2017 සැප්තැම්බර් 09 වන සෙනසුරාදා

ඡන්දයේ බෙරහඬ

 2017 සැප්තැම්බර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 50

සමහර පෙරහරවල අමුතු නැට්ටුවෝ සිටිති. පෙරහරේ සෙසු නැටුම්කරුවන් තම කාර්යය ඉටු කළත් මේ අය නටන්නේ නැත. නටන බව අඟවනවා පමණි. නැටුමට සූදානම් බව පෙන්නනවා පමණි. වන්නමක පදයක් කියා පාදයේ ගිගිරි සොලවා සිරුර යන්තටම ගස්සා ඔවුහු නිකම්ම ලිස්සා යති. අපේ රටේ ඡන්ද පවත්වන කතාද මේ නැට්ටුවන්ගේ කෙරුවාව වගේය. 

ඡන්දය අහවල් දවසේ පවත්වන බව කියූ වාර ගණන සීමාවක් නැත. ඒ සඳහා සූදානම් විය යුතු බව ආණ්ඩුවේ හැම නායකයෙක්ම කියති. මෙසේ වන්නම් හඬ ඇසුණාට ගිගිරි සෙලවුණාට ඡන්දය තාම නැත.

ශ්‍රීලනිපයේ පසුගියදා පැවැති මධ්‍යම කාරක සභාවේදීද පළාත් සභා සහ පළාත් පාලන ඡන්ද වලට සුදානම් විය යුතු බවට එහි නායකයන් ප්‍රකාශ කර තිබිණි. සියලු මැති ඇමැතිවරුන් ගම්වලට ගොස් පක්ෂ ප්‍රතිසංවිධාන වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කළ යුතු බවටද විදෙස් ගමන් නවතා පූර්ණ කාලීනව ගමේත් පක්ෂයේත් වැඩට උර දිය යුතු බවටද උපදෙස් ලැබිණි. එහෙත් ඡන්දය පවත්වන දිනය හෝ වකවානුව හෝ පිළිබඳව නිශ්චිත සඳහනක් නැත. සැබෑ ගැටලුව ඇත්තේ පෙර සූදානම හෝ පක්ෂ යාන්ත්‍රණය හැඩගැස්වීම තුළ නොව ඡන්දය නොපැවැත්වීම යන කාරණය තුළ බව බොහෝ දෙනා අමතක කරති. නමුත් එය වැදගත්ම කාරණයයි.

ඡන්දයක් පැවැත්වීම ආණ්ඩුවකට පහසුවෙන් තීන්දු තීරණ ගත හැකි කාර්යයක් නොවන බව අපි දනිමු. ඒ සඳහා පස්මහ බැලුම් බැලීම අවශ්‍යය. නමුත් ව්‍යවස්ථානුකූලව පැවැත්විය යුතු ඡන්ද නිසි කාලයේදී නොපැවැත්වීම ගැන එකඟ විය නොහැක. එය රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රික අයිතිය පැහැර ගැනීමකි. යහපාලනයේ මූලධර්ම වලට පවා එරෙහිව යාමකි. තරග බිමට නොයා ක්‍රීඩාව විවේචනය කිරීමෙන් පලක් නැත. ක්‍රීඩා පිටියට බැස තරගවැදී ජයග්‍රහණය හෝ පරාජය හෝ ලැබීම නිවැරදි ක්‍රමයයි.

ඡන්ද කල් දැමෙන්නේ රජය පනත් කෙටුම්පත් කිහිපයක හිර වී සිටින අතරවාරයේ බවද පෙනේ. මුලින් පළාත් පාලන ඡන්ද සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධව ගැටලු ගණනාවක් පැන නැගුණේය. ඒවාට සංශෝධන ඉදිරිපත්කොට ආණ්ඩුවේ සියලු පාර්ශව වල එකඟත්වයෙන් පනත සම්මත කරගත්තද ඊට අදාළ තවත් කෙටුම්පත් තුනක් සම්මත කර ගැනීමට නියමිතය. ඒ පනත් කෙටුම්පත් තුන සම්මත කරගැනීමෙන් තොරව පළාත් පාලන ඡන්දය පැවැත්වීමට හැකියාවක් නැත. එය සත්‍යයක් වුවත් දැන් රටට අවශ්‍ය වන්නේ තවදුරටත් කල් නොදමා ඡන්දය පවත්වන තැනට කටයුතු යෙදීමටය. ඒ සඳහා හැකියාව තිබෙන්නේ ආණ්ඩුවටය.  හැකියාව තිබුණත් උවමනාවක් නැත්නම් ඒත් වැඩේ කෙරෙන්නේ නැත. ඡන්දය සඳහා සූදානම් වන්නැයි මැති ඇමැතිවරුන්ට දැනුම් දීම පමණක් ඒ සඳහා ප්‍රමාණවත් නොවන බව අපගේ විශ්වාසයයි. 

