2017 ඔක්තෝබර් 14 වන සෙනසුරාදා

පුපුරණ අපලේ

 2017 ඔක්තෝබර් 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 234

බැඳුම්කර කොමිසමේ සාක්ෂි විභාගය අවසානය කරා ළඟාවෙමින් තිබේ. තව ඉතිරිව සිටින්නේ සාක්ෂිකරුවන් කිහිප දෙනකු බවත් ඒ අතුරින් ද අර්ජුන ඇලෝසියස්ගේ පෞද්ගලික සහකාරවරයාගේ සාක්ෂිය වැදගත් වනු ඇති බවත් සඳහන් වේ. ඔහු පසුගිය දිනවල පසු වූයේ හදිසි අසනීප තත්ත්වයකට ප්‍රතිකාර ගනිමින් රෝහලේ බව ද සඳහන් විය.

කොමිසම ආරම්භ වීමත් එය අවසානයත් අතර රටේ දේශපාලනයේ කැපීපෙනෙන වෙනස්කම් සිදුව තිබෙන බව බැලූ බැල්මටම පෙනී යයි. යහපාලන ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂ දෙක වන ශ්‍රීලනිපයත් යූ.එන්.පි.යත් තවමත් ගමන් කරන බව පෙනෙන්නේ පීලි දෙකකය. ලබන ජනවාරියේ පැවැත්වෙන බව කියන පුංචි ඡන්දයට යාමට පෙර දෙකෙන් එකක් සිදුවන තරමට වැඩ සිද්ධ වෙමින් පවතී. ඒ අතර බැඳුම්කරය ආණ්ඩුවේ එක් පාර්ශ්වයක් වන යූ.එන්.පි.ය දෙසටම තල්ලු වෙන බව පෙනෙන්නට තිබේ. කොමිසම දැම්මේ ආණ්ඩුවෙන් වුවත් කොමිසමට ආණ්ඩුවේම ඇමැතිවරුන් කැඳවනු ලැබීම විශේෂ සිද්ධියක් වී තිබේ. එසේ කැඳවනු ලැබූ සියලු ඇමැතිවරු යූ.එන්.පී. ඇමැතිවරුය.

ලංකාවේ විශේෂ කොමිෂන් සභා ඉතිහාසයේ කැපීපෙනෙන සභා කිහිපයක්ම තිබේ. 71 කැරැල්ලෙන් පසුව සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනිය කාලයේ දී පිහිටැවූ අපරාධ විනිශ්චය කොමිෂන් සභාව එකකි. එම කොමිසමට සාක්ෂි විභාග කර දඬුවම් පැමිණවීමේ බලය ද ලබා දී තිබුණි. එම කොමිසමේ ලබාදුන් සාක්ෂි සම්බන්ධව පොත්පත් ගණනාවක්ම ලියැවී තිබේ. රෝහණ විජේවීර ලබාදුන් දීර්ඝ සාක්ෂිය ද කැපී පෙනෙන්නකි.

ඉන් පසුව ජේ.ආර්.ගේ ආණ්ඩුවෙන් පිහිටැවූ සිරිමාවෝ මැතිනියට එරෙහි ජනාධිපති කොමිෂන් සභාව ද තවත් එකකි. එම කොමිසමේ වාර්තාව මැතිසබයට ඉදිරිපත් කිරීමේ ප්‍රතිඵලය වූයේ සිරිමාවෝ මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමය. ඊළඟට 87-89 කැරැල්ලෙන් පසුව රටේ තරුණ අසහනයක් ඇතිවීමට හේතු සෙවීමේ කොමිසමක් ද පිහිටුවනු ලැබීය. ඒ සඳහා මූලිකත්වය ගත්තේ ප්‍රේමදාස ජනාධිපතිවරයාය. එම කොමිසමේ ඇතැම් නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ද ප්‍රේමදාස මහතා පියවර ගත්තේය. රජයේ රැකියා ලබාදීමේ දී ආණ්ඩු පාක්ෂිකයන්ට පමණක් ඒවා ලබාදීමේ ප්‍රතිපත්තියෙන් බැහැරව තරග විභාග පවත්වා රජයේ රැකියා ලබාදීමේ ක්‍රමය ඇති කරනු ලැබුවේ එහි එක් ප්‍රතිඵලයක් වශයෙනි. තරුණ අසහනය පුපුරා යාමට එක් හේතුවක් වශයෙන් අධ්‍යාපනයට සරිලන රැකියාවක් නැතිවීමත් අසාධාරණ ලෙස ආණ්ඩුවේ රැකියාවලට පාක්ෂිකයන් පමණක් බඳවා ගැනීමත් සඳහන් වී තිබීම මේ වෙනස්කම් සිදුකිරීමට හේතු විය.

