පළාත් සභා ඡන්ද, පළාත් පාලන ඡන්ද පැවැත්වෙයිද නැද්ද යන්න පිළිබඳව කතා රැසකි. එක් එක් දේශපාලන පක්ෂ වල අදහස් එක් එක් ආකාරයකට ප්‍රකාශයට පත් වෙන විට මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශ කරන්නේ සැප්තැම්බර් මාසයේදී පාලන කාලය අවසන් වන සබරගමුව, උතුරුමැද සහ නැගෙනහිර පළාත් සභා තුනේ ඡන්දය අවශ්‍ය නම් නොවැම්බර් මාසයේ අගදී පැවැත්වීමට වුවද තමන් සූදානම් බවය. දෙසැම්බර් මාසයේදී අපොස සා.පෙ. විභාගය පැවැත්වෙන බැවින් ඡන්ද පැවැත්වීමට ප්‍රායෝගික ගැටලු මතුවන්නේ නම් ජනවාරි මාසයේ මුලදී වුවද ඡන්ද පැවැත්වීමට කොමිසම සූදානම්ය. ඡන්ද පැවැත්වීමේ තීන්දු තීරණ ගත යුතු ආණ්ඩුව ඒ සඳහා සූදානම්ද? දැන් තිබෙන ලොකුම ප්‍රශ්නය එයයි.
ඡන්දය පැවැත්වීම කෙසේ වෙතත් එය පවත්වන බවටත් ඕනෑම ඡන්දයකට සූදානම් බවටත් සිදුකෙරෙන කතාබහ නම් අඩුවක් නැත. එහෙත් වසර දෙකකට පෙර පැවැත්විය යුතුව තිබු පළාත් පාලන ඡන්දය පවා පැවැත්වීමට තවම සූදානමක් නැත. හරියට කස පුපුරණ හඬ ඇසුණත් ගිනි බෝල කැරකැවුණත් පෙරහර ළඟ ළඟම පැමිණෙන බවට නම් සලකුණක් පෙනෙන්නට නැතුවා වගේය. ඡන්දයක් පැවැත්වීම කෙසේ වෙතත් එය කල්යාමට විධි විධාන සැලැස්වෙන 20 වැනි සංශෝධනය නම් දැන් ගැසට් එකක් මගින් ප්‍රසිද්ධියට පත්ව තිබේ. එම ගැසට් එකට අනුව රජයට අවශ්‍ය නම් මේ වසරේ පැවැත්විය යුතු පළාත් සභා ඡන්ද තුනද 2019 මැයි මාසය දක්වාම කල් දමාගත හැකිය. නමුත් කිසිම ආකාරයකින් හෝ පළාත් සභා ඡන්ද කල් දැමීමට ආණ්ඩුවේම ඇමැතිවරැන් පිරිසක් විරෝධය දැක්වීම නිසා එතරම් කල් නොගොස් පළාත් සභා ඡන්ද පැවැත්වෙනු ඇතැයි යන්න තවත් ආරංචියකි. මැතිවරණ කොමිසමේ සභාපතිවරයා නිල නොවන මට්ටමින් ප්‍රධාන දේශපාලන පක්ෂ වලට දැනුම් දී ඇත්තේ 20 වැනි සංශෝධනය පෙන්වා ඡන්දය කල් දැමීමට තමන් එකඟ නොවන බව යැයි ආරංචියක්ද පවතී.
හේතුව කුමක් වුවද මේ ආණ්ඩුව ඡන්ද පැවැත්වීමට උපන් ගෙයි දුර්වලකමක් පෙන්නුම් කරන බව පැවැසීම අසත්‍යයක් නොවේ. බලයට පත් වී දින 100ක් අවසානයේ පැවැත්විය යුතුව තිබූ මහ මැතිවරණය පැවැත්වූයේ දින 222කුත් පසු වීමෙන් අනතුරුවය. ඊළඟට එනම් 2016 වසරේ මාර්තු මාසයේදී පවත්වන බවට පොරොන්දු වූ පළාත් පාලන මැතිවරණය තවමත් පෙනෙන තෙක් මානයක නැත. සීමා නිර්ණය ගැටලු විසඳාගෙන සකස්කර ඇති පළාත් පාලන ඡන්ද සංශෝධන කෙටුම්පත ලබන 24 වැනි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් ඉන් අනතුරැව පළාත් පාලන මැතිවරණය මේ වසර තුළදීම පවත්වන බවටත් විෂය භාර අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා පසුගිය සතියේදී ප්‍රකාශයක් කර තිබිණි. එයත් ආරංචියක් පමණක් දැයි දැනගැනීමට ක්‍රමයක් නැත. මේ ආණ්ඩුවේ එක් ඇමැතිවරයකු සිදුකරන ප්‍රකාශයක් හැරෙන තැපෑලෙන් තව ඇමැතිවරයෙකු විසින් ප්‍රතික්ෂේප කිරීම සරල, සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබීම ඊට හේතුවයි.
