2017 අගෝස්තු 12 වන සෙනසුරාදා

කට පියාගෙන හිටපු කාලෙ ඉවරයි. අපිත් දැන් කට අරිනවා

 2017 අගෝස්තු 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 221

- විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරින් ප්‍රනාන්දු

පසුගිය දවසක කිව්වා හොරු අල්ලන්න ආපු අපිට මේ ආණ්ඩුවෙන් වළ කැපුණා කියලා. මොකක්ද ඒ කතාව?

මේක තරහකින් කිව්ව දෙයක් නෙමෙයි. ඒත් දැන් දැන් හිතෙනවා ආණ්ඩු ගෙනාපු අපිද ආණ්ඩු පාලනය කරන්නේ කියලා. ඒකට හේතුව තමයි මේ ආණ්ඩුව ගේන්න මහන්සි වෙච්ච මිනිස්සුන්ට ඇඟිල්ල දික්කරලා කතා කරද්දි පුංචි හිත් රිදීමක් එක්ක අවුලක් දැනෙනවා. ඒ පුංචි ප්‍රශ්නය මේ දවස්වල හිතුමතේ දැනෙන දෙයක්. ඒක හංගන්න බෑ. අපිට වැරදි වැඩ කරලා වළ කැපුණාට ප්‍රශ්නයක් නෑ. වැරදි නොකර ඇඟිල්ල දික් වෙනකොට ප්‍රශ්නයක් තියෙනවා. ඒක සංවිධානාත්මක වැඩක්. හැබැයි ඒ ගැන කතා කරන්න මම බය නෑ. ඡන්ද ගැන හිතාගෙන කතා නොකර ඉන්න බෑ. සත්‍ය වෙනුවෙන් කතා කරන්න ඕන. ඒ නිසා මම කියන්නේ අපි මේ ජයග්‍රහණය ගන්න සටනක් කළා. ඒත් ඒ සටන කළ කට්ටිය දැන් ඉන්නේ එළියේ.

මේ කතාව කියන්න ඉස්සෙල්ලා කිව්වා ආණ්ඩුවේ ඉන්න අපි හොරු ආරක්ෂා කරන්නේ නෑ කියලා. ඊට පස්සෙයි මේ කතාව කිව්වේ. මොකෝ ප්‍රශ්නයක්වත්ද?

අදටත් ඒ ස්ථාවරේම තමයි මම ඉන්නේ. ඒකේ වෙනසක් නෑ. වංචාවක් වරදක් වෙලා නම් අපි රකින්නේ නෑ. නමුත් කුමන්ත්‍රණයක් දියත් වෙනවා. ඒක හෙළි කරන්න බය නෑ මම. දැන් වෙලා තියෙන්නේ හොරැ අල්ලන්න ඕන කිව්ව කට්ටිය හොරු වෙලා තියෙනවා. හොරු වෙච්ච කට්ටිය හොඳ වෙලා තියෙනවා. මේක මහ විහිළුවක්නේ. ඒකෙන්ම පේනවා සංවිධානාත්මක කුමන්ත්‍රණයක් කියලා.

ආණ්ඩුව දිනවන්න සටන් කළ කට්ටිය දැන් ඉන්නේ එළියේ

රවි කරුණානායක ඇමැතිවරයාගේ සිද්ධියත් එක්කයි ඔබ ඔය ප්‍රකාශ කළේ. ඒ කියන්නේ ඒකත් කුමන්ත්‍රණයක්ද?

බලන්න පාර්ලිමේන්තු ඉතිහාසය තුළ මේ වගේ ඇමැති කෙනෙක් ගෙනැල්ලා හාර හාර ප්‍රශ්න කරලා මාධ්‍යවලින් පට්ට ගහලා තියෙනවද කියලා. ලොකු ප්‍රෙෂර් එකක් දැම්මා. මේකෙදි රවි ඇමැතිතුමා ආණ්ඩුව රුක්කෙත් නෑ. ඒකාබද්ධ විපක්ෂය රැක්කෙත් නෑ. එතුමට එක අතකින් ඒක අසාධාරණයක් වෙන්නත් ඇති. පව් කියලත් හිතෙනවා. ඒත් අපි යහපාලනය කියන වචනයට ගරැත්වය සියයට 5000කින් දීලා තියෙනවානේ. මේකේ ගරැත්වය එක්ක ඕනේ හොරකම් කරපු කොහෙවත් යන උන්ට නෙමෙයි. ඒක එන්න ඕන යහපාලනය ගෙනාපු මිනිස්සුන්ට. ඒ වගේම ඒක යහපාලනයට මුක්කු ගහපු මිනිස්සුන්ට ගිහිල්ලා හරියන්නෙත් නෑ. දැන් යහපාලනයේ යුෂ ටික බොන්න හදන්නේ පිටඋන් ටිකක්. ඒ ගැන වෛරයක් කනගාටුවක් තියෙනවා.

