- හිටපු ජනාධිපති ලේකම් කේ.එච්.ජේ. විජේදාස
වර්තමාන ආණ්ඩුව බලයට පත්වුණාට පස්සේ ආණ්ඩුවෙන් කිව්වා පහුගිය රජයට එල්ල වුණ යුද අපරාධ චෝදනා, යුද අධිකරණ කතා සියල්ල ඉවරයි කියලා. ඉන් රට නිදහස් වුණා කියලා. එහෙම තියෙද්දි හිටපු යුද හමුදාපති ජගත් ජයසූරිය මහත්මයාට එකපාරටම යුද අපරාධ චෝදනා එල්ල වුණේ කුමක් නිසා කියල ද ඔබ හිතන්නේ?
ජෙනරාල් ජගත් ජයසූරියට එල්ල වෙන චෝදනාව, වන්නි අණදෙන නිලධාරියා ලෙස කටයුතු කළ කාලයේ ඔහු යටතේ සිටි හමුදාව විසින් ආරෝග්‍ය ශාලාවලට රොකට් සහ කාලතුවක්කු ප්‍රහාර එල්ල කිරීම. ඒවගේම දහස් ගණන් අහිංසක සාමාන්‍ය ජනතාව කෘර ලෙස වද හිංසාවට ලක් කිරීම හා ඔවුන් නිකරැණේ මරා දැමූ බවත් චෝදනා නැගෙනවා. මෙම චෝදනා ඔප්පු කිරීමට යුද කාලයේ එංගලන්තයට පැන ගිය දෙමළ සරණාගතයන් කළ පාපෝච්චාරණ, ඔවුන්ගේ ශාරීරික තුවාල, කැඩුම් බිඳීම්, ඔවුන්ගේ මානසික ආතතිය පිළිබඳ වෛද්‍ය වාර්තා ආදිය ද ඉදිරිපත් වෙලා තියෙනවා. නමුත් ඒවායේ සත්‍ය අසත්‍යතාවය පිළිබඳව බලවත් සැකයක් තියෙනවා.
එහෙන් මෙහෙන් කෑලි අටවගත්ත ආණ්ඩුවේ ඇතුළ හිස්
ඒ කියන්නේ ඒවා ව්‍යාජ ලෙස සකසන ලද්දක් ද?
බොහෝ විට මේ සාක්කි ඒ ආගන්තුක රටවල ස්ථිර පදිංචිය ලබාගැනීමට ගොතන ලද ඒවා වෙන්න පුළුවන්. ජෙනරාල් ජගත් ජයසූරියට එරෙහිව ශ්‍රී ලංකා රජය විසින් හෝ ශ්‍රී ලංකා හමුදාව විසින් මෙතෙක් මානව හිමිකම් කඩ කිරීම පිළිබඳව හෝ යුද අපරාධ සම්බන්ධව කිසිම නිමිත්තක් නිල වශයෙන් ඉදිරිපත් කර නොමැත්තේ ඒ නිසායි. නමුත් එතුමා ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස කටයුතු කළ බ්‍රසීලය සහ කොලොම්බියා යන රටවල අපරාධ උසාවිවල මේ වනවිට නඩු පවරා තිබෙනවා. ඒකට සමාගමීව එතුමා තානාපති ලෙස කටයුතු කළ පෙරෑ, චිලී, ආර්ජන්ටීනා සහ සූරිනෑම් යන රටවලත් නඩු පැවරීමේ සූදානම් තියෙනවා.
ගිය ආණ්ඩුවත් මේ ආණ්ඩුවත් පැහැදිලිව ජාත්‍යන්තරේට කියලා තියෙනවා මේ රටේ යුද අපරාධ සිදුවුණේ නැහැ කියලා. එහෙම තියෙද්දි මේ චෝදනා පිටිපස්සේ ඉන්නේ කවුරු කියලාද සැක කරන්න පුළුවන්?
