2017 අගෝස්තු 26 වන සෙනසුරාදා

දේශපාලනඥයන්ගේ නඩු වෙනම අහන්න බෑ

 2017 අගෝස්තු 26 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 122

- හිටපු නීතිපති ජනාධිපති නීතිඥ පාලිත ප්‍රනාන්දු

රවි කරුණානායක හිටපු ඇමැතිවරයා ඇමැති පදවියෙන් අස්වෙද්දි කරපු කතාවේදී නීතිපති දෙපාර්තමේන්තු කටයුතු විවේචනය කළා. ඊට පස්සේ තවත් පිරිස් එවැනිම විවේචන කළා. හිටපු නීතිපතිවරයෙක් හැටියට ඔබ මේක දකින්නේ කොහොමද?

නීතිපති දෙපාර්තුමේන්තුව ඉදිරිපත් වෙන කරුණු සාක්ෂි පදනම් කරගෙන තීරණ ගන්නවා. නමුත් කොයිම අවස්ථාවකදීවත් එක පැත්තක් අරගෙන යම් කිසි කෙනෙක් අමාරුවේ දාන්න කටයුතු නොකරන බව ස්ථිරව කියන්න පුළුවන්. එහෙම කරන්න අමාරුයි. නීතිපති දෙපාර්තුමේන්තුව කටයුතු කරන්නේ පොලිස් විමර්ශනවලින් ලැබෙන කරැණු අනුව. ඔවුන් කරන්නේ ඉදිරිපත් වෙලා තියෙන කරැණු හැකිතාක් මැදිහත් ලෙස අධිකරණයට ඉදිරිපත් කිරීමයි. ඉතින් කොහොමත් එක් පාර්ශවයක් විවේචනය කිරීම සාමාන්‍ය දෙයක්. 

විජේදාස රාජපක්ෂ ඇමැතිවරයා මේ දවස්වල මතභේදාත්මක චරිතයක්. වරින් වර ඔහු ප්‍රකාශ කරලා තිබුණා නඩු ඉක්මන් කරන්න මම බලපෑම් කරන්නෙ නෑ කියලා. කිසියම් රජයකට හැකියාවක් තියෙනවාද නීතිපති දෙපාර්තමේන්තුව හරහා නඩු ප්‍රමාද කරන්න. නැත්නම් ඉක්මන් කරන්න? 

මගේ විශ්වාසය කිසිසේත්ම බැහැ. එහෙම කළොත් ඒක වැරදියි. කිසිම කෙනකුට කිසිම නඩුවක් ඉක්මන් කරන්න කියන්නත් බෑ ප්‍රමාද කරන්න කියන්නත් බෑ. නීතිපති දෙපාර්තුමේන්තුවේ යුතුකම තමයි ඕනෑම නඩුවක් අනිවාර්යයෙන්ම ඉක්මණින් විභාග කරලා අවසන් කරන එක. මෙතෙක් හිටපු හැම නීතිපතිවරයෙක්ම උත්සහ කරලා තියෙනවා නඩු ඉක්මන් කරන්න. නීතිපති දෙපාර්තුමේන්තුව කරන්නේ තමන්ට ලැබෙන්නා වූ ගොනු ආකාරයෙන් කටයුතු කිරීම තමයි. වුවමනාවෙන් පමා කරනවා නම් එය හරි කියලා මම හිතන් නෑ. දෙපාර්තුමේන්තුව ඒවගේ දෙයක් කරනවා කියලා මම විශ්වාස කරන්නෙ නෑ.

නඩු පවරන්න සාක්ෂි තිෙයන්න ඕනෑ

එහෙමනම් ඇයි නීතිපති දෙපාර්තුමේන්තුවේ ෆයිල් ගොඩගැහිලා කියලා චෝදනා එල්ල වෙන්නේ?

නීතිපති දෙපාර්තුමේන්තුව ඉන්න නිලධාරීනුත් සාමාන්‍ය නිලධාරීන් වගේමයි. ඔවුන්ටත් පෞද්ගලික ජීවිත, පවුල් ජීවිත තියෙනවා. ඉතින් ඒ කටයුතු අතරේ මේ වැඩ ඉක්මනින් අවසන් කරන්න අමාරු වෙන්න පුළුවන්. නමුත් මම හොඳටම දන්නවා ඒගොල්ලො වුවමනාවෙන් නඩු පමා කරන්නේ නෑ කියලා. ඉඩ නැතිකම ලොකු ප්‍රශ්නයක්. ඒ නිසා අපිට තිබෙන නඩු ගොනු ඉක්මනින් අවසන් කරන්න අමාරුවක් තියෙනවා. නීතිපති දෙපාර්තුමේන්තුවේ ඇබෑර්තු 135ක් තියෙනවා. ඒ 135 පුරවන්න විදිහක් නැත්තේ ඉඩමදිකම නිසා.

