- හිටපු කතානායක ජෝශප් මයිකල් පෙරේරා
දැන් මේ තරමට පාර්ලිමේන්තුව ඇතුළේ සමහරු නොසන්සුන්කාරී විදිහට හැසිරෙන්න හේතු වෙලා තියෙන්නෙ මොකද?
පාර්ලිමේන්තු වැඩකටයුතු පිළිබඳව සම්ප්‍රදායන් පිළිබඳව දන්නා හරි මිනිසුන් ජනතාව පත් කරලා නෑ.
ඒ කියන්නේ දැනට පාර්ලිමේන්තුවේ ඉන්න අයගේ ගැටලුවක් තියෙනවා කියලා ඔබ පිළිගන්නවා?
එහෙම කියන්නෙ නෑ. ඔවුන් තුළ ගැටලු තියෙන්නත් පුළුවන්. පිස්සුවෙන් කෑ ගහනවා වෙන්නත් පුළුවන්. දිනේෂ් ගුණවර්ධන එහෙම කෑගහන්නේ පිස්සුවෙන්. කාරණයක් ඇතුව නෙවෙයි නේ.
දැන් බලයේ ඉන්න අයගේ හොරකම් ගැනත් බලන්න ඕනෑ
ඉස්සර නම් විශ්වාසභංගයක් ගේනවා කියන්නේ ඉතාම භාරදූර කාරණාවක්. දැන් විශ්වාසභංග යෝජනා දිගටම ගෙන ඒමේ සූදානමක් තියෙනවා. පාර්ලිමේන්තුවට මීට වඩා ක්‍රියාදාමයක් නැද්ද?
අදටත් විශ්වාසභංගය භාරදූර කාරණාවක් තමයි. දැන් රාජිතට විරුද්ධවනේ ගෙන්න හදන්නේ. පාර්ලිමේන්තුව තිබෙන්නේ මන්ත්‍රීවරුන්ගේ පෞද්ගලික ප්‍රශ්න ගැන කතා කරන්න නෙවෙයි. ඔවුන්ට තියෙන්නේ තමන්ගේ රාජකාරිය පිළිබඳව, ඇමැතිවරුන්ගේ කාර්ය පිළිබඳව, පාර්ලිමේන්තුවෙන් වෙන් කරන මුදල් පාවිච්චි කරන විදිහ පිළිබඳව කතා කරන්නයි. ඊළඟට මහජන අදහස් පාර්ලිමේන්තුවට ගෙනියන්නත් ඕනෑ. පෞද්ගලික මන්ත්‍රීවරුන්ගේ යෝජනා මාර්ගයෙන් හරි ප්‍රශ්න මාර්ගයෙන් හරි ගෙනියන්න පුළුවන්. ප්‍රශ්නවලට අදාළ ඇමැතිවරු පිළිතුරු දිය යුතුයි. ඒවගේම මන්ත්‍රීවරයෙක්ගේ පළවෙනි යුතුකම තමයි රුස්වීම් තියෙන වෙලාවේ පාර්ලිමේන්තුවේ රැඳී සිටීම සහ ඒවාට සවන් දී පිළිතුරු දෙන්න ඕනෑ.
කතානායකවරයෙක් හැමවිටම මධ්‍යස්ථ පුද්ගලයෙක් වෙන්න ඕන කියලා කියනවා. ඔබට තියෙන අත්දැකීම් අනුව මේ තියෙන සංකීර්ණ දේශපාලන පසුබිමත් එක්ක කතානායකවරයෙකුට දේශපාලනය අමතක කරලා කටයුතු කරන්න හැකියාවක් තියෙනවද?
පුළුවන්. කතානායක මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂකයා. ඒ වගේම රජය ගෙන එන පනත් පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට නිත්‍යනුකූලව අවශ්‍ය සහය ලබා දීම තමයි ඔහුගේ ලොකුම වගකීම. රජයෙන් ගේන අණපනත් නිත්‍යනුකූලව, ස්ථාවර නියෝගවලට අනුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව සම්මත කිරීමට සහයෝගය දිය යුතුයි. මධ්‍යස්ථව වැඩ කරනවා කියන්නේ විරැද්ධ පක්ෂයෙන් ගේන හැම දෙයක්ම කරලා දෙනවා කියන එක නෙවෙයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, පාර්ලිමේන්තු ස්ථාවර නියෝග ඒ අනුව වැඩ කිරීම තමයි මධ්‍යස්ථව වැඩකරනවා කියන්නේ. ඔහු හැම තිස්සේම බැඳිලා ඉන්නේ ස්ථාවර නියෝගවලින්. ස්ථාවර නියෝගයක් නැති කටයුතුවලදී සාධාරණව විසඳන්න පුළුවන්. අවශ්‍ය තැන්වලදී අදහස් විමසීම කරන්න පුළුවන්. එය කරන්නේ කතානායක නෙමෙයි, කාර්යාලයෙන් කෙරෙන්නේ. කාර්යාලයෙන් කෙරැණත් වගකීම පැවරෙන්නේ කතානායකට.
