2017 සැප්තැම්බර් 30 වන සෙනසුරාදා

මේ ආණ්ඩුව පෙරළන්න පොඩි වැඩයි කරන්න ඕනෑ

 2017 සැප්තැම්බර් 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 291

♦ අපි ජාතිවාදියොවත් අන්තවාදියොවත් නොවෙයි

♦ ආණ්ඩුව තුනෙන් දෙක ගත්තේ සල්ලි මලු විසි කරලා

♦ රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවට ජවිපෙ ජැක් ගහනවා

♦ අලුත් ව්‍යවස්ථාවෙන් කරල පැහෙන්නේ උතුරේ ජාතිවාදීන්ගේ

 ජවිපෙ අද ෆෙඩරල්වාදයට එකඟයි

♦ එනවයි කියන කණ්ඩායම මට සතපහකට විශ්වාස නෑ

ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිෙම්න්තු මන්ත්‍රී විමල් වීරවංශ

ඔබ ඇතුළු අය වැරෙන් කෑ ගහලා ආණ්ඩුව ගේන පනත්වලට විශාල ප්‍රහාර එල්ල කළා. ඒත් ඒ එක දෙයක්වත් සාර්ථක වුණේ නෑනේ?

ඒකාබද්ධයේ අපි පාර්ලිමේන්තුව ඇතුළේ කටයුතු කරන්නේ විපක්ෂයට ඇති අවස්ථාවන් අහිමි වූ මොහොතක. ප්‍රමාණාත්මකව වැඩි පිරිසක් ඉන්නේ අපිට. ඒත් 16ක් ඉන්න සම්පන්ධන්ට විපක්ෂ නායකකම. ඒ සම්පන්ධන් මහත්තයා සංවිධායකකම දෙනවා ජේ.වී.පීයට. එවන් තත්ත්වයක් යටතේ ඒකාබද්ධයට කරන්න පුළුවන් උපරිම වැඩකොටස සිදුකරනවා.

කොච්චර වැඩ කොටස් කළත් ආණ්ඩුව පනත් සම්මත කරගන්නවා තුනෙන් දෙකකින්. මේ ළඟදි ගෙනාපු පළාත් සභා සංශෝධනයත් සම්මත කරගත්තනේ?

ඇත්තටම නිල විපක්ෂය කරපු පාවාදීමකින් තමයි ආණ්ඩුව මේ පනත තුනෙන් දෙකකින් සම්මත කරගත්තේ. ජේ.වී.පී. එකේ මන්ත්‍රීවරු හයදෙනා ඡන්දය දීමෙන් වැළකී සිටියා නම් ආණ්ඩුවට තුනෙන් දෙක නැහැ.

එතැනදී වැරැද්දක් නෑනේ. ඒ පනත රටට යහපත් එකක් නිසානේ විපක්ෂය ආණ්ඩුව සමඟ එකතු වුණේ. මොකක්ද වැරැද්ද එතන?

පනත හොඳද නැද්ද කියලා බලාගන්න පුළුවන් ප්‍රතිඵලය එක්ක. කවුරුත් විරුද්ධ නෑ කාන්තා නියෝජනය වැඩි වෙනවට. කවුරුත් විරුද්ධ නෑ කොට්ඨාස ක්‍රමයට එනවට. ඒත් මේ හැමදේම එන්නේ පළාත් සභා දෙක තුනක් විසුරුවන්න ළං වෙනකොට. එතකොට ක්‍රමය වෙනස් කරන කතාව යටට දාලා ඡන්දය කල් දාන එක උඩට එනවා. 20 වැනි ව්‍යවස්ථාවෙන් බැලුවා කල්දාගන්න. හරි ගියේ නෑ. මේ නිසා මේ වැඩේට විපක්ෂය යොදා ගත්තා. 

ඔබ කියන හැටියට විපක්ෂය භාවිත කරා කියන්නේ විපක්ෂය පාලනය කරන්නේ ආණ්ඩුවද?