නීතිපති දෙපාර්තමේන්තුවේ කටයුතු සඳහා කාර්ය මණ්ඩලය ප්‍රමාණවත් නැත්නම් කොහොමද ඒක වැඩි කරගන්නේ?

දැනට අලුත්කඩේ ඉඩමක නීතිපති දෙපාර්තුමේන්තුව වෙනුවෙන් තට්ටු අටක ගොඩනැගිල්ලක් හැදෙනවා. ඒක හැදුවට පස්සේ ඉඩ ප්‍රශ්නය මග හැරී නඩු ඉක්මනින් ඉවර කරන්න පුළුවන් වෙයි.

අධිකරණ ඇමැතිවරයාට බැරිද වෙනයම් විදිහකින් බලපෑම් කරන්න?

කිසිම අධිකරණ ඇමතිවරයකුට පුළුවන්කමක් නෑ නීතිපතිතුමාට බලපෑම් කරන්න. නීතිපතිවරු ස්වාධීනව කටයුතු කරලා තමන්ගේ කටයුතු අධිකරණයට ඉදිරිපත් කරන්න ඕනැ. විජේදාස රාජපක්ෂ ඇමැතිතුමා කොයියම් ආකාරයෙන් හෝ බලපෑමක් කරනවා නම් එය වැරදියි. එහෙම බලපෑම් කිරීමට කිසිම අයිතියක් නෑ. ඒක හරියට සෞඛ්‍ය ඇමැතිවරයෙක් මේ විදිහට ශල්‍යකර්මය කළ යුතුයි කියනවා වගේ. ඒක කරන්න ඕනෑ ශල්‍ය වෛද්‍යවරයාමයි. මොකද නීතිපතිතුමා කියන්නේ අධිකරණ ඇමැති යටතේ ඉන්න කෙනෙක් නෙවෙයි. 

පසුගිය රජයේ චූදිතයන්ට විශේෂ අධිකරණයක් පිහිටවලා දඬුවම් කළ යුතුයි කියලා ආණ්ඩුවේ ඇතැම් අය කියනවා. එහෙම කරන්න හැකියාවක් තියෙනවද?

නීතියේ තියෙන සංකල්පයක් තමයි චූදිතයන්ට විරුද්ධව නඩු විභාග කිරීම සාමාන්‍ය අධිකරණයක් විසින්ම කළ යුතු බව. චූදිතයෙකුට දඬුවම් කරන්න විශේෂ අධිකරණයක් දැමීම සම්පූර්ණයෙන්ම වැරදි ක්‍රියාවක්. 1971 කැරැල්ලේ දී රෝහණ විජේවීර ඇතුළු පිරිස ඉදිරිපත් කළෙත් වි‍ශේෂ අධිකරණ කොමිසමක් ඉදිරියට. විශේෂ අධිකරණකට ඉදිරිපත් කරලා දඬුවම් කරන්න බෑ, මෙය ඉතාම දැඩි විදිහට ඒකාලේම විවේචනය වුණා. විවේචනය කළා විතරක් නෙවෙයි 1977 දී ඒ කොමිසමෙන් වැරදිකාරයන් කරපු සියලු දෙනා නිදහස් කළා. ඒ නිසා විශේෂ අධිකරණයක් තියන්න බෑ.

සමහරු ආවේගශීලිව ප්‍රශ්න කරනවාසමහරු සාමකාමීව ප්‍රශ්න කරනවා

චූදිතයන්ට දඬුවම් කරන පොරොන්දුවෙන් තමයි මේ ආණ්ඩුව බලයට ආවේ. එතකොට ඔවුන්ට දඬුවම් කරන්නේ කොහොමද?

