2017 සැප්තැම්බර් 16 වන සෙනසුරාදා

වැඩිම ඡන්ද ගත්ත සමහරු දූෂිතයෝ

 2017 සැප්තැම්බර් 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 123

- සරත් මායාදුන්නේ

විගණන පනත ප්‍රමාදවීම ගැන ජනාධිපතිතුමාත් කනගාටුව පළ කරලා තිබුණා. ඊට දවසකට කලින් විගණකාධිපතිවරයාත් ඒ කාරණයම කියලා තියෙනවා. ඇයි මේ විදිහට විගණන පනත ප්‍රමාද කරන්නේ?

විගණන පනත රටේ ඉදිරිගමනට ඉතාමත් වැදගත් වන පනතක්. විගණනයේ දී ප්‍රධාන වශයෙන්ම ආවරණය කරන්නේ අමාත්‍යංශ සහ ඒ යටතේ තියෙන රාජ්‍ය ආයතන. මේවායේ දූෂිත තත්ත්වයක් තියෙනවා නම් එය හෙළිදරව්වීම පාඩුවක් විදිහට නැත්තම් හානියක් විදිහට මේවාට අදාළ දේශපාලනඥයෝ සලකන නිසා තමයි මේ පනත පමාවීමේ මූලික ගැටලුව විදිහට මම දකින්නේ. ඇත්තෙන්ම තමුන්ගේ දූෂිතභාවයක් නැත්තම් තමුන්ට එරෙහිව තියෙන අසත්‍ය චෝදනාවලින් මිදෙන්න මේ විගණන පනත පාවිච්චි වෙනවා.

ඔබ හිතනවද විගණන පනත ට රාජ්‍ය නිලධාරීන් විරුද්ධ වෙන්න හේතු තියනවා කියලා?

රාජ්‍ය නිලධාරීන්ට කිසිම හේතුවක් නෑ මේ විගණන පනතට විරුද්ධ වීමට. මේ විගණන පනත තුළ ඇතුළත් වෙලා තියෙන විගණකාධිපතිවරයාගේ අධිභාර අය කිරීමේ කාරණය නිසා විශාල ආරක්ෂාවක් හා ශක්තියක් රාජ්‍ය නිලධාරීන්ට ලැබෙනවා. අධිභාර අය කිරීම්වලට පාදක වන්නේ නීතියට පිටින් යම් දේවල් කිරීම සඳහා නිලධාරීන්ට උපදෙස් දීම. එතකොට නිලධාරීන්ට පුළුවන්කමක් ලැබෙනවා මේ නීති විරෝධී නියෝග ක්‍රියාත්මක කළොත් අපි අධිභාර අය කරනවා. ඒ නිසා මේ නියෝගය ඉවත්කරගන්න එහෙම නැත්තම් නියෝගය නිත්‍යනුකූල කරලා දෙන්න කියන්න. මොකද නීතිය පිළිබඳ යම් ගැටලුවක් ඇතිවෙනවා නම් විතරයි අධිභාර අය කරන්න පුළුවන් වෙන්නේ. නිත්‍යනුකූලභාවයක් තියෙනවා නම් කිසිසේත්ම අධිභාර අය කිරීමක් වෙන්නේ නෑ. 

රටේ නීතියක් නැත්නම් කැලෑ නීතිය මතුවෙනවා

ඒ කියන අධිභාරය අය කිරීම තුළින් කෙරෙන්නෙ මොකද්ද?

ඇතැම් නිලධාරීන් තමුන්ගේ ස්වාර්ථය සඳහා තමන්ගේ ඥාතීන්ට හිතමිතුරන්ට උදව් කිරීම සඳහා නීතියට පිටින් යම් යම් දේවල් කරනවා. එහෙමත් නැත්තම් ඇතැම් නිලධාරීන් උසස් වීම් ලබා ගැනීමට, වරප්‍රසාද ලබාගැනීමට දේශපාලනඥයන් පිනවීමට ක්‍රියාකරනවා. මේ කාරණා දෙක වැළැක්වීම තමයි මේ අධිභාර අය කිරීමේ ක්‍රියාවලිය තුළින් සිද්ධ වෙන්නේ. 

