2017 ඔක්තෝබර් 21 වන සෙනසුරාදා

උහුලනු බැරි ජීවන බර

 2017 ඔක්තෝබර් 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 61

පොල් ගෙඩිය, හාල් කිලෝව, මාළු කෑල්ල ගැන කැබිනට් මණ්ඩලයේ කතා වෙන්නේ කලාතුරකිනි. පාර්ලිමේන්තු කැන්ටිමේ තමන්ට ලැබෙන කෑම පිඟානේ අඩුපාඩු කතාබහ කොට ඒවාට පිළියම් යොදාගන්නා අවස්ථා තිබිය හැකි වුවද රටේ ජනතාවගේ බත් පිඟානට සිදුවෙමින් පවතින අවාසිය, අසාධාරණය ජනතා නියෝජිතයන්ට මතක් වෙන්නේ කලාතුරකිනි. එසේ කලාතුරකින් වෙන මතක් කිරීමක් පසුගිය කැබිනට් මණ්ඩලයේ දී සිදු විය. රටේ ජනතාව අද අත්විඳිමින් සිටින ජීවන බරේ ප්‍රමාණය ගැන ඇමැතිවරුන්ගේ කතාබහට ලක් වී තිබීම එම සිද්ධියයි.

පොල් ගෙඩියක මිල දැන් රුපියල් සියයක් හෝ ඊට ආසන්නය. සහල් කිලෝව රුපියල් අසූ ගණන්වල සිට එකසිය ගාණට විහිදී යයි. තලපත් මාළු කිලෝවක මිල අනුව බත් පිඟානක තිබිය යුතු කෑල්ලක මිල රුපියල් 60 ක් වන බව කියා තිබුණේ සුසිල් ප්‍රේමජයන්ත ඇමැතිවරයාය. තෝරමාළු හැර වෙනත් මාළු වර්ග ආහාරයට ගන්නා ඇමැතිවරුන් සිටින බව දැනගැනීම එක අතෙකින් සතුටකි. අනෙක් අතට රටේ සෙසු මහජනතාව මාළු කෑල්ලක් සමඟ බත් වේලක් කන්නට විඳින දහදුක ගැන මතක් වීම අතිමහත් සතුටකි.

රටේ ජීවන වියදම උහුලන්නට බැරි මට්ටමකින් ඉහළ ගොස් ඇති බව ප්‍රකාශ කර තිබුණේ අනුර ප්‍රියදර්ශන යාපා ඇමැතිවරයාය. කැබිනට් රැස්වීමට සහභාගි වී සිටි සියලු ඇමැතිවරුන්ගේ අවධානයට එම කරුණ ලක්නොවුණා නම් පුදුමය. බොහෝ දෙනා යාපා ඇමැතිවරයාගේ කතාවට එකඟ වූහ. ඇමැතිවරයා තදින්ම චෝදනා කළේ රටට අත්‍යාවශ්‍ය ආහාර ගෙන්වීමේ මහභාරකරු වන වාණිජ කටයුතු ඇමැති රිෂාඩ් බදුයුදීන්ටය. මේ ආකාරයට බඩු මිල ඉහළ ගියොත් එය ආණ්ඩුවට විශාල දේශපාලන පරාජයක් අත්පත් කර දෙන ව්‍යසනයක් වනු ඇති බවට අනුර යාපා ඇමැති අනතුරු අඟවා තිබිණි. බඩු මිල ඉහළ ගියේ ඇයි ද යන්නට රිෂාඩ් ඇමැතිවරයාට පිළිතුරක් තිබුණු බවත් එහෙත් එය කියාගන්නට ගිය අවස්ථාවේ ජනාධිපති අගමැති ඇතුළු සෙසු ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන්ගේ දැඩි විරෝධයට ඔහු ලක් වූ බවත් දැනගන්නට තිබේ. එයින් වැටහෙන කාරණය නම් ජීවන වියදම පිළිබඳ ගැටලුව අදාළ ඇමැතිවරයාට කෙසේ වෙතත් ආණ්ඩුවට නම් තදින්ම දැනෙන බවය.

ජීවන වියදමේ තරම ආණ්ඩුවට දැනුණාට පමණක් පළක් නැත. ඒ තත්ත්වය මඟහරවා රටේ ජනතාවට සහන සැලසීමට රජය වහාම පියවර ගත යුතුය. ආණ්ඩුවක් තිබෙන්නේ ඇමැතිවරුන්ට ඩියුටි ෆ්‍රී වාහන ගෙන්වා ගැනීමට පමණක් නොවේ. මූලික වශයෙන් ජනතාවගේ ආහාර, සෞඛ්‍යය, අධ්‍යාපනය සහ ආරක්ෂාව සඳහා අවශ්‍ය තීන්දු, තීරණ ගැනීමත් ඒ සඳහා ප්‍රමාණවත් පහසුකම් සැපයීමත් ආණ්ඩුවෙන් ඉටුවිය යුතුය. එසේ කළ නොහැකි ආණ්ඩු ජනතාව විසින් හඳුන්වනු ලබන්නේ අසමත් ආණ්ඩු වශයෙනි. ජනතාව ඉදිරියේ එසේ අසමත් වීමට කිසිදු ආණ්ඩුවක් කැමැති නොවනු ඇත.

