- කැෆේ අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන්
සාධාරණ ඡන්ද පැවැත්වීමේ තේමාවක් යටතේ ක්‍රියාත්මක වන ඔබේ සංවිධානය මේ ආණ්ඩුව දිගින් දිගටම ඡන්ද කල්දාන එක ගැන මොකක්ද කියන්නේ?
පළාත් පාලන මැතිවරණ ඡන්දය කල්දාන්න පටන්ගත්තේ මහින්ද රාජපක්ෂ පලන කාලයේ දී. මඩකලපුව පළාත් පාලන ඡන්දය කල් දැම්මා යම් කාලෙකට. ඊටපස්සෙ පුදුකුඩුඉරිප්පු, වෙරළබඩපත්තු, ඡන්දය සූක්ෂම විදිහට බැසිල් රාජපක්ෂ මහත්මයා රණවක නැමැති පුද්ගලයා හරහා පෙත්සමක් දාලා කල්දැම්මා. යාපනේ ඡන්දය හා වව්නියාවේ ඡන්දයත් පරක්කු වුණා. මේ විදිහට අවස්ථා ගණනාවක දී සූක්ෂම විදිහට එක්කෝ කල්දාලා තියෙනවා නැත්තම් කල් දාගන්න උත්සාහ දරලා තියෙනවා. මේ ප්‍රශ්නෙට මුල පටන්ගන්නේ ඒකෙන්. එම ආණ්ඩුව ගෙනාපු පළාත් පාලන මැතිවරණ සංශෝධනයත් රටේ මිනිස්සු බලාපොරොත්තු වෙච්ච එකම නෙවෙයි. සීමා නීර්ණයෙ දී ගම්මානවල කුලපදනම, පාක්ෂික පදනම සලකලා දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් සිදුකර තිබුණා.
ඒ වුණාට මේ ආණ්ඩුවත් හිතාමතාම එම සීමා නිර්ණය හේතුවක් කරගෙන මැතිවරණ කල් දැම්මා කියලා චෝදනා එල්ල වෙනවා.
මේක පාවිච්චි කරලා ඡන්දෙ කල් දාපු බව ඉතාම පැහැදිලිව පේනවා. මාස දෙකක් තුනක් ඇතුළත ඡන්දය තියන්න පුළුවන්කමක් තිබුණා. ඒත් තිබ්බේ නෑ. ඒවගේම මැතිවරණ කොමසාරිස්වරයා ඉදිරිපත් කළ පනතේ සංශෝධන සති දෙකකින් කරන්න පුළුවන් කමක් තිබුණා. නමුත් ඒ සඳහා අවුරුදු එකහමාරකට වඩා ගත කළා. කොහොම නමුත් දැන් පළාත් පාලන පනත සම්මත වී අවසන් වුණත් එය බලාත්මක කිරීම මේ මාසේ 30වැනි දා දක්වා කල් දාලා තිබෙනවා. පනත ක්‍රියාත්මක කිරීමට නම් ප්‍රාදේශීය සභා පනත, නගර සභා පනත, මහනගර සභා පනත සංශෝධනය විය යුතුයි. විෂය භාර ඇමැතිවරයා ඒ කටයුතු අවසන් කර තවම පාර්ලිමේන්තුවට ගෙනත් නෑ. ඒ නිසා ඡන්දය තව ප්‍රමාද වෙනවා. මේ තුළ අපිට ඉතාම පැහැදිලි ලෙස පේන්නේ මේ පළාත් පාලන ආයතන මැතිවරණය කල්දමා ගැනීමේ උත්සාහයක් මේ ආණ්ඩුවටත් තියෙනවාය කියන එක.
මැතිවරණ පැවැත්වීම යහපාලන අංගයක් නම් ඇයි මේ යහපාලන ආණ්ඩුව ඡන්ද කල් දාන්නේ?
ඡන්ද කල්දමා ගැනීම සිදුවෙන්නේ මේ රටේ පක්ෂ තුනකට ඡන්දෙට මුහුණ දීගන්න බැරිවෙලා තියෙන නිසා. ඒ ජනාධිපතිතුමාගේ පක්ෂය, අගමැතිතුමාගේ පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණට. ඔවුන් තුන්ගොල්ල එකතුවෙලා ඡන්දෙ කල්දාගන්නවා. මීට පෙර 20වැනි සංශෝධනය ගේනකොටත් ජනතා විමුක්ති පෙරමුණ කකුලෙන් ඇද්දා. ඒ අවස්ථාව පාවිච්චි කරලා රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා තමන්ගේ අවශ්‍යතා ඉෂ්ට කරගත්තා.