විගණන පනත ගේන්න රජයේ කවුරු හරි වළක්වන්න උත්සහ කරනවද? ඇයි දේශපාලනඥයෝ විගණන පනතට මෙච්චර බය?

මේ කාරණයට අහවල්ලු විරුද්ධ වෙනවා කියන්න මට අවබෝධයක් නෑ. මේ කාරණයේ දැන් අසාධාරණ කාලයකට පමාවෙලා තියෙනවා. දින සීයේ වැඩපිළිවෙළ තුළ තිබුණු කාරණයක් මේක. දැන් දින සීය ගෙවිලා අවුරැදු දෙකකටත් අධික කාලයක් ගතවෙලා තියෙනවා. ඒ නිසා මේක වැළැක්වීමේ අවශ්‍යතාවයක්, පමා කිරීමේ අවශ්‍යතාවක් හෝ කප්පාදු කිරීමේ අවශ්‍යතාවක් කිසිවෙකුට හෝ තියෙනවා කියන එක තමයි බැලූ බැල්මට පේන්න තියෙන්නේ.

දැන් මේ යෝජිත විගණන පනතයි පැවති පැරුණි විගණන නීතියයි අතර තියෙන ප්‍රධාන වෙනස්කම් මොනව ද?

පැරැණි විගණන පනතක් පැවතුණේ නෑ. මේ පළවෙනි වතාවට විගණන පනත ගෙන එන්නේ. විගණන පනත කියලා කියන්නේ විගණකාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දී තියෙන කාර්ය හා කර්තව්‍යයට අදාළ ව්‍යවස්ථාව වඩාත් ශක්තිමත් වන ආකාරයට පැහැදිලි කිරීම, එහෙම නැත්තම් ව්‍යවස්ථාවෙන් දෙන සැළකිල්ලට මස් පිරවීමක් තමයි විගණන පනතෙන් කෙරෙන්නේ. 

රජයේ පොදු දේපල, භාණ්ඩාගාරයේ මුදල් ආදිය අවභාවිතයේ යෙදවීම වැළැක්වීමේ හැකියාව යෝජිත පනතට තියෙනව ද?

මම හිතනවා විගණන පනත ක්‍රියාත්මක වුණොතින් බොහෝ දුරට පුළුවන්කමක් ලැබෙයි රාජ්‍ය මූල්‍ය විනයක් සහිතව නීතියට අනුව කරගන්න. නීතියේ ආධිපත්‍ය රටකට අත්‍යවශ්‍ය දෙයක්. 

වැරදි කරන නිලධාරින් විගණන පනතට බයයි

ලලිත් වීරතුංග සහ අනූෂ පැල්පිට යන දෙදෙනාට දුන් නඩු තීන්දුවට පදනම් වෙන්නෙත් රජයේ මුදල් මැතිවරණ කාල සීමාවක අවභාවිතයේ යෙදවීම. එතකොට අපි නඩු තීන්දුව ගැන කතා නොකර, මේ සිද්ධීය ගත්තොත්, ඒ සම්බන්ධයෙන් ඔබ මොකක් ද කියන්නේ?

මෙතැනදී මම හිතන්නේ ජනතාව විශාල ආකාරයකට නොමඟ යැවීමේ ක්‍රියාවලියක් මේ වෙලාවේ සිද්ධ වෙමින් තියෙනවා. මේකෙන් ලැබෙන්නේ‍ රාජ්‍ය මුදල් නීතියට පටහැනිව භාවිතා නොකළ යුතුය යන පණිවුඩය. නිලධාරීන් විතරක් නෙවෙයි රටේ සියලු දෙනාම නීතියට අවනත විය යුතුයි. නීතියට උඩින් කෙනෙක් නෑ. නිත්‍යනුකූල නොවන නියෝගයන් සඳහා දේශපාලන ස්ථරය ක්‍රියා නොකළ යුතුයි කියන පණිවිඩය තමයි මම හිතන හැටියට මෙතැන දී බැරෑරුම්ම පණිවුඩය. ඒවගේම නිලධාරීන්ට ලැබෙන ඕනෑම ආකාරයක නියෝගයක නීතිවිරෝධි කාරණා ඇතුළත් නම් එවැනි අවස්ථාවක නිලධාරීන්ට ශක්තිය තිබිය යුතුයි මේවා නීතියට එකඟ නොවන නිසා නොකළ යුතුයි කියන්න හෝ ඒ කාරණා නිත්‍යනුකූල කරවා දෙන ලෙස ඉල්ලීමට.