මේ උදාහරණ කිහිපයෙන් පෙනෙන්නේ කාලයෙන් කාලයට විවිධ කොමිෂන් සභා පත් කිරීම් වලින් අදාළ ප්‍රශ්නය හෝ ගැටලුව යටගැසීමක් සිදුනොවන බවය. ඉහත උදාහරණ කිහිපයෙන් ඇතැම් ගැටලුවලට පිළිතුරු ලබා දී ඇති බව පැහැදිලිය. බැඳුම්කර කොමිෂන් සභාවට ලබා දී ඇත්තේ තොරතුරු විමර්ශනය කොට වාර්තාව ලබාදීමේ බලතල පමණි. දඬුවම් නියම කිරීමට එයට බලයක් ලබා දී නැත. එසේ වුවද කොමිසම මගින් නිකුත් කරන අවසාන වාර්තාව පදනම් කර ගනිමින් චූදිතයන්ට නඩු පැවරීමට නීතිපතිවරයාට බලය තිබේ. පොලිස් විමර්ශනවලින් තොරව වාර්තාව මත පමණක් පදනම් වී මහාධිකරණයක දී නඩු පැවැරීම සිදු කළ හැකිය. කොමිසම නිමා වී වාර්තාව භාර දී කොපමණ කාලයකින් එය සිදුවේදැයි කිසිවකුට කිව නොහැකිය.

බැඳුම්කර කොමිසමේ විශේෂත්වය වන්නේ පවතින රජයේම ඉහළ නිලධාරීන් සහ මැති ඇමැතිවරුන්ගෙන් සාක්ෂි විමසීමය. එසේම කොමිසම අරඹන විට මුදල් ඇමැති වශයෙන් සිටි රවි කරැණානායකට එක් සාක්ෂියකින් පසුව පදවිය අහිමි විය. කොමිසමක සාක්ෂි විභාගය පවා අවසන් වීමට පෙර ඇමැති ධුරය අහිමි වූ පළමු ඇමැතිවරයා රවි කරුණානායක විය හැකිය. ඊළඟට කබීර් හෂීම් සහ මලික් සමරවික්‍රම ඇමැතිවරුන් දෙදෙනාම සාක්ෂි දීමට කැඳවනු ලැබූහ. මේ දෙදෙනාගෙන් සාක්ෂි විමසා තිබුණේ විනාඩි 30ක පමණ කාලයක් පමණි. එසේම එම ප්‍රශ්න කිරීම් සිදු කරනු ලැබ තිබුණේ ද කොමිසමේ සාමාජික විනිශ්චයකාරවරුන් විසින්ම පමණි. නීතිපති දෙපාර්තමේන්තු නීතිඥවරුන්ට හෝ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන්ට හෝ ප්‍රශ්න ඇසීමට අවස්ථාවක් ලබා දී නොතිබිණි. නමුත් මෙහිදී වැදගත් කාරණාවක් වන්නේ රජයේ බලවත් ඇමැතිවරුන් වී සිටියත් මේ කිසිවකු හෝ කොමිසම මඟ නොහැර සාක්ෂි දීමට පැමිණීමය. 

