තුනෙන් දෙක මේ රටේ දේශපාලනයේ මැජික් අංක යුගලකි. ජේ.ආර්.ගේ හැත්තෑඅටේ ව්‍යවස්ථාවෙන් පසුව තුනෙන් දෙකක බලයක් එක්ක ආණ්ඩුවක් පිහිටුවීම අවස්ථාවක් මොනම දේශපාලන පක්ෂයකට හෝ සන්ධානයකට හෝ තිබුණේ නැත. ඊට හේතුව සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ එතරම් ආසන සංඛ්‍යාවක් කාටවත් හිමි නොවීමය.
හැබැයි ජේ.ආර්. හැදූ විධායක බලතල සහිත ආණ්ඩුවක්‍රම ව්‍යවස්ථාවට අනුව පත්වන රටේ නායකයාට අසීමත බලයක් ආරෝපණය කර තිබුණි. එම බලය විසින් තුනෙන් දෙක පමණක් නොව හයෙන් පහක වුවද බලයක් ඇති ආණ්ඩුවක් ගොඩනඟා ගැනීමට ඕනෑම නායකයකුට හැකියාවක් ලැබුණි. ඊට අවශ්‍ය වූයේ ආණ්ඩු පක්ෂයත් විපක්ෂයත් අතර “සැලුන්” දොරක් හදාගැනීම පමණි. ඒ සැලුන් දොරේ ආනුභාවය හොඳටම භුක්ති වින්දේ මහින්දය. ඔහු තම ධුර කාල දෙක තුළදීම “සැලුන් දොර” කවදාවත් වැහුවේ නැත. මේ නිසා ඕනෑම පනතක් පාස් කරගැනීම මහින්දට සුළු දෙයක් විය.
මෛත්‍රීපාල - රනිල් යහපාලන ආණ්ඩුව නම් උපන්ගෙයිම තුනෙන් දෙකේ ආණ්ඩුවක් විය. එයට බලපෑ තාක්ෂණික කාරණාව වූයේද විධායක ජනාධිපති තනතුරේ තිබූ අසීමිත බලයයි. 2015 ජනවාරි 08 වැනිදා ජනාධිපතිවරණය පවත්වන තුරු විපක්ෂ නායකයා වී සිටි රනිල් වික්‍රමසිංහ ජනවාරි 09 වැනිදා අගමැති වශයෙන් දිව්රැම් දුන්නේය. එතෙක් විපක්ෂයේ සිටි යූ.එන්.පී මන්ත්‍රීවරු ඇමැතිවරු බවට පත්වූහ. ශ්‍රී.ල.නි.ප.යේ පිරිසකටද “අලුත් ඇමැති” මණ්ඩලයේ තනතුරු ලැබුණි. අප්පච්චි මළා වැනි කතා කරළියට ආවේ මේ තනතුරැ බෙදාගැනීමේ ප්‍රතිඵලයක් හැටියටය. මේ තනතුරු එකක්වත් ජනතාවගේ ඡන්දයෙන් තෝරා පත්කර ගනු ලැබූ ඒවා නොවීය. ජනතාවගේ ඡන්දයෙන් පත්වූයේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පමණි. තුනෙන් දෙකක් මැජික් බලය ලැබුණේ ඒ ජයග්‍රහණය හේතුවෙනි.
එම තනතුරු හුවමාරුව දවස් සීයයකට පමණක් සීමා වන බව පැවැසූවත් එය අගෝස්තු 17 වැනිදා මහ මැතිවරණය දක්වාම පැවැතුණේය. ඒ ආණ්ඩුවේ හිටපු එක් ශ්‍රී.ල.නි.ප. නියෝජ්‍ය ඇමැතිවරයෙකු වූ ඩිලාන් වරක් පැවැසූවේ මේ ආණ්ඩුවේ ධුරයක් දැරීම තමන්ට මහත් හිරිකිත දෙයක් බවය. ඒ වුණත් ලංකාවේ දේශපාලනයේ හැටියට ඒ වැනි “හිරිකිත” වැඩ ඕනෑතරම් සිදුවී තිබෙන බව රහසක් නොවේ.