එහෙම කරන්න ගියාම රටේ ඉදිරිගමනට බාධාවක් වෙයි කියලා හිතෙන්නේ නැද්ද? 

රටේ ඉදිරිගමනට අවශ්‍ය දෙයකට පවතින නීතිය බාධාවක් නම් ඒ බාධාව ඉවත්කර ගැනීමට එක්කො නීතිය සංශෝධනය කරගැනීමට එහෙම නැත්තම් නීතිය එසේම තියෙද්දී විශේෂ අනුමැතියක් ලබාගැනීමට පුළුවන්. ඒනිසා මේක කිසිසේත්ම රටේ ඉදිරිගමනට කාර්යසාධනයට බාධාවක් නෑ. එකම දේ නීතියට අනුව සියලු දේ සිදුවිය යුතුයි යන තහවුරු වීමක් මෙයින් ලැබෙනවා. මොකද රටක නීතිය පිළිපදින්නේ නැත්තම් ඒ රට ක්‍රියාකරන්නේ කැලෑ නීතිය අනුවයි.

මේ වගේ පනතක් කලින් තිබුණා නම් ලේකම්වරු අමාරැවේ නොවැටෙන්න ඉඩ තිබුණා නේද?

විගණන පනත අධිභාර සහිතව පැවතුණා නම් අනිවාර්යයෙන් ඔවුන්ට මේ තත්වය වළක්වාගන්න තිබුණා. එවක ජනාධිපතිතුමාට අදාළ කාරණයට කිරීමට මුදල් වෙන් කරගැනීමේ අවශ්‍යතාවයක් තිබුණා නම් පහසුවෙන්ම දෙයාකාරයකට කරගන්න පුළුවන්කමක් තිබුණා. එකක් ප්‍රතිපත්ති ප්‍රකාශය අවස්ථාවේ හෝ අයැවැය සම්මත කරන අවස්ථාවේදී එය ඉදිරිපත්කර සම්මත කරගන්න තිබුණා. එහෙම නැත්තම් පරිපූරක ඇස්තමේන්තුවක් විදිහට පාර්ලිමේන්තුවේ අනුමත කරන්න තිබුණා. මොකද නීතිය ඉදිරියේ වැදගත් වෙන්නේ මේ කාරණාව සාධාරණ ද නැද්ද කියන එකට වඩා නීතියට එකඟ ද නැද්ද කියලයි. පාර්ලිමේන්තුවේ මේ කාරණය සඳහාම මුදල් වියදම් කිරීම අනුමත කළා නම් මේ පිළිබඳව ගැටලුවක් නෑ. මොකද ව්‍යවස්ථාවේ 148 ව්‍යවස්ථාව අනුව මූල්‍ය පිළිබඳව පූර්ණ බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට වන අතර 150 (4) වැනි අනුව්‍යවස්ථාව යටතේ ජනාධිපතිතුමාට බලයක් ලැබෙන්නේ පාර්ලිමේන්තුව විසුරැවා හැරි අවස්ථාවල රාජ්‍ය වියදම් දැරීම හා මහමැතිවරණය පැවැත්වීම යන කාරණා දෙක සඳහා පමණක් කොන්දේසිවලට යටත්වය.

මේ ආණ්ඩුවේ සමහරු නීතියට උඩින් යන්න හදනවා

මේ කරලා තියෙන කාරණය නිත්‍යනුකූලද?

