රීලනිපයෙනි. ඒ සිරිමාවෝ මැතිනියගේ ප්‍රජා අයිතිය අහිමිවිමේ අවස්ථාවෙන් පසුවය.

එහිදී පක්ෂ්‍ය තුළ කැරළි ගැසුවේ වෙන කවුරුත් නොව මැතිනිගේ පුත් අනුර බණ්ඩාරනායකය. පක්ෂ නායකත්වය ලබා ගැනීමට අනුර දිගටම දැරු උත්සාහය අවසානයේ පක්ෂය දෙකඩ වන අවස්ථාවක් තරමට දරුණු විය. දන්න සෙල්ලම් සියල්ල දැම්මත් සිරිමාවෝ මැතිනියට තම පුත් අනුර පාලනය කර ගැනීමට හැකි වූයේ නැත. අවසානයේ සිරිමාවෝ තෝරා ගත්තේ තම පුත් අනුර නොව පක්ෂයයි. ඉන් පක්ෂය බේරුණේය. අනුරට අවසානයේ පක්ෂය හැරයාමට සිදුවිය. ඔහු 1993දී ශ්‍රීලනිපයෙන් යූ.එන්.පියට එක් වුණේය. මෙරට වාර්තා තැබු අගමැති පියකුගේ හා අගමැති මවකගේ පුතු වූ අනුරට පක්ෂයද අහිමි විය. ඔහු පාර්ලිමේන්තුවේ ගතකළ වසර 25කට  ආසන්න කාලය තුළදී ආණ්ඩු පක්ෂයක සිටීමට වාසනාව තිබුණේ වසර 5ක පමණ කාලයක් පමණි. මේ කිසිවක් සිරිමාවෝ මැතිනිය සැලකිල්ලට ගත්තේ නැත. පක්ෂයේ ශක්තිය රැකීම මැතිනියගේ ලොකුම උවමනාව විය. ප්‍රතිඵලය තම පුතු පක්ෂයෙන් නෙරපා හැරීමය.

මීළඟට යූ.එන්.පීයෙන්ද උදාහරණයක් ගත හැකිය. 77 දී බලයට පත් යූ.එන්.පී රජයේ බලවත් ඇමැතිවරයකු වූයේ සිරිල් මැතිව්ය. ඔහු ජේ.ආර්.ගේ ඉතා සමීප මිත්‍රයෙක් විය. ජේ.ආර්ලාගේ දේශපාලන බලකොටුවක් වූ කැලණිය ආසනය සිරිල් මැතිව්ගේද ආසනය විය. එසේ වුවත් 83 ජූලි කලබලවලට සිරිල් මැතිව්ගේ නම ඈදීමත් සමඟ ජේ.ආර්. සිරිල් මැතිව් පිළිබඳව තීරණයක් ගත යුතු තැනකට තල්ලු විය. ජූලි කලබල වලින් පසුව අගෝස්තු 04 වැනිදා පාර්ලිමේන්තු රැස්වීමේදී 6 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කළ අවස්ථාවේ මැතිව්ගේ ක්‍රියාදාමය විවේචනයට ලක් විය. අවසානයේ 1984 වසරේදී සිරිල් මැතිව් පක්ෂයෙන්ද නෙරපා දමනු ලැබීය. එම තීරණාත්මක අවස්ථාවේදී ජේ.ආර්. රුකගත්තේ තම හිතවත් ඇමැතිවරයාගේ ඇමැතිකම නොව පක්ෂයේ හොඳ නමය. ආණ්ඩුවේ පැවැත්මය. (සිරිල් මැතිව්ට යලි පක්ෂ සාමාජිකත්වය ලබාදුන්නේ ප්‍රේමදාස ජනාධිපතිවරයා විසිනි. ඒ මැතිව් 1989 ඔක්තෝම්බර් 17 වැනිදා මිය යාමට මාස 06ක පෙරදීය).

මේ විදියටම ජේ.ආර්. පාලනයේ තවත් ඔහුට ඉතා සමීප ඇමැතිවරයකු වූ එම්.ඩී.එච්. ජයවර්ධනද ප්‍රශ්නයක් ඇතිකරගත් අවස්ථාවේ ඔහු කටයුතු කළේ එම්.ඩී.එච්. බේරාගැනීමට නොව පක්ෂයත් ආණ්ඩුවත් ආරක්ෂා කරගැනීමටය. එම ආණ්ඩුවේම කඹුරුපිටිය මන්ත්‍රීවරයා වී සිටි ඩී.ඊ. මලවරආරච්චිට එරෙහිව විපක්ෂය විසින් අල්ලස් ගැනීමේ චෝදනා එල්ල කළ විට ජේ.ආර්. කළේ මලවරආරච්චිට එරෙහිව පරීක්ෂණයක් පවත්වා ඔහු ඉවත්කොට පක්ෂයේ හොඳ නම රැක ගැනීමය.

පක්ෂයක සාමාජිකයකුට එරෙහිව චෝදනා එල්ල වන විට ඒ දෙස විමසුම් ඇසකින් නොබලා සිටීමට කිසිම නායකයකුට නොහැකි බව ජේ.අාර්.දුන් අාදර්ශය විය. එය ආණ්ඩු පක්ෂයේ විපක්ෂයේ කියා වෙනසක් නැත. විපක්ෂයක සිටින විට එය පක්ෂය රැක ගැනීමේ සටනකි. එහෙත් ආණ්ඩුවක සිටින විට එය ආණ්ඩුව රැකගැනීමේ පියවරකි. රවිගේ ප්‍රශ්නය දෙස ආණ්ඩුවේ පාර්ශ්ව දෙක බලන්නේ දෙවිදියකට බව මුල සිටම පැහැදිලි විය. ශ්‍රීලනිප මැති ඇමැතිවරැන්ට දැන් සියල්ලටම වඩා අවශ්‍ය වන්නේ ඒකාබද්ධ විපක්ෂයෙන් එල්ල වන පීඩනයෙන් ගැලවීමටය. රවිට එරෙහිව එල්ලවන බැඳුම්කර වංචා චෝදනා හේතුවෙන් තමන්ගේ දේශපාලන අනාගතය විනාශ කරගන්නට මේ කිසිවකුත් කැමැති නැත. රවිට එරෙහිව පියවරක් ගන්නැයි ඔවුන් දැන් සිටම බලකරන්නේ එබැවිනි. 