කෙසේ වුවද සැලුන් දොරක් නැතුවම ලැබුණු තුනෙන් දෙකේ බලය යොදාගෙන 19 වැනි ව්‍යවස්ථාව සම්මත කර ගැනීමට මෛත්‍රී - රනිල් නායකයන් දෙදෙනාටම හැකි වීම ආණ්ඩුවේ ජයග්‍රහණයක් විය. රටට ඉතා අහිතකර වශයෙන් හඳුන්වා දී තිබූ 18 වැනි ව්‍යවස්ථාව අහෝසි කිරීමත් විධායක ජනාධිපති පදවියේ තටු කිහිපයක් කපා දැමීමත් ස්වාධීන කොමිෂන් සභා පිහිටු වීමත් ඒ මගින් සිදුවුණේය. පොදුවේ ගත් කළ තුනෙන් දෙකේ බලය යොදාගෙන සිදු කෙරුණු එක් යහපත් ක්‍රියාවක් වශයෙන් එම සංශෝධනය දේශපාලන ඉතිහාසයට එක් විය. මෛත්‍රීපාල ජනාධිපතිවරයාගේ සුප්‍රකට කියමනක් වූ “හොදි හලාගන්නෙ නැතුව ගැටය ලිහාගත්තා” කතාව කරළියට ආවේත් මේ වෙලාවේ දීය. තුනෙන් දෙකේ බලයක් තිබීම ආණ්ඩුවකට දේශපාලන යගදාවක් වීම පුදුමයක් නොවන බව මේ සිදුවීම්වලින් පැහැදිලිය.
එහෙම වුණත් යහපාලන ආණ්ඩුවට උපන් ගෙයිම තිබූ තමන්ගේ තුනෙන් දෙකේ බලය රැකගැනීම ගැටලුවක් බවට පත්විය. ප්‍රධාන පාර්ශවකරු යූ.එන්.පී.ය බැඳුම්කර වංචාවට නම ගෑවීමත් මහබැංකු අධිපතිගේ ධුරය රැකගැනීම වෙනුවෙන් පෙනී සිටීමත් සමඟ බලය අභියෝගයට ලක්විය. ඊට අමතරව පක්ෂ දෙකේ ප්‍රතිපත්ති අතර තිබෙන නොපෑහීමද ආණ්ඩුවෙ බලය සොලවමින් සිටියේය. වසර දෙක පිරුණු පසුව තවදුරටත් සම්මුති ආණ්ඩුව වලංගු ද යන ගැටලුවක් පැන නැගුණේ ශ්‍රී.ල.නි.ප.ය මන්ත්‍රීන් පිරිසක් ස්වාධීන වීමට යන බව ප්‍රකාශයට පත්කිරීමෙනි. සැප්තැම්බර් මාසයේ මැද වනවිට 18 දෙනකුගෙන් යුත් පිරිසක් විපක්ෂයට එකතු වන බවට රාව, ප්‍රතිරාව නැගුණත් අන්තිමට ගියේ අරුන්දික මන්ත්‍රීවරයා පමණි. අද ඔක්තෝබර් 01 වැනිදාය. තවමත් සෙසු පිරිස යන බවට ලකුණක් නැත.
මේ පිරිස නොයන්නට එක් ප්‍රධාන හේතුවක් වන්නේ ආණ්ඩුව දිගින් දිගටම ඡන්ද කල්දැමීමය. ඡන්දයක් ළඟපාත නැතුව විපක්ෂයට යාම කළුගලේ ඔලුව ගසා ගැනීමකි. එසේ වුවද මේ ඡන්ද කල්දැමීම මේ වනවිට අධිකරණය ඉදිරියේ ද අභියෝගයට ලක්වෙමින් තිබේ. ඡන්දයක් ආසන්නයටම පැමිණියේ මේ වසරේ කාලය ඉකුත්වූ සබරගමුව, නැගෙනහිර සහ උතුරු මැද පළාත් සභා ඡන්දයි. මේ ඡන්ද මේ වසර අගදී හෝ ජනවාරි මස මුලදී පැවැත්වීමට නියමිත විය.
ආණ්ඩුව මුලසිටම ක්‍රියාකළේ එම ඡන්ද නොතියන්නටය. ඒ සඳහා සොයාගත හැකි තාක්ෂණික කාරණා ඕනෑතරම් ඕනෑම ආණ්ඩුවකට සොයාගත හැකිය. පළාත් පාලන සංශෝධන පනත සම්මත කරගෙන මුලින් එම ඡන්දය පැවැත්වීමට ඇති ආණ්ඩුවේ සැලැස්ම ඒකාබද්ධ විපක්ෂයට අනුව අවාසිදායක විය හැකිය. ඔවුන් දිගටම මුලින් පළාත් සභා තුනේ ඡන්දය ලබාගැනීම වෙනුවෙන් සටන් කරන්නේ එබැවිණි. නමුත් මහින්ද තමන්ගේ පාලන කාලය තුළදී එකවර හෝ අඩුම වශයෙන් දෙවරකට හෝ පළාත් සභා ඡන්ද නොතබා කඩින් කඩ පැවැත්වීම නිසා පළාත් සභා ඡන්ද කල්දමා ගැනීමට වත්මන් ආණ්ඩුවට පොටක් පාදාදී තිබේ. ආණ්ඩුව එල්ලුණේ ඒ පෑදුණු පොටේය.