අපිට එදා සුමන්තිරන් මන්ත්‍රීවරයා සභා ගර්භයේදී කිව්වේ අපිට ඕන ෆෙඩරල් ව්‍යවස්ථාව ආණ්ඩුව ගේනවා. ඒක විතරයි අපිට ඕන. ඒක ගේනකල් අපි ආණ්ඩුව ආරක්ෂා කරනවා. ඒකයි ටී.එන්.ඒ. එකේ මතය.

ජනතා විමුක්ති පෙරමුණ සහය දැක්වූයේ මොකක් අරමුණු කරගෙනද?

ජනතා විමුක්ති පෙරමුණ වර්තමානයේ ඉන්නේ ඔවුන්ගේ මුල් ස්ථාවරය අහිමි කරගෙන. විජේවීර සහෝදරයගේ කාලයේ ෆෙඩරල්වාදයට විරුද්ධයි. ඒකීය භාවය වෙනුවෙන් සටන් කළේ. 13 වැනි සංශෝධනය එනකොට රට අවදි කළේ එදා ජනතා විමුක්ති පෙරමුණ. අද ඔවුන් ඒ ස්ථාවරවල නෑ. ඒ අය ෆෙඩරල්වාදයට එකඟයි. අතුරුදන් වූවන්ගේ පනතට එකඟයි. ඒ නිසා අංශක 180වේ වෙනසට ඔවුන් අද වන විට රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවට නියමයෙන් හා අනියමින් උදව් කරන කණ්ඩායමක් බවට පත්වෙලා තියෙනවා.

පසුගිය කාලයේ ඔබලා කිව්වා අපිට ආණ්ඩුවෙන් කට්ටියක් එන්න ඉන්නවා කියලා. අවසානයේ ඔවුනුත් ඡන්දය දුන්නනේ මේ පනතට?

සුසිල් ප්‍රේමජයන්ත එක්ක පාර්ලිමේන්තුවේ එක මේසේ වාඩි වෙලා කතා කළොත් ඔහු ආණ්ඩුවට බණින බැණුම් අහගෙන ඉන්නකොට මට හිතෙනවා මම ආණ්ඩුවෙද කියලා. ඔය ඡන්දය තිබ්බ 20 වැනිදා උදේත් ඔය වගේම බැන්නා. ඇත්ත කතාව ඔය එපායි කියන අය එන්න හැදුවේ පළාත් පාලන ඡන්දය එයි කියලා අදහසින්. ඒත් ඡන්දය කල්යන නිසා දැන් ඒ උනන්දුව අඩුවෙලා තියෙනවා. මොකද එයාලා එක්ක ඉන්න ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු කියන්නෙත් මහින්ද මහත්තයගෙන් ඉල්ලන්න ඕන කියලා. ඒ නිසයි ඒ අය එන්නේ. එහෙම නැතුව රටට ජාතියට වෙන ඇත්ත හානියක් ගැන හිතලා නෙමෙයි ඉන්නේ. ඔය කට්ටිය ඔය බෙදුම්වාදි ව්‍යවස්ථාවටත් අත් ඉස්සුවොත් අපේ පැත්තට ගන්න ඕනෑත් නෑ කියලයි මම කියන්නේ. කොහොම වුණත් මට ඔය කණ්ඩායම සතපහකට විශ්වාස නෑ.

හැබැයි මැතිවරණ කොමිසමේ සභාපතිතුමා කියලා තියෙනවා 2018 දෙසැම්බර් 31ට කලින් ඡන්දය තියෙනවා. නැත්තන් ඔහු අයින් වෙනවා කියලා?

