2017 සැප්තැම්බර් 09 වන සෙනසුරාදා

කරළිය හෙල්ලූ නඩු තීන්දුව

 2017 සැප්තැම්බර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 351

“ලලිත් වීරතුංග දේශපාලනය කළ කෙනෙක් නොවෙයි. දේශපාලනඥයන්ට උදව් කරන්න ගිහිල්ලයි මෙහෙම වු‍ණේ. ජනතාවගේ බදු සල්ලි හොරකම් කරන නිලධාරීන්ට දඬුවම් දීම හොඳයි. හොරැ හිරේ යවන්න ඕනෑ.”

පාර්ලිමේන්තුවේ දී පහුගිය බ්‍රහස්පතින්දා (07) මෙහෙම කිව්වේ ජවිපෙ මන්ත්‍රී බිමල් රත්නායකය. විදුලි සංදේශ නියාමන කොමිසමට අයත් රුපියල් කෝටි 60ක මුදලක් වැය කර පසුගිය ජනාධිපතිවරණ සමයේ දී සිල් රෙදි බෙදා දීමේ චෝදනාවට වරදකරුවන් වූ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යන මහත්වරුන්ට කොළඹ මහාධිකරණයේ දී බරපතළ වැඩ ඇතිව වසර තුන බැගින් සිරදඬුවම් නියම වීමේ නඩු තීන්දුව පිළිබඳව දැනගැනීමෙන් පසුව ඔහු මේ ප්‍රකාශය සිදුකර තිබුණි. පසුගිය ආණ්ඩුවේ හොරු ගැනත් ඔවුන් අල්ලා දඬුවම් පැමිණවීම ප්‍රමාද වීම ගැනත් බොහොම උද්වේගකාරීව අදහස් දක්වන ජවිපෙට මේ දඬුවම කතා කිරීමට හොඳ මාතෘකාවක් වීම ගැන පුදුම විය යුතු නැත.

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් මහතා වහාම කොමිසමට ඉදිරිපත් කරන්න. යම් විදියකින් අර්ජුන් ඇලෝසියස් මහතා ප්‍රකාශයක් ලබාදීමට කොමිසමට නොපැමිණියහොත් මෙම කටයුතුවලින් පසුව උද්ගත විය හැකි ප්‍රතිඵලවලට ඔහුට මුහුණ දීමට සිදුවනු ඇති.

මේ ප්‍රකාශය පසුගිය බදාදා (06) සිදුකළේ බැඳුම්කර කොමිසමයි.

ප්‍රශ්නගත බැඳුම්කර සිද්ධිය සම්බන්ධව ප්‍රකාශයක් ලබාදීමට කොමිසමේ විමර්ශන නිලධාරීන් හමුවේ පෙනී සිටින්නැයි දන්වමින් ඇලෝසියස් මහතාට නිකුත් කළ නොතීසිය බාරදීමට ඔහු සිටින තැනක් සොයාගැනීමට නොහැකි යැයි දැනුම් දුන් අවස්ථාවේ කොමිසම විසින් මේ දැනුම් දීම කළේ ඇලෝසියස් මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න මහතාටය. මේ දැනුම් දීම සිදුකෙරෙන විට එදින පැවැති සාක්ෂි විභාගය දෙබරයට ගල්ගැසීමක් බවට පෙරුළී තිබුණි. පර්පෙචුවල් සමාගමේ ප්‍රධාන ගැනුම්කරු නුවන් සල්ගාදු මහතා විසින් කොමිසම හමුවේ කරන ලද හෙළිදරව්වක් ඊට හේතු විය. බැඳුම්කර වෙන්දේසි සිදුවන අවස්ථාවේදීම වැදගත් තොරතුරු මහ බැංකුව ඇතුළෙන්ම තම ආයතනයට ලැබුණු බවත් ඒ නිසා එකී 2015/16 වසර තුළ දී සමාගමට කෝටි 1100ක ලාභයක් ලබාගැනීමට හැකි වූ බවත් එම ප්‍රකාශයේ සඳහන් විය.