මීළඟට තිබෙන ලොකුම ගැටලුව නම් ආණ්ඩුවේ පාර්ශ්ව දෙකටම ඡන්ද පැවැත්විම අවශ්‍ය නම්, විපක්ෂයටද ඡන්ද පැවැත්වීම අවශ්‍ය නම්, මැතිවරණ කොමිසම ඒ සඳහා සූදානමින් සිටී නම් ඡන්ද කල් දැමීමට උපදෙස් දෙන්නේ කවුද යන්නය. ඒ ගැනද ආරංචි අපමණය. එහෙත් තහවුරු කර ගැනීම පහසු නැත.
පළාත් සභා ඡන්ද පැවැත්වීම සම්බන්ධයෙන් ගැටලුවක් හැටියට පෙනෙන්නේ එම ඡන්ද සියල්ලම එකම දිනයක පැවැත්වීමට විධිවිධාන යෙදීමට අවශ්‍යව තිබීමය. එය සිදු කිරීම යහපත් ක්‍රියාවක් බව සඳහන් කළ යුතුය. කඩින්කඩ ඡන්ද පැවැත්වීම යනු විශාල ජාතික ධනයක් විනාශ කිරීමකි. එසේම බලයේ සිටින ආණ්ඩුවට ඡන්ද දූෂණ සහ අක්‍රමිකතා සිදු කිරීමට දොර හැරීමකි. රටේ ජනතාවගේ වටිනා කාලය අපතේ යැවීමකි. පළාත් සභා ඡන්ද ඉතිහාසයේම සියලුම ඡන්ද එකම දිනයක පැවැත්වීමට හැකියාවක් ලැබී නැත. යුද්ධය පැවැති කාලයේ උතුරේ ඡන්ද පැවැත්වීමට නොහැකි වීම ඊට එක් හේතුවක් විය. නමුත් යුද්ධය අවසන් වීමෙන් පසුවද පළාත් සභා ඡන්ද එකම දිනයක පවත්වා රටේ ජනතාව වෙනුවෙන් යුක්තිය ඉටුකිරීමට කිසිදු රජයක් පියවර ගත්තේ නැත. අදටත් කලට වේලාවට පළාත් සභා ඡන්ද පැවැත්වීමට නොහැකි වීම එහි එක් අවාසනාවන්ත ප්‍රතිඵලයකි.
පළාත් පාලන ඡන්ද කල් දැමීම ව්‍යවස්ථාවෙන් ප්‍රතිපාදන සැලසී තිබුණත් පළාත් සභා ඡන්ද කල් දැමීමට එවැනි හැකියාවක් නැත. 20 වැනි යෝජිත සංශෝධනය ගෙන ඒමේ මූලික අරමුණ වී තිබුණේ පළාත් සභා ඡන්ද එකම දිනයක පැවැත්වීමට විධිවිධාන සැලසීමය. නමුත් ඒ වෙනුවෙන් මේ වසරේ පැවැත්විය යුතු ඡන්ද 2019 දක්වා කල් දැමීම ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව මූලික දැනුමක් නැති අයකු වුවද අනුමත නොකරනු ඇත. කෙසේ වුවත් 20 සංශෝධනය සම්මත කර ගැනීමට නම් පාර්ලිමේන්තුව තුළ තුනෙන් දෙකක ඡන්දයක් ලැබීමත් අවශ්‍යය. නැත්නම් සියලුම පළාත් සභාවලින් එය සම්මත කරගත යුතුය. ආණ්ඩුවේ පාර්ශව දෙකින් එක් පාර්ශවයක් ඡන්ද කල්දැමීමට විරෝධය දක්වන බැවින් තුනෙන් දෙකකින් පනත සම්මත කර ගැනීමට හැකියාවක් නැත. ඒ අනුව මේ වසර තුළ කල් පිරෙන පළාත් සභා තුනේ ඡන්දය පැවැත්වීම නියමිත පරිදි සිදුවිය යුතුය. එය එසේ වනු ඇති බවටද ඇත්තේ ආරංචියක් පමණි.
20 වැනි සංශෝධනය පළාත් සභාවලට යවා එක් එක් පළාත් සභාවේ අනුමැති ලබාගෙන එය සම්මත කිරීමට පියවර ගන්නා බවද රජයේ මාධ්‍ය ප්‍රකාශක රාජිත සේනාරත්න ඇමැතිවරයා ප්‍රකාශ කර තිබිණි. පළාත් සභා ගණනාවක මේ දිනවල ඇති වී තිබෙන බල අරගලය සළකා බලන විට එවැනි සම්මත කර ගැනීමක් කළ හැකි දැයි අපි නොදනිමු. අප දන්නා එකම දෙය නම් පැවැත්විය යුතු ඡන්ද දිගින් දිගටම කල් යන බව පමණි. ඡන්දයක් පැවැත්වෙනවා යන්න ආරංචියකට සීමා නොකොට එය පවත්වා ජනතාවගේ අයිතිය රුකදීමට කටයුතු කිරීම මේ මොහොතේ සියලු දෙනාගේම උවමනාව විය යුතුය.