මෙහිදී සැලකිය යුතු කරුණු ගණනාවක්ම තිබේ. විශේෂයෙන්ම සහල් මිල සම්බන්ධයෙන් පවතින තත්ත්වය වහාම විමර්ශනය කර බැලීම අවශ්‍යය. රටේ සහල් හිඟයක් ඇතිවන ලකුණු පහළ වන්නේ නම් පිටරටින් සහල් ගෙන්වීමට සිදුවෙයි. ඒ ජනතාව බඩගින්නේ තැබිය නොහැකි බැවිනි. අප කතා කරන්නේ රටින් ගෙන්වන සහල් මිල පිළිබඳ නොවේ. අපේ රට තුළ නිපදවන සහල්වල මිල ගණන්ය. සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ කැඳවුම්කරු නාමල් කරුණාරත්න පසුගියදා ප්‍රකාශ කර තිබුණේ මේ රටේ තුන් දෙනකු විසින් සහල් මිල පාලනය කරන බවය. මීට වසර කිහිපයකට පෙර රුපියල් 35 ක් වැනි අඩු සහතික මිලකට මිලදීගෙන ගබඩාවල සඟවා තබාගෙන ඇති වී තොග දැන් ටිකෙන් ටික සහල් කරමින් වෙළෙඳපොළට නිකුත් කර ඔවුන් අධික ලාභ ගන්නවා යැයි ඔහු චෝදනා කරයි. මේ සහල් මාෆියාව පාලනය කරගත නොහැකි වීම නිසා වෙළෙඳපොළේ මිල ගණන් ඉහළ ගොස් තිබෙන බව ඔහුගේ චෝදනාවයි.

මීළඟට පොල් මිල ගණන් ද එලොව පොල් පෙනෙන මට්ටමට වැඩි වී තිබෙන බව පුන පුනා කිවයුතු නැත. සාමාන්‍යයෙන් නොවැම්බර් - දෙසැම්බර් මාසවල පොල් මිල ඉහළ යන නමුත් දැන් මාස කිහිපයක සිටම පොල් ගෙඩිය සාමාන්‍ය ආදායමක් සහිත පවුලකට මිල දී ගත හැකි මට්ටමින් එහාට ගොස් තිබේ. තවමත් අඩු නැත. මේ තත්ත්වයට එක් හේතුවක් වශයෙන් සඳහන් වන්නේ වසර දෙකක් පමණ තිස්සේ පවතින අධික නියඟයයි. නියඟයේ බලපෑම තිබෙන ප්‍රදේශ පොල් වගාව පවතින ප්‍රදේශ වීම ලොකුම අභාග්‍යය වී තිබේ. මේ නිසා පොල් පලදාව අඩු වී තිබෙන බව පිළිගත යුතුය. එහෙත් ආණ්ඩුවක් තිබෙන්නේ මෙවැනි අවස්ථාවලදී මැදිහත් වී ජනතාවට සහන ලබාදීමට මිස අහසට දොස් පවරමින් සිටීම නොවේ. මිල අඩු කිරීමට, පලදාව වැඩිකර ගැනීමට ගත හැකි සෑම පියවරක්ම ගත යුතුය.

අද රටේ ජනතාවට සෙසු වියදම් කෙසේ වෙතත් වේල් තුන බඩට දාගැනීම පවා ගැටලුවක් බවට පත්වෙමින් තිබේ. සහල්, පොල් සහ මාළු පමණක් නොව අනෙකුත් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල ගණන් ද ඉහළ නැග තිබේ. රටලූනු සහ හාල්මැස්සන්ගේ මිල ගණන් මීට හොඳම උදාහරණ දෙකකි. තම තමන්ට පුළුවන් තරමින් අරපිරිමසාගෙන වියදම් කෙරුවත් මාසය අන්තිම වන විට රටේ සාමාන්‍ය මිනිස්සු සියලු දෙනා ජීවත් වීමට බැරි ගාණට වැටෙන බව කිවයුතු නැත. මේ තත්ත්වය දිගින් දිගටම සිදුවෙමින් ජනතාව කබළෙන් ලිපට වැටෙන තත්ත්වයකට පත්වුණොත් මත්තල ගුවන්තොට ඉදිරියේ පමණක් නොව හැම හන්දියක් ගාණේම උද්ඝෝෂණ, විරෝධතා හට ගැනීමට ඉඩ තිබෙන බව මතක් කරදීම අපගේ යුතුකමකි. 

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00