මෙම හෙළිදරව්ව බැඳුම්කර කොමිසමේ වාර්තාවට ඇතුළු වී ඉදිරියේ දී අධිකරණ ක්‍රියාමාර්ගයක් දක්වා යොමු වුණොත් සිදුවිය හැකි දේ පිළිබඳව හොඳම ඉඟියක් ලලිත් වීරතුංග - අනූෂ පැල්පිට නඩු තීන්දුවෙන් ලැබී තිබේ. පසුගිය සතිය තුළ පිට පිටම දින දෙකක් තුළ වූ මේ සිදුවීම් අපේ රටේ දේශපාලනයේ ඉතාම අඳුරු පැතිකඩක් නිරාවරණය කරන බව පැහැදිලිය. පක්ෂ දේශපාලනයේ නිරතවන පුද්ගලයන් විසින් මෙහෙයැවෙන නිලධාරීන් මහා පරිමාණයේ අක්‍රමිකතාවල ගොදුරු බවට පත්වීම එම ඛේදවාචකයයි. 

ලලිත් වීරතුංග යනු මේ රටේ විධායක ජනාධිපතිවරයකුගේ ධුර කාල දෙකක ලේකම් ධුරය හෙබැවූ නිලධාරියාය. රාජ්‍ය සේවය තුළ ඔහු සැලකෙන්නේ අංක 01 ලෙසටය. එසේ සිට ඔහුට සිරගෙය නියම වී ඇත්තේ දේශපාලනයේ අතුරු විපාකයක් හැටියට බව පැහැදිලිය. කොටින්ම ජනාධිපතිවරණයට පෙර සිල් රෙදි බෙදා දිය යුතු බවට තීන්දුවක් නොගෙන තිබුණා නම් ලලිත් අද ඉන්නේ එළියේය. සිල් රෙදි බෙදා දීම දේශපාලන තීන්දුවකි. එම තීන්දුව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය මුදල ලබාදීමට අත්සන ගැසිය යුතු වන්නේ නිලධාරියෙකි. නිලධාරියා අද හිරේය. දේශපාලනඥයෝ එළියේය.

බැඳුම්කර කොමිසමක් ස්ථාපනය කිරීමට මේ ආණ්ඩුවට සිදුවූයේ ද දේශපාලන තීන්දුවල ප්‍රතිඵලයක් හැටියටය. බැඳුම්කර ගනුදෙනුව සිදු වී ටික කලකින්ම එය වංචාවක් බවට චෝදනා නැගුණේය. කෝප් කමිටුව හරහා එය දූෂිත ගනුදෙනුවක් බවට කරුණු වාර්තා කෙරිණි. නමුත් ඊට එරෙහිව නැගුණු විරෝධය බලවත් වීම නිසා කෝප් කමිටු වාර්තාව පමණක් ප්‍රමාණවත් වූයේ නැත. කරැණු සොයා බැලීම සඳහා ජනාධිපති විශේෂ විමර්ශන කොමිෂන් සභාවක් ජනාධිපතිවරයා විසින් පත් කෙරෙන්නේ එම විරෝධයේ ප්‍රතිඵලයක් වශයෙනි. 

මේ කොමිෂන් සභාවේ වාර්තාව ලබාදීමට තවත් කල්ගත වූවත් මේ වන විට හෙළිදරව් වී ඇති කරුණු අනුව එතැන මහා විශාල වංචාවක් සිදුව ඇති බව පැහැදිලි වෙමින් තිබේ. මේ වන විට ද එක් අතුරු ප්‍රතිඵලයක් වශයෙන් හිටපු මුදල් ඇමැති රවිට ඇමැති පදවිය අහිමි විය. කොමිසමේ වාර්තාව නිකුත් වූවායින් පසුව ඊළඟට එළඹෙන්නේ ඒ මත පදනම් වන නීතිමය ක්‍රියාමාර්ගයයි. එය කෙසේ සිදුවන්නේ දැයි තවම පැහැදිලි නැත. නමුත් ලලිත් වීරතුංගට එරෙහි නඩු තීන්දුව කියවන මහ බැංකු බැඳුම්කර වංචාවට හවුල් සියලු දෙනා තුළ කිසියම් තැතිගැන්මක් ඇති නූනොත් පුදුමය.

ඇතැම් දේශපාලන විචාරකයන්ගේ මතය වී තිබෙන්නේ ලලිත් වීරතුංග නඩු තීන්දුව මෙරට රාජ්‍ය සේවය තුළ කිසියම් වෙනසක් සිදුවීමට පවා මාර්ගය පාදනු ඇතැයි කියාය. දේශපාලන බලාධිකාරිය විසින් බල කරනු ලබන දූෂණ හෝ වෙනත් අක්‍රමිකතා වැඩ කටයුතුවලදී රාජ්‍ය සේවයේ නිලධාරීන් වඩාත් විමසිලිමත් වීමට ක්‍රියා කරනු ඇති බව ඔවුන්ගේ මතයයි. බැඳුම්කර කොමිසමේ සාක්ෂි ලබාදුන් මහ බැංකුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පවා හෙළිකර තිබු‍ණේ තීන්දු තීරණ ගැනීමේ දී දේශපාලනඥයන් විසින් තමන්ට තදින් බලපෑම් කරන බවය. මේ ඇතැම් නිලධාරීන් විසින් ලබා දී ඇති සාක්ෂි ද රාජ්‍ය සේවයේ නිලධාරීන්ගේ පූර්ණ අවධානයට යොමු වූවාට සැකයක් නැත.