එහෙම වුණත් ආණ්ඩුවට එහිදී පොට වැරුදුණේය. පළාත් සභා එකම දිනයක පැවැත්වීම අරමුණු කරගනිමින් සහ ඡන්ද ක්‍රමය වෙනස් කිරීම ඇතුළු කාරණා අඩංගු 20 වැනි සංශෝධනය සකස් කරගෙන පාර්ලිමේන්තුව තුළදී එය සම්මත කරගැනීමට පිට පොට ගසාගෙන සිටියද ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේ පළාත් සභා එකම දිනයක පැවැත්වීම සඳහා වන වගන්ති ජනතාවගේ පරමාධිපත්‍යය සමඟ ගැටෙන බැවින් ඒ සඳහා තුනෙන් දෙකක සම්මතයක් පමණක් නොව ජනමත විචාරණයකින් ද සම්මත වියයුතු බවය. එයින් රජයේ සැලැස්ම වැරදී ගියත් ඔවුන්ට “ප්ලෑන් බී” එකක් තිබුණි. එය හදිසියේ අටවා ගත් එකක්ද යන්න පැහැදිලි නැති වුවද ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් ජනමත විචාරණයකට යායුතු වන බවට නියම කෙරෙනු ඇතැයි යන කතාව කළින්ම දේශපාලන කරළියට පැමිණ තිබිණි. ආණ්ඩුවට එම කාල පරාසය යොදවාගෙන තමන්ගේ ඊළඟ සැලැස්ම ක්‍රියාවට නැංවූවේය. එය මහින්දලාගේ පාර්ශවය නොදැන සිටියාද නැතහොත් දැනගෙන සද්ද වහගෙන සිටියාද යන්න අපැහැදිලිය.
මේ වනවිට එනවා යැයි කියූ මන්ත්‍රී පිරිස නිහඬව සිටීමද ඒකාබද්ධ විපක්ෂයට පාඩුවක් විය. එපමණක් නොව ඒකාබද්ධ විපක්ෂය ඇතුළේ ද විවිධ මතභේද හටගෙන තිබීමත් ගැටලු මතුකරමින් තිබේ. ඉදිරි කාලය තුළ නඩුහබ ගණනාවකට මුහුණදී සිටින මන්ත්‍රීවරුන් කිහිපදෙනකු නිරන්තරයෙන් මහින්දව වටකරගෙන සිටීම මහින්ද පාර්ශවයේ සමහර මන්ත්‍රීවරුන්ගේ නොසතුටට හේතුවී තිබෙන බවද පෙනෙන්නට තිබේ. ආණ්ඩුවට තුනෙන් දෙකේ තුරුම්පුව යොදවාගෙන පළාත් සභා ඡන්ද තුන ඉදිරියට තල්ලු කරගැනීමට මේ සියලු කාරණාවල බලපෑමක් තිබුණි.
නීති ගැටලු කොතරම් මතු වුවද ආණ්ඩුව ගැහැව්වේ දේශපාලන ගේම් එකකි. සැලුන් දොරවල් කිසිවක් නැතුව තුනෙන් දෙක ලබාගෙන ආණ්ඩුව තමන්ට අවශ්‍ය දේ ඉටුකර ගනිද්දී ඒකාබද්ධ විපක්ෂයට සිදු වූයේ නිකම් බලාගෙන සිටීමටය. එය ඔවුන්ට කම්පනයක් වූ බව පෙනෙන්නට තිබිණි. මහින්දලා ගණං හදාගෙන තිබුණේ ආණ්ඩුවට දැන් තුනෙන් දෙකක් නැති බවටය. තුනෙන් දෙක නැත්නම් ටී.එන්.ඒ. සහාය ආණ්ඩුව ලබාගනු ඇති බව ඔවුන් සිතන්නට ඇත. එහෙත් ජවිපෙ තම ඡන්ද ආණ්ඩුව වෙනුවෙන් භාවිත කරනු ඇතැයි ඔවුන් කවදාවත් සිතන්නට නැත.