කබීර් හෂීම් යූ.එන්.පි.යේ මහ ලේකම්වරයාය. මලික් සමරවික්‍රම පක්ෂයේ සභාපතිවරයාය. අගමැතිවරයාට ඉතාම සමීප බලවත් ඇමැතිවරයෙකි. මේ දෙදෙනාම නිහඬවම පැමිණ සාක්ෂි ලබා දී පිටව යාම ගැන යූ.එන්.පි. පාක්ෂිකයන් තුළ ඇත්තේ කුමන ආකාරයක හැඟීමක් දැයි එක එල්ලේ පැවැසීම අසීරුය. එහෙත් වැරැද්ද කොතන තිබුණත් මේ කොමිසම හරහා සිදුකරන සාක්ෂි විභාගයට ඔවුන්ගේ බලවත් අකැමැත්ත පළවන අවස්ථා හිඟ නැත. ඔවුන් වඩාත්ම කනස්සල්ලට පත්ව සිටින්නේ රාජපක්ෂ පාලන සමයේ විවිධ බරපතළ චෝදනා ලැබූ මැති ඇමැතිවරුන් රට පුරා, ලෝකය පුරා නිදහසේ සැරිසරද්දී තමන්ගේ ඇමැතිලාට සාක්ෂි දීමට සිදුවීම ගැනය. මේ මෑතකදී එක් ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකුට ඔහුගේ හිතවත් පාක්ෂිකයකු කියා තිබුණේ අපේ ඇමැතිලාට තමයි නයෙක් කෑවා කියලවත් කියන්න බැරි වුණේ යනුවෙනි. එහෙත් එම දේශපාලනඥයා පවසා තිබුණේ යුක්තිය ඉටු කරවා ගැනීම සඳහා සාක්ෂි ලබාදීම නයකු කනවාට වඩා වැදගත් බවය. 

කෙසේ වුවද පවතින රජයක බලවත් මැති ඇමැතිවරුන් උසාවි කූඩුවකට නැංවීම හෝ කොමිසමකට කැඳවීම හෝ ලංකාවේ නම් ඉතා විරල අත්දැකීමකි. රාජපක්ෂ පාලන යුගයේ නම් මෙවැනි සිද්ධියක් ගැන අහන්නවත් නොලැබුණු බව යූ.එන්.පි. පාක්ෂිකයන් බොහෝ දෙනකු කියන කතාවය. එහෙත් රජය පැත්තෙන් කියැවෙන්නේ හොරුන්ට තැනක් දීමට තමන් කිසිසේත් සූදානම් නැති බවය. මේ නිසා සිද්ධීන් විමර්ශනය කොට නම් ටික පිරිසුදු කර ගැනීම අවශ්‍ය බවය. එය යහපාලන ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවාදී ගතිගුණ පෙන්නුම් කරන බවත් පැවැතුණු රජයේ සහ පවතින රජයේ වෙනස එය බවත් ඔවුන්ගේ කියැවීම වී තිබේ.

එය කෙසේ වුවද කොමිසම හේතුවෙන් ආණ්ඩුව ඇතුළේ බරපතළ ඉරිතැලීම් සිදුව තිබෙන බව වසං කළ නොහැකිය. ආණ්ඩුවේ ශ්‍රී.ල.නි.ප. පිල කෙසේ කිව්වත් යූ.එන්.පී. පිල සිතන්නේ බැඳුම්කර කොමිසම හරහා යූ.එන්.පී.ය බිත්තියට හේත්තු කිරීමේ වෑයමක් ක්‍රියාත්මක වන බවය. එහි ඇත්ත නැත්ත දැන්ම කිව නොහැකි වුවද අවිශ්වාසය සහ සැකය යහපාලන ආණ්ඩුව වෙලාගෙන තිබෙන බව නම් පැහැදිලිය. කැබිනට් රැස්වීම්වලදී පවා මේ විරසකභාවය හොඳින් පෙනෙන්නට තිබෙන බව නොරහසකි.

යහපාලන ආණ්ඩුව බිහි වූ කාලයේ පටන් යූ.එන්.පී. ඇමැතිවරුන්ට මහා අපලයක් පලදෙමින් තිබෙන බව තවත් සමහරුන්ගේ අදහසය. මුලින්ම මේ අපලෙට මුහුණ දුන්නේ තිලක් මාරපන ඇමැතිවරයාය. ඔහුට පාර්ලිමේන්තුවේ සිදු කළ කතාවක දී ලබාදුන් පිළිතුරක් හේතුවෙන් පදවිය අහිමි විය. ඊට විෂය වූයේ ඇවන්ගාඩ් කතා වස්තුවය. ඉන් පසුව රවි කරුණානායකට ඇමැති පදවිය අහිමි විය. ඊට විෂය වූයේ බැඳුම්කර කොමිසමේ සාක්ෂි විභාගයයි. ඊළඟට අධිකරණ විෂය භාරව සිටි විජයදාස රාජපක්ෂට ඇමැති පදවියෙන් යන්නට සිදු විය. යූ.එන්.පී. ඇමැතිවරයකු වශයෙන් සිටිමින් යූ.එන්.පි.යේ අභිලාෂයන්ට එරෙහිව අදහස් දැක්වීම නිසා ඔහු අද නිකම්ම මන්ත්‍රීවරයෙක් වශයෙන් කටයුතු කරමින් සිටී. රාජපක්ෂවරුන් කෙරෙහි ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කළ බවට ද යූ.එන්.පී. මැති ඇමැතිවරුන්ගෙන් ඔහුට චෝදනා එල්ල වෙමින් තිබුණේය. ඊළඟට බැඳුම්කර කොමිසමේ දී නම් සඳහන් වූ කබීර් හෂීම් සහ මලික් සමරවික්‍රම සාක්ෂි දීමට කැඳවනු ලැබූහ.

