ඡන්දයක් පැවැත්වීම මේ තරම් ප්‍රශ්නයක්, ගැටලුවක්, අර්බුදයක් බවට පත්වූ කාලයක් මින් පෙර තිබුණේ නැත. මේ රටේ වසර 30ක් පුරා පැවැති යුද්ධය කාලයේත් ඡන්ද තිබිණි. ජ.වි.පෙ. භීෂණය විසින් දකුණ හොල්ලා තිබූ කාලයේත් ඡන්ද පැවැත්වීම සිදුවිය. උතුරේ හැරුණු විට රටේ සෙසු පළාත්වල ඒ ඒ කාලවලට නියමිත වූ ඡන්ද පැවැත්වීම ක්‍රියාත්මක විය. යුද්ධය අවසන් වී දැන් වසර 08ක්ම ගෙවී ගොසිනි. එහෙත් ඡන්දයක් තැබීමට ආණ්ඩුව තවම හොරගල් අහුලමින් සිටියි.
වත්මන් ආණ්ඩුව බලයට පත්වීමේ පළමු අදියර වූයේ 2015 ජනවාරි 08 වැනිදා පැවැති ජනාධිපතිවරණයයි. එයින් පසුව දින 100ක් අවසානයේ මහා මැතිවරණය පැවැත්වීම ආණ්ඩුවේ තීරණය විය. නමුත් එය දවසින් දවස කල් දැමුණු අතර දින 100කින් පැවැත්වීමට නියමිතව තිබූ ඡන්දය අවසානයේ පැවැත්වුණේ දින 200කට ආසන්න කාලයක් ගතවීමෙන් පසුවය. ඊළඟට පැවැත්වීමට තිබූ පළාත් පාලන මැතිවරණය තව වනතුරු නැත. දැන් මේ වසරේ පැවැත්විය යුතු පළාත් සභා තුනක ඡන්දය කල්ගොස් තිබේ. පළාත් සභා (සංශෝධන) පනත් කෙටුම්පත් මැතිසබයේදී සම්මත වීමත් සමඟ ඡන්ද තුන කල්යාමට පිඹුරැපත සැකසී අවසානය.
ඡන්ද පැවැත්වීම මේ ආකාරයට කල්දැමීම රටේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරීත්වයට දැඩි හානියකි. එය එක් අතකින් රජයේ ගතවූ දෙවසරකට අධික කාලය පිළිබඳව ජනතාවගේ කැමැත්ත, අකැමැත්ත දැනගැනීමේ අවස්ථාවක් රජය අතින්ම ගිලිහී යාමකි. අනෙක් අතින් ජනතාවට තමන්ගේ පරමාධිපත්‍ය බලය භාවිත කිරීමට ඇති අයිතිය අහිමි කිරීමකි. ප්‍රජාතන්ත්‍රවාදය යළි ස්වාධින කරන බවට පොරොන්දු වී පැමිණි රජයකට එය හොඳ චරිත සහතිකයක් නොවේ.
තාක්ෂණික කරුණු මත පදනම්ව හෝ අතීතයේදී සිදුවූ වැරුදි නිවැරදි කිරීමේ හේතුව ඉදිරියට දමා හෝ ඡන්ද කල්දැමීම ජනතාව මේ රජයෙන් අපේක්ෂා කළ තීරණයක් නොවේ. එය එක් පැත්තකි. තවත් පැත්තකින් මෙය අතීතයේදී සිදුවූ ඡන්ද කල්දැමීම්වලදී ඒ ඒ ආණ්ඩු මුහුණ දුන් “ප්‍රතිඵල” දෙසද අවධානය යොමු කිරීමට ජනතාව පෙළඹවීමකි. 1970දී තුනෙන් දෙකේ බලයක් සහිතව ආණ්ඩුව පිහිටු වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ නායකත්වයෙන් යුතු වූ ශ්‍රී.ල.නි.ප.ය ප්‍රමුඛ සමගි පෙරමුණු ආණ්ඩුව ඊළඟ මැතිවරණයට මුහුණ දීමට නියමිතව සිටියේ 1975 වසරේදීය. එහෙත් 1972 වසරේදී එම රජය මගින් හඳුන්වා දුන් ජනරජ ව්‍යවස්ථාව යටතේ එහි එක් වගන්තියක් උපයෝගී කර ගනිමින් එතැන් සිට ඉදිරියට වසර 5ක් වශයෙන් ආණ්ඩුවේ කාලය දිගු කර ගනිමින් මහමැතිවරණයට ගියේ 1977 දීය. එනම් වසර 2කින් ඡන්දය කල්දැමීමෙන් අනතුරුවය. එහි ප්‍රතිඵලය වූයේ තුනෙන් දෙකේ ආණ්ඩුවේ ආසන සංඛ්‍යාව 08කට බැස අන්ත පරාජයක් අත් වීමය.