සමහර ඡන්ද පොරොන්දු තාම ඉටුකරන්න බැරිවෙලා
ප්‍රධාන පක්ෂ දෙක එකතුවෙලා අවුරුදු දෙකකට කලින් සම්මුතිවාදී ආණ්ඩුවක් පිහිටුවාගත්තා. මේ ආණ්ඩුව පිළිබඳව ජනතාවට විශාල බලාපොරොත්තු දීලා තිබුණා. නමුත් ඒ බලාපොරොත්තු ඉටුකරන්න මේ සම්මුතිය අසමත් වෙලා?
අසමත් වෙලත් නෑ, අපහසු වෙලත් නෑ. ජනාධිපතිවරයා පත්වෙලා ආණ්ඩුවක් පිහිටුවගෙන අවුරුද්දක් යද්දී කොච්චර දේවල් කරලා තියෙනවද? බඩු මිල කොච්චර අඩුකළාද? ධීවර ජනතාව ඉන්ධන මිල වැඩිවෙලා කියලා උද්ඝෝෂණ කළාම මහින්ද ආණ්ඩුව උත්තර දෙන්නේ තුවක්කුවෙන්. ධීවරයෙක් මැරුණා. අපි ආපුහාම මොකද කළේ ඉන්ධන මිල අඩුකළා, ගෑස් මිල අඩු කළා, කිරිපිටි මිල අඩු කළා, පෝෂණ මල්ල දුන්නා. මොනවා කරන්නත් පාර්ලිමේන්තුවේ බහුතරය සහ තුනෙන් දෙකේ බලය තියෙනවා. එක්කහු වීමේ ප්‍රතිඵලය තියෙන්නෙ එතැන.
ආණ්ඩුවෙන් බලාපොරොත්තු වූ දේවල් වෙන්නේ නැත්තේ එජාපය ගෙනෙන යෝජනාවන්ට ශ්‍රිලනිපය විරැද්ධ වෙනවා ඊට පස්සේ ශ්‍රිලනිපය ගේන යෝජනාවන්ට එජාපය විරැද්ධ වෙන නිසා. කොතනද වැරැද්ද තියෙන්නේ?
ඒ අතීතයේ නේ!
මම කියන්නේ මේ සම්මුති ආණ්ඩුව තුළ තියෙන ගැටුම ගැන?
ගැටුමක් නෑ. දෙගොල්ලොම එකතුවෙලා තමයි වැඩ කරන්නේ. රාජ්‍ය නායකයා ජනාධිපති. නියෝජ්‍ය නායකයා. අගමැති. කැබිනට් එකෙත් දෙපැත්තම ඉන්නවා. තීන්දු තීරණ ගන්නේ ජනාධිපති සහ අගමැති දෙන්නා කතා කරලා කැබිනට් එකටත් ගෙනල්ලා. හැම දෙයක්ම කරන්නේ එහෙමයි. තුනෙන් දෙකේ බලය තියෙන නිසා එහෙම කරන්නත් දැන් හයියක් තියෙනවා. එතනයි එකමුතු වීමේ වැදගත්කම තියෙන්නේ.
කෝප් කමිටුව ක්‍රියාත්මක වුුණු පහුගිය යුගවල අපි දැක්කා එක වාර්තාවක් දෙනවා, ඒ වාර්තාව හමස් පෙට්ටියට යනවා. මේ පාර වෙනස් වාතාවරණයක් තියෙනවා. බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ජනාධිපති විමර්ශන කොමිසමක් පත් කළා. කෝප් වාර්තාවකට කොමිසමක් පත් කළහම ඊළඟට මොකද්ද කරන්න පුළුවන්?
කෝප් කමිටුවට රජයේ හැම ආයතනයක්ම එන්ඩ ඕන. ආයතනවල වැඩකටයුතු නිසි ලෙස වෙනවාද. හොරකම් කරලා තියෙනවද. සල්ලි කොහොමද වියදම් කරලා තියෙන්නේ කියලා මන්ත්‍රීවරැ බලනවා. ඊට පස්සේ කෝප් කමිටුවේ වාර්තාව ගේන්නෙ පාර්ලිමේන්තුවට. මීට කලින් කෝප් කමිටු වාර්තා සේරම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙනවා. ඒවා විවාද කරලත් තියෙනවා. එහෙමයි ඇවිල්ලා තියෙන්නේ. හමස් පෙට්ටියට යන්නෙ නෑ. බැඳුම්කරේ කෝප් කමිටු කතන්දරයක් නෙවෙයි. එතැන වෙන එකක් තියෙන්නේ.
පසුගිය රජයේ හොරු අල්ලන්න කියලා ආපු රජය ඒ හොරැ ඇල්ලිල්ල පැත්තක තියෙද්දි වෙන වෙන දේවල් කරනවා. මොකද මෙහෙම වෙන්නේ?
මට පේන්නේත් ඒ කාර්යය තාම හරියට ක්‍රියාත්මක වෙන්නේ නෑ. පෙර රජයේ අය විතරක් නෙවෙයි, එදත් හරි අදත් හරි, දැන් බලයේ ඉන්න අයගේ හොරකම් ගැනත් බලන්න ඕනෑ. ඒ විතරක් නෙවෙයි පාර්ලිමේන්තුවෙන් පිට ඉන්න ආණ්ඩු දෙකෙන්ම ප්‍රයෝජන ගන්න නිලධාරීන්, ව්‍යාපාරිකයන් වගේ තව පිරිසකුත් ඉන්නවා. ඒ අයත් අල්ලන්න ඕන.