ජනපතිවරයයි, අගමැතිවරයයි තමයි මේ යහපාලනයේ නියමුවෝ දෙදෙනා. ඒ කියන්නේ අනෙක් අය වළ කපනකල් ඔවුන් දෙන්නා බලන් ඉන්නවද?

ඒ දෙන්නා නෙමෙයි. ඒ නායකයෝ දෙන්නටත් ලොකු බලපෑමක් එනවා. ඒත් අපි ඒ දෙන්නටත් මතක් කරලා දෙන්න ඕන ඒ දෙන්න බලයට ගේන්න වැඩකළේ පසුපෙළ ඉන්න අපි කියලා. දැන් ඔය ඉදිරිපෙළේ ඉන්න කණ්ඩායම නෙමෙයි. එදා මිනිස්සු විශ්වාස කළේ පසුපෙළ හිටිය අපේ කතා. එදා කතා කළ අපිට ලොකු තනතුරැ තානාන්තර ලැබුණේ නෑ. ඒ නිසයි අපේ හඬ සමාජයේ නැත්තේ. ඒ නිසාම වෙන්න ඇති මේ ආණ්ඩුවට මෙච්චර බලපෑම් එන්නෙත්. ඒ නිසයි දැන් අපි කට අරින්න ගත්තේ. දැන් කට වහගෙන හිටියා ඇති. දැන් අපිට මඩ ගහන්න පටන් අරන් තියෙන්නේ.

ඔබ කිව්වා ළඟ ඉන්න අයට වඩා පසුපෙළ ඉන්න අයලු ආණ්ඩුව ගේන්න වැඩකළේ කියලා. ඒ කියන්නේ නායකයෝ දෙන්න මෙහෙයවන කණ්ඩායමක් ඉන්නවද ඇතුළේ?

සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට කිව්වොත් හරි. ඊට එහා මට කියන්න දෙයක් නෑ. කොහොමත් රටේ මිනිස්සු දන්නවා ඇත්ත. මිනිස්සු මට වඩා බුද්ධිමත්.

හොරු අල්ලන්න ආපු අය නරක් වෙලා හොරුවෙච්ච අය හොඳවෙලා

ඔබ කිව්වා කොමිෂන් පත් කිරීමේදී යම් අසාධාරණයක් වෙලා තියෙනවා කියලා. මොකක්ද අසාධාරණේ?

දැන් බලන්න මේ කොමිසම මොකක්ද කියලා බැඳුම්කර කොමිසම. අපේ වචනයෙන් කිව්වොත් හරි චූන්. හැමෝම බලනවා. ඒත් මේකේ විමසන්නේ බැඳුම්කර ගැනද, කුලී ගැනද, ටෙලිෆෝන් ගැනද කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඒත් ඇත්තටම හොයන්න ඕන අර්ජුන ඇලෝසියසුයි, රවි කරැණානායකයි අතර සම්බන්ධය බැඳුම්කර වංචාවට බලපානවද කියලා. ඒත් මේකෙ ස්ථාපිත වෙලා තියෙන්නේ ගෙවල් කුලියක් සම්බන්ධව.  ප්‍රශ්නයක් තියෙනවා ඒ වැඩේ වැරදි කියලා. එතැන තමයි අපි තවම ඉන්නේ. ඒත් කොමිසමේ කාර්ය භාර්ය වුණේ ගෙවල් කුලීවත්, ටෙලිෆෝන් බිල් ගැනවත් හොයන්න නෙවෙයි. දැන් අපිට සැකයක් තියෙනවා පුද්ගලයෙක් අල්ලගෙන ආණ්ඩුව අපහසුතාවයට ලක්කරන ජවනිකාවක්ද මේක කියලා. ඒ නිසයි මම කිව්වේ වහාම ගේන්න ඕන කියලා දාර හොරුන්ව. එතකොට බලන්න පුළුවන් නීතිපති දෙපාර්තමේන්තුව මේ ක්‍රමවේදයම අනුගමනය කරයිද කියලා. ඒ වගේ මාධ්‍යයත් ඔය වගේම ආවරණය කරයිද කියලා බලන්න ඕන.