පළාත් සභා ඡන්ද සියල්ලම එකම දිනයක පවත්වනවා යන යෝජනාව හොඳ දෙයක් නම් සෙසු දේශපාලන පක්ෂ ඇයි විරෝධය දක්වන්නේ? ඒවා සාධාරණ ද?
ආණ්ඩුව 20 සංශෝධනය ගෙනාවේ සියලු පළාත් සභා මැතිවරණ එකට තබනවාය යනුවෙන් පවසමින්. නමුත් එය අවංක උත්සාහයක් නොවේ. සද්භාවය පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. චේතනාව ඡන්දය කල් දැමීම බව පැහැදිලියි. ඒ කියන්නේ මෙතන තියෙන්නේ අවස්ථාවාදී බලලෝභී දේශපාලනය විතරයි. ආණ්ඩුවට මැතිවරණයකට තරග කිරීමට තිබෙන නොහැකියාවම පමණයි. නඩු ගණනාවකින්ම කියලා තියෙනවා ජනතාව සතු පරමාධිපත්‍යයේ කොටසක් තමයි පළාත් සභා ඡන්ද විමසීම. මේ තර්කය ආණ්ඩුවේ එක ආණ්ඩුක්‍රම නීති විශාරදයකුටවත් නොතේරීම ඔවුන්ගේ අඳබාලකමක් කියලා තමයි අපිට තේරෙන්නේ. ඔවුන් මේ සියල්ලම ඉතාම බොළඳ බාලවිදිහට හතර අතේ අනාගෙන.
20 සංශෝධනයෙන් මැතිවරණය ප්‍රමාද කරන්න බැරි වුවහොත් වෙනත් උපක්‍රමයකින් මැතිවරණය කල් දැමීමේ උත්සහයක් තියෙනවා කියලා විපක්ෂය කියනවා.
මේ ආණ්ඩුව බලයට එනකොට දුන්නු පළවෙනි පොරොන්දුව පනත් කෙටුම්පත් හදිසි පනත් විදිහට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ නෑ කියලා. ඒ කියන්නේ ඒ සඳහා වන සමාජ සංවාදයට ඉඩ තියෙනවා. නමුත් අද කරන්න හදන්නේ කිසි කෙනෙක් නොදන්නා අඩුතරමේ මන්ත්‍රීවරුන්, මැතිවරණ කොමිසම, නීති කෙටුම්පත් සම්පාදක මණ්ඩලය හෝ නීතිපතිවරයාවත් නොදන්න පනතක් පස්ස දොරෙන් ගෙනත් එයට කිසිම සම්බන්ධයක් නැති ක්‍රියාවලියකට යොමුකරන්න. කරන්න යන්නේ කාන්තා නියෝජනය පෙන්නලා සම්පූර්ණ මැතිවරණ ක්‍රමය වෙනස් කරන එක. නංගි පෙන්නලා අක්කා දෙන දේවල් ලංකා දේශපාලන ඉතිහාසයේ ඕන තරම් වෙලා තියෙනවා. ඒත් මේ ආණ්ඩුව කරන්නේ නංගි පෙන්නලා ආච්චි අම්මාව දෙන්නයි.
හැබෑ වෙනසක් ලබාදෙනවා කියලා බලයට ආපු මේ යහපාලන ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වය පහුගිය වසර දෙක දිහා හැරිලා බැලුවහාම ඔබ කොහොම ද දකින්නේ?
ආණ්ඩුව බලයට එද්දි කිව්ව මුල්ම දේ තමයි හොරකම් නවත්වනවා යනුවෙන්. නමුත් මේ ආණ්ඩුව කලින් ආණ්ඩුව පරදවමින් හොරකම් කරලා තියෙනවා. බැඳුම්කර වංචාව, ගල් අඟුරු වංචාව, හොරණ රබර් ෆැක්ටරිය, විවිධ කර්මාන්ත ශාලා ඉදිකිරීම්, මහාමාර්ග හා විද්‍යුත් හැඳුනුම්පත් ටෙන්ඩරය මේ විදිහට ලැයිස්තුවක් කියන්න පුළුවන්. මේ ආණ්ඩුවේ වංචා. ඒවගේම ආණ්ඩුව වංචා දූෂණ අක්‍රමිකතා සිදු කළ පුද්ගලයන් අල්ලනවා කිව්වා. අනූෂ පැල්පිටත් ලලිත් වීරතුංගත් හැර සෙසු සියල්ලම තාමත් නිදැල්ලේ ඉන්නවා. ඔවුන්ගේ විමර්ශන ක්‍රියාවලිය මැදට බාධා කරන්නෙත් ආණ්ඩුවේම දේශපාලනඥයෝ තමයි.