මැතිවරණ කොමිසමේ සභාපතිගේ කාලය ඉවර වෙනවා 2018 නොවැම්බර්වලින්. එතුමාගේ නිල කාලය ඉවර වෙන එක තමයි ඔය කියන්නේ. ඒක ඉබේ වන දෙයක්. මගේ අනාවැකිය නම් බෙදුම්වාදී ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙනවා ඉදිරි දින කිහිපයේදී ඒක විවාදයට ගන්නවා. ඊට පස්සේ කැබිනට් එකට යනවා. කැබිනට් එකෙන් අනුමැතිය අරගෙන නැවත පාර්ලිමේන්තුවට එනවා. මේ ක්‍රමවේදය නිසා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් බොහෝ දුරට කියන්න තියෙනවා ජනමත විචාරණයක් අවශ්‍යයි කියලා. පළාත් පාලන පළාත් සභාවලට කලින් එන්නේ ඔය ජනමත විචාරණය. අපිට තුනෙන් දෙක ගන්න බැරි වුණොත් ඕක තමයි වෙන්නේ. 

ආණ්ඩුවට ජනතාව ඡන්දය ලබාදෙන්නේ නව ව්‍යවස්ථාවත් එක්ක. ඒ පොරොන්දුව ඉටුකරන්න එපැයි?

දැන් මොකක්ද මේකෙන් වෙන සාධාරණය. මධ්‍යම රජය සම්පූර්ණයෙන් අබල දුබල කරලා පළාත් සභාව බලවත් කරපුවම මොකක්ද මේකේ සාධාරණය. මේකද විසඳුම. එක ආණ්ඩුවක් වෙනුවට ආණ්ඩු හතක් අටක් හදන එකද? නීති අටක් නවයක් ජාතිවාදි ඇහෙන් බලන අයටයි මේ බලය දෙන්නෙ. විග්නේෂ්වරන් මහ ඇමැතිවරයා දැනුත් කියනවා සිංහල අයට එහේ පදිංචි වෙන්න බෑ කියලා. එහෙම හිතන අයට තමයි පොලිස් ඉඩම් බලතල දෙන්නේ. ඒ බලය පාවිච්චි වෙයිද සාධාරණත්වය වෙනුවෙන්. යුක්තිය වෙනුවෙන්. ඒකට කොහොමද කියන්නේ මහජනතාවගේ විශ්වාසය සහ පොරොන්දු ඉෂ්ට වුණා කියලා. 

අග්‍රාමාත්‍යවරයා කිව්වේ මේක යෝජනාවක් විතරයි කතා කරලා විසඳගන්න පුළුවන් කියලා?

මුට්ටිය දාලා බලන්නේ ඔය විදිහට. අන්තිම කෙටුම්පතත් හදලා ඉවරයි. ලොකු ක්‍රියාවලියක් පෙන්නනවා. මේ කෙටුම්පත මෙහෙයුම් මණ්ඩලයට ඉදිරිපත් කළ වෙලාවෙත් ඒකාබද්ධය වෙනුවෙන් හිටිය දිනේෂ් මන්ත්‍රීතුමාත්, ප්‍රසන්න මන්ත්‍රීතුමත් ලියුමක් දුන්නා මෙහි සියල්ල මෙහෙයුම් මණ්ඩලයේදී කතා වුණ දේවල නෙවෙයි කියලා. මෙය පිටතින් ගෙනාවා කියලා.

ඒකාබද්ධ විපක්ෂයත් දැනගෙන වෙන දෙයක්නේ. ඇයි මේ ඒ අයත් බොරු කරන්නේ?

මම නම් කියන්නේ ඒකාබද්ධය ව්‍යවස්ථා සම්පාදක මෙහෙයුම් මණ්ඩලයේ ක්‍රියාත්මක වියයුතු නෑ. ජාතික නිදහස් පෙරමුණේ අපි ඒකයි මුලින්ම ඉවත් වුණේ. මේක තුළ තවත් නියෝජනය වීමෙන් වෙන්නේ අනුන් හදන පාපකර්මයට හවුල් වෙන එක. 

ඕක අනිත් පැත්තනේ ඔබලට එන්නේ. රටට අහිතකර දෙයක් වෙද්දී කර ඇරියා වෙනවා නේද?