ජවිපෙ මේ සඳහා දුන්නේ කොන්දේසි සහිතවය. ටී.එන්.ඒ. ද එසේමය. එම කොන්දේසි අතුරින් සියයට 60 – 40 අනුපාතයට කේවළ සහ සමානුපාත ඡන්ද ක්‍රම සංශෝධනය වීම වෙනුවට එය සියයට 50 – 50 කිරීමට ආණ්ඩුව එකඟ විය. එම සංශෝධනය සුළු පක්ෂවලට වාසිදායක තීරණයකි. තව මාස දෙක තුනකින් පළාත් සභා ඡන්දවලට සූදානමින් ඔළු ගෙඩි මාරු කිරීමකට ද අර අඳිමින් සිටි ඒකාබද්ධ විපක්ෂයට නම් මෙය අන්තිම විනාඩියේ දී ගෝල් එකක් මිස් වීමකි. ආණ්ඩුව කෙසේ හෝ තුනෙන් දෙකක් සොයාගෙන අන්තිම විනාඩියේ දී ගෝල් එක ගැහුවේය. එය ආණ්ඩුවට තාවකාලික ජයග්‍රහණයකි. තිබුණු අස්ථාවර තත්ත්වයෙන් ගොඩ ඒමකි.
කෙසේ වුවද ආණ්ඩුව මෙහිදී භාවිත කළ උපාය මාර්ගය නීති ක්ෂේත්‍රය තුළ බලවත් කැළඹීමක් ඇති කර තිබේ. දේශපාලන කරළිය තුළ ද ඇත්තේ එවැනිම කැළඹීමකි. ඔරිජිනල් පනතේ මූලික වගන්ති කිහිපයක් සම්පූර්ණයෙන්ම ඉවත් කර සංශෝධන සහිත කෙටුම්පත යළි සකස් කොට සම්මත කර ගැනීම සඳහා ආණ්ඩුව උපක්‍රමශීලී වී තිබිණි. මේ සම්බන්ධයෙන් පසුගිය බ්‍රහස්පතින්දා (28) ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළ හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා ප්‍රකාශ කර තිබුණේ රටේ සමස්ත ජනතාවගේ මූලික අයිතිවාසිකම් මෙහිදී උල්ලංඝනය කෙරී තිබෙන බවය. පළාත් සභා ඡන්ද විමසීමේ (සංශෝධන), පනත් කෙටුම්පතේ කාන්තා නියෝජනයට අදාළ වගන්ති ඉවත් කර ඒ වෙනුවට ඊට කිසිසේත් අදාළ නොවන කරුණු ඇතුළත් කොට එය සම්මත කිරීම මගින් එම අයිතිවාසිකම් උල්ලංඝනය සිදු වී ඇතැයි ද පෙත්සමේ සඳහන් වේ. පළාත් සභා ඡන්ද සංශෝධන පනත ක්‍රියාත්මක කිරීම අත්හිටුවා පැවැති පනත යටතේම පළාත් සභා ඡන්දය පැවැත්වීමට නියම කරන්නැයි ඔහු ඉල්ලා තිබේ.
මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග කොට අවසන් වනතුරු පළාත් සභා ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පත ක්‍රියාත්මක කිරීම වළකාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ද ඔහු සිය පෙත්සමෙන් ඉල්ලා සිටී.
මෙම කරුණට අදාළව තවත් පෙත්සම් දෙකක් හෙට (02) සඳුදා උසාවිය හමුවේ ගොනු කිරීමට නියමිතය. එසේම මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා විසින් නිකුත් කරන ලද නිවේදනයකින් ද ආණ්ඩුවේ ක්‍රියාමාර්ගය දැඩි දෝෂදර්ශනයට ලක් කර තිබේ. ඔවුන් පවසා තිබුණේ පවතින නීතියට පටහැනි ආකාරයට නීතියක් සම්මත කර ගැනීමෙන් වැරදි පූර්වාදර්ශයක් සපයා තිබෙන බවය. මෙය ජනතාවගේ පරමාධිපත්‍යය හෑල්ලු කිරීමක් බව ද එහි සඳහන් කර තිබුණේ අදාළ පනත් කෙටුම්පත් දෙකම පිළිබඳ සංසන්දනාත්මක විමර්ශනයක යෙදෙමිනි.
