විධායක ජනාධිපති ධුරය අතැතිව තිබෙන ආණ්ඩුවකට ඡන්ද පැවැත්වීම ප්‍රශ්නයක් වෙන්නේ නැත. ලංකාවේ නම් කවදාවත් එවැනි ප්‍රශ්නයක් තිබුණේ නැත. නමුත් යහපාලන ආණ්ඩුවට ඡන්දය යනු අප්‍රසන්න මාතෘකාවක් බවට පෙරළෙමින් තිබේ. පුංචි ඡන්දයට දැන් ඔක්කොම වැඩ හරි කියා සතියක් ගියේ නැත. යළිත් එම ඡන්දය කල්යන ලකුණු පහළ වී තිබේ. පනත් තුනක් සංශෝධනය කිරීමට අදාළ යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිවීම මෙයට හේතු වී තිබේ. මේ පනත් සංශෝධනය කරන තුරු නව මැතිවරණ ක්‍රමය අනුව පළාත් පාලන ඡන්දය පැවැත්විය නොහැකි යැයි විෂය භාර ඇමැති ෆයිසර් මුස්තාපා මහතා කැබිනට් මණ්ඩලයට දැනුම් දී තිබිණි.
1991 වසරේ සිට මේ දක්වා පැවැති සියලුම පළාත් පාලන මැතිවරණ ජයගත්තේ විධායක ජනාධිපතිවරයා නියෝජනය කරන පක්ෂයයි. 1988 වසරේ සිට පැවැති සියලුම පළාත් සභා මැතිවරණ ප්‍රතිඵල ද ඊට වෙනස් නැත. ප්‍රතිඵල ලේඛන මේ තරම් පැහැදිලි නම් ආණ්ඩුව ඡන්දයක් තියන්න මේ තරම් පැකිලෙන්නේ ඇයි? තාක්ෂණික බෝල පාස් කරමින් ඡන්දය හැමදාම ලබන මාසෙට නැත්නම් ලබන අවුරුද්දට කල් දාන්නෙ කාගෙ උවමනාවකටද?
මේ ප්‍රශ්නවලට උත්තර හොයන්න නම් පහුගිය දවස්වල දේශපාලන කරළියේ සිදු වූ කතාබහ ගැන සොයා බැලීම අවශ්‍යය. මුලින්ම පෙනෙන්නට තිබෙන්නේ 20 වැනි සංශෝධනය පළාත් සභා වලින් සම්මත කර ගැනීමට ගොස් සිදු වූ ජංජාලයයි. පළාත් සභා සියල්ල මගින් මේ සංශෝධනය ගොඩදාගත හැකි වී නම් පළාත් සභා ඡන්ද එකම දිනක පැවැත්වීමේ ආණ්ඩුවේ අවශ්‍යතාව පහසුවෙන් ඉටුකරගැනීමට අවස්ථාවක් තිබුණි. එහෙත් සිදුවූයේ පනත සම්මත වීම නොව ඇතැම් පළාත් සභාවල සෙංකෝලයේ කෑලි ගැලවී විසිවීමය. දකුණු පළාත් සභාවේ දී පනත ඡන්ද 27කින් පරදින විට ඌව පළාත් සභාවේ එය පරාජය විය. බස්නාහිර පළාත් සභාව එම පනත පිළිබඳ මත විමසීම සතියකින් කල්දැමීමට ගෙන ආ යෝජනාව සම්මත වූයේ සෙංකෝලයේ කෑලි පවා ගලවා ගනිමිනි. එතරම් උණුසුම් තත්ත්වයක් එතැන මතු විය.
