යාපනයේ විද්‍යා දැරිය පසුගිය දෙවසර මුළුල්ලේම මේ රටේ හැම නිවෙසකම මාතෘකාවක් වී සිටියාය. සාමාන්‍යයෙන් යාපනයේ එදිනෙදා සිදුවීම් පිළිබඳ ලොකු තැකීමක් නොකරන දකුණේ ජනතාවට ද විද්‍යා දැරියගේ මරණය හද කම්පා කළ ප්‍රවෘත්තියක් වීම ඊට හේතුවය. යාපනයේ විද්‍යා දැරියට අයත් වූ කෘෘර ඉරණම උතුරු දකුණු භේදයකින් තොරව මෙරට සෑම මවකගේම නෙතට කඳුළු නැංවීය. ඇය මේ සෑම මවකගේම දියණියක් බවට පත් වූයේ මොහොතකිනි.
ඇයට මේ අමානුෂික, සාහසික ඉරණම අත්කර දුන් අපරාධකරුවන්ට අධිකරණය මගින් ඉහළම දඬුවම් ලබා දී තිබේ. සාමාන්‍යයෙන් එක් දරුණු අපරාධයක දී හත් දෙනකු එකවර පෝරකයට යවන අවස්ථා ඉතාම විරලය. ශිවයෝගනාදන් විද්‍යා දැරිය අපයෝජනය කර ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ විත්තිකරුවන් නව දෙනාගෙන් හත් දෙනකුටම මරණ දඬුවම පැනවීම එම විරල අවස්ථාව කරළියට නංවා තිබේ. විද්‍යා දැරිය වෙනුවෙන් කම්පා නොවූ කිසිවකුත් එදා නොසිටියා සේම මේ කුරිරු ඝාතකයන් එල්ලුම් ගස් යැවූ පුවත අසා අනේ අපොයි කියූ කිසිවකු ද නැත. අපරාධය එතරම්ම දරුණුය.
විද්‍යා දැරිය පැහැරගෙන ගොස් මරාදමනු ලැබ තිබුණේ 2015 වසරේ මැයි මාසයේ 13 වැනිදාය. අගවිනිසුරු විසින් කොළඹින් පිටත පිහිටුවන ලද ශ්‍රී ලංකාවේ ප්‍රථම ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ පුරා වසර දෙකකට ආසන්න කාලයක් තුළ පැවැති විමර්ශන සහ නඩු විභාගයකින් පසුව මේ විත්තිකරුවෝ වැරදිකරුවන් කරනු ලැබ සිටිති. හැකි ඉක්මනින් නඩුව විභාග කොට වැරදිකරුවන්ට උපරිම දඬුවම් ලබාදීම එවැනි ඉතා දරුණු අපරාධ මැඩීම සඳහා රුකුලක් වන බව ප්‍රකාශ කළ යුතුය. ඇතැම් අපරාධ නඩු අසා අවසන් වන විට විත්තිකරුවන් පමණක් නොව පැමිණිලිකරුවන් ද ජීවතුන් අතර නොසිටින අවස්ථා තිබේ. විද්‍යා ඝාතනය වැනි අපරාධ යළි සිදුනොවීමට නම් ඉක්මනින් නඩුව අසා තීන්දුව ලබාදීමේ මෙම පූර්වාදර්ශය ඉතා වටිනා බව ද පැවැසිය යුතුය. ඒ එක් පැත්තකි.
අනෙක් පැත්ත නම් මෙවැනි අපරාධයක දී වුවද අපරාධකරුවන් ආරක්ෂා කර දීමට බලවතුන්ගේ ඉදිරිපත් වීමය. විද්‍යා දැරිය ඝාතන නඩුවේ ප්‍රධාන අපරාධකරු ස්විස් කුමාර් නැමැත්තා බේරාගැනීම සඳහා උසස් පොලිස් නිලධාරියකු පමණක් නොව දේශපාලන අධිකාරියේ තනතුරැ දරන්නන් ද ඉදිරිපත් වූ බවට කරුණු හෙළිදරව් විය. උසස් පොලිස් නිලධාරියා රිමාන්ඩ් භාරයට පත් කෙරුණේත් විජය කලා මහේෂ්වරන් ඇමැතිනියගෙන් ප්‍රශ්න කෙරුණේත් ඒ කරුණු හේතුවෙනි. ස්විස් කුමාර්ට රැකවරණ සපයා දීමට ආධාර සහ අනුබල දීමේ චෝදනා යටතේ පොලිස් නිලධාරියාට චෝදනා එල්ල වී තිබේ. ඒ හැර තවත් බලවත් කිහිප දෙනකු ද ඔහුගේ සහායට පැමිණි බවට චෝදනා එල්ල විය.
