2017 අගෝස්තු 26 වන සෙනසුරාදා

පාඩු ලබන ව්‍යාපාර

 2017 අගෝස්තු 26 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 215

පාඩුවට බිස්නස් කරන එකම “ආයතනය” ආණ්ඩුව යැයි පැවැසීම වරදක් නැත. ආණ්ඩුවකට ආයතනයක් යනුවෙන් අර්ථ දැක්වීම සුදුසු නොවිය හැකි වුවත් එසේ සඳහන් කළේ අප කියන්නට යනදේ පහසුවෙන් තේරුම් ගැනීමට හැකි යෙදුමක් බැවිනි. කෙසේ වුවත් වත්මන් ආණ්ඩුවේ මුදල් ඇමැතිවරයා වන මංගල සමරවීර මහතා පසුගිය දවසක පැවැසුවේ රජය සතු ඉතා වැදගත් වාණිජ ව්‍යාපාර ආයතන 55ක් අතරින් 16ක් පාඩු ලබන බවය. කෝප් වාර්තා ඇසුරින් කරන ලද මේ ප්‍රකාශය අලුත් දෙයක් නොවන බවත් 2011 වසරේ පිටන්ම මෙය සිදුවන බවට එම වාර්තාව සාක්ෂි දරණ බවත් ඒ සමඟ කිව යුතුය. 

කෝප් කමිටුවේ නිරීක්ෂණයට හසුවන රාජ්‍ය ව්‍යාපාර 55කින් 16ක්ම පාඩු ලැබීම සම්බන්ධයෙන් ආණ්ඩුව කනගාටුවිය යුතුය. මේ ආණ්ඩුව පමණක් නොව රාජ්‍ය ව්‍යාපාර පාඩුවට ඇද දැමීමට කටයුතු කළ සෑම ආණ්ඩුවක්ම ඊට වගකිව යුතුය. රාජ්‍ය ව්‍යාපාර සංඛ්‍යාත්මකව මේ වනවිට 400ක් දක්වා ඉහළ ගොස් තිබෙන අවධියක නිරීක්ෂණයට හසුවන්නේ ඉන් 55න් පමණ නම් තත්ත්වය පිටින් පෙනෙනවාට වඩා බැරූරැම් බව පිළිගැනීමට සිදුවෙයි. මේ සියලු රාජ්‍ය ව්‍යාපාර පාඩුවට දුවන බව ඉන් අදහස් නොකරමු. එහෙත් රටේ ආර්ථිකයට මෙවැනි ව්‍යාපාර විශාල බරක් වීමට ඉඩ තිබෙන බව සිත් හි තබා ගැනීම අවශ්‍යය. 

ආණ්ඩුවක් පාඩුවට බිස්නස් කිරීමත් පෞද්ගලික සමාගමක් පාඩු ලැබීමත් අතර ලොකු වෙනසක් තිබේ. පෞද්ගලික සමාගමක් පාඩුවට දිගු කලක් පවත්වාගෙන යාමට නොහැකිය. එක්කෝ එය වසා දැමීමට සිදුවෙයි. නැතහොත් බැංකුවක් විසින් පවරා ගනු ලැබෙයි. මේ දෙකම සිදුවන්නේ බිස්නස් පාඩු වීමෙන් අලාභය ලබන්නේ එහි හිමිකරුවන් වීම නිසාය. අතින් කා හරක් බලන වැඩ ලොකුම ව්‍යාපාරිකයකු තබා පොඩිම ව්‍යාපාරිකයකු වුවද කරන්නේ නැත. නමුත් ආණ්ඩුවක බිස්නස් එසේ නැත. ලබන පාඩුව කොතරම් වුවත් එහි අලාභය විඳින්නට කවුරුත් නැත. පාඩු ලැබුවාය කියා ආණ්ඩුවක් වසා දමන්නට සිදුවන්නේද නැත. 

රාජ්‍ය ආයතන හෝ ව්‍යාපාර පාඩු ලබන විට එයින් පහර වදින්නේ රටේ සමස්ත ආර්ථිකයටම වීම මෙහි ඇති ලොකුම අනතුරය. මේ අනතුර දැක දැකත් එයින් සිදුවන හානිය වළක්වා ගන්නට නිසි පියවර නොගැනීම ලොකුම කනගාටුවය. කෝප් කමිටුවද සිදුකළ හැක්කේ පාඩු ලබන රාජ්‍ය ව්‍යාපාර පිළිබඳව සොයා බලා ඒ ගැන රිපෝට් එකක් දීම පමණි. එම රිපෝට් එකේ කරුණු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඒ ගැන විවාද කළ හැකිය. මේ මොනවා කළත් ලබන පාඩුව වළක්වා ගැනීමට පියවරක් නොගන්නේ නම් ඉන් සිදුවන යහපතක් නැත. 

