2017 සැප්තැම්බර් 16 වන සෙනසුරාදා

පාස් - ෆේල් විභාගය අතළඟ

 2017 සැප්තැම්බර් 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 236

මේ රටේ දැන් ප්‍රශ්න වර්ග දෙකක් තිබේ. එකක් මහජනතාවගේ ප්‍රශ්නයි. අනෙක ආණ්ඩුවේ ප්‍රශ්නයයි. මේ වර්ග දෙක අතර පරතරය එන්න එන්නම වැඩිවෙමින් තිබෙන බවට හොඳම සාධකය මහජනතාවගේ ප්‍රශ්න දැන් මහපාරේ දෝරේ ගලායමින් තිබීමත් ආණ්ඩුවේ ප්‍රශ්න හේතුවෙන් ආණ්ඩුව ඇතුළේම සෑහෙන කචල් ඇතිවෙමින් තිබීමත්ය. එක අතෙකින් මහජනතාවගේ ප්‍රශ්න ආණ්ඩුවට ගාණක් නැත. අනෙක් අතට ආණ්ඩුව මුහුණ දෙන ප්‍රශ්න ගැන ජනතාවට වගක් නැත.
අද මහජනතාව මුහුණ දෙන ප්‍රශ්න මොනවාද?

බැලූ බැල්මට නොපෙනුණත් ජීවන වියදම මහජනතාවට දරාගත නොහැකි තරමට උඩ ගොසිනි. ආර්ථිකයේ නිසි සැලැස්මක් නැතිකම හේතුවෙන් දැඩි අවිනිශ්චිතකමක් පවතී. යූ.එන්.පී.ය ප්‍රමුඛ ආණ්ඩුවක් වෙනදා තේරී පත්වූ විට දකින්නට ලැබෙන පෞද්ගලික අංශයේ ප්‍රබෝධය මෙවර පවතින්නේ බින්දුවේය. ප්‍රබෝධය වෙනුවට ඇත්තේ හැම අතින්ම ඇසෙන රටේ සම්පත් විකුණාගෙන ආණ්ඩුව එදාවේල හොයාගන්නා බවට නැගෙන චෝදනාවේ හඬය. සයිටම් අවුල මාස ගණනාවක් තිස්සේ ඇදෙමින් පවතී. එය මේ රටේ ලක්ෂ සංඛ්‍යාත මාපියන් ඇතුළු උසස් පෙළ සහ රාජ්‍ය විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨ සිසුන් දැඩි පීඩනයකට ඇද දමා තිබේ. බැඳුම්කර වංචාව පිළිබඳ ජනාධිපති කොමිසම මඟින් හෙළිදරව් වන තොරතුරු ආණ්ඩුව කෙරෙහි මහජනතාව තුළ දැඩි අප්‍රසාදයක් ඇති කරමින් පවතී. ඒ මදිවට ස්වාභාවික විපත් මඟින් සිදුකර ඇති විනාශයේ බලපෑම් හේතුවෙන් ගොවීන් සිටින්නේ ඉතාම අසරණ තත්ත්වයකය. ඔවුන්ගේ ගැටලු විසඳා දීමට ආණ්ඩුව විධිමත් වැඩපිළිවෙළක් සකසා ඇතිබවක් පෙනෙන්නට නැත.

එතකොට ආණ්ඩුව මුහුණ දෙන ප්‍රශ්න?

මේ ප්‍රශ්න නම් නූල් බෝලයක් සේ පැටලෙමින් තිබෙන බව පෙනේ. යහපාලනය ඔසොවාගෙන සිටින ප්‍රධානම බලකණු දෙක වන ශ්‍රීල.නි.ප.ය සහ යූ.එන්.පී.ය අතර පැවතිය යුතු අවබෝධය සහ සම්මුතිය අද වනවිට කෑලි හැලෙමින් තිබේ. හරියට බැලුවොත් මේ ආණ්ඩුව තවමත් සම්මුතිය යන ලේබලය යටතේ පවතින්නේ ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් වරින් වර සිදුකරන ප්‍රකාශවලින් පමණි. ඒ හැර දෙපාර්ශවයේ කිසිදු එකඟත්වයක් කතාවෙනුත් පෙනෙන්නට නැත. ක්‍රියාවෙනුත් නැත.