ඕන නම් මෙහෙම කරන්න පුළුවන්. ළමා අපචාර නඩු එක් අධිකරණයට පැවරීමේ යෝජනාව වගේ දෙයක් දේශපාලඥයන් සම්බන්ධයෙනුත් කරන්න පුළුවන්. නමුත් දේශපාලඥයන්ගේ වැරදි වෙනම තෝරලා විභාග කිරීම වැරදියි. දේශපාලනඥයන්ට විරුද්ධව මෙහෙම කරනවා කියලා මිනිස්සු අතර හරි ලෝකයේ ප්‍රජාව අතර හරි පැතිරුණොත්, එය රටට සුදුසු නෑ. නීතියටත් විරුද්ධයි. ඔවුන් සම්බන්ධයෙන් තියෙන නඩුත් විශේෂ අධිකරණයක් නොමැතිව සාමාන්‍ය අධිකරණයක, සාමාන්‍ය නඩු විභාගයක් පරිදිම කළ යුතුයි. 

නීතිපති වෙනුවෙන් බැඳුම්කර කොමිසම නියෝජනය කරන නීති නිලධාරියා ප්‍රශ්න කිරීම්වලදී ආවේගශීලීව හැසිරුණා කියලත් චෝදනා එල්ල වෙනවා. එහෙම ආවේගශීලීව ප්‍රශ්න කරන්න පුළුවන්ද? එහෙම තැනකදී මොකද්ද කරන්නේ?

ඔවුන් අධිකරණ කටයුත්තේ ගැලිලා ඉන්නවා. ඒ ගැලිලා ඉන්න අවස්ථාවේදී එක් එක් අය එක් එක් විදිහට කතා කරනවා. සමහර අය ඉතා සාමකාමීව කතා කරන්න පුළුවන්. තව සමහර අය ටිකක් ආවේගශීලිව කතා කරන්න පුළුවන්. ඒ අය එහෙම කරන්නේ වුවමනාවෙන්ම නෙවෙයි. ඒ ආවේණික ස්වභාවය. ආවේගශීලීව කෙනකුට තර්ජනය කරලා කතාකරන්න පුළුවන්කමක් නෑ. නමුත් එක් එක් අය නඩු මෙහෙයවන පිළිවෙළක් තියෙනවා. එවැනි අවස්ථාවලදී මේවගේ දෙයක් නොදැනුවත්ව වෙලා තියෙන්නේ පුළුවන්. යම් කිසි විදිහකින් ඇමැතිවරයා ඉදිරියේ එවැනි නුසුදුසු විදිහේ ආවේගශීලීව කටයුතු කරා නම්, එම ඇමතිතුමා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරැන්ට ඒ අවස්ථාවේදීම විරෝධතාවය දක්වන්න තිබුණා. කොමිෂන් සභාවටත් නවත්වන්න තිබුණා. මොකද කොමිෂන් සභාව තමයි ඒ කරැණු පාලනය කරන්නේ. 

දැන් රටේ පවතින දේශපාලන වාතාවරණය ගත්තොත් ආණ්ඩුවේ සම්මුතිය අවසන් වෙලා? ඊළඟට යන්නේ වාචික සම්මුතියක් හරහා කියලා තව පිරිසක් කියනවා. එහෙම ආණ්ඩුවකට පවතින්න පුළුවන්ද?

රජයක් පවත්වාගෙන යනකොට සියලුම අයගේ එකඟත්වය අවශ්‍යයි. මේවගේ රජයක් යටතේ දෙගොල්ලෝ අතර සම්බන්ධයක් නැති වුණත් ජනාධිපතිතුමාට පාලනය කරගෙන යන්න පුළුවන්. ජනාධිපතිතුමාට කැමති අය ඇමැතිවරු විදිහට පත් කරගන්න පුළුවන්. ඒ නිසා ආණ්ඩුව ගෙනියන්න බාධාවක් වෙයි කියලා නම් මම හිතන්නේ නෑ. නමුත් මේවගේ හැල හැප්පිලි යටතේ ආණ්ඩුව ගෙනියනකොට අවසානෙට දුක්විඳින්නේ සාමාන්‍ය ජනතාව.

නඩු ඉක්මන් කරන්නත් ප්‍රමාද කරන්නත් අධිකරණ ඇමැතිට බැහැ

ජාත්‍යන්තර මට්ටමින් අවශ්‍ය වෙන ගිවිසුම්වලදී රජයක් නීතිපති උපදෙස් පතන්න අවශ්‍යද?