ජනරාල් ජගත් ජයසූරියට විරැද්ධව මානව හිමිකම් කඩකිරීමේ චෝදනාව සහ යුද අපරාධ චෝදනාව නැගෙන්නේ ශ්‍රී ලංකාවේ වුවමනාවට නෙවෙයි. මෙම නඩු පැවරීමේ කාර්යයේ පෙරමුණ ගෙන ඉන්නේ ඉන්දීයානු සම්භවයක් තියෙන දකුණු අප්‍රිකානු ජාතික නීතිවේදී යෙස්මින් සූකාය. ඇය මානව හිමිකම් පිළිබඳ රාජ්‍ය සංවිධානයක් වන දකුණු අප්‍රිකාවේ සත්‍ය සහ යුක්තිය ව්‍යාපාරයේ අධ්‍යක්ෂකවරිය. ඇය එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ලංකාවේ සිදුවූවා යැයි කියන යුද අපරාධ පිළිබඳ සොයා බැලීමට පත්කළ කමිටුවේ සාමාජිකවක් ලෙසත් හිටියා. නමුත් ඒ කමිටුව ශ්‍රී ලංකාව වර්ජනය කළා. එනිසා ඇගේ වුවමනාව ශ්‍රී ලංකාවට හොඳ පාඩම් ඉගැන්වීමයි.
මේ කතාව වඩාත් ආන්දෝලනාත්මක වුණේ ජගත් ජයසූරිය මහතා යුද අපරාධකරැවෙක් බවත් ඔහුට එරෙහිව කෙරෙන නඩු විභාගයකදී තමන් සාක්කි දෙන්න ඉදිරිපත් වෙන බවත් හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා කීම නිසයි. මේ ප්‍රකාශය ගැන මොකද්ද කියන්නේ?
මේ ප්‍රකාශය ද්වේශයෙන් නොකළ සත්‍ය ප්‍රකාශයක් නම් එය ශ්‍රී ලංකාවේ යුදහමුදාවට බලවත් අපකීර්තියක්. එමෙන්ම මේ නිසා ශ්‍රී ලංකා රජය බලවත් අපහසුතාවකට පත්වෙන්න පුළුවන්. මෙහිදි ෆීල්ඩ් මාෂල් ෆොන්සේකාටත් ගැලවීමක් නෑ. තමන් යටතේ සේවය කළ උසස් හමුදා නිලධාරියෙක් යුද අපරාධවල නියැලී සිටින බව දැන දැනම ඔහුට විරුද්ධව විනයානුකූල පියවර නොගැනීම එමෙන්ම ඔහුව අධිකරණයකට ඉදිරිපත් නොකිරීම බලවත් වරදක්. එමෙන්ම එම චෝදනා අවුරුදු අටක් වසන් කරගෙන සිටීමත් එකී යුද අපරාධ හෙළි නොකිරීමත් බලවත් වරදක්. දැන් අවුරුදු අටකට පසුව ජනරාල් ජගත් ජයසූරිය අධිකරණයක් වෙත ඉදිරිපත් කළත් චෝදනා ගොනු කරගැනීමට හා ඒවා කිරීමට ඇසින් දුටු සාක්ෂි සොයා ගැනීමට ඉතා අපහසුයි.
යූ.එන්.පිය නැති කරන්නේ මේ වගේ අය
ෆොන්සේකා මහතා කරන මේ චෝදනාවල පදනමක් තියෙනව ද?
ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා කර තියෙන්නේ පදනම් විරහිත අභූත චෝදනාවන්. ඔහු මුදාහැර තියෙන්නේ මුළු රටටම වින කරන මහා ගිනි ගෙඩියක්. දැනට ඔහු පත්වී තිබෙන තත්ත්වය ශෝචනීය යි. එය ගෙදර ගියොත් අඹූ නසී, මග හිටියොත් තෝ නසී තත්ත්වයට සමානයි. ඔහුගේ මේ ප්‍රකාශය නිසා යුගොස්ලාවියාව, සර්බියාව, කොසෝවා වැනි රටවලට අයත්වූ අවාසනාවන්ත ඉරණම ලංකාවට ද අත් වෙන්න පුළුවන්.