ආණ්ඩුව මීළඟට අවධානය යොමුකර ඇත්තේ 20 වැනි සංශෝධනය සම්මත කර ගැනීම සඳහාය. එම සංශෝධනයේ අන්තර්ගතය දෙස විපක්ෂයේ සියලු පක්ෂ සැකයෙන් බලන්නේ පළාත් සභා ඡන්ද පැවැත්වීමට නොව ඒවා කල් දැමීමට ආණ්ඩුව එය යොදාගනු ඇතැයි යන හේතුවෙනි. 

මෙහිදී රජය තාක්ෂණික වශයෙන් පෙන්වන කරුණු වල සැබෑවක් තිබෙන බව පිළිගැනීමද අවශ්‍යය. ඉන් එකක් වන්නේ පළාත් සභා සියල්ලේම ඡන්ද එකම දවසක පැවැත්වීමට විධිවිධාන සැලසීමය. එයට කිසිවකුත් විරැද්ධ නොවනු ඇත. විරෝධය පළ වන්නේ පැවැත්විය යුතු ඡන්ද අදාළ සංශෝධනය හේතුවෙන් කල් දැමීමට සිදුවන නමුත් පසුකාලීනව පැවැත්විය යුතු ඡන්ද ඉදිරියට ගැනීමක් පිළිබඳව සඳහනක් නොමැති වීමය.

රජය මෙහිදී සාධාරණව ක්‍රියාකිරීම අවශ්‍යය. පළාත් සභා එකම දිනයක පැවැත්වේ නම් එසේ පැවැත්වෙන දිනය පනතේම සඳහන් වීම අවශ්‍යය. එවිට කා තුළත් පවතින සැකය දුරැවනු ඇත. ද්‍රවිඩ ජාතික සන්ධානයද 20 වැනි සංශෝධනයට සහාය දැක්වීමට එකඟ වී ඇත්තේ පාර්ලිමේන්තුවේ කමිටු රැස්වීම් වලදී ඒ සම්බන්ධව සාකච්ඡා කොට අදාළ වෙනස්කම් සිදුකරන්නේ නම් පමණක් බවද ප්‍රකාශ වී තිබේ. ද්‍රවිඩ සන්ධානයේ පමණක් නොව පාර්ලිමේන්තුව නියෝජනය කරන සෙසු සියලු පක්ෂ වලද විශ්වාසය දිනා ගැනීමකින් තොරව රජයට මේ සංශෝධනය ගොඩදා ගත නොහැක. ඡන්ද නිසි කලට වැඩි ප්‍රමාදයකින් තොරව පැවැත්විය හැකි ආකාරයට කටයුතු කිරීමෙන් රජයට එම කඩුල්ල පැන ගත හැකි බව සඳහන් කළ යුතුය.

ඡන්දය කලට වේලාවට නොපැවැත්වීම සම්බන්ධයේ විපක්ෂයේ ඇතැම් පිරිස් සිදුකරන ප්‍රකාශ ද සැබෑ තත්ත්වය පිළිඹිඹු නොකරන බවත් ඒ සමඟ කිව යුතුය. ඡන්ද කල් දමා ගැනීමේ වුවමනාවක් රජය තුළ හෝ රජයේ ඇතැම් පාර්ශව තුළ පවතින බව සත්‍යයක් වුවද පසුගිය පාලන කාලයේදී හැම වසරකටම හෝ දෙකකටම හෝ වරක් ඡන්දය පැවැත්වු බව පුන පුනා ප්‍රකාශ කිරීම යට සැඟවුණු කතාවක්ද තිබෙන බව අමතක නොකළ යුතුය. එනම් එම ඡන්ද පැවැත්වූයේ සම්පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයකට නොවන බවය. ඒ කාලයේ රාජ්‍ය සම්පත්, රාජ්‍ය සේවය පමණක් නොව සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයම ඡන්ද වලදී යොදා ගනු ලැබීය. අසීමිත ලෙස රජයේ අරමුදල්ද යොදවාගනු ලැබීය. නිසිකලට ඡන්ද පැවැත්විය යුතු බව සත්‍යයකි. එහෙත් එසේ පවත්වන ඡන්ද නිදහස් විය යුතුය. සාධාරණ විය යුතුය. රාජ්‍ය සම්පත්, රාජ්‍ය සේවය, රාජ්‍ය යාන්ත්‍රණය අවභාවිතයෙන් තොරව පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදී පරිසරයක සිදුවිය යුතුය. එසේ නොමැතිව පවත්වන ඡන්ද වලින් ලැබෙන්නේ කෘතිම සහ විකෘති ප්‍රතිඵලයක් බවට උදාහරණ අතීතයෙන් ඕනෑ තරම් සොයා ගත හැකිය.