කෙසේ වුවද කරළියේ දිගහැරෙන මේ සිදුවීම් වලින් පෙනෙන්නේ මේ බොහොමයක් සිදුවීම් පසුපස දේශපාලන බල අරගලයක ලකුණු පවතින බවය. රවිගේ ඇමැති පදවිය අහිමිවන මොහොතේ උදම් ඇනූ ඇතැම් ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයන් ලලිත් වීරතුංග නඩු තීන්දුවෙන් පසුව සද්ද වහගෙන ඉන්න බව පෙනෙන්නට තිබේ. යූ.එන්.පි.ය සමඟ ආණ්ඩු කරන්න තවදුරටත් බැරි බව කියමින් මෛත්‍රීපාල ජනාධිපතිවරයා හමු වී ස්වාධීන වන බව කීමට ගිය මන්ත්‍රී පිරිස ද තීන්දුව වෙනස් කරගෙන සිටින බව දැනගන්නට තිබේ. එයට ලලිත් වීරතුංගගේ නඩු තීන්දුවේ බලපෑමක් තිබුණාදැයි කීම අපහසුය.

යහපාලන රජය බලයට පත්වීමෙන් පසුව පසුගිය රජයේ මැති ඇමැතිවරැන්ගෙන් දිර්ඝ කාලයක් රිමාන්ඩ් භාරයේ සිටියේ බැසිල් රාජපක්ෂය. ඉන් පසුව වරින් වර විමල් වීරවංස, නාමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ මහින්දානන්ද අලුත්ගමගේ රිමාන්ඩ් භාරයේ සිටියහ. ඊට අමතරව යෝෂිත රාජපක්ෂට සහ වත්මන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු වන උදය ගම්මන්පිලට ද රිමාන්ඩ් සිරගෙදරට යන්නට සිදුවිය. නමුත් නඩු විභාගයකින් පසුව සිරදඬුවමකට යටත් කෙරැණු මහින්ද රාජපක්ෂ රජයේ සමීපතමයන් වන්නේ ලලිත් වීරතුංග සහ අනූෂ පැල්පිටය. ඉදිරි මාස කිහිපය තුළ රාජපක්ෂ රජයේ හිටපු මැති ඇමැතින් කිහිප දෙනකුටම එරෙහි නඩු විභාගයට ගැනීම නියමිතය. ආණ්ඩුව සහ විපක්ෂය ඡන්දවලට අණබෙර ගසන්නේ මේ පසුබිම යටතේය.

ටී.එන්.ඒ. කොන්දේසි

ආණ්ඩුව ඡන්ද පැවැත්වීමේ සූදානමක සිටින බවද පෙනී යන නමුත් ගැටලුව තිබෙන්නේ කවදා කුමන ඡන්දයක් පවත්වනවාද යන්නයි. ලබන මාසයේ 01 වැනිදා වන විට පළාත් සභා තුනක කාලය ඉකුත් වෙයි. 20 වැනි පනත් කෙටුම්පත සම්මත වී නොතිබුණොත් එම පළාත් සභාවල ඡන්දය පැවැත්වීම සඳහා පියවර ගැනීමට මැතිවරණ කොමිසමට සිදුවෙයි. නමුත් රජය ප්‍රකාශ කරන්නේ සියලු පළාත් සභා මැතිවරණ එකම දිනයක පැවැත්වීමට විධිවිධාන සලස්වන 20 වැනි කෙටුම්පත සම්මත කරගෙන ඡන්දවලට යා යුතු බවය. රජය මේ වන විට ටී.එන්.ඒ. සහ මුස්ලිම් කොංග්‍රසයේ කැමැත්ත ඒ සඳහා ලබාගැනීමට සමත්ව සිටී. පසුගිය අඟහරැවාදා (05) එම පක්ෂ නායකයන් සමඟ සිදුකළ කතාබහේ දී එම එකඟත්වය ඇතිකරගෙන තිබේ.