දැන් ආණ්ඩුවේ ක්‍රියාදාමය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ගොනුවෙමින් පවතී. පාර්ලිමේන්තුව තුළ ක්‍රියාකාරීත්වය, පනත් සම්මත කර ගැනීම වැනි කරුණු සම්බන්ධයෙන් අධිකරණයට සිදුකළ හැකි බලපෑම කුමක්දැයි මෙම පෙත්සම් විභාගවලදී දැකගත හැකිවනු ඇත. සරත් එන්. සිල්වා මහතා මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ තම මූලික අයිතිවාසිකම් කඩ වී යැයි ප්‍රකාශ කරන ලෙසට ඉල්ලීමක් ද කරමින් වීම සැලකිය යුතු කරුණකි.
කුමන බලපෑමක් එල්ල වුවද අධිකරණය මගින් තීන්දුවක් ලබා දුන්නොත් මිස ආණ්ඩුව තම අදහස වෙනස් කර නොගන්නා බව නම් සහතිකය. දේශපාලනයේ දී “ගේම්” ගැසීම්වල ස්වභාවය එයයි. අස්ථාවර මට්ටමකට වැටෙමින් තිබූ ආණ්ඩුව ස්ථාවර මට්ටමකට ගෙන ඒමට මේ තුනෙන් දෙකේ සම්මතය උදව් වූ බව සමහර දේශපාලන විචාරකයන්ගේ අදහස වී තිබෙන්නේ එබැවිනි. ආණ්ඩුවට තමන් බලාපොරොත්තු වූ ප්‍රතිඵලය ලැබී තිබේ. මේ පනත් සම්මත කර ගැනීම හරහා විපක්ෂය කලබල වන තවත් කරුණක් තිබේ. එනම් නව ව්‍යවස්ථා කෙටුම්පතයි. එය සම්මත කර ගන්නා අවස්ථාවක් එළැඹුණු විට මේ ආකාරයේම “ඇස් බැන්දුම්” පියවරක් අනුගමනය කිරීමට ආණ්ඩුවට ඇති ඉඩකඩ ගැන ඔවුන් නොසිතනවා නම් පුදුමය.
ඒකාබද්ධ විපක්ෂය ඡන්ද අණපනත් සමඟ ගැටෙමින් සිටින අතරේ ආණ්ඩුව නව ව්‍යවස්ථා පනත් කෙටුම්පතද එළියට දැම්මේය. ආණ්ඩුව පවසන්නේ මේ කෙටුම්පත මේ රටේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවලද මහජනතාවගේද විවිධ සංවිධානවලද අදහස් රැගෙන සකස් කළ මූලික ලියැවිල්ලක් බවය. එය පුළුල් සංවාදයකට භාජනය කොට අදහස් පළ කරන්නැයි ආණ්ඩුවේ ඉල්ලීම වී තිබේ.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා දීපවාලී උත්සවය නිමිත්තෙන් හින්දු කෝවිල් සඳහා මූල්‍ය පරිත්‍යාග ලබාදීමේ උත්සවයකට සහභාගි වෙමින් ප්‍රකාශකළේ වසර 30ක යුද්ධයට, ජනවාර්ගික ප්‍රශ්නයකට රට මුහුණදුන් බවත් අප නැවත එකතු වී ගමනක් යා යුතු බවත්ය. ප්‍රශ්න විසඳීමට ප්‍රධාන පක්ෂ දෙකෙහි එකඟත්වයක් තිබීම අවශ්‍ය බවත් ව්‍යවස්ථා මණ්ඩලය ස්ථාපිත කොට ව්‍යවස්ථා මණ්ඩල මෙහෙයුම් කමිටුව පත්කොට මතවාද ගැන වසරක් කතා කළ බවත් කීය. පසුගිය සතියේ ව්‍යවස්ථා මණ්ඩලයට ඉදිරිපත් කළේ එම වාර්තාව බවත් සඳහන් කළ අගමැතිවරයා විශේෂයෙන්ම ඒකීය රාජ්‍යය, මානව හිමිකම් රැකීම, බෞද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනැමීම, සෙසු ආගම්වල අයිතිය ආරක්ෂා කිරීම, දෙවැනි සෙනෙට් සභාව ඇති කිරීම, උපරිම බලය බෙදාහැරීම ආදී කරුණු එහි සඳහන්ව තිබෙන බවත් කීවේය. මේ අතර ප්‍රධාන පක්ෂ දෙකට මූලධර්ම ගැන එකඟත්වයකට පැමිණිය හැකි නම් තමන්ද එකඟත්වයකට පැමිණීමට සූදානම් යැයි ටී.එන්.ඒ. ප්‍රකාශ කළ බවද ඔවුන් එවැනි ප්‍රකාශයක් කළේ ඉතිහාසයේ පළමු වතාවට බවද අගමැතිවරයා පවසා තිබිණි.