ඇත්ත වශයෙන්ම මේ අපරාධය සිදුවීමෙන් පසුව යාපනයේ ජනතාව ඉදිරිපත් වී අපරාධකරුවන් අල්ලා දීමට ලබාදුන් සහායත් යුක්තිය ඉටුවීම පමාවන බව ඇසට පෙනෙද්දී ඊට එරෙහිව හඬ නැගීමට ඔවුන් දැක්වූ උනන්දුවත් නොවන්නට ඇතැම් විට මෙහි සැබෑ වරදකරුවන් කිහිප දෙනකු හෝ නීතියේ රැහැනින් ගැලවී යාමට ඉඩකඩ තිබිණි. ප්‍රධාන අපරාධකරු ස්විස් කුමාර් තව දිනක් හෝ දෙකක් පමාවුවා නම් නවතින්නේ හිරගෙදර නොව ස්විට්සර්ලන්තයේය. ඔහු එදා ඒ තරමට බලවත් චරිතයක් වී සිටියේය.
අපරාධයක වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටිනවාට වඩා අපරාධකරුවන් රැකදීමට ඉදිරිපත් වීම වැදගත් බව සිතන බලවත් පිරිසක් මේ රටේ සිටින බව මෙහි යථාර්ථයයි. මේ පිරිසට අවශ්‍ය ජඩවැඩ, ජාවාරම්, නීති විරෝධී වැඩ කරවාගත හැක්කේ වින්දිතයන්ගෙන් නොව අපරාධකරැවන්ගෙනි. ඇතැම් පොලිස් නිලධාරීන් පවා අපරාධකරුවන් වෙනුවෙන් නීතිය නවන්නේ එවැනි බලවතුන්ගේ ද අවශ්‍යතා අනුව බව ප්‍රසිද්ධ රහසකි. මේවා නොසිදුවිය යුතු දේවල්ය. නීතිගරැක යුක්තිගරුක පුරවැසියන්ට රටේ සාමකාමීව කරදර හිරිහැරයකින් තොරව ජීවත් වීමට තිබෙන අයිතිය පැහැර ගැනීමට කිසිවකුටත් ඉඩ දිය යුතු නැත.
විද්‍යා දැරියට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදු වූයේ ඇයගේ වැරැද්දකින් නොවේ. මේ වයසේ ඕනෑම පාසල් දැරියක සතු අධ්‍යාපනය, ජීවිතය සම්බන්ධ සියලු සිහින ඇයට ද තිබෙන්නට ඇත. ඇය ජීවතුන් අතර සිටියා නම් ලබන නොවැම්බරයේ තම 21 වැනි උපන් දිනය සැමරීමට නියමිත විය. මේ සියලු සිහින අහිමි වීමට ගත වී තිබුණේ පැය කිහිපයකි. මෙවන් අපරාධ තවත් මේ රටේ සිදුවීමට ඉඩක් තැබිය යුතු නැත. එසේ වීමට නම් අපරාධකරුවන්ට ආරක්ෂාව සපයන බලවත් පුද්ගලයන් හඳුනාගැනීම අවශ්‍යය. ඔවුන්ට එරෙහිව ද තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක විය යුතුය.
විද්‍යා දැරියගේ ඝාතනය සම්බන්ධ නඩු තීන්දුව දැනගැනීමෙන් පසුව උසාවියෙන් එළියට පැමිණි ඇයගේ මව ප්‍රකාශ කර තිබුණේ මොන තීන්දුව ලැබුණත් මියගිය දියණිය තමන්ට යළි නොලැබෙන බවය. තම දුවට අත් වූ ඉරණම වෙනත් කිසිම දරුවකුට අත්නොවේවා යැයි ද ඇය ප්‍රාර්ථනා කරන බවත් ප්‍රකාශ කළාය. අප කියන්නේ ද වෙනත් කිසිම දරුවකු මෙවැනි අපරාධයකට ගොදුරු නොවිය යුතු බවය. එවැනි අපරාධ වැළැක්වීමට කටයුතු කිරීම මේ රට, සමාජය හසුරුවන සෑම පුද්ගලයකුගේම වගකීමකි. ඒ වගකීම හරියට ඉටුවන්නේ නම් මෙවන් අපරාධ පිළිබඳව යළි කිසි දිනෙක අසන්නට නොලැබෙනු ඇත.