ක්‍රිකට් අපේ රටේ ජාතික ක්‍රීඩාව නොවේ. එහෙත් ක්‍රිකට් යනු මේ රටේ ජනතාවගේ හදගැස්ම හඳුනන ක්‍රීඩාවය. ජාති හෝ ආගම් හෝ වෙනත් බේද හෝ කිසිවක් ගණන් නොගෙන මේ රටේ සියලු දෙනාම එකට එකතු කරන නවාතැනය. ක්‍රිකට් ක්‍රීඩාවෙන් රට දිනන විට එය රටටම ජයග්‍රහණයකි. සතුටු සාගරයකි. පරදින විට රටම කනගාටුවෙනි. ක්‍රිකට් රටේ සියලුදෙනාගේම හදවතට, දැනෙන සිත ඉල්ලන ක්‍රීඩාවය. අද රටේම මාතෘකාව බවට ක්‍රිකට් පරාජයට පත්ව තිබෙන්නේ මේ පසුබිම හේතුවෙනි.
ක්‍රිකට් තරග පරාජය වූයේ මෙවර පමණක් නොවන බව පාලකයෝ කියති. තවත් පුන පුනා උඩ දමන අදහසක් වන්නේ පරාජයට ක්‍රිකට් ආයතනයේ පාලකයන්ට කළ හැකි දෙයක් නොමැති බවය. ඔවුන් 2019 දක්වාම රැඳී සිටින බවත් ඒ සමඟ කියැවෙයි. මේ යන විදියට නම් ඇතැම් විට 2019 මීළඟ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගිවීමට කණ්ඩායමක් ඉතිරි වනු ඇතිද යන සැකය කා තුළත් පහළ වී තිබේ. අපට නම් දැනෙන්නේ මෙරට ක්‍රිකට් ක්‍රීඩාව වැටී ඇති අගාධයේ දිග පළල ගැන ක්‍රීඩාවේ පාලකයන්ට හැඟීමක් නැති බවය. එසේත් නැත්නම් ඒ බව දැන දැනම නිර්වින්දිත තත්ත්වයෙන් කටයුතු කරන බවය.
කවුරුන් කෙසේ කීවත් ටෙස්ට් තත්ත්වය ලබා ගැනීමෙන් පසුව ශ්‍රී ලංකාවේ ක්‍රිකට් මෙතරම් පරිහානියට පත්වූ යුගයක් තිබුණේ නැත. 1996 ලෝක කුසලාන ජයග්‍රහණයෙන් පසුව 1999 වසර වනවිට කිසියම් පරිහානියක් දක්නට තිබුණද එය පතුල නොපෙනෙන අගාධයක් නොවීය. කෙටි කාලයකින්ම යළි හිස එසවී ශ්‍රී ලංකා ක්‍රිකට් පිල යළිත් ජයකෙහෙළි නැංවීම ආරම්භ කළේය. එසේ වූයේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ විශ්වකර්ම වැඩක් නිසා නොව සුදුසු දක්ෂ ක්‍රීඩකයන් රැසක්ම කරළියට පැමිණීම හේතුවෙනි. නවක ක්‍රීඩකයන් ක්‍රිකට් තරු බවට පත්වීම හේතුවෙනි. ඒ ආකාරයට දක්ෂ ක්‍රීඩකයන් බිහිකර ගැනීම සඳහා සැකසුණු ඵලදායී, කාර්යක්ෂම ක්‍රමවේදයක් තිබිණි. එකල පාසල් ක්‍රිකට් පිටියේ දක්ෂම ක්‍රීඩකයන් පාසලින් පිටවූ විට ඔවුන්ට තරග කිරීමට සිදුවූයේ ශ්‍රී ලංකාවේ ඉහළම දක්ෂතා පෙන්නුම් කළ ක්‍රීඩකයන් සමඟය. ඒ සඳහා පැහැදිලි වැඩපිළිවෙළක් තිබිණි. ප්‍රතිඵලය වූයේ වරින්වර බිහිවන දක්ෂ ක්‍රීඩකයන්ද කණ්ඩායමට එකතු වී මෑතක් වනතුරැම අන්තර්ජාතික ක්‍රිකට් පිටියේ ශ්‍රේණිගත කිරීම් අතරේ ඉහළ ස්ථානයක රැඳී සිටීමට ශ්‍රී ලංකාවට හැකිවීමය. එහෙත් අද සිදුවී තිබෙන්නේ කුමක්ද?
අද ශ්‍රී ලංකාව බංග්ලාදේශයට පමණක් නොව ශ්‍රේණිගත කිරීම්වලට අපටත් වඩා පහළ සිටින සිම්බාබ්වේ පිලටත් පරදින්නේය. මෙරට ක්‍රිකට් ඉතිහාසය වර්ණවත් කළ විශිෂ්ට ක්‍රීඩකයකු වන සිදත් වෙත්තමුණි ප්‍රකාශ කරන්නේ පවතින තත්ත්වය වෙනස් නූනොත් ශ්‍රී ලංකාව ඇෆ්ගනිස්ථානයටත් පරාජය වන දිනය වැඩි ඈතක නොවන බවය. මේ සියලු කඩාවැටීම් සිදුවෙද්දීත් වැරැද්ද සිදුවන්නේ කොතනදැයි සොයාබැලීමට ක්‍රිකට් ආයතනයේ බලධාරීන්ට කිසිදු උවමනාවක් නැත. “ලොරි ටෝක්” සහිත පුවත් නිවේදන හරහා සියල්ල බැලන්ස් කිරීම ඔවුන්ගේ උත්සාහය වී තිබේ. අපට නම් පෙනෙන්නේ එය ඉතාම අසාර්ථක උත්සාහයක් බවය. පය බරවායට පිටිකර බෙහෙත් බැඳීමක් බවය. වත්මන් පාලකයන් යටතේ සිදු වූ කරැණු කිහිපයක් පෙන්වාදීම අවශ්‍යය.
ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ 2019 ලෝක කුසලාන තෙක් ගිවිසුම් ගතව සිටි පුහුණුකරු ග්‍රෙහැම් ෆෝඩ්ගේ සේවය රටට අහිමි විය. අහිමි වුණා නොව අහිමි කරවනු ලැබීය. මෙරට සිටි හොඳම වේගපන්දු පුහුණුකරු වූ චම්පක රාමනායකටද පිටවන දොරටුව පෙන්වා දෙනු ලැබුවේ අනුකම්පා විරහිතවය. චම්පක රාමනායක යනු ලෝකයේ අංක එකේ පන්දු යවන්නකු වන ලසිත් මාලිංග හඳුන්වා දී ඔහු විශිෂ්ටත්වයට පත් කළ පුහුණුකරු බව සඳහන් කිරීම පමණක් ප්‍රමාණවත්ය. අප දන්නා තරමින් ඔහු ශ්‍රී ලංකාවේ රැඳී සිටිමින් වේගපන්දු යවන්නන් පුහුණු කළේ එතෙර රටවලින් විශාල මුදලක් ගෙවා ඔහුගේ සේවය ලබාගැනීමට සූදානම්ව සිටියදීය. එහෙත් කිසියම් “පණ්ඩිතයකු” විසින් මාස දෙකක පුහුණුවට ඇලන් ඩොනල්ඩ් ගෙන්වීම නිසා චම්පක ශ්‍රී ලංකාවට අහිමි විය. ඊට පෙර ක්‍රිකට් ආයතනයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති ජයන්ත ධර්මදාස මහතාද ඉල්ලා අස්විය. ජයන්ත ඉවත් වූයේද ක්‍රිකට් පරිපාලනය ගැන ඇති වූ දැඩි කලකිරීමෙනි. මේ වනවිට තේරීම් කමිටුවද ඉල්ලා අස්වී තිබීම මේ ඛේදවාචකයේ තරම පෙන්වයි.
මීට අමතරව ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ට ක්‍රීඩකයන් වන මහේල, සංගක්කාර, මුරලිදරන්, ඩිල්ෂාන් වැනි ක්‍රීඩකයන්ගේ සහාය ලබාගැනීමට කිසිම වැඩපිළිවෙළක් නොමැත. රටේ තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ දක්ෂතා හඳුනා ගැනීම සඳහා ඉහළම තරගකාරීත්වයකින් යුත් දේශීය තරගාවලි සහ පුහුණු කිරීමේ සැලැස්මක් මහේල සහ සංගා විසින් සකස් කර තිබුණද එය හමස් පෙට්ටියට දමා තිබේ. ක්‍රිකට් ආයතනයේ මීළඟ නිලවරණය ඉලක්ක කර ගනිමින් රටපුරා විසිර ඇති ක්‍රිකට් ක්‍රීඩා සමාජ 24ක් රැක ගැනීමට ඊට වඩා ප්‍රමුඛත්වයක් ලැබීම ඊට හේතුව බවද කියති. ඒ අනුව ක්‍රිකට් ලොක්කන්ගේ මුල් පුටුව රුකෙමින් ක්‍රිකට් ක්‍රීඩාව වළපල්ලටම ඇද වැටෙනු ඇතැයි ක්‍රිකට් ප්‍රවීණයෝ කියති. ඉහත සිදුවීම් වලින් පෙන්නුම් කරන්නේද එහි සත්‍යයක් තිබෙන බවය.
ක්‍රිකට් ක්‍රීඩාවට මේ හෙනහුරා ලබා ඇත්තේ ක්‍රිකට් ආයතනය ඉතාම කැත විදියට දේශපාලනීකරණය වීම නිසා බව අපගේ වැටහීමය. ක්‍රිකට් තරගයක් ඇරැඹීමට පෙර ඇමැතිවරයා සහ ක්‍රිකට් සභාපතිවරයා පිටියේ දැකිය හැකි එකම රට ශ්‍රී ලංකාව බවද සමහරු කියති. ක්‍රිකට් ආයතනයට හැම කාලයකම දේශපාලන අත පෙවීම් තිබුණ බව සැබෑය. එහෙත් ක්‍රිකට් කණ්ඩායමට, තේරීම් කමිටුවට උඩින් ඒ අත පෙවීම්, ඇඟිලි ගැසීම් සිදුවූයේ නැත. අපට පෙනෙන අන්දමට දෙස් විදෙස් පිළිගැනීමක් ඇති මනා කළමනාකරණ හැකියාවක් තිබෙන අදේශපාලනික පුද්ගලයන් අතට ක්‍රිකට් ආයතනය පත් වනතුරැ මේ අගාධයෙන් ගොඩ ඒමට අපට හැකියාවක් නැත.