මෙය නිත්‍යනුකූල කරගන්න තිබුණ දෙයක්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 52 (2) ව්‍යවස්ථාව යටතේ අමාත්‍යවරයාගේ විධානයට හා පාලනයට යටත්ව අමාත්‍යංශයේ ලේකම් ක්‍රියාකළ යුතුයි කියන අවශ්‍යතාවය තිබෙනවා. හැබැයි නිලධාරියෙක් වගේම සෑම පුරවැසියෙක්ම ව්‍යවස්ථාවට විතරක් නෙවෙයි අනෙක් සියලුම නීතිරීතිවලට බැඳීමට යටත්වෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 52 (2) ව්‍යවස්ථාව යටත් වූ පමණින් අනෙකුත් ව්‍යවස්ථාවලට පටහැනි වීමක් තියෙනවා නම් එතැන නිත්‍යනුකූලභාවය පිළබඳව ගැටලුවක් ඇති වෙනවා. 

දැන් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු පමණක් නොවේ රජයේ මන්ත්‍රීවරු පවා ප්‍රකාශ කරනවා මෙවැනි නඩු තීන්දු හේතුවෙන් රාජ්‍ය නිලධාරීන්ගෙන් මීටපස්සේ රාජකාරී ඉටුකරගැනීම ගැටලුවක් වෙයි කියලා. ඒකෙ සත්‍යතාවයක් තියෙනවා ද?

වැඩකළොත් අමාරැවේ වැටෙයි කියන පදනම සම්පූර්ණයෙන්ම විකෘති අර්ථකථනයන්. නිලධාරීන් අකර්මන්‍ය වුණොත් රටේ ඉදිරිගමනට විශාල හානියක්. ඇත්ත වශයෙන් එහෙම කිසිම බාධාවක් නිලධාරීන්ට නෑ. යම් කාරණාවක අඩුවක් හෝ නිත්‍යනුකූල බවේ යම් දොසක් තියෙනවා නම් ඒවා පෙන්නුම් කර නිවැරදි කරගන්න, හෝ කිසිසේත් නිවැරදි කරගත නොහැකි කරුණක් නම් ඒ කාරණය අත්හරින්න නිලධාරීන්ට පුළුවන්. මෙය නිලධාරීන් දුර්වලවීමට හෝ අධෛර්යයට පත්වීමට කාරණයක් නෙවෙයි. මුදල් රෙගුලාසියේ 156 දෙවන කොටස යටතේ ලිඛිත විධිවිධානයක් දෙන්න එහෙම නැත්තම් අපි අමාරුවේ වැටෙන්න පුළුවන් කියලා කියන්නත් නිලධාරීන්ට හැකියාව ලැබෙනවා. 

මැතිවරණ නීතිය යටතේ මැතිවරණ කාලයේ දී රාජ්‍ය නිලධාරීන්ගේ රාජකාරියට සිද්ධ වෙන වෙනස්කම් මොනවා ද?

ස්වාධීනව සහ සුදුසු ආකාරයට මැතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසමට පනතෙන් බලය දීලා තියෙනවා. රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් විශේෂ බලතල ඒ පනත යටතේ බාර දෙනවා. මහමැතිවරණ අවස්ථාවකදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 47 ව්‍යවස්ථාවේ පාර්ලිමේන්තුව විසුරුවා ඇති කාලය තුළ අමාත්‍ය මණ්ඩලය ධූර දැරීමේදී ඔවුන් මැතිවරණ කොමසාරිස්වරයාගේ නිර්ණායකයන් පිළිපදිමින් මැතිවරණයට අයුතු ලෙස බලපෑම් ඇති නොවන අයුරින් ක්‍රියාකළ යුත්තේය යන විධිවිධානය සකස් වී තිබෙනවා. විශේෂයෙන්ම මැතිවරණය කාලයක රාජ්‍ය නිලධාරීන් ක්‍රියාකළ යුතු ආකාරයෙන් සම්බන්ධව විශේෂ විධිවිධාන තියෙනවා. ඒවාට ඔවුන් බැඳෙනවා.