දාර හොරු අල්ලන්නනේ බී.එම්.අයි.සී.එච්. එකේ කොමිසමක් පත් කළේ?

ඒක ෆේල්නේ. ඒක පිළිගන්න ඕනනේ. අපි වැරදුණු තැන් පිළිගන්න ඕන. අවුරුදු දෙකක් උඩ දාලා දුන්නේ ඒ අපට මාධ්‍ය හමු තියන්න අවස්ථාව දුන්න එක. ඒකත් මාධ්‍ය සංදර්ශනයක්. ඩේසි ආච්චිගේ මැණික් මල්ල ගැන කිව්වා. ඒ දේවල්වලට ඔච්චර පබ්ලිසිටි ආවද? දැන් බලමුකෝ.

මේක ඔබලගේ ආණ්ඩුවනේ?

එකනේ මම කියන්නේ යහපාලනය දෝරේ ගලනවා කියලා. ඇඟිලි ගහන්නේ නෑනේ. ඒවා මිනිස්සුන්ට තේරෙන්නේ කොහොමද කියන එකයි ප්‍රශ්නේ. අපි මාධ්‍යවලට බලපෑම් කරලා නෑ. ඒ නිසා වෙන්න ඇති මේ ඉරණමට පත්වෙලා තියෙන්නේ. මම ඒකයි ජනාධිපතිතුමාට කිව්වේ ඕකත් මෙහෙම කළොත් අරකත් අරහෙම කරමු කියලා. ඒ විදිහ හොඳයි. මාධ්‍යයත් හරි ලස්සනට ආවරණය කළා.

බැඳුම්කර කොමිසම ආණ්ඩුවට පාරාවළල්ලක් වෙලාද ඔබ කියන්නේ?

නෑ. බලන්න ඒක විනිවිදයි නේ. මම කියන්නේ එෆ්.සී.අයි.ඩී. ගිහින් කාමරයක් ඇතුළේ ප්‍රශ්න අහනවට වඩා මේ ක්‍රමය හොඳයි කියලා මම හිතන්නේ. හොඳ නැද්ද ඒක. මට නම් හරි සතුටුයි. ආණ්ඩුව දෙකකින්, තුනකින් පැරදුණොත් සහ ආණ්ඩුවට ආයේ හෙල්ලෙන්න හම්බවෙන්නේ නෑ. රටේ මිනිස්සු කට වහගෙන ඉන්නේ නෑ. මම දැන් වාහනයට බැකප් එකක්වත් අරගෙන යන්නේ නෑ.

හවුල ෙකාෙහාමත් අවුලක් තමයි

ඔබට හිතෙන්නේ නැද්ද ඔබල හිටියට වඩා දැන් ඉන්න සක්‍රීය විපක්ෂය නිසයි මේ තරම් ආණ්ඩුවට අමාර කියලා?

පට්ට හොරු ටිකක් විපක්ෂයේ ඉන්නකොට ඔහොම තමයි. ඉස්සර අපි ඉන්න කාලේ ආණ්ඩුවේ ගමන විවේචනය කළා. ඒත් එන ආයෝජන නවත්තන්න හැදුවේ නෑ. අපි අසාර්ථක ව්‍යාපෘතිවලට මැදට පැන්නේ ඒ හරහා රටට වෙන හානිය නිසා. ඒත් අපි ණය උගුලෙන් ගැලවෙන්න හදනකොට මැදට පැනලා රට අකර්මණ්‍ය කරලා වට්ටන්න යන්නේ පෞද්ගලික කුපාඩි කමට. ඒ ගැන මම කනගාටු වෙනවා. වහල් දේශපාලන සංස්කෘතියක් ඔවුන්ට තියෙන්නේ. රටට ආදරයක් නෑ. හැබැයි රටේ මිනිස්සු මේ ආණ්ඩුව ගැන සතුටු නෑ. ඒත් අර අයට විකල්පයක් ලෙස ඔවුන් දකින්නේ නෑ. මහින්ද රාජපක්ෂ මහත්තයා ජනප්‍රිය පුද්ගලයෙක්. ඒත් ඡන්දය දින්නේ නෑ. ආසයි ළඟට යන්න, අත ගාන්න. එයා ෂාරැක් ඛාන් වගේ චරිතයක්. ඒත් මිනිස්සු නැවත අතීතයට යනවද කියන එක දෙපාරක් තුන්පාරක් හිතනවා. හැබැයි රටේ විකල්පයක් ගැන රටේ මිනිස්සුන්ට ප්‍රශ්නයක් තියෙනවා.