නීතිපති දෙපාර්තුමේන්තුව මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ජනාධිපතිවරයා යටතට පත්කරගත්තා. ඒක රටේ විද්වතුන්ගේ දැඩි දෝෂාරෝපණයට ලක්වුණා. දැන් කතාබහක් තියෙනවා නීතිපති දෙපාර්තුමේන්තුව ආණ්ඩුව යටතට පත්කරගන්න හදනවා කියලා, මේක හරිද වැරදිද?
එහෙම කරනවා නම් වැරදියි. මට පේන්න තියෙන විදිහට ආණ්ඩුව ඇඟිලි ගහන්නේ නෑ. ආණ්ඩුව ඇඟිලි ගහනවා නම් හොරු රකින්නේ නෑ. හොරැ රකින්නේ ඇයි කියලා නීතිපති දෙපාර්තුමේන්තුවෙන් ප්‍රශ්න කරන්නෙත් නෑ. කියන විදිහට ඇඟිලි ගහනවා නම් අධිකරණ ඇමැතිවරයා ඉවත් කරන්නෙත් නෑ.
පක්ෂ දෙකේ එකතුවේ වැදගත්කමක් තිබෙනවා
පාර්ලිමේන්තුවට නොදන්වා ගිවිසුම් අත්සන් කරනවා කියලා ඇතැම් පිරිස් චෝදනා කරනවා?
ගිවිසුම් අත්සන් කරන්න පාර්ලිෙම්න්තුවට කියන්න ඕන නෑ. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා හම්බන්තොට වරාය පවරා දෙද්දි ගිවිසුම් ඉදිරිපත් කළාද? ෆෝට් සිටි දෙද්දි පාර්ලිමේන්තුවට ගිවිසුම් ඉදිරිපත් කළාද?
හිටපු කතානායකවරයෙක් විදිහට ජාත්‍යන්තර ගිවිසුම් අත්සන් කිරීමේ නීතීමය තත්ත්වය කොහොම ද කිව්වොත්?
නීතිමය තත්ත්වය තමයි ඒ හැම එකක්ම පාර්ලිමේන්තුවට එන්න ඕන නෑ. ආණ්ඩු අතර යම් යම් බැඳීම් තියෙනවා, ඇතැම් ගිවිසුම් තියෙනවා, ඒවාට කොහොම ද බැඳෙන්නේ කියන එක තමයි පාර්ලිමේන්තුවට ගේන්නේ. උදාහරණ විදිහට කාන්තා අයිතිය පිළිබඳව, තරුණ අයිතිය පිළිබඳව, සෞඛ්‍යය පිළිබඳව, ජාත්‍යන්තර එකඟතා තියෙනවා. ඒවා පාර්ලිමේන්තුවට ගේනවා. නමුත් ආණ්ඩුවයි තව රටකුයි ඇති කරන හැම ගිවිසුමක්ම පාර්ලිමේන්තුවට ගේන්න ඕනැ නෑ. එහෙම නීතියකුත් නෑ.
ආණ්ඩුව පත්වෙලා දැන් අවුරුදු දෙකක් වෙනවා. මේ කාලය තුළ ආණ්ඩුවේ සාධනීය ලක්ෂණ ඔබ දකිනවද?
හුඟාක් දකිනවා. අඩුපාඩුත් දකිනවා. ආණ්ඩුව බලය ගන්නකොට මැතිවරණ ප්‍රකාශනයේ කියපු සමහර දේවල් තාම කරන්න බැරිවෙලා තියෙනවා. උදාහරණය සමෘද්ධිය ලැබිය යුතු ඇතැමුන්ට නොදී වැරදි අයට දීලා තිබුණා. එවා නිවැරදි කරනවා කිව්වත් තාම හරිගස්සලා නෑ. රස්සාවල් දීමේදී එක් එක් ඇමතිවරැ තම තමන්ට අවශ්‍ය විදිහට දීලා තිබුණා. දේශපාලන පළිගැනීමත් කරලා තිබුණා. ඔවුන්ටත් සාධාරණය ඉෂ්ඨ කරන්න පොරොන්දු වුණා. ඒත් ඒවා තාම කරලා නෑ. සම්මුති ආණ්ඩුවෙන් ඒව කරන්න ඕනැ. සම්මුතියෙන් වෙන හොඳ ගමේ ගෙදරට යන්නෙ නෑ. ඒ නැති නිසා ප්‍රයෝජනයක් නැති ගතියක් තියෙනවා කියලා ජනතාව හිතනවා. ආණ්ඩුව ඉදිරිපත් කරන වැඩපිළිවෙල නිලධාරීන් අතින් ගමට යන්නේ නෑ.
සංවාදය - සකීෆ් සාම් තන්වීරි
සේයාරූ | සමන්ත ප්‍රදීප් විල්තෙර