දැන් දිනේෂ් ගුණවර්ධන, ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරු හිටියා කියලා මොකක්ද කරන්න පුළුවන් වුණේ. මේක හදන්නේ එන්.ජී.ඕ. කාරයෝ. ආචාර්ය ජයම්පති ඇතුළු පිරිස. ඒ අය හදන එක තමයි අපිට දෙන්නේ. අනික අවසාන තීරණයත් අරගෙන ඉවරයි. අපිට තියෙන්නේ තුනෙන් දෙක නතර කරන්න. ඔය ශ්‍රී ලංකා එකේ ඉන්න මන්ත්‍රීවරුන්ගේ ගෙවල් වටකරලා හරි ජනතාව කියන්න ඕන ඡන්දය දෙන්න එපා කියලා. මොකද සල්ලි කුට්ටි පිටින් බෙදනවා.

ඔබ ඇතුළු පිරිස චෝදනා කරනවා තුනෙන් දෙක ගන්න සල්ලි බෙදුවා කියලා. කොහොමද එහෙම කියන්නේ?

ඔව්. ඔය 20 වැනිදා ගෙනාපු පළාත් සභා පනතට මුස්ලිම් මන්ත්‍රීවරු එකඟ වුණේ ඒ අයගේ සංශෝධන බාරගත්ත එකට විතරක් නෙවෙයි. ප්‍රකට ව්‍යාපාරිකයකුගෙන් මිලියන ගාණක සල්ලි ආවා පාර්ලිමේන්තුවට. ඒ ව්‍යාපාරිකයෝ කියනවා මිලියන 75 බෑග් තුනක් කියලා. ඒ සල්ලි මලු අරගෙන තමයි ඡන්දය දෙන්නේ. බෙදුම්වාදි ව්‍යවස්ථාව කොටි ඩයස්පෝරාව ඇති තරම් සල්ලි විසික්කරයි. රූපවාහිනි නාලිකාවල ඇඩ් දාලා මොළ හෝදයි. ඊට පස්සේ සල්ලි කුට්ටි මන්ත්‍රීවරුන්ටත් දෙයි.

දැන් ඔය ඔබලා එක්ක එකතු වෙන්න ඉන්න ශ්‍රීලනිප ඇමැතිවරුන්ට ඇයි ඔබලට පේන දේවල් නොපෙනෙන්නේ?

ඒක අහන්න එයාලගෙන්. ඔවුන්ගේ හෘද සාක්ෂිය පිළිබඳ ප්‍රශ්නයක්. එනවා කිව්ව ඔක්කොම ඡන්දය දුන්නා එදා. 

හැබැයි ඔවුන් කියනවා 20ට විතරයි විරුද්ධ වෙනවා කිව්වේ. අනිත් පනතට විරුද්ධ නෑ කියලා?

ඒ පළාත් සභා ඡන්ද කල්දානවා කියලනේ ඒ අය ඒකට විරුද්ධ වුණේ. දැන් මේකේ ප්‍රතිඵලත් ඒකමනේ. ප්‍රතිඵලය සමානනේ. ඡන්ද ක්‍රම සංශෝධනය හරහා ඡන්ද කල්දැම්මා. ඒ තර්කය වලංගු භාවයක් නෑ. ඒ නිසා ජනතාව මීට වැඩිය අවදියෙන් ඉන්න ඕන. මේ අය කරන දේවල් ගැන. 

ඔය ප්‍රශ්න විතරක් නෙවෙයි ආණ්ඩුවට තවත් ප්‍රශ්න රැසක් තියෙනවා. ඒ ප්‍රශ්න මැද්දේ මේ දේවල් විසඳන එකත් වටිනවා නේද?

ඕවත් බොරුනේ. දැන් බලන්න රවී කරුණානායකගේ නම බැඳුම්කරයේ කියවෙද්දී උමා ඔය ප්‍රශ්නය එනවා. දැන් ඇබ ගහලා වහලා නෑනේ. තවම ලීක් වෙනවානේ. දැන් ඒක සද්ද නෑ. ආණ්ඩුවට අමාරු ප්‍රශ්නයක් මතුවෙනකොට ප්‍රශ්න එනවා එළියට. 