ජනාධිපතිවරයාට ඊළඟට තීරණය කරන්නට තිබෙන්නේ රවිට එරෙහිව ඇති චෝදනා සම්බන්ධයෙන් තමන්ගේ ශ්‍රීලනිප ඇමැති සගයන් එල්ල කරන බලපෑම් හමුවේ කුමක් කළ යුතුද යන්නය. රවීට එරෙහිව පියවරක් නොගත්තොත් ඒ පිට දමා ශ්‍රීලනිප මැති ඇමැති පිරිසක් ඒකාබද්ධයට එක්වීමට හොඳටම ඉඩ තිබෙන බව පැහැදිලිය. එහෙම වුණොත් ශ්‍රීලනිපයෙන් කිහිප දෙනකු බිලි බාගෙන 113ක් හදාගෙන යූ.එන්.පියට ආණ්ඩුවක් හදාගැනීමටද ඉඩකඩක් විවර වෙයි. ජනාධිපතිවරයා 113 කතාව කල් තබාම කිව්වේ ඒකාබද්ධයට වුවද එය යූ.එන්.පියටත් එකසේ අදාළ වන බව දැන් උද්ගතව තිබෙන අවස්ථාව අනුව ඕනෑම කෙනකුට කිව හැකිය.

යූ.එන්.පිය ඇතුළේ තත්ත්වයද රවිගෙ සාක්ෂියෙන් පසුව උණුසුම්ව තිබෙන බව කිව යුතු නැත. ඔහුට එරෙහිව විශ්වාස භංගය විවාදයට ගත්තොත් ඇතැම් විට අපේක්ෂා කළ නොහැකි තත්ත්යන්ද ඇති විය හැකිය. යූ.එන්.පිය සමඟ සිටින හවුල්කාර පක්ෂ වලටද ගැටලු ඇති වීමට ඉඩ තිබේ. යූ.එන්.පියට පාර්ලිමේන්තුව ඇතුළේ 106ක ආසන ප්‍රමාණයක් තිබෙන්නේ හවුල්කාර පක්ෂද සමඟ එකතුවය.

යු.එන්.පී නායකයා වශයෙන් රනිල් මෙහිදී ඉතාම තීරණාත්මක තත්ත්වයකට පත්ව සිටින බව නොරහසකි. ආණ්ඩුව බලයට ගෙන ඒමට සහාය දුන් තමන්ට සමීප ඇමැති සගයකු හේතුවෙන් මෙතරම් ප්‍රශ්නකාරී තත්ත්වයක් ඇතිවනු ඇතැයි ඔහු කිසිසේත් සිතන්නට නැත. දේශපාලනඥයකු වශයෙන් රවි බැඳුම්කර කොමිසම හමුවේ උපායශීලි ආකාරයෙන් ප්‍රශ්න වලට මුහුණ දුන් බව සැබෑවකි. එහෙත් අවසානයේ සියල්ල තීන්දු වන්නේ ජනතාව මේ ප්‍රශ්නය දෙස බලන ආකාරයටය. එතැනදී රවිද ආණ්ඩුවද යන ප්‍රශ්නයට කල්තබාම පිළිතුරක් සොයාගෙන තිබෙන තරමට හොඳය. 

තම තමන්ගේ ගැලවිල්ලට ඕනෑම බොරුවක් කීමට දේශපාලනඥයන්ට හැකියාව තිබේ. හුඟක් මැති ඇමැතිවරුන්ට බොරු කියන්න සිදුවන්නේ  ඡන්ද ගැනීමටය.අෙනක තමන් දෙසට ජනතාවගෙන් ඇඟිලි දිගුවන විට ඒවායින් ගැලවීමටය. මේ අවස්ථා දෙකේදීම හෘදය සාක්ෂිය ප්‍රකාශ කරන අදහස් සමඟ සෘජුවම ගැටෙයි. හැබැයි ඡන්ද ගැනීමට කියන බොරුවලට වඩා චෝදනාවලින් ගැලවීමට කියන බොරු හෘද සාක්ෂියට වඩාත් බලපාන බවට අතීතයේ උදාහරණ ඕනෑතරම් තිබේ. තමන් අපිරිසුදු පාලනයක් ගෙන යාමට සූදානම් නැතැයි ජනාධිපතිවරයා කියන්න ඇත්තේ මේ සියල්ලම සැලකිල්ලට ගෙන විය යුතුය.

මොනම ආණ්ඩුවක හෝ තත්ත්වය මැන ගත හැක්කේ එම ආණ්ඩුවේ ලොකු ලොක්කන්ගේ මැති ඇමැතිවරුන්ගේ කතාබස් වලින් නොවේ. ආණ්ඩුව ගැන රටේ ජනතාව සිදුකරන කතාබහ වලිනි. මේ ගැන බොහොමයක් ආණ්ඩුවලට වැටහෙන විට ඔවුන් ඉන්නේ විපක්ෂයේය. මෑත කාලයේ ඊට හොඳම උදාහරණය මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවයි.

ශශින්ද්‍ර