රවි ඇමැතිතුමා ඉවත්වුණ එක හොඳ පූර්වාදර්ශයක් නෙමෙයිද?

ඇත්ත වශයෙන්ම එතුමා ළඟට ගිහිල්ලා මට කතා කරන්න දුකයි. පක්ෂය පිරිසක් කඩන්න යනකොට පක්ෂය එකතු කරගෙන පක්ෂයේ ලයිට් බිලයි වතුර බිලයි ගෙවාගෙන පක්ෂය අල්ලන් හිටිය මිනිහෙක්. මොකක් නිසා නරක වෙලාවට ඔය සිදුවීම සිදුවුණාද යනන මට හැඟීමක් නෑ. දේශපාලනයේදී කරුමයට වැරදි දේවල් වෙනවා. කොහොම වුණත් එතුමට ගරු කරනවා මම. ඒ නිසා තමයි පිරිසුදුයි කියලා පෙන්නන්න හොඳම උදාහරණය තමයි මේක. ඉස්සර වෙලා නෑනේ මෙහෙම. ඇත්තටම මේක වෙනසක්නේ. හොඳ පූර්වාදර්ශයක්.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නම් කිව්වා රවි ඇමැතිතුමාගේ විශ්වාසභංගයට සහය දක්වනවා කියල. එක්සත් ජාතික පක්ෂයේ කට්ටියකුත් හිටියලු. ඒකෙන්ම පේනවනේ ඇතුළේ විරෝධය?

ඒ ඇමැතිතුමාට විරුද්ධව නෙමෙයි. අපිත් මුල ඉඳලා කිව්වේ බැඳුම්කර කොමිසමෙන් රවි ඇමැතිතුමා වැරදියි කියලා ආවොත් අපේ හෘද සාක්ෂියට අනුව තීරණයක් ගන්න ඕන. සම්බන්ධයක් තිබ්බොත් අපිට රකින්න බෑනේ. එහෙම නැතුව විශ්වාසභංගයක් ආපු පලියට ඒකට අපිට සහයෝගය දෙන්න බෑ.

දැන් විපක්ෂයේ ඉන්නේ පට්ට හොරු ටිකක්

හිතෙන්නේ නැද්ද ආණ්ඩුවේ සියලු වැරදි වහගන්න එකම බිල්ල වුණේ රවි කියලා?

නෑ. ආණ්ඩුව ඇතුළේ බිල්ලක් නෙමෙයි. කොමිසම හරහා දුන්න ප්‍රචාරයත් එක්කයි අසාධාරණය වුණේ. එතුමා අඩියක් පස්සට ගන්නකල් සම්මුතිවාදී ආණ්ඩුවට ප්‍රශ්නයක් තියෙනවානේ. පක්ෂ දෙකක් නේ. අපි දන්නවා එතුමා කව්ද කියලා. ඒත් ඒ අය දන්නේ නෑනේ. ඒ අතින් ඒ අය සාධාරණයි. හැබැයි මම මුල ඉඳලා කිව්වේ වැරදිකාරයෙක් නම් පක්ෂය කිව්වත් මම රකින්න සූදානම් නෑ කියලා.

මේවත් එක්ක දැන් ඔබට කලකිරීම දෙගුණ තෙගුණ වෙලා ඇති නේද?

කලකිරීමක් නෙමෙයි. දේශපාලනය එක්ක බලද්දි මේක අභියෝගයක්.

අමාත්‍යංශයත් හරි නෑ කිව්වේ?

