ඉල්ලා අස්වෙන්නෙ නෑ - 21 වැනිදා සඳුදා
විජයදාස යවනවද නැද්ද - 22 වැනිදා අඟහරුවාදා
විජයදාස අයින් කරන්න - 23 වැනිදා බදාදා
විජයදාස අස්කරයි - 24 වැනිදා බ්‍රහස්පතින්දා
මේ පසුගිය සතිය පුරා පුවත්පත්වල සඳහන් ප්‍රධාන සිරස්තල විය. මෑත කාලයේ එකම සතියක දවස් ගාණක ප්‍රධාන සිරස්තල මැවූ විජයදාස රාජපක්ෂ කවුද?
හම්බන්තොට දිස්ත්‍රික්කයේ වලස්මුල්ල පවුලකින් එන විජයදාස රාජපක්ෂ නීති ක්ෂේත්‍රයට පිවිසෙන්නට පෙර බැංකු නිලධාරියෙක් වශයෙන් වසර 5ක් කටයුතු කළේය. කොළඹ සරසවියෙන් නීති උපාධිය ලබන ඔහු 1984 වසරේ දී නීතිවේදියකු වශයෙන් සිය වෘත්තීය ජීවිතය ඇරැඹුවේය. 1998 වසරේ කැපී පෙනුණු තරුණයා සම්මානයෙන් පුද ලබන විජයදාස 2001 වසරේදී චන්ද්‍රිකාගේ රජය කාලේ ජනාධිපති නීතිඥ ධුරයට නම් කෙරුණි. දේශීය සහ විදේශීය තනතුරු රැසක් වරින්වර හෙබැවූ ඔහු වරක් ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති විය. රූපවාහිනී සංස්ථාවේ සහ ලේක්හවුස් ආයතනයේ අධ්‍යක්ෂවරයෙක් විය.
විජයදාස දේශපාලනයට පිවිසෙන්නේ 2004 වර්ෂයේ ශ්‍රී.ල.නි.ප. ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු වශයෙනි. ව්‍යවස්ථා කටයුතු අමාත්‍ය ධුරය බාරගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ ඔහු මන්ත්‍රීවරයෙක් වශයෙන් රජය නියෝජනය කළේය. 2005 ජනාධිපතිවරණය ජයගත් මහින්ද, විජයදාස රාජ්‍ය බැංකු සංවර්ධන අමාත්‍ය ධූරයට පත් කළේය. එහෙත් 2006 අප්‍රේල් මාසයේදී ඔහු ප්‍රතිපත්තිමය ප්‍රශ්නයක් හේතුවෙන් ධූරයෙන් ඉල්ලා අස්විය. ඒ සමඟ මහරගම ශ්‍රී.ල.නි.ප සංවිධායක ධූරයටද ඔහු ආයුබෝවන් කීවේය. ඉන්පසුව කෝප් කමිටු සභාපති පදවියට තෝරාගනු ලැබූ විජයදාස 2007 ජනවාරියේදී තම පළමු කෝප් වාර්තාව සභාගත කළේය. එම වාර්තාව දෙස් විදෙස් ප්‍රශ්න ගණනාවක් මතු කිරීමට හේතුවී තිබිණි. එම වසර තුළදීම රාජ්‍ය සේවයේ දූෂණ හෙළිදරව් කිරීම හේතුවෙන් විජයදාසට විශාල ප්‍රසිද්ධියක් ලැබුණේය. එල්.එම්.ඩී. මාධ්‍ය සේවා ආයතනය මගින් “2007 වසරේ ශ්‍රී ලාංකිකයා” සම්මානයෙන් ද ඔහු පුදනු ලැබීය.