එතකොට ඔබ කියන්නේ අලුත් ව්‍යවස්ථාවක් එපාද?

ව්‍යවස්ථාවක් ඕනේ ජනතාවගේ බලය වැඩිකරන්න. අපි කියන්නෙත් ජනතාවට බලය දෙන්න කියලා. නමුත් මේ ව්‍යවස්ථාවෙන් රටවැසියට බලයක් නෑ. අපි කියන්නේ රටේ උවමනාවට ව්‍යවස්ථාවක්. එහෙම නැතුව එක්සත් ජාතීන්ගේ සංවිධානයකින්. එන්.ජී.ඕ. වලටත් ඕන විදිහට ව්‍යවස්ථා හදන්න එපා. ඒක අපේ වගකීම නෙවෙයි. 

දැන් පසුගිය කාලෙම කිව්වා අද ආණ්ඩුව අල්ලනවා, හෙට අල්ලනවා කියලා. කෝ තවම නෑනේ?

ඒකාබද්ධ විපක්ෂය තමයි මේ ආණ්ඩුවට තියෙන ලොකුම බලපෑම. උදේට දවල්ට රෑට ඒ නිසයි ආණ්ඩුවේ නාලිකා තඩිබාන්නේ. අභියෝගයක් නෙමෙයි නම් ඔහොම ගහන්නේ නෑ. එහෙම තියෙද්දී ආණ්ඩුව පෙරළන්න නම් සුළු කරුණක් කරන්න ඕන. ඒ සඳහා අපි මේ වෙනකොට සාකච්ඡා කරන්න යනවා. උත්සහය අත්ඇරලා නෑ. 

ඔබට එල්ල වෙන චෝදනාවක් තමයි අන්තවාදී ප්‍රතිපත්ති තියනවා කියන එක?

ගැටුම් ඇති කරන්නේ සුළු ජාතිවාදයට පක්ෂපාති පිරිස්. අපි ජාතිවාදී නෑ. මහ ජාතිවාදයෙන් අන්තවාදයෙන් දැක්වුවොත් අපි ඒකත් හෙළා දකිනවා. හැබැයි ඔය සංහිඳියාව කියන කට්ටිය කරන දේවල්වලිනුත් වෙන්නේ තියෙන සංහිඳියාවත් නැති වෙන එක.

හැබැයි ඔබලා භික්ෂුන් වහන්සේලා යොදාගෙන දේශපාලනය කරනවා කියලා චෝදනා තියෙනවා?

හාමුදුරුවෝ දේශපාලනයට යොදවාගෙන නෑ. හැබැයි රටට ජාතියට වැඩ කරන්න උන්නාන්සේලා ඉදිරියට ඇවිත් තියෙනවා. මේ රටේ සංඝරත්නය රාජ්‍යත්වයට හානියක් වෙන වෙලාවට යුතුකම් ඉටුකරලා තියෙනවා. ඒ නිසා මේ ස්වේච්ඡාවෙන් කරන දේවල් කවුරුන් හෝ පාවිච්චි කිරීමක් නෙවෙයි.

ඇත්තද ඔබලා පොදුජන පෙරමුණේ වැඩවලට සම්බන්ධ වෙන්නේ නෑ කියන්නේ?

ඔව් ඉතින් එයාලගේ වැඩවලට මම මොකටද සම්බන්ධ වෙන්නේ. ඒක වෙනම පක්ෂයක්නේ.

ඔබ තවමත් බැසිල් රාජපක්ෂ සමඟ තරහින්ද?

නෑ... එහෙම කිසි ප්‍රශ්නයක් නෑ.

ඇයි ඔබ පොදුජන පෙරමුණේ වැඩවලට සහභාගි නොවෙන්නේ?

ඒක සම්පූර්ණ අසත්‍යයක්. 

දැන් ශ්‍රීලනිපයේ අය උත්සහ කරනවා මහින්ද පාර්ශවය එක් කරන් ගමනක් යන්න. ඒ දොගොල්ලො එකතු වුණොත් විමල් කොතැනද ඉන්නේ?