ඊළඟට බැඳුම්කර වංචාව විසින් ආණ්ඩුව යහපාලනය නමැති තමන්ගේ කීර්ති නාමයට බරපතළ හානියක් සිදුකරගෙන තිබේ. ඒ කාර්යය තුළ ආණ්ඩුවට උදම් ඇනිය හැකි එකම කාරණය තමන්ගේ රජයෙන් සිදුවූ බවට චෝදනා නැගුණු වංචාවකට එරෙහිව තමන්ම විමර්ශන කොමිසමක් පත්කර කරැණු හෙළිකර ගැනීමට ක්‍රියාකිරීම පමණි. එය මින් පෙර පැවැති කිසිම ආණ්ඩුවකින් දැකගත නොහැකි වූ ලක්ෂණයක් බව සඳහන් කිරීම අවශ්‍යය.

ආණ්ඩුව විදෙස් ආයෝජන සම්බන්ධයෙන් ජනතාවට ලබාදුන් පොරොන්දුව නිකම්ම කඩදාසි කෑල්ලකට පමණක් සීමා වන තත්ත්වයකට පත්ව තිබීම තවත් ගැටලුවකි. එසේම ජනතාවට බලපාන ගැටලු ගණනාවකට විසඳුම් වෙනුවට ආණ්ඩුව තවමත් ලබාදෙන්නේ ලොකු ලොකු යෝජනා සහ අනාගතය පිළිබඳ හීන පමණි. මේ හීන සහ පොරොන්දු දේශපාලනයේ එක නරක ප්‍රතිඵලයක් වී තිබෙන්නේ ඡන්දයකට මුහුණ දීමට ආණ්ඩුව සූදානමක නොසිටීමය. එහිදී ද පාර්ශව දෙක ඉන්නේ අන්ත දෙකකය. ශ්‍රීල.නි.ප.යේ ලොකුම ගැටලුව පක්ෂය බෙදී ගොස් තිබීමය. යූ.එන්.පී.යේ ගැටලුව පාක්ෂිකයන්ට ලබා දුන් පොරොන්දු ඉටුකිරීම ප්‍රමාද වෙමින් තිබීම හේතුවෙන් පාක්ෂිකයන් පක්ෂ‍ෙයන් ඈත්වෙමින් සිටීමය. විශේෂයෙන් පුංචි ඡන්දයේදී පාක්ෂිකයන් ඡන්ද පොළට කැඳවා ගැනීම දුෂ්කර ක්‍රියාවක් බවට පත් වීමය.

මේ ගැටලු එකක්වත් ලෙහෙසියෙන් විසඳාගත හැකි ඒවා නොවේ. මහජනතාව නම් නිහඬව සිට ගැටලුවලට විසඳුම් සොයාගන්නේ ඡන්දයක් පවතින අවස්ථාවේදීය. ආණ්ඩුව තමන්ගේ ගැටලු විසඳා ගත යුතුවන්නේ ආණ්ඩුව ඇතුළෙන්මය. නමුත් ඇතුළේ පවතින කඹ ඇදිලි හේතුවෙන් ඊට ලැබෙන අවකාශයද සීමාවෙමින් තිබේ. පොඩ්ඩ එහෙට මෙහෙට වුණොත් අපි ස්වාධීන වෙනවා යැයි තර්ජනය කරන ඇමැතිවරුන් සිටින ආණ්ඩුවක් අපේ දේශපාලන ඉතිහාසයේ මින් පෙර තිබුණේ නැත. මීට පෙර සිදු වුණේ සද්ද නැතුවම “සැලුන් දොරෙන්” අනෙක් පැත්තට මාරුවීමය. නමුත් දැන් එහෙම වෙන්නේ නැත. එය ශ්‍රීල.නි.ප. නායකත්වයේ දුර්වලකමක්ද නැත්නම් ආණ්ඩුවේ වගේම ශ්‍රීල.නි.ප නායකත්වයේද ප්‍රධානම අභියෝගකරැ බවට පත්ව සිටින මහින්ද රාජපක්ෂගේ හැකියාව ද යන්න තවම පැහැදිලි නැත.