ජනාධිපතිවරයාගේ සහාය තිබෙන මහ ඇමැතිවරුන් පවා මෙහිදී කකුල පස්සට ගැනීම ආණ්ඩුවට ගැටලුවක් ඇතිකර තිබෙන බව පැහැදිලිය. ඌවේ මහ ඇමැති චාමර සම්පත් දසනායක පත් කරනු ලැබුවේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසිනි. ඌවෙන් කලබලයක් නැතිව පනත සම්මත වනු ඇතැයි ආණ්ඩුවේ පිරිසකගේ බලාපොරොත්තුව වුවද සිදුවූයේ එහි අනෙක් පැත්තය. සමහර විට ඌව පළාත් සභාවේ කාලය 2019 දක්වාම පවතින බැවින් මහ ඇමැතිවරයා තම මහ ඇමැති ආයුෂ කෙටිකර ගැනීමට දක්වන අකැමැත්ත ඊට හේතුවූවා විය හැකිය. මේ නිසා ඔහු ඒකාබද්ධ විපක්ෂය ගෙන ආ විරෝධයට එක්වූවා විය හැකිය. තවත් සමහරැන් කියන්නේ චාමර සම්පත් මෛත්‍රීපාල ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබුවත් ඔහු දැන් මහින්දට වැඩි නැඹුරැවක් දක්වන බවය.
මහින්ද පාර්ශ්වය පළාත් සභා පැවැත්වීම එක් දිනකට සීමාකරන වගන්තිය ද ඇතුළත් 20 වැනි සංශෝධනයට විරෝධය දක්වන්නේ ඒ මගින් ඡන්දය කල්දැමීමට ආණ්ඩුවට අවස්ථාවක් පෑදෙන බැවිනි. දැන් රටේ පවතින්නේ තමන්ට ඉතාම වාසිදායක තත්ත්වයක් බව ඒකාබද්ධ විපක්ෂයේ නායකයන්ගේ විශ්වාසය වී තිබේ. පුංචි ඡන්දය නොපැවැත්වෙන්නේ නම් පළාත් සභා ඡන්දව හැකි ඉක්මනින් පැවැත්වෙනු දැකීම ඔවුන්ගේ අවශ්‍යතාව වී තිබේ. සංශෝධනය සම්මත නොවීමේ තත්ත්වය තුළ ඔක්තෝබර් 1 වැනිදා කාලය නිමවන උතුරුමැද, සබරගමුව සහ නැගෙනහිර පළාත් සභාවල පැවැත්ම අභියෝගයට ලක්වෙයි. එම ඡන්දය පැවැත්වෙනවාද කාලය දිගු කරනවාද යන්න තීරණය කරනු ඇත්තේ රජයද මැතිවරණ කොමිසමද යන්න පැහැදිලි නැත. සංශෝධනය සම්මත වුවොත් නිසැකවම ඡන්දය කල් යනු ඇත. ඒකාබද්ධ විපක්ෂයට ඕනෑ එසේ නොවී හැකි ඉක්මනින් ඡන්දයට යාමටය.
20 වැනි සංශෝධනයෙන් මූලිකව යෝජනා කෙරෙන්නේ කොට්ඨාස ක්‍රමය සහ සමානුපාතික ඡන්ද ක්‍රම දෙකම මිශ්‍රවන නව ඡන්ද ක්‍රමයක් ඇති කිරීමය. එසේම පළාත් නවයේම ඡන්දය එකම දිනයක පැවැත්වීමට යෝජනාවක් ද එහි ඇතුළත්ය. නව ඡන්ද ක්‍රමය ස්ථාපිත කරන තුරු කාලය ඉකුත් වන පළාත් සභා විසුරුවා හැරීම අත්හිටැවෙනු ඇත. එකී කාලය තුළ පළාත් සභාවේ බලය පාර්ලිමේන්තුවට පැවැරීමටද එමගින් යෝජනා කෙරේ. 20 වැනි සංශෝධනයේ තීරණාත්මක වගන්තිය වන්නේ එයයි. මහ ඇමැතිවරුන් දැඩි ලෙස විරෝධය දක්වන්නේ ද එම වගන්තියටය. මෙම කාරණය දැන් උසාවිය හමුවටද ගොස් තිබේ. කෙසේ වුවද එක් එක් පළාත් සභාව මේ සංශෝධනය සම්බන්ධයෙන් දක්වන්නේ පරස්පර විරෝධී මතවාද බවද පෙනෙන්නට තිබේ. උතුරේ සහ නැගෙනහිර පළාත් සභාවලට උතුරැමැද සහ වයඹ පළාත් සභාවලද මේ තත්ත්වය පෙනෙන්නට තිබුණේය. බස්නාහිර මහ ඇමැති ඉසුර දේවප්‍රිය ප්‍රකාශ කර තිබුණේ මේ සංශෝධනය සම්මත වුණොත් පළාත් සභා සම්බන්ධ තීරණ ගැනීමට ජනාධිපතිවරයාට, ආණ්ඩුකාරවරයාට සහ මහ ඇමැතිවරයාට පවතින බලතල රැසක් අහිමිවන බවය. නමුත් මැතිවරණ කඩින් කඩ නොපවත්වා එකම දිනයක පැවැත්වීම සම්බන්ධයෙන් ඔහු විරෝධය දක්වන්නේ නැත.