මේ ආණ්ඩුව යටතේ මානව හිමිකම් ආරක්ෂා වීම ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිතවීම සම්බන්ධයෙන් තෘප්තිමත් වෙන්න පුළුවන්ද?
මුල්‍ය වංචාවක් එක්ක බැඳිලා තිබ්බ අනික් දැවැන්ත කාරණය තමයි මානව හිමිකම් උල්ලංඝනය කිරීම්. පහුගිය ආණ්ඩුවේ අන්ත බිහිසුණු ඝාතන මානව හිමිකම් උල්ලංඝණය වීම් සිදුවෙලා තියෙනවා. ඒවාට යුක්තිය ඉෂ්ඨ වෙලා තියෙනවද? ලසන්ත, ලලිත් කූගන් ඝාතන පැහැරගෙන යෑම් වගේ තත්ත්වයන්, පෝද්දල ජයන්ත සිදුවීම් මේවාට යුක්තිය ඉෂ්ට වෙලා තියෙනවද? එකකටවත් යුක්තිය ඉෂ්ට වෙලා නෑ. මුළු රටම යුක්තිය ඉල්ලන වැලිකඩ බන්ධනාගාර ඝාතන 27ට තාම උත්තර නෑ, වතුර ඉල්ලූ රතුපස්වල මිනිස්සුන්ට වුණේ මොකක් ද? මේ මානව හිමිකම් උල්ලංඝනයන්ට කවද්ද උත්තර දෙන්නේ! මේ එකකටවත් මේ ආණ්ඩුව තුළ උත්තර නොලැබුණු තත්ත්වයක මානව හිමිකම් ආරක්ෂා කරනවා ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත වෙලා තියෙනවා යැයි කියන්න පුළුවන්කමක් නෑ.
සමහර කියනවා මේ ආණ්ඩුව 19වැනි සංශෝධනය කිරීම ලොකු ජයග්‍රහණයක් කියලා.
19වැනි සංශෝධනය විතරක් හැමදාම පෙන්න පෙන්න ඉන්න බෑ. ඒකෙන් කොමිෂන් සභා ක්‍රියාත්මක කළාට, ඒවා වඩාත් හොඳ තැනකට ගෙනත් නෑ. මැතිවරණ කොමිසම ස්ථාපිත කිරීම හොඳයි. හැබැයි මැතිවරණ තියන්නේ නෑ. පොලිස් කොමිසම ස්ථාපිත කිරීම හොඳයි නමුත් ඔවුන් කාර්ය ක්‍රියාපටිපාටියක් තාම හදලා නෑ. අල්ලස් කොමිසම ස්ථාපිත කිරීම හොඳයි නමුත් ඔවුන් තෝරාගත් නඩු විතරයි කරන්නේ. නඩු පමාවීම්. මේකද රට බලාපොරොත්තු වෙන තත්ත්වේ!
ලලිත් වීරතුංග නඩු තීන්දුවත් එක්ක නියම වූ දඩය සහ වන්දිය හොයන්න ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් වීමත් ඒ සඳහා භික්ෂුන් වහන්සේලා පිරිසක් පිණ්ඩාපාතේ වැඩීමත් ඔබ කොහොම ද දකින්නේ?