මේ ආණ්ඩුවේ පැවැත්ම මුල පටන්ම සහතික කෙරැණේ සුළු ජාතීන්ගේ ඡන්ද පදනම මතය. මේ ඡන්ද පදනම තවමත් නොවෙනස්ව පවතින බව බොහොමයක් දේශපාලන විචාරකයන්ගේ මතයයි. නමුත් ඒ පදනම පුංචි ඡන්දයේදී තුරැම්පු ආසියකු වන්නේ නැත. මිශ්‍ර ක්‍රමය අනුව පැවැත්වෙන ඡන්දයකදී සුළු ජාතික ඡන්ද ප්‍රකාශ වන ආකාරය විශ්ලේෂණය කිරීම පවා ඉතා වැදගත් වනු ඇත. ඉදිරියේදී එනම් 2020දී පැවැත්වෙන ජනාධිපතිවරණය සහ මහමැතිවරණය පිළිබඳව කිසියම් පූර්ව නිගමනයකට ඒමට එය උපකාරි වනු ඇත.

කෙසේ වුවද ආණ්ඩුව නම් සුළු ජාතික ඡන්ද තමන් වෙතම රඳවා තබාගැනීම සඳහා භාවිත කළ හැකි ලොකුම උපක්‍රමය හඳුනාගෙන සිටී. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉදිරියට තල්ලු කරගැනීමට ආණ්ඩුව දරණ උත්සාහයේ යටි අරැත එයයි. මහජනතාව සහ තමන් මුහුණ දෙන සෙසු ප්‍රශ්න නොසලකා හරිමින් නව ව්‍යවස්ථාව ගොඩදාගැනීම තමන්ට වඩාත් වැදගත් බව ආණ්ඩුව සිතන්නේ මේ නිසාය. කුමන උපක්‍රමයක් හෝ භාවිත කර එය වළක්වා ගැනීමට ඒකාබද්ධ විපක්ෂ උත්සාහය ගන්නේ ද ඒ හේතුව නිසාමය.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍යද නැද්ද යන්න විවාද සම්පන්න මාතෘකාවකි. මේ සම්බන්ධයෙන් සිවිල් සමාජ ක්‍රියාකාරීන්, දේශපාලන පක්ෂ, උගතුන් සහ සාමාන්‍ය ජනතාව අතර විවිධ මතවාද පවතී. සමහරු නව ව්‍යවස්ථාව අවශ්‍ය බව කියන විට තවත් සමහරුන්ගේ මතය එවැන්නක් අවශ්‍ය නැති බවය. ඒ අතර තවත් පිරිසක් කියන්නේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නොව පවතින ව්‍යවස්ථාවට ප්‍රතිසංස්කරණ එකතු කිරීම ප්‍රමාණවත් බවය.

ආණ්ඩුව පාර්ලිමේන්තුව ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයක් බවට පත් කර එහි කටයුතු ඇරුඹුවේ කොතැනකින් හෝ ඒ සඳහා ආරම්භයක් ගත යුතුව තිබූ බැවිනි. එක් අතකින් එය ටී.එන්.ඒ. ඇතුළු සුළු ජාතික දේශපාලන පක්ෂ සමඟ ආණ්ඩුව ඇතිකරගත් අවබෝධාත්මක අප්‍රකාශිත ගිවිසුමේ ප්‍රතිඵලයකි.