එහෙම නම් හමුදාවකින් යුද අපරාධ සිදුවෙන්නේ නැද්ද? ඒවාට විරුද්ධ විය යුතු නැද්ද?
සාධාරණ කියා හෝ අසාධාරණ කියා හෝ දෙයක් යුද්ධයේදී හෝ ආලය කිරීමේ දී නැහැ කියලා පැරුණි කියමනක් තියෙනවා. ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාව අවුරුදු 30ක් ළමයි නැෙලව්වේ නෑ. මාරාන්තික යුද්ධයක් කළා. යුද්ධයේදී අකටයුතුකම් සිදුවීම ස්වාභාවිකයි. නමුත් යුද්ධයක දී පිළිපැදිය යුතු යම් ආචාරධර්ම, යුතුකම්, කළ යුතු දෑ නොකළ යුතු දෑ තියෙනවා. සියයට අනූනව දෙනෙක් එකී ධර්මතාවන් අනුගමනය කරද්දි එක් අයෙක් වැරදි මඟක යන්න පුළුවන්. එසේ වැරදි කළ අය යුද අධිකරණයට පමුණුවා දඬුවම් කිරීම සාධාරණයි. ලෝකය පිළිගත් සම්ප්‍රදායත් එයයි. එනිසා මෙය හුදෙක් ජනරාල් ජගත් ජයසූරියගෙන් පළිගැනීමේ චේතනාවෙන් එල්ල කළ බොරු චෝදනාවක් නම් දිට්ඨ ධම්ම වේදනීය ධර්මානුකූලව එහි විපාක ලුහුබඳිනවා ඇති.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ශ්‍රීලනිප සංවත්සරයේ දී ප්‍රකාශ කළා ජගත් ජයසූරිය හෝ වෙනත් කිසිදු රණවිරුවෙක් සම්බන්ධයෙන් යුද අපරාධ චෝදනා නොනැගිය යුතු බවත් ඔවුන් රජය විසින් ආරක්ෂා කළ යුතු බවත්. නමුත් ඉන් දවසකට පස්සේ කැලණියේදී ඒ චෝදනාවම නැවතත් ප්‍රකාශ කළා. ඔහුට මේ ආකාරයට ජනාධිපතිවරයාගේ කීම ඉක්මවලා යන්න පුළුවන් ද?
මේකෙන් ගම්‍ය වෙන්නේ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා බලවත් සිත් තැවුලකින් හා වෛරයකින් ඉන්නවා කියලයි. ඔහු එසේ ප්‍රකාශ කරන්නට ඇත්තේ ඕනෑම තත්වයකට මුහුණ දෙන්න සූදානමින් ඉන්න නිසා වෙන්න පුළුවන්. මෙවැනි ප්‍රකාශවලින් අපේ රටට සිදුවන අපකීර්තිය සහ අවතක්සේරුව ගැනත් යහපාලන රජයේ ඉදිරිගමනට සිදුවන අහිතකර බලපෑම් සහ හානි ගැනත් ඔහු තැකීමක් කරලා නෑ. දැනට තිබෙන එක්සත් ජාතික පක්ෂයේ සෝදාපාළුවට ප්‍රධාන හේතුව මෙවැනි ක්‍රියාවන්.
රජය සැබවින්ම රණවිරැවන් ආරක්ෂා කරනවා නම් මෙහිදී ඔවුන් කළ යුත්තේ කුමක් ද?