මෙහිදී ටී.එන්.ඒ පොරොන්දු වී ඇත්තේ තමන් ලබාදෙන්නේ කොන්දේසි සහිත සහායක් බවය. තමන් ගෙන එන සංශෝධනවලට ඉඩ තිබීම එක් කොන්දේසියකි. පනතේ දැනට සඳහන් වන විසුරුවා හරින ලද පළාත් සභාවක බලතල ඡන්දය පැවැත්වෙන දිනය දක්වා පාර්ලිමේන්තුවට පවරන බවට වන වගන්තිය ඉවත් කළ යුතු බව ටී.එන්.ඒ. කියා තිබේ. කෙටුම්පත සම්බන්ධව කාරක සභා අවස්ථාවේ දී තමන් මේ සංශෝධන ඉදිරිපත් කරන බව ටී.එන්.ඒ. දන්වා තිබිණි.
රජය වෙනුවෙන් මේ සාකච්ඡා පැවැත්වූයේ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාය. නීතිපති ජයන්ත ජයසූරිය මහතා ද මේ සාකච්ඡාවලට සහභාගි වී තිබුණි. දැනටම පළාත් සභා දෙකක් විසින් පරාජයට පත් කර තිබෙන 20 වැනි පනත් කෙටුම්පත සම්බන්ධව පාර්ලිමේන්තු විවාදය මේ මාසයේ තුන්වැනි සතියේ පැවැත්වීමට නියමිතය. රජයේ වෑයම වී තිබෙන්නේ මේ වසරට නියමිත පළාත් සභා ඡන්ද තුන ලබන වසරට කල් දමා 2019ට නියමිත ඡන්ද ඉදිරියට ගෙන එකම දිනයක ඡන්දය පැවැත්වීමටය. එය සාර්ථක වනු ඇතිදැයි ඉදිරියේ දී බලාගත හැකිවනු ඇත.

ශ්‍රීලනිපය අර්බුදයක

මේ අතර හදිසියේම පළාත්පාලන ඡන්දය පැවැත්වුණොත් ශ්‍රීලනිපය ලොකු අර්බුදයකට යාමට ඉඩ තිබේ. ජනාධිපතිවරයා තමන් හමුවට පැමිණි ශ්‍රීලනිපයේ කලකිරුණු මැති ඇමැති පිරිසට පවසා තිබුණේ ඡන්දයට එක් වී තරග කිරීමට මහින්ද පාර්ශ්වයේ කැමැත්ත ලබාගන්නා ලෙසටය. එසේ නොවුණොත් ශ්‍රීලනිපය පරාජය වනු ඇති බවත් යූ.එන්.පියට එහි වාසිය ලැබෙනු ඇති බවත් සඳහන් විය. කෙසේ වුවද ශ්‍රීලනිපයේ 66 වැනි සංවත්සරයට පසුව මෛත්‍රීපාල පාර්ශ්වය සිටින්නේ තමන්ගේ ශක්තිය ගැන ඉහළ තක්සේරැවකිනි. මහින්ද පාර්ශ්වය පසුගිය මැයි 01 වැනිදායින් පසුව සිටින්නේ ද ඉහළ තක්සේරැවකිනි. 

මහින්ද අමරවීර පසුගිය බ්‍රහස්පතින්දා (07) ඩාර්ලි පාරේ පක්ෂ මූලස්ථානයේදී පැවැසුවේ ශ්‍රීලනිපයේ සියයට 99ක් ඒකාබද්ධය සමඟ කියන කතාව බොරැවක් බවය. මහින්ද රාජපක්ෂ මහතා සහාය දෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සිටින්නේ ලක්ෂ 20ක් නම් එය දියුණුවක් නොවන බව ඔහු කීවේ පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ ලක්ෂ 58ක් ලබාගත් බව කියමිනි. සංවත්සරය බලාපොරොත්තු වුවාටත් වඩා සාර්ථක වූ බවද ඔහු කිව්වේය. 

මේ අතර දිගින් දිගටම මහජනතාව සහභාගි වන රැස්වීම ආමන්ත්‍රණය කරන මහින්ද පසුගිය 04 වැනිදා මැදමුලනදි පැවැති රුස්වීමකදි කියා තිබුණේ ශ්‍රීලනිපය එජාපයත් සමඟ ගැසූ ගිවිසුම නිසා ඒ පාපකර්මයට ශ්‍රීලනිපයට වගකීමට සිදුවී තිබෙන බවය. මේ ආණ්ඩුවට කිසිදු වැඩපිළිවෙළක් නැති බව කියු මහින්ද යූ.එන්.පියේ ප්‍රතිපත්තිය රටේ ජාතික සම්පත් විකුණා දැමීම බවට චෝදනාවක්ද කළේය. 