2010 වසරේදී ඔහු කොළඹ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට ඡන්දයෙන් තේරී පත්විය. 2012 වසරේදී ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති වශයෙන් පත්වූ විජයදාස අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක දෝෂාභියෝග සිද්ධියේදී ඇය වෙනුවෙන් සහාය ලබාදුන්නේය. 2015 ජනාධිපතිවරණයෙන් පසුව අධිකරණ ඇමැති ධුරයට පත්වූ ඔහු පසුගිය 23 වැනිදා බදාදා යූ.එන්.පී.යේ ඉල්ලීම් මත ජනාධිපතිවරයා විසින් ඇමැති පදවියෙන් අස් කරන තෙක් එම පදවිය ඉසිලුවේය. ඔහු මීළඟට කුමක් කරනු ඇතිදැයි දේශපාලන කේෂත්‍රයේ අවධානය යොමුවී තිබෙන්නේ ඇමැති පදවියට සමුදුන් අවස්ථාවේ ඔහු කළ ප්‍රකාශය හේතුවෙනි.
විජයදාස එහිදී කිව්වේ මෙසේය.
“මේ තරම් රටේ ජාතික සම්පත් මංකොල්ලකන, විකුණාගෙන කන, ආණ්ඩුවක කැබිනට් මණ්ඩලයේ සිටීම ලැජ්ජා සහගත බව මට මගේ හෘදය සාක්ෂිය හැමවිටම කිව්වා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝනය කරමින් අත්සන් කළ හම්බන්තොට වරාය ගිවිසුම හිස් කඩදාසියක්. පණ්ඩුකාභය රජ සමයේ සිට මේ දක්වා රටේ සිදුවූ දැවැන්තම මංකොල්ලය වන බැඳුම්කර මගඩිය වසා ගැනීම සඳහා එහි මහ මොළකරැවන් මගේ ඇමැති ධුරය බිල්ලට ගත්තා. හම්බන්තොට වරාය බදුදීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි බව මා හෙළිදරව් කිරීම නිසා මට එරෙහිව කුපිත වූ කණ්ඩායමක් සිටියා. බැඳුම්කර කොමිසමේ වාර්තාව ලැබුණු පසුව හොරැන්ට දූෂිතයන්ට එරෙහිව නඩු දාන්න ඕනෑ. නීතිපති දෙපාර්තමේන්තුව මා යටතේ ස්වාධීන නිසා මේවා වහන්න අමාරැයි. මේ නිසා අධිකරණ ඇමැතිවරයා ඉවත් කරන්න, නීතිපති දෙපාර්තමේන්තුවේ කොන්ද කඩන්න මේ අය තීන්දු කළා.”
චන්ද්‍රිකා ආණ්ඩුවේ ඇමැතිකම බාර නොගත් තමා මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ඇමැතිකම මාස පහෙන් දාලා ගිය බවත් අද තමා අස්කරපු ඇමැතිවරයකු බවත් ඔහු කිව්වේය. තමා 2007 කෝප් වාර්තාව හරහා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට අභියෝග කර එළියට බැහැලා එනකොට අද කෑ කෝ ගසන බොහෝ දෙනා මහින්ද රාජපක්ෂ ජනාධිපතිගේ ඔඩොක්කුවේ හුරතල් වෙවී සිටි සිටි බවද විජයදාස කියා තිබුණි.
විජයදාස රාජපක්ෂගේ අතීත දේශපාලන සිදුවීම් සමඟ මේ සිද්ධිය සංසන්දනය කරන විට ඔහු ඉදිරියේදී නිකම් නොසිටින බව නම් පැහැදිලිය. ඔහුගේ ඉදිරි දේශපාලන හැරවුම යූ.එන්.පී.යට නම් හිසරදයක් වන ලකුණු දැන් පහළවෙමින් තිබෙන බව පෙනෙන්නේ ජනාධිපතිවරයා පසුගිය බ්‍රහස්පතින්දා (24) මාධ්‍යවේදීන් හමුවේදී නීතිපති දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් කළ ප්‍රකාශය සලකා බලන විටය. ජනාධිපතිවරයා කෙළින්ම නීතිපති දෙපාර්තමේන්තුව වරදක් කර නැතැයි පැවැසුවේ නීතිපති දෙපාර්තමේන්තුවට එරෙහිව චෝදනා ගණනාවක් එල්ල කළ යූ.එන්.පී.යේ මැති ඇමැතිවරුන්ගේ කතාවල තීන්ත වියළී යාමටත් පෙරවීම මෙහි විශේෂයයි. එසේම නීතිපති දෙපාර්තමේන්තුව ස්වාධීනව පැවැතිය යුතු බවටත් එහි කටයුතුවලට ඇඟිලි ගැසීමට තමන් සූදානම් නැති බවත් කියූ විජයදාස රාජපක්ෂ ඇමැති පදවියෙන් ඉවත්කොට පැය 24ක් ගතවීමටත් පෙරය. ජනාධිපතිවරයා කිව්වේ මෙසේය.