ඊළඟට උසාවියට යාමට සිදුවන යූ.එන්.පී ඇමැතිවරයා සමාජ සවිබල ගැන්වීම් හා සමාජ සුබසාධන නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතාය. විනිසුරුවරුන් හා නීතිඥවරුන් බහුතරයක් දූෂිත බවට මාධ්‍ය හමුවේ දී පැවැසීමෙන් අධිකරණයට අපහාසයක් සිදු කළේ යැයි පෙත්සමකින් චෝදනා ලැබ සිටින රන්ජන් රාමනායක නියෝජ්‍ය ඇමැතිවරයාට ලබන 25 වැනිදාට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සිතාසි නිකුත් කර තිබේ. පෙත්සම්කරුවන් ඉල්ලා තිබුණේ මෙවැනි ප්‍රකාශයක් කිරීම සම්බන්ධයෙන් ඔහුගෙන් නිදහසට කරුණු විමසන ලෙසටය. ඒ අනුව රාමනායක මහතාට 25 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටීමට නියම කර ඇත.

මීට අමතරව විමර්ශන සඳහා කැඳවුම් ලැබුණත් මේ වනතුරු ඒ සඳහා පෙනී නොසිටි ඇමැතිවරුද සිටින බවත් සඳහන්ය. මැති ඇමැතිවරුන් පමණක් නොවේ, මේ ආණ්ඩුව විසින් පත්කරන ලද ඉහළ තනතුරු කිහිපයකටද තදබල අපල සිදුවී තිබීමද සැලකිය යුතු කරුණකි.

මුලින්ම ඊට ගොදුරු වූයේ අර්ජුන මහේන්ද්‍රන්ය. මහබැංකු අධිපති වශයෙන් යහපාලනය විසින් මුලින්ම සිදුකරන ලද පත්වීමක් වූයේ මහේන්ද්‍රන්ය. ඔහු අද පදවියද අහිමි වී බැඳුම්කර කොමිසමේ ප්‍රධාන සාක්ෂිකරුවකු වශයෙන් කැඳවුම් ලැබ සිටී. ඊළඟට ලිට්‍රෝ සමාගමේ සභාපති වශයෙන් සිටි ශලිල මුණසිංහය. ඔහු තායි බැංකුවක මුදල් වංචා සිද්ධියේ දෙවැනි සැකකරු වෙමින් පදවිය අහිමි කර ගත්තේය. දැන් ඉන්නේ හිරගෙදරය.

ශලීල මුණසිංහ මුල් යුගයේ ලලිත් ඇතුලත්මුදලි මහතාගේ සමීප හිතවතෙක් විය. ඔහුගේ ආරක්ෂක නිලධාරියකු වශයෙන්ද ක්‍රියා කළේය. ලලිත්ට වෙඩි තබන අවස්ථාවේදීත් ඔහු සිටියේ ලලිත් සිටි වේදිකාවේමය. ඉන්පසුව ඔහු කිට්ටු සබඳතා පවත්වා තිබුණේ රවි කරුණානායක සමඟය. ලිට්‍රෝ සමාගමේ සභාපති පදවියට ශලීල පත්කරනු ලැබුවේ රවිය.

අර්ජුන මහේන්ද්‍රන් සේම ශලීල මුණසිංහද රවිගේ කිට්ටු මිත්‍රයෝ වෙති. අද මේ තිදෙනාටම පදවි අහිමිය. මෙය යහපාලනයේ උරුමයද කරුමයද යන්නට පිළිතුරු ලැබෙනු ඇත්තේ අනාගතයේදී පමණි.

I ශශීන්ද්‍ර

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00