කෙසේ වුවද නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් රටේ සෙසු දේශපාලන පක්ෂ සහ සංවිධාන මතු කරන්නේ විරෝධයකි. උතුරේ විග්නේෂ්වරන් මහ ඇමැති ඇතුළු ඇතැම් දැඩි මතධාරී දේශපාලනඥයන් මේ නව ව්‍යවස්ථාවේ යෝජනා පිළිබඳව සෑහීමකට පත් නොවන බව සඳහන් කර තිබේ. එය ටී.එන්.ඒ. නායකයාටද ප්‍රශ්නයක් වී ඇති බවද සඳහන් වේ. දකුණේද එම තත්ත්වයම පවතී. ඒකාබද්ධ විපක්ෂය මෙය රට බෙදන ෆෙඩරල් ව්‍යවස්ථාවක් බව පවසා එය කෙළින්ම ප්‍රතික්ෂේප කරයි. මහින්ද ප්‍රකාශ කර තිබුණේ බෞද්ධාගම සහ ඒකීය රාජ්‍යය සම්බන්ධ වගන්ති කිහිපයෙන් එහාට එම කෙටුම්පත කියැවීම පවා අවශ්‍ය නොවන බවත් රට, ජාතිය, ආගමට මුල්තැනක් නොදෙන නව ව්‍යවස්ථාව පරාජය කිරීමට තමන් කටයුතු කරන බවත්ය.
මේ අතර බුද්ධශාසන කාර්ය සාධක මණ්ඩලය මගින් සවිස්තරාත්මකව නිකුත් කරන ලද නිවේදනය සඳහන් කර තිබුණේ ව්‍යවස්ථා අතුරු වාර්තාවෙන් බුද්ධාගමට හිමි ප්‍රමුඛස්ථානය අහිමි කර ඇති බවය. එසේම ශ්‍රී ලංකාව සන්ධීය රාජ්‍යයක් ලෙස අර්ථ නිරූපණය කර ඇති බවද එම නිවේදනය කියයි. මෙම අර්ථ නිරූපණය සිංහල ජනයා නොමඟ යැවීමේ අධම උපක්‍රමයක් බවද එහි සඳහන්ය. එම දීර්ඝ නිවේදනයේ පිටපත් ජනාධිපතිවරයාටද අගමැතිවරයාටද යවා තිබෙන අතර (1) බුදු දහමට හිමි ප්‍රමුඛස්ථානය අහිමි කිරීම සහ (2) ශ්‍රී ලංකාව ඒකීයභාවය තහවුරු කරන ව්‍යවස්ථා විධි විධාන වෙනස් කිරීම යන උප මාතෘකා දෙකක් යටතේ අදහස් පළකර තිබේ. දූරදර්ශීව බෙදුම්වාදයට නිසැකවම දොර ඇරෙන නව ව්‍යවස්ථාවක් ගෙන ඒමෙන් වැළකී රටේ උන්නතියට අවශ්‍ය කරන ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සඳහා පමණක් ඇප කැප වෙන්නැයි එම නිවේදනය මගින් ඉල්ලීමක්ද කර තිබේ.
මේ අනුව පෙනෙන්නේ ඉදිරි සති කිහිපය තුළදී ආණ්ඩුවටත් ඒකාබද්ධ විපක්ෂයටත් වැඩ වැඩිවන කාලයක් එළඹෙන බවය. තුනෙන් දෙක උපයෝගී කරගෙන ඡන්ද කල් දමාගත් ආකාරයටම ආණ්ඩුව නව ව්‍යවස්ථා කෙටුම්පතද (සංශෝධන සහිතව) ගොඩදමා ගැනීමට කටයුතු කරනු ඇතැයි යන සැකය ඒකාබද්ධ විපක්ෂය තුළ පවතින බව පැහැදිලිය. එය එසේම වනු ඇතිදැයි කීමට තවම වේලාසන වැඩිය.
ශශීන්ද්‍ර