ආණ්ඩුව අලුත් ව්‍යවස්ථාව සම්බන්ධයෙන් හරිහැටි රට දැනුම්වත් නොකරන බවට ද දිගටම චෝදනා නැගුණේය. මේ ව්‍යවස්ථාව රට දෙකට බෙදන මර උගුලක් බවට හඬ නැගීමට ඒකාබද්ධ විපක්ෂයට හැකියාව ලැබෙන්නේ ඒ අනුවය. “අපට මොකටද අලුත් ව්‍යවස්ථාවක්?” යනුවෙන් මහින්ද රාජපක්ෂ තම ජනහමුවලදී පවසන්නේ මේ ව්‍යවස්ථාව ගේන්නේ රට බෙදන්න බවද කියමිනි. නමුත් මධ්‍යස්ථ මතධාරීන් ප්‍රකාශ කරන්නේ ව්‍යවස්ථාව නිසි ලෙස කෙටුම්පත් නොකර තිබෙන අවස්ථාවක එතරම් දැඩි අන්තවාදී අදහසක් දැරීම නුසුදුසු බවය. රටේ ජාතික ගැටලුව විසඳීම සඳහා නව ව්‍යවස්ථාවක් හඳුන්වා දෙන බව ඡන්ද පොරොන්දුවක් වූ බවද ඒ අනුව යමින් රජය කටයුතු කිරීමේ වැරුද්දක් නැති බවද ඔවුන්ගේ අදහසය.

මේ අතරවාරයේ නව ව්‍යවස්ථාව සම්බන්ධව ශ්‍රී.ල.නි.ප.ය තම යෝජනා ද ඉදිරිපත් කර තිබුණි. රටේ ඒකීය බව සහ බුද්ධාගම සම්බන්ධයෙන් ව්‍යවස්ථාවේ දැනට පවතින වගන්ති එසේම පැවැතිය යුතු බව ශ්‍රීල.නි.ප.යේ මුලසිටම අදහස වී තිබූ අතර ඔවුන්ගේ යෝජනාවල එය පැහැදිලිව දක්වා තිබේ. කෙසේ වුවද ආණ්ඩුව හමුවේ තිබෙන අභියෝග අනුව ව්‍යවස්ථාව ඉදිරියට ගෙන යාම උඩුගං බලා පිහිනීමක් බව පැහැදිලිය. ජනාධිපතිවරයාටත් අගමැතිවරයාටත් ඒ වෙනුවෙන් සෑහෙන සටනක් දීමට සිදුවන බව පෙනෙන්නට තිබේ. එය තව මාස කිහිපයකින් පැවැත්වීමට නියමිත පුංචි ඡන්දය කෙරෙහි සෑහෙන බලපෑමක් ඇති කිරීමට ද ඉඩ තිබෙන බවට නම් සැකයක් නැත.

එසේ කියන්නේ ආණ්ඩුව පසුගිය කාලය තුළ රටේ ජනතාවගේ බලාපොරොත්තු ඉටුකිරීමට අසමත් වී සිටීම හේතුවෙනි. රජය සැබෑවටම අසමත් වී දැයි සමහරැන්ට ගැටලුවක් පැන නැගිය හැක. එහෙත් මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට මේ වනවිට ආණ්ඩුව ලබා දී ඇති සටන්පාඨවල තරම පෙන්වා දෙන්නේ ආණ්ඩුවට එරෙහිව මහින්ද නායකත්වය ලබාදෙන දේශපාලන බලවේගය කොතරම් ශක්තිමත්ද යන්නය. කොටින්ම කිව්වොත් මහින්ද ඔසොවා ඇත්තේ ආණ්ඩුවේ ඇතැමුන් දුරදිග නොබලා සිදුකරන ලද ක්‍රියාවන් හේතුවෙනි. එසේම ඒකාබද්ධ විපක්ෂයට කරට කර සිටිය හැකි සන්නිවේදන ජාලයක් ආණ්ඩුවට නොතිබීම තවත් හේතුවකි. ඒ බව හොඳින්ම පෙන්නුම් කරන ආසන්නම සිද්ධිය වන්නේ ලලිත් වීරතුංග සහ අනූෂ පැල්පිට දෙදෙනාට එරෙහි නඩු තීන්දුවේදී ආණ්ඩුවත් මහින්දගේ ඒකාබද්ධ විපක්ෂයත් මාධ්‍ය හරහා සිදුකරන ශිල්ප දැක්වීමේ වෙනස සංසදනය කිරීමෙනි.