වෙන්න තියෙන දේවල්වලට දැන්ම උත්තර දීලා වැඩක් නෑ. මට නම් එහෙම දෙයක් වෙයි කියලා පෙන්නේ නෑ.

ජනාධිපතිවරයා දන්වා තිබෙනවා එකතුවෙන් මේ ගමන යන්න?

එතුමා පසුගිය මැතිවරණයේ එකතු වුණු හැටි අපි දැක්කා. එහෙම ගමනක් යන්න අපි සූදානම් නෑ. 

ශ්‍රීලනිපයෙන් එන චෝදනාවක් තමයි ඔබ, දිනේෂ්, ගම්මන්පිල යන අය ශ්‍රීලනිප දෙකඩ කලා කියලා?

ශ්‍රීලනිපය දෙකඩ කළේ ජනාධිපතිවරණයට පෙර හිටපු සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහත්තයා, දුමින්ද දිසානායක, එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන අය. ඒ අය යූ.ඇන්.පීයත් එක්ක ඡන්දය ඉල්ලලා පක්ෂ දෙකඩ කළා. 

එළඹෙන මැතිවරණයේදී එන්නේ බුලත් කොළෙන්ද නැත්තන් වෙනමද?

එහෙම වෙනවා නම් ඒ පෙරමුණේ ලේකම් තනතුරු අනෙක් තනතුරු ඒකාබද්ධ විපක්ෂයට දුන්නොත් විතරයි.

මස් රාත්තලම ඉල්ලනවා නේද?

නෑ.. අපි ඉල්ලන්නේ නෑ. අපි කියන්නේ වෙනම යනවා කියලා. ඒ අයනේ ඉල්ලන්නේ.

මොනදේ කිව්වත් මේ ආණ්ඩුව අලුත් ගමනක් ආරම්භ කළා. වැරදි කරන ඇමැතිවරු එළෙව්වා. ඒ අතින් ඉස්සෙල්ලා

ආණ්ඩුවට වඩා හොඳයි නේද?

රජ කාලේ වෙච්ච හොරකමේ ඉඳලා මේ දක්වා වෙච්ච හොරකමුයි බැඳුම්කර වංචාවයි තරාදියකට දැම්මොත් වැඩිම බර බැඳුම්කර වංචාව. ඔය ඉවත් කළා කියන ඇමතිවරු කොහෙද ඉන්නේ. තිලක් මාරපන ඉල්ලා අස්වුණා. දැන් ඔය ඇමැතිනේ. රවී කරුණානායක ඉවත් වුණාට තවම පහසුකම් තියෙනවා. කෝ ඔය මුදල් විශුද්ධිකරණ පනත යටතේ ක්‍රියාත්මක වුණාද, නෑ. 

එකෙත් හොරු මේකෙත් හොරු. කොහොමද ජනතාව හරි පැත්ත හොයාගන්නේ?

මෙහෙමයි. රාජපක්ෂ ආණ්ඩුව කාලේ සිදුකළ සාධනීය කරුණු කාරණා මොනවද කියලා බලන්න. අද වෙලා තියෙන දේවල් බලන්න. සංසන්දනය කරන්න. කොහෙවත් පරමාදර්ශී ආණ්ඩු නෑ. ඒ අතින් බලපුවම වැඩි වැඩ කොටසක් සිදුකළේ රාජපක්ෂ ආණ්ඩුව.

ජනතාව විමුක්ති පෙරමුණ සූදානම් වෙන්නේ 2020 ජනාධිපතිවරණයක් බිහිකරන්න. ඔබට එවැනි අදහසක්?

ඉස්සෙල්ලා ඒ අයට කියන්න පළාත් පාලන ඡන්දයෙන් පුළුවන්නම් එක කොට්ඨාසයක්වත් දිනලා පෙන්නන්න කියලා. 

♦ ගයාන් ගාල්ලගේ
සේයාරුව | සුමුදු හේවාපතිරණ