සාගින්නේ ඉන්කොට සද්චේතනාවෙන් බුද්ධාගමේ විනය නීති කඩ කළත් කවුරුත් එය වරදක් ලෙස සිතන්නේ නෑ. නමුත් අපි දන්න විදිහට මේ සිද්ධිය මූල්‍ය අපරාධයක්. ඒ වරද කළ අයට දඬුවමක් නියම කළාම ඒකට පිණ්ඩපාත වඩින්න දේශපාලන බලවේගයකට අවස්ථාවක් තියෙන්න පුළුවන් වුණාට භික්ෂුවට පුළුවන් ද කියන ප්‍රශ්නය නැගෙනවා. භික්ෂුව දේශපාලනය පටලවාගැනීමේ ඛේදවාචකයක් අද තිබෙනවා. භික්ෂුව විතරක් නෙවෙයි ලෝකේ ඕනෑම රටක ඕනෑම ආගමක් දේශපාලනයත් සමඟ පටලවා ගැනීම සිදුකරගෙන තිබෙන්නේ බලයට පැමිණීමට හැර සමාජ ප්‍රගමනයකට නෙවෙයි. මේ තමයි ලෝකේ ලොකුම විනාශය. ලෝකයේ ආගම්වලින් ඇතිවෙලා තිබෙන යුද්ධ ආගම්වලින් ඇති කරපු සාමයට වඩා වැඩියි.
මේ නඩු තීන්දුවත් එක්ක රජයේ නිලධාරීන්ගෙන් තීන්දු තීරණ ක්‍රියාත්මක කරගන්න බැරිවෙයි කියලා ආණ්ඩු පක්ෂයේ සමහරු වගේම විපක්ෂයත් කියනවා. එහෙම වෙන්න පුළුවන් ද?
එය බොරුවක්. නිලධාරීන් හොරකම් කරන්නෙ නැත්තම්, යහපත් තීරණ අනුව කටයුතු කරනවා නම්, ඔවුන්ගේ තීරණ යුක්ති යුක්ත කරලා පෙන්නන් පුළුවන්කම තියෙනවා නම්, විනිවිදභාවයකින් කටයුතු කරනවා නම් කිසිම ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ. රුපියල් කෝටි දොළහක් නැවකට වැඩිපුර ගෙවලා ගල්අඟුරු ගෙන්නන්න ඕන නම් මේ ගැන දෙවරක් සිතන්න වෙනවා. දූෂිත ගනුදෙනුවලට මේවා ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. රටට පාඩුවක් වන විදිහේ තීන්දුවක් ගන්න අයටත් බලපාන්න පුළුවන්. අපි මේවායේ හොඳක් මිසක නරකක් දකින්නේ නෑ.
පාර්ලිමේන්තුව ඇතුළේ මන්ත්‍රීවරුන්ට මේ තරම් වරප්‍රසාද යාන වාහන දෙන්න අවශ්‍ය ද?
ප්‍රජාතන්ත්‍රවාදය ලාභ නෑ. ප්‍රජාතන්ත්‍රවාදයට කොච්චරක් මිලක් ගෙවන්න ඕනද කියන එක තීරණය කරන එකත් ජනතා පරමාධිපත්‍යයේම කොටසක්.
රජය ගන්නා තීන්දු තීරණවල විශාල පසුබෑමක් තියෙනවා කියලා චෝදනා එල්ල වෙනවා. මොකද්ද ඒකට හේතුව?
අගමැතිවරයා සහ ජනාධිපතිවරයාට තියෙන ප්‍රධානම චෝදනාව තමයි රටේ ප්‍රමුඛතාවයන් හඳුනා නොගැනීම. මේ රටේ මිනිස්සු අතට සල්ලි එන්නෙ නැති දැවැන්ත අර්බුදයක් තියෙනවා. ඒකට උත්තර හොයන්නේ කවදාද? මේ රටේ සංහිඳියාව සාමය යුක්තිය පිළිබඳ ප්‍රශ්න තියෙනවා. මේරට දේපල සඳහා වන අයිතිය පිළිබඳව, අහිමිවෙච්ච දේවල් සඳහා වරප්‍රසාද ලබා ගැනීමේ පිළිබඳව ප්‍රශ්න තියෙනවා. ඉඩම් අයිතිය පිළිබඳ උතුරේත් දකුණේත් ප්‍රශ්න තියෙනවා. මේ ප්‍රශ්නවලට උත්තර ලැබෙන්නේ කවදාද! රජය ප්‍රමුඛතාවයන් හඳුනාගන්නේ නෑ. නිලධාරීන් විසින් ඒ ප්‍රමුඛතාවයන් ගිලගන්නකොට දේශපාලනයත් අවශ්‍ය මැදිහත්වීම් සිදුකරන්නේ නැහැ. ප්‍රමුඛත්වයන් හඳුනා නොගැනීම ඉතාම නරක දෙයක් සහ එය බරපතළ අර්බුදයක්.
සාකච්ඡාව - සකීෆ් සාම් තන්වීරි
සේයාරුව | සමන්ත ප්‍රදීප් විල්තෙර