“නීතිපති දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් කවුරැ හරි දොස් කියනවා නම් මම ඒකට කැමැති නැහැ. නීතිපති දෙපාර්තමේන්තුවේ වැරුද්දක් මම දකින්නේ නැහැ. නීතිපති දෙපාර්තමේන්තුවට නිදහසේ වැඩකරගෙන යන්න ඉඩ දෙන්න ඕනෑ.”
එසේම ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණේ මහින්ද රාජපක්ෂ පාලනයේ දූෂිත දේශපාලනඥයන්ට සහ නිලධාරීන්ට එරෙහිව චෝදනා ගොනු කිරීමේදී අඩුපාඩුකම් සිදුව ඇති බවය. 2015 දී තිබූ පාලනය වෙනස් නොවූයේ නම් වෙන්න තිබුණේ කුමක් යන්න අද කිසිවකුත් කතා නොකරන බවද ඔහු සඳහන් කළේය. “2015 දී පක්ෂ දෙකේ එකතුවෙන් ඒකාබද්ධ ආණ්ඩුවක් පිහිටුවීමට එකඟවූ අවස්ථාවේ සියලු දෙනා එයට අනුමැතිය ලබා දුන්නා. ඉතින්... ඇයි දැන් ඔවුන් විවේචන ඉදිරිපත් කරන්නේ. මේකට පක්ෂ දෙක එකඟ නොවුණානම් ඒකේ ප්‍රතිඵලය කොහොම වෙයිද?” ජනාධිපති වරයා ප්‍රශ්න කළේය. 2015 දී වෙනස නොසිදු වී නම් ලෝක ප්‍රජාව, අමෙරිකාව සහ යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාවට එරෙහිව වෙළෙඳ සම්බාධක පැනවීමට ඉඩ තිබූ බවද දේශපාලන සහ හමුදා ප්‍රධානීන් ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණය හමුවට ගෙනයාමට ඉඩ තිබූ බවද ජනාධිපතිවරයා සඳහන් කර තිබුණේ යහපාලන රජය පිහිටුවීම හේතුවෙන් එවැනි පියවර වළක්වා ගැනීමට හැකිවූ බව සනාථ කිරීමක් වශයෙනි. යුද අපරාධ සහ විදුලි පුටුවද ඔහු මාධ්‍ය හමුවේදී මතක් කළේය. කෙසේ වුවද ජාත්‍යන්තරයේදී කුමන ප්‍රගතියක් අත්කර ගත්තත් දූෂණය සහ නාස්තිය අවසන් කර දැමීමට තමන්ට නොහැකි වූ බවද ඔහු කිව්වේය.
ඍජුව කිසිවකුටත් දොස් පැවරීමට හෝ චෝදනා කිරීමට ජනාධිපතිවරයා ක්‍රියා නොකළද මේ කතාබහ යහපාලන රජයේ වසර දෙකක පාලනයේ “ප්‍රගති වාර්තාව* ගැන සිදුකළ සමාලෝචනයක් බව පැහැදිලිය. වසර දෙකේ පාලනය පිළිබඳව ජනාධිපතිවරයාටත් අගමැතිවරයාටත් සෑහීමකට පත්විය හැකි නම් මෙවැනි මාධ්‍ය හමුවක් පැවැත්වීමට ඉඩ තිබුණේ මීට වඩා වෙනස් පරිසරයක බව පැහැදිලිය. වසර දෙක සම්පූර්ණ වීම ගැන කිසිම ප්‍රීති උත්සවයක්, සැමරීමක් නැත. මෙය අත්හැරෙන්නට ළඟ දීගයක ලක්ෂණ පෙන්වන වටපිටාවකට වඩාත් ආසන්න බව ඇතැම් දේශපාලන නිරීක්ෂකයන්ගේ මතය වී තිබෙන්නේ ඒ නිසාය. එක් මතධාරියකුට අනුව යහපාලනය දැන් අත්වාරැවෙන් රෝද පුටුවට වැටී අවසන්ය.