මට ලැබිච්ච අමාත්‍යංශය විශාල හිරවීම් ගොඩක් තියෙන්නෙ. හැබැයි ගොඩක් ජ්‍යෙෂ්ඨයෝ කිව්වේ අවුරැදු 36කදී කැබිනට් අමාත්‍යධුරයක් ලබාගැනීම විශාල ජයග්‍රහණයක් කියලා. ඒ නිසා පටන් ගන්නකොට ටිකක් හිරවෙන්න වෙනවා. ලිහලා දාන්නේ නෑ. ගැටගහලා තියෙන්නේ. ඒ ගැටේ අස්සෙන් රිංගලා වැඩ කරගන්නයි උත්සාහ ගන්නේ. ඒ වැඩෙත් ඉගෙන ගන්න. මුල් කාලේදී වැඩේ කරද්දි හරි අමාරුයි. නිදහසේ හිටිය කුරුල්ලෙක් කූඩුවේ දැම්මා වගේ. මම මිනිස්සු එක්ක හිටි කෙනෙක්. මිනිස්සුන්ට දෙයක් කරන්න ඕන. ඒක බැරිවුණොත් කලකිරීමක් එනවා. සාමාන්‍ය මිනිහෙක් හැටියට. එතකොට මට දේශපාලනයේ බොරුකාරයෙක් වෙනවා. ආයිත් දේශපාලනය කරන්න හිතක් නැතිවෙනවා. මොකද දිස්ත්‍රික්කය මාරැ කරන්න බෑනේ. ඒ නිසා මට දේශපාලන නායකයෝ එක්ක ප්‍රශ්නයක් නෑ. මේ හිරවෙච්ච ක්‍රමවේදය තුළ අවුලක් තියෙනවා මට. මහඇමැති කාලේ විශාල දෙයක් කළා.

ඒ කියන්නේ ආයිත් මහ ඇමැතිකමට ඔබ ඉල්ලනවද?

බෑ. එතනට ගියොත් හිරවෙනවා. මට ඕන පුංචි හරි දෙයක් වැඩි පිරිසකට කරන්න. මොකද මිනිස්සු මාව විශ්වාස කළා. ඒකනේ දෙලක්ෂ ගාණක් අරගෙන මම රටේ වැඩිම මනාප ගත්ත තුන්වෙනියා වුණේ. හැබැයි ආයිත් නම් ඒ වගේ ඡන්ද හම්බෙන්නේ නෑ.

17 වසරක එජාප පරාජය ජයග්‍රහණයකට යෝධ පිම්මක් තිබ්බේ ඔබ. ඒත් දැන් බලාගෙන යනකොට පක්ෂයෙන් ගණන් ගන්නෙත් නෑ. ආණ්ඩුව ගණන් ගන්නෙත් නෑ. කට වැඩි නිසාද?

මම සාමාන්‍යයෙන් කැබිනට් එක ඇතුළෙවත් කටදාන්න යන්නේ නෑ. මගේ පාඩුවේ ඉන්නවා. හැබැයි ආණ්ඩුව අවශ්‍ය වෙලාවට ගොඩදාන්න ඉන්නෙත් මම. කටදාන්න ඕන තැනට කටදාන්න මම පැකිලෙන්නේ නෑ. නායකයන්ට මම ගරු කරනවා. හැබැයි ඕනවට වඩා යටත් වෙන්නෙත් නෑ. මාව එළෙව්වත් කියන්න ඕන දේ කියනව. කාටවත් බය නෑ.

ආණ්ඩුවෙන් යන්න ඉන්න අය යන එකමයි හොඳ

දැන් ආණ්ඩුවේ ඉන්න ශ්‍රීලනිපේ 18ක් යන්න යනවා ඉවත්වෙලා. ආණ්ඩුවේ බහුතරයට මොකද වෙන්නේ?

ඒක නම් ප්‍රශ්නයක් නෑ. 113යි නේ ඕනේ. 150ක් 160ක් ඕනේ නෑ ආණ්ඩු කරන්න. ඒ අය යන එක හොඳයි. ඔය යන්නේ ලෙඩ්ඩුනේ. කැබිනට් එකෙත් ඉන්නවා ඔය වගේ ලෙඩ්ඩු දෙතුන් දෙනෙක්. ලෙඩ්ඩු යනවා නම් මොකද ලෙඩා මළත් බඩ සුද්දයි කියලා කියනවා.