කෙසේ වුවද 20 වැනි සංශෝධනයට අවශ්‍ය වෙනස්කම් හඳුන්වා දී එය සම්මත කර ගැනීම ආණ්ඩුවේ උත්සාහය බව පැහැදිලිය. මේ සඳහා කාටත් එකඟ විය හැකිවන පරිදි පළාත් සභා ඡන්දය පැවැත්වෙන නිශ්චිත දිනයක් සඳහන් කොට සංශෝධනය යළි ඉදිරිපත් කිරීමට කටයුතු කෙරීගෙන යයි. ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් දෙදෙනාම එය යථාර්ථයක් කර ගැනීම සඳහා කටයුතු කරන බව පෙනෙන්නට තිබේ. එය එසේ වන විට ජනාධිපතිවරයා තම කණ්ඩායමේ සහාය ලබාගැනීමේ අභියෝගයකට මුහුණපා සිටින බව පෙනෙන්නට තිබේ. යනවා, යනවා කියමින් සිටි පිරිසෙන් කිහිප දෙනකු යන්නටම සූදානමින් ජනාධිපතිවරයා හමුවී සාකච්ඡාවක් ද පවත්වා තිබුණේය. ඔවුන් සියලු දෙනා පෙන්වා දී තිබුණේ ඡන්දයක් පැවැත්වීමේ දී යථාර්ථයට මුහුණ දීමට සිදුවන බවය. ඡන්දයම ගැන සිතා කටයුතු කිරීම ගැන මැති ඇමැතිවරුන්ට දොස් කියා පළක් නැත. එහෙම වුණත් තමන් මීට වසර දෙකහමාරකට පෙර හිටපු රාජපක්ෂ පාලනයේ වැරදි දැඩි ලෙස හෙළා දකිමින් රජයට එක්ව සිටීමේ කාරණය සැලකිල්ලට ගතහොත් ඔවුන් කරන්නේ අවස්ථාවාදී දේශපාලනයක් බවට කෙනකුට තර්ක කළ හැකිය. යූ.එන්.පි.ය සමඟ එක්ව කටයුතු කළ නොහැකි බව දැන් ප්‍රකාශ කිරීම කොතරම් දුරට සාධාරණදැයි කෙනකුට ප්‍රශ්න කළ හැකිය. සම්මුතියකට පක්ෂ දෙක ගිවිසුම් ගැහුවේ පක්ෂ දෙකේ ප්‍රතිපත්ති වෙනස් කරන බවට ප්‍රකාශයක් නොකරමිනි. එසේ නම් ප්‍රතිපත්තිමය වශයෙන් දෙකෙළවරක සිට කටයුතු කරන්නට සිදුවන බව නොදැන සිටියාද යන ප්‍රශ්නය මතුවෙයි. රජයේ තනතුරු අතහැර ස්වාධීන වීමට හෝ ඒකාබද්ධ විපක්ෂයට එකතු වීම හෝ තුළ මේ මැති ඇමැතිවරැන් පිරිස කරන්නේ 2020 දී පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයට ඡන්ද එකතු කිරීම මිස වෙනකක් නොවේ.