ලලිත් වීරතුංග දක්ෂ, කාර්යශූර, අවංක පක්ෂ විපක්ෂ සියලුදෙනාගේ ගෞරවයට ලක්වූ නිලධාරියකු බව සැබෑය. එහෙත් ඔහුට එරෙහි නඩු තීන්දුව ලැබුණේ මහාධිකරණයේ පැවැති දීර්ඝ නඩු විභාගයකින් පසුවය. නඩු නිමිත්ත මැතිවරණ සමය තුළදී එක් ජනාධිපති අපේක්ෂකයකුට වාසි සහගත වන අයුරින් රජයේ මුදල් අවභාවිත කිරීමය. එසේ මුදල් අවභාවිත කර තිබුණේ සිල්රෙදි බෙදාදීම සඳහා බවත් ඒ සඳහා රුපියල් කෝටි 60ක මුදලක් ලබාගන තිබූ බවත් සඳහන් විය.

මේ නඩු තීන්දුව අද සමාජගත වී තිබෙන්නේ සිල්රෙදි බෙදීමේ වරදට ලලිත් වීරතුංග හිරේ දැමූ බව කියාය. මැතිවරණ නීති උල්ලංඝනය කිරීමත් මහජන මුදල් අවභාවිතයේ යෙදීමත් සිරදඬුවම් ලැබිය හැකි වරදක් බව සමාජයේ බොහෝ දෙනා දන්නේ නැත. මෙයට හේතුවූයේ එම නඩු තීන්දුවේ දේශපාලන වාසිය මහින්දලා විසින් ඇසිල්ලකින් පැහැර ගැනීමය. ඔවුන් දිගින් දිගටම සමාජගත කළේ මෙතැන කිසිදු වැරැද්දක් සිදුවී නැති බවය. එකම වරද සිල්රෙදි බෙදාදීම බවය. සිල්රෙදි බෙදන එකත් වරදක්ද හාමුදුරුවනේ යැයි මහින්ද ප්‍රශ්න කරන විට ආණ්ඩුව වෙනුවෙන් කතා කරන්න හිටියේ සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයන් කිහිප දෙනෙකු පමණි. වෙනකක් තබා එම නඩු තීන්දුව අසා තමාද පුදුමයට පත්වූ බව අගමැතිවරයා පවා කියා තිබුණේය. වරදකට දඬුවම් දීම හරි බව කියන පිරිසක් නැති විට සිල්රෙදි බෙදන එකත් වරදක්ද, මෙහෙම ගියොත් බණ අහන එකත් වැරුද්දක් වෙන්න පුළුවන් වැනි කතාවලට පියාපත් ලැබීම ගැන පුදුම විය යුතු නැත. පොඩි මිනිසුන්ගේ නාඩිය අල්ලා මහින්දලා කරන දේශපාලනය ගැන අවතක්සේරුවෙන් හිතන දේශපාලන ලොක්කන්ට මේවා හොඳ පාඩම්ය.

මේ සිදුවීම් ගැන එක් දේශපාලන විචාරකයෙක් අපූරු කතාවක් කියා තිබුණේය. ඔහු පසුගියදා ත්‍රිරෝද රියකට ගොඩවැදී තිබුණි. ගමන අතරතුර කතාබහේදී ත්‍රිරෝද රියැදුරු ඔහුගෙන් අසා තිබුණේ මහත්තයෝ... මේ සිංහල බෞද්ධ රටේ ගෑනු අයට සිල්රෙදි බෙදාදෙන එක හිරේ දාන්න තරම් වරදක්ද... යනුවෙනි. ඔහු තවදුරටත් කියා තිබුණේ මේවා බෞද්ධ නොවන මිනිස්සුන්ගේ වැඩක් වෙන්නැති යනුවෙනි.