මේ යහපාලන දීගයේ මධුසමය වැඩිකලක් නොපවතින බව ඒ දිනවලම ප්‍රකාශ විය. එය ඇතැම් නායකයන්ගේ කනට වැටුණාද යන්න සැකසහිතය. නමුත් ඒ බව දැන් ඇස් පනාපිටම දැකගත හැකිය. අද පුංචි ඡන්දය පවා පවත්වාගත නොහැකි තැනකට ආණ්ඩුව පත්ව සිටීම ඊට එක් උදාහරණයකි. පළාත් පාලන ආයතන 335ම ඡන්දය පැවැත්වීමට නියමිතව තිබුණේ 2015 ඔක්තෝබරයේය. මේ දක්වා එම ඡන්දය කල්දැමීමට දක්වන හේතු සාමාන්‍ය ඡන්ද දායකයකු වුවද නොපිළිගන්නා බව යථාර්ථයයි. මෙහිදී සැලකිය යුතු එකම සාධකය සීමා නිර්ණය යළි සිදුකිරීමට රජය ක්‍රියාකර තිබීමය. මහින්ද රාජපක්ෂ පාලන කාලයේ එම සීමා නිර්ණය හරිහැටි නොසිදු වූ බව පසුගිය 24 වැනිදා පාර්ලිමේන්තුවේදී කිව්වේ ෆයිසර් මුස්තාපා ඇමැතිවරයාය. ඡන්දය කල් දැම්මේ තමා නොව බැසිල් රාජපක්ෂ බවටද ඔහු චෝදනා කළේය. බැසිල් කොට්ඨාස බෙදුවේ තමන්ට උවමනා අන්දමට බවද එහිදී ප්‍රකාශ විය. ආණ්ඩුව එසේ කියන විට විපක්ෂයේ නායකවරැන්ද පැවැසුවේ හැකි ඉක්මණින් පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතු බවය. අලුත් යෝජනා වලින් සාධාරණ ක්‍රමයක් සැකසෙන බව අනුර කුමාර දිසානායක කියා තිබුණේ ඡන්දය කල් නොයවා තැබීමේ අවශ්‍යතාවද ප්‍රකාශ කරමිනි. දිනේෂ් ගුණවර්ධන කියා තිබුණේ අපට ඕනෑ ඡන්දය බවය. ප්‍රජාතන්ත්‍රවාදය මැරැවාම ඒකාධිපතිවාදය බිහිවෙන බවද ඔහු ප්‍රකාශ කළේය.
කෙසේ වුවද පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන) පනත් කෙටුම්පත සිකුරාදා (25) පාර්ලිමේන්තුවේදී සම්මත විය. ඒ අනුව ඡන්දය පැවැත්වීමට තිබූ බාධාව ඉවත්ව තිබේ. නමුත් මීට පෙර අවස්ථාවක මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කියා තිබුණේ කොමිසමේ ගැටලු විසඳා ගැනීමකින් තොරව ඡන්දය පැවැත්වීමට හැකියාවක් නැති බවය. ඔහු එම ගැටලු දැනට විසඳාගෙන ඇත්නම් පළාත් පාලන ඡන්දය ඉදිරි මාස කිහිපය තුළ පැවැත්වීමට ඉඩ තිබේ. එයට රජය කොතරම් දුරට සූදානම් දැයි යන්න නම් ගැටලුවකි. බැලූ බැල්මට නම් පෙනෙන්නේ රජය ඡන්දය තබනවාට වඩා එය තැබිය යුතු තැනකට තල්ලු වී සිටින බවය. එය ඒකාබද්ධ රජයේ වසර දෙකක පාලනයේ ප්‍රතිඵලයක්දැයි කීම නම් අමාරුය.