අනෙක් අතට මේ ආයතන පාඩු ලබන්නේ මිලියන ගණනින් නොවේ. බිලියන ගණන් වලිනි. ශ්‍රීලංකන් ගුවන් සේවය, විදුලිබල මණ්ඩලය, තෙල් සංස්ථාව, ශ්‍රීලංගම සහ දුම්රිය පාඩු ලබන ආයතන අතුරින් ඉදිරියෙන්ම සිටී. මේ ආයතන කිහිපයේ පාඩුව ගණන් බැලුවොත් එය රටේ සමස්ත අයවැයෙන් කිසියම් ප්‍රතිශතයක් හිමි කරගන්නා බව තේරුම් ගත හැකි වනු ඇත. 

රටේ ජාතික ධනය මකර කටට යවන මේ ඇතැම් ආයතන රටේ මහජනතාවට අත්‍යවශ්‍යම සේවය සපයන ආයතන බව සැබෑය. ඒවා පවත්වාගෙන යාම ලාබ, පාඩු මත රඳා සිටින්නේ නැත. විදුලිය, ජලය, තෙල් සහ පොදු ප්‍රවාහන සේවා යටතට වැටෙන ශ්‍රීලංගම සහ දුම්රිය එම ආයතන කිහිපයකි. මේ ආයතන වලින් සේවය ලබාගන්නේ පොදු මහජනතාවට බැවින් කුමන මට්ටමින් පාඩු ලැබුවත් එම ආයතන පවත්වාගෙන යාම ඕනෑම රජයක වගකීමකි. එහෙත් එසේ වූ පමණින් ඒවා දිගින් දිගටම අධිකව පාඩු ලබමින් පවත්වාගෙන යා යුතු නැත. ලාබ ලැබීම කෙසේ වෙතත් අඩුම වශයෙන් පාඩුව අඩුකර ගැනීමට හෝ ක්‍රියා කළ යුතුය. එහෙත් ඒ සඳහා ප්‍රමාණවත් තරම් කැපවීමක් හෝ උවමනාවක් ආණ්ඩුවේ ප්‍රධානීන් කෙරෙන් නොපෙනීම කනගාටුවට හේතුවය. ඉතා අධිකව පාඩු ලබන මේ ඇතැම් ආයතන පාලනය සඳහා තම තමන්ගේ ගජ මිතුරන් සහ ඥාතීන් පත්කර ගැනීමට දේශපාලන බලවතුන් පෙළඹී සිටින්නේ එවැනි කැපවීමක් නොමැති නිසාය. එසේ නොවී සුදුසුකම් ඇති පුද්ගලයකු පත් කළත් ඔහුට හෝ ඇයට ආයතනය ගොඩ දා ගැනීමේදී බලවත් දුෂ්කරතා වලට මුහුණ දීමට සිදුවෙයි. ඊට හේතුවද දේශපාලනයයි.

පාඩු ලබන ආයතන සඳහා එකම විසඳුම ඒවා විකිණීම හෝ විදෙස් රටකට බදු දීම හෝ නොවේ. එසේම රජය අතේ පැවැතිය යුතු මහජන සේවා සපයන ආයතන පෞද්ගලීකරණය කිරීමද සුදුසු නැත. එවැනි ආයතන ලාබය මත පමණක් රැඳී නොසිටින බැවිනි. එවායින් සේවය ලබාගැනීමට මහජනතාවට ඇති අයිතිය එයින් වැළැකී යා හැකිය. එයට ඉඩදිය යුතු නැත. එහෙත් සමහර අවස්ථාවලදී පාඩු ලබන රාජ්‍ය ව්‍යාපාර ලාබ ලැබීම සඳහා පෞද්ගලික ව්‍යවසායකයන් සමග එකතු කිරීම ඵලදායකය. නැතහොත් රජයේ අධීක්ෂණය යටතේ පෞද්ගලික සමාගම් ඇති කර නාස්තිය සහ දූෂණය වළක්වා ඒවා ලාබ ලබන තත්ත්වයට පත් කිරීමට උත්සාහ කළ හැකිය. එහිදීද සුදුසුම පුද්ගලයන්ට මිස හිතවත්කමට ආයතන බාරදීම නොකළ යුතුය. එසේ නූනොත් අපේක්ෂිත අරමුණු ඉටුකරගත නොහැකි වනු ඇත. 

නිවැරදි සැලැස්මක් සහ දැක්මක් ඇතිව රාජ්‍ය ව්‍යවසාය ලාබ ලබන තත්ත්වයට පත් කිරීමට රජය උනන්දු වන්නේ නම් ඒ සඳහා මහජනතාවගේ සහාය ලබාගැනීම අමාරු නැත. එහෙත් සැබෑ කරැණු හංගා කුට්ටිය ලබාගැනීම මත පමණක් පදනම් වී රාජ්‍ය ආයතන බදුදීමට පෞද්ගලීකරණය කිරීමට හෝ විකිණීමට යන්නේ නම් ඒ සඳහා මහජනතාවගේ කැමැත්ත හිමි නොවන බවද තේරුම් ගැනීම අවශ්‍යය.

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00