ඊළඟට 1977දී පැවැති එම ඡන්දයෙන් හයෙන් පහක බලයක් සහිතව ආණ්ඩුව පිහිටු වූ ජේ.ආර්. ජයවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් එක්සත් ජාතික පක්ෂ රජය 1982 දී නියමිත වූ පරිදි මහමැතිවරණය පැවැත්වූයේ නැත. තාක්ෂණික කරුණක් ඉදිරියට දමා මහමැතිවරණය වෙනුවට ජනමත විචාරණයක් පවත්වා පැවැති හයෙන් පහක ආණ්ඩුවේ කාලය ඉදිරි පස් වසරට දික්කර ගත්තේය. එම වසර 05 ගෙවෙන විට ආණ්ඩුවේ හයෙන් පහක බලය සහ ජේ.ආර්. ජයවර්ධන මහතාගේ විධායක බලය පාර්ලිමේන්තුවටත් ජනාධිපති මන්දිරයටත් පමණක් සීමාවී තිබිණි. රටේ උතුරේත් දකුණේත් දැඩි භීෂණයක් ක්‍රියාත්මක වී ප්‍රජාතන්ත්‍රවාදය අළුදූලි බවට පත්ව තිබිණි. ඡන්ද කල්දැමීමේ ආදීනව පිළිබඳව වෙනත් අවුවාටීකා අවශ්‍ය නැත.
ඉතිහාසය මේ ආකාරයටම ආපසු ක්‍රියාත්මක වනු ඇතැයි අපි නොකියමු. එහෙත් ඉතිහාසය දෙස බලා වර්තමානය ගැන තීන්දු තීරණ ගැනීම ආණ්ඩුවේත් රටේත් යහපත සඳහා හේතුවනු ඇතැයි අපි විශ්වාස කරමු. යහපාලනය තම තේමා පාඨය කරගනිමින් බලයට පැමිණි ආණ්ඩුවකට විවිධ හේතු මත පදනම් වෙමින් ඡන්ද නොපවත්වා සිටීමට කොහෙත්ම හැකියාවක් නැත. මේ නිසා හැකි ඉක්මනින් නියමිත පරිදි දැනටමත් කල් පසුවෙමින් පවතින මැතිවරණ පැවැත්වීමට කටයුතු කළ යුතුයැයි අපි කියමු.
ඡන්ද කල් දමාගැනීම සඳහා කොපමණ තාක්ෂණික කාරණා ඉදිරියට දැම්මත් යථාර්ථය නම් එසේ වන්නේ පක්ෂ දේශපාලනයට අදාළ කරුණු නිසා බව වසං කළ නොහැකිය. මේ දේශපාලනික කාරණා පක්ෂවලට අදාළ වුවද රටේ සෙසු සාමාන්‍ය ජනතාවට අදාළ නැත. පළාත් පාලන ඡන්දය කල්පසුවෙමින් පවතින තත්ත්වය තුළ ඔවුන්ට තම තමන්ගේ ප්‍රදේශවල පවතින අඩුපාඩු හදාගැනීමට ක්‍රමයක් නැත. කුණු ප්‍රශ්න ගොඩ ගැහේ. අතුරු පාරවල් කැඩුණු ගමන්ය. වැස්සට වතුරින් පිරෙන ගෙවල් දොරවල් ගැන කියන්න කෙනකු නැත. ඉඩෝරය හේතුවෙන් වැලේ වැල් නැතිව සිටින දුක කියාගන්න කවුරුත් නැත. ආණ්ඩුව මේ කාරණා නොදැන සිටිනවා විය නොහැක.
පළාත් පාලන ඡන්දයත් පළාත් සභා තුනේ ඡන්දය ලබන මාර්තු මාසයට පෙර පවත්වන බව අගමැතිවරයා මැතිසබයේදී ප්‍රකාශ කර තිබුණි. එම ප්‍රකාශය යථාර්ථයක් බවට පත් කිරීමට රජය කැපවෙනු ඇතැයි අපගේ විශ්වාසයයි.