මේ කතාවෙන් පැහැදිලි වෙන්නේ සාමාන්‍ය මිනිසුන්ගේ හදවතට දැනෙන ලෙස කතා කරන්නට ආණ්ඩුවේ දේශපාලනඥයන්ට තිබෙන අසමත්කමය. තමන්ව මාකට් කරගැනීමට තිබෙන නොහැකියාවය. ආණ්ඩුව මහින්දව කොතරම් මාකට් කර ඇතිදැයි මැනබැලීමට හැකි තවත් සිද්ධියක් වන්නේ ලලිත් වීරතුංගලාට නියම වූ දඩය ගෙවීමට තමන් ඉදිරිපත් වන බව පැවැසූ විගස රටේ ප්‍රමුඛ භික්ෂූන් වහන්සේලා පිරිසක් ඒ සඳහා පිණ්ඩපාතයේ වැඩීමට ඉදිරිපත් වීමය. මේ ක්‍රියාවේ හරි වැරැදි පිළිබඳව කතා නොකළද මේ රජය යටතේ නීතිය හරිහැටි ක්‍රියාත්මක වූ අවස්ථාවක එහි ප්‍රයෝජනය ගැනීමට පවා රජයට නොහැකිවීම පුදුමයට කරුණකි.

මේ පසුබෑම් මැද වුවද ආණ්ඩුවට සැනසිය හැකි කාරණයක්ද තිබේ. එනම් අධිකරණයේ ක්‍රියාකාරීත්වය ස්වාධීනව තබාගෙන සිටීමය. ආණ්ඩුව අකැමැති තීන්දු තීරණ ගණනාවක්ද පසුගිය කාලයේ ලබාදී තිබුණත් නීතිපති දෙපාර්තමේන්තුව ජනාධිපති යටතට පවරා ගැනීමක් හෝ අගවිනිසුරුවරයා ලබාදුන් නඩු තීන්දුවලට අභියෝග කිරීමක් හෝ වැනි කිසිවක් සිදුවුණේ නැත. ලලිත් වීරතුංග නඩු තීන්දුව සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ සමහරැන් දැඩි විවේචන ඉදිරිපත් කර තිබුණත් ඒ සම්බන්ධයෙන්ද ආණ්ඩුව නිහඬය. ඒකත් යහපාලනයේම ලක්ෂණදැයි කියන්න දන්නේ නැත.

මීළඟට 19 වැනි වවස්ථාව සම්මත කර ගනිමින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සිය කැමැත්තෙන්ම විධායක බලතල කිහිපයක් ඉවත්කර ගැනීමට ඉදිරිපත් විය. මහින්ද සම්මත කරගත් 18 වැනි ව්‍යවස්ථා සංශෝධනයට සංසන්දනාත්මකව බලන කළ එය ඉතා ඉහළ ප්‍රජාතන්ත්‍රවාදී පියවරකි. ඒ සමඟ කොමිෂන් සභා පිහිටුවීමද තොරතුරු දැනගැනීමේ පනත ක්‍රියාත්මක කිරීමද යහපත් පියවර බව සැබෑය. නමුත් මේ සියල්ලද රැපියල් දහදාහේ වැටුප් වැඩිකිරීම, ප්‍රජාතන්ත්‍රවාදී නිදහස ඇතිකිරීම, බෙහෙත් මිල හරි අඩකින් පමණ අඩුකිරීම, තෙල් මිල අඩුකිරීම වැනි ජනතාවට සහන සැපයූ තීන්දු, තීරණ අමතක වී යන්නට ඉඩදීමේ වරද කා අතදැයි සොයාබැලීම ආණ්ඩුවේම යහපතට හේතුවනු ඇත.

බ්‍රිතාන්‍යයේ හිටපු බලවත් අගමැතිවරියක වූ මාග්‍රට් තැචර් මරාදැමීමට වරක් අයි.ආර්.ඒ. ගරිල්ලන් අටවා තිබූ බෝම්බයකින් ඇය නූලෙන් බේරුණාය. ඒ අවස්ථාවේදී ගරිල්ලා නායකයා කියා තිබුණේ ඔබ හැමවිටම වාසනාවන්ත විය යුතුය. එහෙත් අප වාසනාවන්ත විය යුත්තේ එක් වතාවක් පමණක් කියාය. මේ කියමන අද වඩාත් ගැලපෙන්නේ යහපාලන ආණ්ඩුවටද මහින්ද රාජපක්ෂටද කියා සිතාගැනීම ඔබට බාරය.

ශශීන්ද්‍ර

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00