2017 ඔක්තෝබර් 21 වන සෙනසුරාදා

පුංචි කෑලි

 2017 ඔක්තෝබර් 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 183

රවි නටයි

රවි කරුණානායක බැඳුම්කර කොමිසමේ සාක්ෂි විභාගය ආරම්භයේ දී රටේ මුදල් ඇමැති වුවද අතරමඟ දී මන්ත්‍රීවරයෙක් බවට පත් විය. රවිට ඇමැති ධුරය අහිමි වූයේ කොමිසමට කැඳවනු ලැබ සිටි සාක්ෂිකාරියක වූ අනීකා විජේසූරිය විසින් ලබාදෙන ලද සාක්ෂි වලින් පසුවය. මතභේදාත්මක පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අර්ජුන ඇලෝසියස් විසින් මිල දී ගනු ලැබූ තමන්ට අයත් මොනෑක් සුපිරි මහල් නිවාසයක් රවිට ලබාදීම සාක්ෂියේ දී හෙළිවීම ඊට පසුබිම සැපයීය.

ඉන් පසුව ගෙවී ගිය සතියේ දී හෙළි වූයේ අනීකා විජේසූරිය තමන්ට එල්ල වූ ජීවිත තර්ජන හේතුවෙන් රට හැරගොස් සිටින බවය. ඇයට තර්ජන එල්ල කර ඇත්තේ රවි කරුණානායකගේ බෑණා කෙනකු වශයෙන් සඳහන් වන ශනිල් නෙත්තිකුමාර නම් පුද්ගලයකු බව ද ප්‍රකාශ විය. මේ කරුණු බැඳුම්කර කොමිසම ඉදිරියේ ප්‍රකාශ කළේ අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතාය.

මේ වසරේ පෙබරවාරි මාසයේ 21 වැනිදා ආරම්භ වූ බැඳුම්කර කොමිසමේ සාක්ෂි විභාගය දැන් සමාප්ත වී තිබේ. මේ කාලය ඇතුළත දින 120 ක් තුළ දී සාක්ෂිකරුවෝ 63 ක් කැඳවනු ලැබූහ. දැන් ඉතිරිව ඇත්තේ කොමිසමේ වාර්තාව සැකසීමය. ඒ සඳහා කොමිසමට තව කාලය ලැබීමට නියමිතය.

කෙසේ වුවද මේ සියලු අලකලංචි මැද පසුගිය සතියේ සිකුරාදා (13) රාත්‍රියේ මිලාගිරිය ශා. පාවුළු විද්‍යාලයීය ආදි ශිෂ්‍යා සංගමයේ වාර්ෂික සුහද හමුවට සහභාගි වූ රවි සිය බිරිඳ මෙලා සමඟ සැහැල්ලුවෙන් විනෝද වෙමින් නර්තනයට එක් වී සිටියේය.

ඡායාරූපය
සන්ඩේ ටයිම්ස්

 

නිහඬයි

මල්වතු - අස්ගිරි උභයකාරක සංඝ සභා විසින් නව ව්‍යවස්ථා කෙටුම්පත අවශ්‍ය නැති බවට ප්‍රකාශ කරමින් නිකුත් කරන ලද නිවේදනය රජයේ යූ.එන්.පී. පාර්ශ්වය දැඩි කැළඹීමට පත්කළ සිද්ධියක් විය. මාධ්‍ය ඔස්සේ ඊට ලබාදෙන ලද ප්‍රචාරය අග්‍රාමාත්‍යවරයාගේ දැඩි විවේචනයට ලක් වී තිබිණි.

මල්වතු මහ නාහිමියන් රටෙහි නොසිටි අවස්ථාවක උන්වහන්සේගේ ඡායාරූපය පළ කරමින් එකී අදහස උන්වහන්සේගේ අදහසක් වශයෙන් හැඟෙන සේ පළ කළැයි අග්‍රාමාත්‍යවරයා තදින්ම චෝදනා කළේය. ඔහු මේ අදහස් පළ කළේ යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව ශ්‍රී ලංකා ජනමාධ්‍ය විද්‍යාලය ඇතුළු ආයතන තුනක් විසින් සිදුකරන ලද සමීක්ෂණ වාර්තාව භාරදීම වෙනුවෙන් පැවැති මාධ්‍ය සාකච්ඡාවේදීය.

කෙසේ වුවද එදිනම සවස ජනාධිපතිවරයා සහභාගි වූ උත්සවයක් තිබිණි. ඒ මෙරට පුවත්පත් කලාවේ විශිෂ්ටයකු වන ඩී.බී. ධනපාල අනුස්මරණ උළෙලයි. එහිදී අදාළ නිවේදනය හෝ අගමැතිගේ ප්‍රකාශය ගැන හෝ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කිසිදු අදහසක් ප්‍රකාශ නොකිරීම විශේෂයක් විය.

 

ඡන්ද කොමිසමේ සභාපතිට පාරේ යන්නත් නෑ

දවසින් දවස කල්යමින් තිබෙන මැතිවරණය හේතුවෙන් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ද රට පුරා කතාබහට ලක්වන චරිතයක් බවට පත්ව සිටී. ඔහු යන්නේ කොතැනද එතැන කනක් ඇහෙන්නට නැත. කාර්යාලයේ පමණක් නොව අතරමඟදීද එහි වෙනසක් නැත. පසුගිය දිනක ඔහු මහමඟදීද එවැනි සිදුවීමකට මුහුණ දුන්නේය.

“ළඟදි මාව ට්‍රැෆික් එකකට අහුවුණා” දේශප්‍රිය කීය. “මගේ ළඟම අල්ලපු වාහනේ හිටපු කෙනා ෂටර් එක පහතට දාලා හයියෙං ඇහැව්වා කොමසාරිස්තුමා... කවද්ද ඡන්දෙ? කියලා. මම උත්තර දුන්නා ළඟදිම, ළඟදිම කියලා...”

ඔහු මේ කතාව කිව්වේ තමන්ට මෑතකදී හමු වූ මාධ්‍යවේදිනියන් පිරිසක් සමඟය.

සන්ඩේ ටයිම්ස්
(කෙසේ වුවද ඉන් පසුව දැනගන්නට ලැබුණේ පුංචි ඡන්දය ළඟදී නොව තවත් මාස 06කින් පමණ කල්යන බවය.)

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00