පළාත් පාලන ඡන්දය සමඟම ඊළඟට පළාත් සභා තුනක ඡන්දයද යෙදී තිබේ. පළාත් සභා ඡන්ද සියල්ල එකම දිනයක පැවැත්වීමට යෝජනා කෙරුණු 20 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවෙන් සම්මත නොවන තැනටම කරුණු යෙදී තිබීම නිසා එම පළාත් සභා තුනේ ඡන්දයද ඉදිරි මාස කිහිපය තුළදී පැවැත්වීමට රජයට සිදුවනු ඇත. සමස්තයක් වශයෙන් ගත්විට ආණ්ඩුවේ ප්‍රධාන කොටස්කාරයන් දෙදෙනාම සිටින්නේ ඡන්දයකට යාමට තරම් හොඳ වේදිකාවක නොවන බව පැහැදිලිය. ජනාධිපතිවරයා නායකත්වය දෙන ශ්‍රීලනිපය පාර්ශ්ව දෙකකි. ඉන් ඔහු නායකත්වය දෙන පිරිසන් කොටසක් අද හෙටම ස්වාධීනවීමට නියමිතය. (මේ ස්වාධීන කතාවේ ගණන් හිලවු වෙනස් වීමට ඉඩ තිබෙන බවක්ද දැන් දැනගන්නට තිබේ.) කොහොම වුණත් ශ්‍රීලනිපයේ මහින්ද පාර්ශ්වය ලොකු කුට්ටිය කඩාගෙන තිබෙන බව හංගන්නට දෙයක් නැත. එය මතුපිටින් වැඩිපුර නොපෙනෙන්නේ ජනාධිපතිවරයා රටේ විධායක බලය අතැතිව සිටින විට ඔහුගේ බල පරාක්‍රමය රටපුරා පෙනෙන්නට තිබීම වැළැක්විය නොහැකි නිසාය. නමුත් බැඳුම්කර කොමිසම හරහා එළියට පැමිණි දූෂණ චෝදනා හේතුවෙන් මහින්දගේ පිලට හිස ඔසොවන්නට වේදිකාවක් ඉබේම හැදුණේය. ඉන් අදහස් වන්නේ මහින්දගේ පාලනයේ සියලුම චූදිතයන් බෝ පැළ බවට එක්වරම පත්වූ බව නොවේ. එම චෝදනා එසේම තිබියදී ආණ්ඩුවට එරෙහිව දමා ගසන්නට අලුත් චෝදනා මල්ලක් ලිහා දැමීමට ඉඩකඩ ලැබීමය. බැඳුම්කර චෝදනා ගැන කතා නොකිරීමට කිසියම් හෝ රහසිගත ඩීල් එකක් මහින්ද පාර්ශ්වය සහ යූ.එන්.පී.ය අතර තිබුණා නම් එය තවදුරටත් වලංගු නොවන බව රවි කරුණානායක සිද්ධියෙන් පැහැදිලි විය. එහිදී රවිට එරෙහිව විශ්වාසභංගයක් ගෙනැවිත් ඔහුට ඇමැති පදවිය අහිමි කරවන තැනට යෝජනා එද්දී මහින්ද මුලින් කියා තිබුණේ විශ්වාසභංගයක් අවශ්‍ය නොවන බවය. එහෙත් ඒකාබද්ධ විපක්ෂයේ ඇතැම් පිරිසක් එයට එකඟ නොවූ නිසා රවිට යන තැනට කරැණු යෙදිණි. මහින්දට අවනත නොවන පිරිසක් ඒකාබද්ධය තුළ සිටින බවට එය සංඥාවක් විය.
යූ.එන්.පී.ය තුළද මෙවැනිම තත්ත්වයක් දැකගත හැකි විය. එනම් රවි ධුරය අතහැරීමෙන් පසුව රාජපක්ෂවරුන්ට එරෙහිව චෝදනා විභාග කිරීම ප්‍රමාද කරවන බවට මහා හඬක් නැගීමය. එය අවසානයේ විජයදාස රාජපක්ෂට එරෙහිව කැරැල්ලක් දක්වා වර්ධනය විය. එහිදී පැහැදිලිව පෙනී ගියේ යූ.එන්.පී. නායකත්වයටද අවනත නොවන පසුපෙළක් නිර්මාණය වෙමින් පවතින බවය.