යහපාලන ආණ්ඩුව බිහිකෙරැණේ මෙරට දේශපාලන සංස්කෘතිය තුළ සුවිශේෂ වෙනස්කමක් හඳුන්වා දෙමිනි. කොටින්ම දේශපාලනය උඩු යටිකුරු කරමිනි. විධායක ජනාධිපති ක්‍රමය සහ සමානුපාතික ඡන්ද ක්‍රමය වෙනස් කිරීම, රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම සඳහා ස්වාධීන කොමිෂන් සභා ඇති කිරීම, නීතියේ ආධිපත්‍යය යළි නගාසිටුවීම වැනි බරපතළ දේශපාලන කාරණාද, හොරැ ඇල්ලීම සහ දූෂණ, වංචා නැවැත්වීම වැනි ජනප්‍රිය කාරණාද ආණ්ඩුව බිහි කිරීමට පදනම දමා තිබුණේය. ඒ පසුපස පොදු අපේක්ෂක කතා, දේශපාලන ගිවිසුම් ගැන කතා සහ එළිපිට නොකී කතා බොහෝමයක් තිබුණද ආණ්ඩුව පිහිටුවා ගැනීමෙන් පසුව අපේක්ෂිත ඉලක්ක ජයගැනීම සඳහා නිශ්චිත වැඩපිළිවෙළක් නොතිබුණු බව පැහැදිලිය. ඇතැම් විට විධායක ජනාධිපතිව සිටි මහින්ද රාජපක්ෂ නිකම්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වනු ඇති බවට මේ ආණ්ඩුව බිහිකිරීමට පිඹුරැපත් සැකසූ ඇතැමුන් විශ්වාස නොකළා විය හැකිය. පැරදුණු මහින්ද යළි නැගිට “කෝ මැතිවරණ” කියා අසන තත්ත්වයට පත්වීමට යහපාලන ආණ්ඩුවේ නිසි වැඩපිළිවෙළක් නොතිබීම තදින්ම බලපා තිබෙන බව හොඳින්ම පැහැදිලිය. මැතිවරණ ගැන විමසීමෙන් පමණක් මහින්ද සෑහීමට පත්වන්නේ නැත. හැකිනම් ඡන්ද තියා ජයගන්නැයි ආණ්ඩුවට අභියෝග කරයි. ආණ්ඩුව ඡන්ද කල්දමන්නේ පරදිනවාට බයේ යැයි චෝදනා නගයි.
දිගින් දිගටම මහින්ද පාර්ශවයෙන් එල්ලවෙන පීඩනයෙන් ගැලවීමේ උපක්‍රමයක් වශයෙන් ශ්‍රී.ල.නි.ප.යේ 66 වැනි සංවත්සරය යොදවා ගැනීමට මෛත්‍රී පාර්ශවය සැලසුම් කරන බව බ්‍රහස්පතින්දා (31) වනවිට පෙනෙන්නට තිබුණේය. මහින්ද අමරවීර කියා තිබුණේ සංවත්සරය සඳහා මහින්ද රාජපක්ෂ මහතාට ද ඇරියුම් කර තිබෙන බවය. ඊට පෙර ශ්‍රී.ල.නි.ප. ලේකම් දුමින්ද දිසානායක පසුගිය සඳුදා (28) ප්‍රකාශ කර තිබුණේ ඒකාබද්ධයේ හත්දෙනකුට එරෙහිව විනය පරීක්ෂණ පැවැත්වීමට තීන්දු කර තිබෙන බවය. ප්‍රසන්න රණතුංග, රංජිත් ද සොයිසා, කුමාර වෙල්ගම, පවිත්‍රා වන්නිආරච්චි, රෝහිත අබේගුණවර්ධන සහ දිළුම් අමුණුගම යන පාර්ලිමේන්තු මන්ත්‍රීවවරැන්ට එරෙහිව මෙම විනය පරීක්ෂණ පැවැත්වීමට නියමිතය. පක්ෂ නායකත්වය දිගින් දිගටම විවේචනය කිරීම, පක්ෂයේ තීන්දු තීරණ අභියෝගයට ලක් කරමින් මාධ්‍ය හමු පැවැත්වීම වේ. මන්ත්‍රී පිරිසට එරෙහිව එල්ලවන චෝදනා බව කියැවෙයි. මේ විනය පරීක්ෂණ පැවැත්වෙන්නේ මධ්‍යම කාරකසභාව මගින් ගනු ලැබූ තීන්දුවක් මත යැයි පැවැසුණද එය සනාථ කළහැකි තොරතුරක්දැයි දැනගන්නට නැත. මේ තත්ත්වය යටතේ මහින්ද ශ්‍රී.ල.නි.ප.යේ 66 වැනි සංවත්සරයට සහභාගි වීම නොකෙරෙන දීගයක් වීම සහතිකය.