මේ කතා බහවලින් පෙනෙන්නේ ශ්‍රීලනිපයේ පාර්ශ්ව දෙකම එකිනෙකාගේ ශක්තිය පිළිබඳව කිසියම් ඇගැයීමක සිටින බවය. නමුත් මේ දෙපාර්ශවයම අධි තක්සේරැවක සිටින බව සමහරුන්ගේ මතය වී තිබේ. 

මේ සියලු සිදුවීම් වලට පෙර ෆීල්ඩ් මාර්ෂල් ඇමැති සරත් ෆොන්සේකා හිටපු හමුදාපති ජගත් ජයසූරිය මහතා අපරාධ කළ බවට කළ චෝදනාව සතිය මුලදිම ගිනි ගෙඩියක් බවට පත්විය. තම අමාත්‍යංශයේ මාධ්‍ය සාකච්ඡාවකදි ඔහු මේ ප්‍රකාශය කළේ බ්‍රසීලයේ තානාපති පදවි කාලය අවසානයේ ආපසු ශ්‍රී ලංකා පැමිණි ජගත් ජයසූරිය මහතාට එරෙහිව ජාත්‍යන්තර අධිකරණයට නඩුවක් ගොනු කිරීම පදනම් කරගනිමිනි. සරත් ෆොන්සේකා කියා තිබුණේ ජගත් ජයසූරිය නැමැති නිලධාරියා සිදු කළ අපරාධ පිළිබඳ සියලු තොරතුරැ තමා සතු අතර ඕනෑම පරීක්ෂණයකදී තමා සාක්ෂි දෙන බවය.

සරත් ෆොන්සේකාගේ කතාවට ශ්‍රීලනිප 66 වැනි සංවත්සරයේදී පිළිතුරක් දුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කිව්වේ හිටපු යුද හමුදාපති ජගත් ජයසූරිය මහතාට හෝ මේ රටේ කිසිම හමුදාපතිවරයකුට හෝ රණවිරැවකුට හෝ අත තියන්නට ලෝකයේ කිසිවකුටත් තමා ඉඩ නොදෙන බවය. එල්.ටී.ටී.ඊය සබඳතා ඇති එන්.ජී.ඕ කියන පදවලට නටන්නට සූදානම් නොවන බවද ඔහු කිව්වේය.

මේ ප්‍රකාශයෙන් පසුව සරත් ෆොන්සේකා කියා තිබුණේ රණවිරැවකු යැයි කියාගත් පළියට වරදකරැවන් රුකීම ජනතාවට අසාධාරණයක් බවයි. 

කැබිනට්ටුවේ ප්‍රධානියාද වන විධායක ජනාධිපතිවරයකුගේ ප්‍රකාශයට ඇමැතිවරයකු විසින් මේ ආකාරයට ප්‍රති උත්තර දීමක් මීට පෙර සිදුව නැත. මෙවැනි රටේ ජනතාවට ඉතාම සංවේදී කාරණයක් සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට පවා පිළිතුරු දෙන තත්ත්වයකට සරත් ෆොන්සේකා ෆීල්ඩ් මාර්ෂල් වරයා තල්ලු වූයේ ඇයිදැයි කියා පැහැදිලි නැත. ‍ෆොන්සේකාගේ කතාවට රටේ සියලු දෙසින්ම විරෝධය පළ වෙද්දී රජය ප්‍රකාශ කළේ එය රජයේ මතය නොවන බවය. මෙම කතාව සිතාමතා පත්තු කරන ලද දේශපාලන ගිනි බෝම්බයක් විය හැකි බව තවත් සමහරැන්ගේ අදහසය. 

සරත් ෆොන්සේකා මහතා මින් පෙර විධායක ජනාධිපතිවරයකුට අභියෝග කළේ මහින්ද රාජපක්ෂට පමණි. එම අභියෝගයෙන් පසුව ඔහු වසර 2 1/2½ක් සිටියේ සිර ගෙදරය. මෙවර කරන ලද අභියෝගයේ කෙළවර කුමක් වනු ඇතිදැයි දැන්ම නම් කිසිසේත්ම කිව නොහැක.

ශශින්ද්‍ර