රජය පළාත් පාලන මැතිවරණයට හෝ පළාත් සභා මැතිවරණයට හෝ ඒ දෙකටම හෝ යන්නේ මේ පසුබිමේ සිටිමිනි. එනම් ජනාධිපතිවරයා නායකත්වය දෙන ශ්‍රීලනිප පාර්ශ්වයේ පිරිසක් ඔහුට අවනත නැත. යූ.එන්.පී. නායකත්වයට අවනත නොවන පිරිසක් එම පක්ෂය තුළ සිටී. මහින්දට අවනත නැති පිරිසක් ඒකාබද්ධය තුළ සිටී. මේ අවනත නොවන පිරිස් හරිහැටි පාලනය කර නොගතහොත් ඡන්දය යුද්ධයක් වීමට තිබෙන අවකාශය වැඩි බව පැහැදිලිය.
විජයදාස රාජපක්ෂට “ෂොට්* එක දීමෙන් නොනැවතුණු යූ.එන්.පී.යේ පසුපෙළ මන්ත්‍රී පිරිසක් ශ්‍රීලනිප රාජ්‍ය ඇමැතින් තිදෙනකුට එරෙහිව ජනාධිපතිට කරැණු කියා චෝදනා ගණනාවක් එල්ල කරන්නේ මේ ගැටලුව අද හෙටම ඉවර නොවන බවට ඉඟියක් දෙමිනි. ඔවුන්ගේ උදහසට ලක්වී සිටින්නේ ඩිලාන්, ලක්ෂ්මන් යාපා සහ සුසිල් ප්‍රේමජයන්තය. මේ තිදෙනාම මෑතක සිට දිගින් දිගටම යූ.එන්.පී.යට එරෙහිව මාධ්‍ය සාකච්ඡාවලදී කරුණු දැක්වූවෝ වෙති. මේ තිදෙනාම බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ඉතා දැඩි මත දැරුවෝය. වරක් ලක්ෂ්මන් යාපා බැඳුම්කර ගනුදෙනුවෙන් සිදුවූ පාඩුව ට්‍රිලියන ගණන්වලින් ප්‍රකාශ කළවිට යූ.එන්.පී.යෙන් දැඩි විරෝධයක් එල්ල විය. සුසිල් ප්‍රේමජයන්ත පසුගිය සතියේ අපගේ පුවත්පතට ලබාදුන් සාකච්ඡාවේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනයට ලක් කළේය. ඔහු රාජිත සේනාරත්න ඇමැතිවරයාට නම නොකියා දැඩිව පහරදීම එහිදී කැපී පෙනිණි. කබීර් හෂීම් සහ මලික් සමරවික්‍රම දෙදෙනාද බැඳුම්කර කොමිසම හමුවට යායුතු බවද ඔහු කියා තිබිණි. තමන් මේ ආණ්ඩුවේ සිටින්නේ කිසිම කැමැත්තකින් නොවන බවද ඔහු කියා තිබුණේය.
විජයදාස රාජපක්ෂද අන්තිමට කිව්වේ තමන් මේ ආණ්ඩුවේ සිටියේ කිසිම කැමැත්තකින් නොවන බවය. තම දේශපාලන දිවිය තුළදී විවිධ පරස්පර තීන්දු ගත් විජයදාසගේ ගම් පළාතද හම්බන්තොට වලස්මුල්ල ය. යූ.එන්.පී.යේ සමහරු කිව්වේ විජයදාස ආණ්ඩුව විවේචනය කරමින් මේ සැරසෙන්නේ 2020 වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා බවට ශ්‍රීලනිපයෙන් ඉදිරිපත් වීමට බවය. වලස්මුල්ලේ රාජපක්ෂට ඒ සඳහා මැදමුලන රාජපක්ෂලාගෙන් ඉඩක් ලැබේදැයි යන්න ගැන නම් අනාවැකි පළකිරීම ලෙහෙසි නැත.
ශශීන්ද්‍ර