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා තමන් හමුවට පැමිණි ශ්‍රී.ල.නි.ප. ජ්‍යෙෂ්ඨ ඇමැතිවරැන් පිරිසට කියා තිබුණේ 66 වැනි සංවත්සරය නිම වනතුරැ ඉවසා සිටින ලෙසය. එහිදී තමා වැදගත් තීන්දුවක් ප්‍රකාශයට පත් කරන බවට ඉඟිකර තිබුණි. එසේම පසුගිය බදාදා (30) මාධ්‍ය ප්‍රධානීන් සහ කතුවරුන් හමුවූ අවස්ථාවේදී ද ජනාධිපතිවරයා ඒකාබද්ධයේ ශ්‍රී.ල.නි.ප. මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් ලිහිල් ස්ථාවරයක සිට කරැණු දැක්වූ බව පැහැදිලි විය. සාමූහික වගකීම කඩකරමින් කටයුතු කරන එම මන්ත්‍රීවරුන්ට සාමූහිකව කටයුතු කරන ලෙස උපදෙස් ලබාදුන් බව පමණක් පැවසූ ජනාධිපතිවරයා ඔවුන්ට එරෙහිව දැඩි ස්වරයකින් කතා නොකර සිටීම කැපී පෙනුණේය. එය ඔහු මීට කළින් දැරෑ ස්ථාවරයෙන් බැහැරවීමක් බව පැහැදිලිය. ශ්‍රී.ල.නි.ප. ජ්‍යෙෂ්ඨයන් පිරිසක් තමන් සමඟ සිටියත් ඔවුන් මහින්දගේ කණ්ඩායම සමඟ සමීප සබඳතාවක දේශපාලන ගනුදෙනුවක නිරතව සිටින බවට ජනාධිපතිවරයාට තොරතුරු ලැබී ඇති බව නිසැකය. ශ්‍රී.ල.නි.ප.ය පක්ෂයක් වශයෙන් නොකැඩී පවත්වාගෙන යාමට පක්ෂයේ සභාපති වශයෙන් තමන් සතු වගකීම පැහැර නොහැරීමට ඔහු තුළ අකැමැත්තක් තිබෙනවා විය හැකිය.