ආණ්ඩුව මැතිවරණ තියන්නේ නැතුව යන ගමන නිසා විශාල බලපෑමක් වෙලා තියෙන්නේ. ඇයි මේ මැතිවරණවලට බයද?

මුලින්ම මැතිවරණ ප්‍රමාද වෙනවට මම අකැමැතියි. ඉක්මණින් තියන්න ඕන. ඒක අපිට වාසියි. පළාත් පාලන මැතිවරණය නම් කල් යන්නේ නෑ කියලා විශ්වාසයි. පළාත් සභා ඡන්දයත් කවුරු මොනවා කිව්වත් එකට තියෙන එක හොඳයි. ඉස්සර වගේ කඩලා තියන්න ඕනේ නෑ. හැබැයි එහෙම තිබ්බොත් ආණ්ඩුවට වාසියි. අදාළ පළාතට ගියා උපරිම බලයයි, ධනයයි වැය කරලා දිනාගන්න තිබ්බා. එකපාර තිබ්බම වාසිය තියෙන්නේ විපක්ෂයට. ඒත් අපි උත්සාහ කරන්නේ ඉක්මණින් ඡන්දයකට යන්න. ආණ්ඩුවට තියෙන ලොකුම බාධාව තමයි තමන් කරන හොඳ වැඩ කියාගන්න බැරිවෙන එක.

දැන් මේ ඇමැතිවරු පවා වචන හුවමාරු කරගන්න තැනට ඇවිත්. මොකක්ද මේ අවුල?

ඉස්සර හඬක් තිබ්බේ නෑනේ. ඉස්සර රජතුමා කතා කරන්න දුන්නේ නෑනේ. කතා කළොත් කාමරයට අරගෙන ගැහුවා. දැන් ඇමතිවරුන්ට ඕන තරම් කතා කරන්න පුළුවන්. හැබැයි ඔක්කොම කතා කළාට අවසානයේ නායකයා ගෙන්නලා හැමෝගෙම හඬට සවන්දීලා අවසන් තීරණයකට යනවා. මේක අලුත් අත්දැකීමක්.

මේ ආණ්ඩුවේ හඬ නිසා වැඩේ වනවෙලා නේද?

දීර්ඝ කාලයකට වන වෙන්න තියෙන දේවල් මේ හඬ නිසා නැවතිලා තියෙනවා. තනි තීරණ ගන්න ගිහිල්ලා ගිය ආණ්ඩුව වන කරගත්ත අවස්ථා තියෙනවා. ඒත් අපේ දහදෙනෙක්ගේ හඬ නිසා වනවෙන්න ගිය දේවල් නැවතිලා තියෙනවා.

ජනතාවට වැඩ කරන්න බැරිවෙනකොට කලකිරීම් නවත්වන්න බෑ

වනවීමක් නැත්නම් මෙහෙම වෘත්තීය සමිති, ජනතා විරෝධ එයිද?

මම කියන්නේ ඕවා දේශපාලන අතකොලු. දේශපාලනය විසින් හසුරැවන ව්‍යාපාර. ඔය සයිටම් එක එන කාලේ පාදෙණියලා කතා කළාද? ඕන බුද්ධියක් තියෙන මිනිහෙක්ට තේරෙනවා එදා කතා කළ නැති අය අද කතා කරනවා. මාධ්‍යයත් එහෙමයි. ඒ නිසා මම කියන්නේ ආණ්ඩුවේ වැරැද්ද. යම් පරිපාලනයක් තියෙන්න ඕන. ඒක බලපෑමක් නෙමෙයි. තේරැම් කරලා දීලා පාලනය කරන්න ඕනෑ ඒ නිසයි.

බලාගෙන යනකොට මේ හවුල අවුලක් නේද?

කොහොමත් හවුලක් අවුලක් තමයි. මඟුලක් ගත්තත් අවුලක් නේ. දෙන්නෙක් එකතු වුණොත් ප්‍රශ්නයක්. මේ හවුල අවුලක් නොවී ලව් එකක් කරගන්න ඕන. එකතු වෙලා දරැ මල්ලෝ හදලා එතකොට පොඩි සතුටක් එනවා. ඊට පස්සේ දරුවෝ නිසා වෙන් වෙන්න බැරිවෙනවා නේ.

ගයාන් ගාල්ලගේ

 2024 දෙසැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00