දැන් මේ සාමාන්‍ය ඡන්දදායාගේ හැඟීමක් තියෙනවා අපි කාට ඡන්දෙ දුන්නත් වැඩක් නෑ, බලය අරගෙන ඇවිත් හොරකම් කරනවා කියලා. ඔබ දකින විදිහට මේකට තියෙන විසඳුම මොකක් ද?

මේකට තියෙන එක විසඳුමක් තමයි ජනතාව තුළ දූෂණ විරෝධී හැඟීමක් ඇති කළ යුතුයි. ඡන්දදායකයන් මනාපවලදී ඉතා විශාල වරණයක් ලබා දුන්නේ දූෂිතයන්ට. ලක්ෂය ඉක්මවූ 45දෙනාගෙන් සෑහෙන සංඛ්‍යාවක් දූෂිත බවට ප්‍රසිද්ධ වූ අය. ජනතාව ඉල්ලනවා නම් දූෂණය ලබා ‍දෙන්න කියලා, කොයි රජය බලයට ආවත් ජනතාවගේ ඉල්ලීමට හිසනමනවා. ඒ කියන්නේ ජනතාව ඉල්ලන්නේ දූෂණය නම් කොයි රජය බලයට ආවත් දූෂණය ලබා දෙනවා. ඒ නිසා ජනතාවට හදවතින් හැඟීමක් තියෙන්න ඕනැ දූෂීතයන් පරදවමු කියලා.

දැන් සිදුවෙච්ච වංචා නිසා කෝටි ගණනින් මුදල් අහිමි වුණා. මේ විදිහට අයථා මුදල් ගනුදෙනු නිසා ජනතාවගෙන් කොල්ල කන මුදල්වලට වගකියන්නේ කවුද?

මේ වෙන හානිය ජනතාවට වෙන හානියක්. මේ පිළිබඳව ජනතාවගේ උනන්දුවක් තියෙන්න ඕනෑ. අද නීතියට විරුද්ධව කටයුතු කරන අය ආරක්ෂා කරන්නත් ජනතාවගේ පෙළඹීමක් තියෙනවා. ජනතාව දූෂිතයන් අවශ්‍යයි කියලා හිතනවා නම්, නීතිය පිළිපැදීම අනවශ්‍යයි කියලා හිතනවා නම් මම හිතන විදහට ඒකේ හානිය ජනතාව දරාගන්න වෙනවා. ජනතාව තමයි මේ දූෂිත රාමුව සඳහා කටයුතු කරලා තියෙන්නෙත්.

එතකොට කොහොම ද මේ රාමුව හරිගස්සන්නේ?

මේ කාරණා වෙනස් වෙන්නේ ජනතාව නීතියේ ආධිපත්‍ය අවශ්‍ය කියන කියලා හිටියෝතින් තමයි. නීතියේ ආධිපත්‍ය අත්‍යවශ්‍ය දෙයක්. නීතියට උඩින් කවුරැත් නෑ. නීතිය පිළිපැදිය යුතුයි. නීතියට අනුව දඬුවම් දිය යුතුයි. නීතියට පිටින් ගිහිල්ලා කෙනෙකුට දඬුවම් කරන්න බෑ. නීතිය තියෙද්දි නීතියට පිටින් ගිහිල්ලා දඬුවම් කිරීම තමයි අතීතය දිහා බලද්දිත් ඇතැම් විටක වර්තමානයේ දීත් අපි දකින්නේ. මේ ආණ්ඩුවෙත්  සමහරු ඉන්නනවා නීතිය මොනවා වුණත් අපි නීතියට අහුවෙන්න නෑ කියාගෙන. නමුත් එහෙම නෑ, නීතියට විරැද්ධව අද ක්‍රියාත්ක වෙන අය ඉන්නවා නම් ඉන් වැළැකිය යුතුයි කියලා.

සංවාදය - සකීෆ් සාම් තන්වීරි
සේයාරුව | සමන්ත ප්‍රදීප් විල්තෙර