ජාත්‍යන්තර ගිවිසුම්වලට ඇතුළු වීමේදීත්, ජාත්‍යන්තර ප්‍රශ්නවලදීත් නීතිපති දෙපාර්තුමේන්තුවේ මැදිහත් වීම ඉතාම වැදගත්. කවුරු මොනවා කිව්වත් රජයට සම්බන්ධ ඉතාමත් පළපුරුදු දක්ෂ නීතීඥ මහතුන් ඉන්නේ නීතිපති දෙපාර්තුමේන්තුවේ. විදේශ කටයුතු අමාත්‍යංශයේ නීති අංශයක් තියෙනවා. ඒත් මම හිතන්නෙ නෑ ඒගොල්ලොන්ට මේ කරැණු ප්‍රබලව කරන්න පුළුවන් කියලා. 

එවැනි එකඟතා ගිවිසුම් රටේ සංවර්ධනයට ධනාත්මක විදිහට බලපානවද? ඍණාත්මක විදිහට බලපානවාද?

වර්තමානයේ ලෝකේ කිසිම රටකට තනියෙන් ඉන්න බෑ. ජාත්‍යන්තර ප්‍රජාව බලාගෙන ඉන්නවා. සමහර දේවල් තියෙනවා අපේ රටේ දේවල්. නමුත් සමහර දේවල් අපේ රටේ දේවල් විතරක්ම නෙවෙයි. මානව අයිතිවාසිකම්, නිදහස් මාධ්‍යය, සුළුජන අයිතිවාසිකම්, මේවා තනියම කරන්න බෑ, ජාත්‍යන්තර ප්‍රජාවත් එක්ක වැඩ කරන්න ඕනැ. අපිට බෑ ජාත්‍යන්තර ප්‍රජාවත් එක්ක හැප්පෙන්න. ජාත්‍යන්තර ප්‍රජාවත් එක්ක සුහදව වැඩ කරලා ජාත්‍යන්තර ප්‍රජාවගෙන් පුළුවන් තරම් වැඩ ගන්න ඕනැ. ඒක නිසා අපි ජාත්‍යන්තර සම්මුතීන්වලට ඇතුළත් විය යුතුයි. ජාත්‍යන්තර ගිවිසුමකට රටක් ඇතුළු වෙනකොට ජාත්‍යන්තර ප්‍රජාවට ලොකු බලපෑමක් ඇතිවෙනවා. ජාත්‍යන්තර සම්මුතීන්වලට ඇතුළත් වීමේදී හා ඒවා ක්‍රියාත්මක කිරීමේදී අපි ඉතාමත් ප්‍රවේශමෙන් කටයුතු කළ යුතුයි.

දැන් මේ නොවිසඳුනු සයිටම්, ව්‍යවසායන් පෞද්ගලීකරණ ගැටලු, මේ වගේ අවස්ථාවලදී නීතිපති දෙපාර්තමේන්තුවට මැදිහත් වීමක් කරන්න බැරිද? ඒකට රජය විසින්ම ඇරුයුමක් කරන්න ඕනද?

මැදිහත් වෙන්න අයිතියක් නෑ. රජයේ ප්‍රතිපත්තිමය තීරණ ගැනීමේ වගකීම තියෙන්නේ කැබිනට් මණ්ඩලයට හා විධායකයට. ප්‍රතිපත්තීමය තීරණවලදී ඒවා ක්‍රියාත්මක කිරීමට නෛතික බාධා තියෙනව ද නැද්ද කියලා විතරයි නීතිපති දෙපාර්තුමේන්තුවට බලන්න පුළුවන්. නීතියට පටහැනිව යමක් කරනවා නම් එවැනි අවස්ථාවලදී නීතිපති දෙපාර්තුමේන්තුව විදිහට මැදිහත් වෙලා කියන්න පුළුවන් මේ මේ බාධා තියෙනවා කියලා. වෙනත් ආකාරයන්වලින් මැදිහත් වෙන්න බෑ. රජය ඇතුළත් වෙන ගිවිසුම් පවා බලලා මේවා නීතියට පටහැනියි, ඒ නිසා මේවා කරන්න එපා කියලා යෝජනා කරනවා. පනතක් සම්මත කරනකොටත් නීතිපතිගේ සහතිකය නැතිව පනත සම්මත කරන්නෙ නෑ. එවැනි අවස්ථාවල රජයට උපදෙස් දෙනවා හැරෙන්න මැදිහත් වෙන්න බලයක් නෑ.

සංවාදය - සකීෆ් සාම් තන්වීරි
සේයාරු - සමන්ත ප්‍රදීප් විල්තෙර

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00