පුංචි ඡන්දය සහ පළාත් පාලන ඡන්ද පැවැත්වීමේදී ශ්‍රී.ල.නි.ප.ය එක මඟක යනවාද වෙන් වී යනවාද යන ගැටලුවට විසඳුමක් ලැබීම නියතයක් බවට පත්වෙන්නේ මේ පසුබිම යටතේය. පළාත් පාලන සංශෝධන පනතට බ්‍රහස්පතින්දා (31) කථානායකවරයා අත්සන තැබීමත් සමඟ එය නීතියක් බවට පත්විය. අප කළින් සඳහන් කළ පනත් තුන ද ඉක්මණින් සම්මත කර ගැනීමට හැකිවුණොත් දෙසැම්බරයේදී කෙසේ වෙතත් ජනවාරි මුල සතියේදී පැවැත්වීමට හොඳටම ඉඩ තිබේ. පළාත් සභා පනත හරහා දේශපාලන අර්බුදයක් තිබෙන බව පෙන්වමින් එකවරම පළාත් පාලන ඡන්දයට යාම රජයේ උපක්‍රමයක් වීමට ද ඉඩක් නැතුවා නොවේ. 20 වැනි සංශෝධනය පරාජයට පත් කළ ඌව සහ දකුණු පළාත් සභාවලට එම සංශෝධනය යළි සකසා ආපසු යැවීම එය සම්මත කරගැනීමට රජය තුළ දැඩි උවමනාවක් තිබෙන බව පෙන්නුම් කරන සාධකයෙකි.
දැන් පෙනෙන හැටියට යහපාලන රජය ඉදිරියට පවත්වාගෙන යාමේදී ශ්‍රී.ල.නි.ප.යත් යූ.එන්.පී.යත් එකිනෙකට ප්‍රතිවිරුද්ධ මතවාදවල පමණක් නොව පක්ෂ දෙකේම අභ්‍යන්තර මතවාදී ගැටලුවල පටලැවී සිටින බව පෙනේ. ඒ අතරම පක්ෂ දෙකම තම අවධානය වඩාත් යොමුකර ඇති බව පෙනේන්නේ 2020 ජනාධිපතිවරණය දෙස බවටද පැහැදිලිය. ශ්‍රී.ල.නි.ප.ය ඇතුළේ ගැටුම් ඇති වන්නේත් යූ.එන්.පී.ය එදිනෙදා ප්‍රශ්න ගැන කරදර වෙනවාට වඩා රටේ ආර්ථික ප්‍රතිපත්ති සහ අනාගතයේදී සිදුකරන මහාපරිමාණ සංවර්ධන ක්‍රියාදාම ගැන කතා කිරීමටත් පටන්ගෙන ඇත්තේ ඒ අනුව විය යුතුය. කෙසේ වුවද යූ.එන්.පී.යෙන් ජනාධිපතිවරණයට රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වන බව පැහැදිලිය. ශ්‍රී.ල.නි.ප.යෙන් ඉදිරිපත් වන අපේක්ෂකයා කවරකු දැයි තවම නොකියන නමුත් පිටපොට ගසන ආකාරයෙන් පෙනෙන්නේ අපේක්ෂකයා මෛත්‍රීපාල සිරිසේන මහතාම වියහැකි බවය. ඔහු එය දැනට ප්‍රතික්ෂේප කරයි. නමුත් දේශපාලනය තුළ අද ප්‍රතික්ෂේප වන මතවාදය හෙට දවසේ වැළදගන්නා බව රහසක් නොවේ. දේශපාලනයේ ස්වාභාවය එයයි. නමුත් මේ සියල්ල තීරණය වීමට හෙට අනිද්දා පැවැත්වෙන පුංචි ඡන්දය හෝ කල්දමාගන්නට වෙරදරණ පළාත් සභා ඡන්දය හෝ බලපාන බව පැහැදිලිය.
මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා නම් කියන්නේ බෝලය තවම තමන්ට පාස්වී නැති බවය. ඒ කියන්නේ තවම ඡන්ද බෝලය තිබෙන්නේ ආණ්ඩුව පැත්තේය. ඡන්ද බෝලය දැනට මෛත්‍රීපාල ජනාධිපතිගේත් රනිල් අගමැතිගේත් අතින් අත යනබව පෙනේ. මේ බෝලය ජනතාවගේ පැත්තට පාස් වෙනදාට කාගෙකාගේත් ලකුණු සංඛ්‍යාව බලාගත හැකිවනු ඇත.
ශශීන්ද්‍ර