මේ රජය පොදුවේ රණවිරැවන් ආරක්ෂා කරනවා කීම හරයක් නැති පරස්පර විරෝධී දේශපාලන සම්‍යයක් ප්‍රයෝගයක් පමණයි. සෑම බැටලු රෑනකම කළු බැටලුවෙකු ඉන්නවා වගේ දෙලක්ෂයක යුදහමුදාවේ මානව හිමිකම් උල්ලංඝනය කළ යුද අපරාධ කළ විස්සක්වත් සිටිය යුතුයි. එනම් හමුදාවේ සෑම දසදහසකට එක් අපරාධකරුවෙක් බැගින්. ඔවුන්ට විරුද්ධව විනය ක්‍රියාමාර්ගයකට ගොස් හමුදා අධිකරණයකට ඉදිරිපත් කර දඬුවම් පැමිණවීමෙන් ශ්‍රීලංකාවෙන් ගිලිහී ගිය සීලාචාරකමේ සහ යුක්තිගරැක වීමේ ප්‍රතිරෑපය ජාත්‍යන්තරය ඉදිරියේ නැවත ක්‍රමයෙන් ගොඩනගාගන්න පුළුවන්. එවිට ජාත්‍යන්තර පරීක්ෂණවලදී සහ ජාත්‍යන්තර අධිකරණවලදී ශ්‍රී ලංකාවට චූදිතයකු නොවී ඉන්න පුළුවන්.
මේක ගොතපු සාක්කි මත එල්ල කරපු චෝදනාවක්
ඇතැම් අය කියනවා ෆොන්සේකා මහත්මයාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙනා යුතුයි කියලා. තවත් අය කියනවා ඔහුට විරුද්ධව විනය පියවර ගෙන ඔහු කැබිනට් ඇමැති ධූරයෙන් ඉවත් කළ යුතුයි කියලා. පළපුරැදු රාජ්‍ය නිලධාරියෙක් හැටියට ඔබ මේ ගැන මොකක්ද කියන්නේ?
මම සියයට සීයක් එකඟ වෙනවා ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාගේ ප්‍රකාශය සදාචාර විරෝධී සහ විනය විරෝධී පමණක් නොවේ එය රජයේ සමගියට සාමයට සහ ස්ථාවරභාවයට හානිකර බවත් පේනවා. මෙම ප්‍රකාශය කැබිනට් සාමූහික වගකීම උල්ලංඝනය කිරීමක් කියලා එක එල්ලේම කියන්න බෑ.. ඒ ගැන කැබිනට් තීරණයක් තියෙනවා නම් එය සාමූහික වගකීම උල්ලංඝනය කිරීමක් ලෙස සලකන්න පුළුවන්.. නමුත් පොදුවේ රණවිරැවන් ආරක්ෂා කිරීමට රජයට අනේක වාරයක් පොරොන්දු වෙලා ඉන්න බව දැන දැනම එවැනි ප්‍රකාශයක් කිරීම රජය විරුද්ධව යුද්ධ ප්‍රකාශ කිරීමක් කියන්න පුළුවන්. එමනිසා ඒකාබද්ධ විපක්ෂය ගෙන එන විශ්වාසභංග යෝජනාවට රජයත් පක්ෂ වීම හෝ චූදිතයා ඇමැතිකමින් ඉවත් කිරීම හැර වෙන විකල්පයක් නොමැති බවයි පේන්න තියෙන්නේ.
මේ විදිහට මේ ආණ්ඩුවේ ඇමැතිවරුන්ට විශ්වාසභංග යෝජනා ඉදිරිපත් වෙනවා. තවත් ඇමැතිවරු ඉල්ලා අස්වෙනවා. මෙහෙම ආණ්ඩුව ඉදිරියට යන්න පුළුවන් වෙයි ද?
එහෙන් මෙහෙන් එක් එක ඉත්තෝ එකතුකර හදාගත්තු ආණ්ඩුවක් තමයි මේ. මෙවැනි ආණ්ඩුවක් පිහිටුවනකොටම මෙවැනි දේවල් බලාපොරොත්තු විය යුතුයි. මෙවැනි ආණ්ඩුවක් කවදාවත් ගෙනියන්න බෑ. ආඬි හත්දෙනාගේ කැඳ හැලිය වගේ. බොරුවට අත මිට මොලවගෙන ඇවිල්ල හැලියට අත නිකම් දාලානේ තියෙන්නේ. හැලියට කවුරුත් මොකුත් දාලා නෑ. ඉතිං හැලියේ කැඳ ඉදෙන්නෙ නෑ.
සංවාදය - සකීෆ් සාම් තන්වීරි
සේයාරු | සුමුදු හේවාපතිරණ