2017 ඔක්තෝබර් 21 වන සෙනසුරාදා

බැඳුම්කරේ දුමාරේ

 2017 ඔක්තෝබර් 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 165

මාස ගණනාවක් තිස්සේ රටේ මාධ්‍යවල දිනපතාම පාහේ සිරස්තල මැවූ බැඳුම්කර කොමිසමේ සාක්ෂි විභාගය අවසන් විය. මේ මාසයේ 27 වැනිදායින් පසුව එහි ආයුකාලය නිමවීමට නියමිතය. සාක්ෂි විභාගය අවසන් වුවද එහි වාර්තා සකස් කිරීමට කාලය ගතවන බැවින් තම කාලය දීර්ඝ කරන්නැයි කොමිසම ඉල්ලීමක් කරනු ඇතැයි ආරංචි පැතිර තිබිණි. ඊට ඉඩ ලැබීමට බොහෝදුරට ඉඩ තිබේ.

බැඳුම්කර කොමිසම අතරතුරදී සාමාන්‍ය වහරින් කියනවා නම් “මාර... මාර....” දේවල් වුණේය. මුදල් ඇමැතිගේ පට්ටම ගැලවුණේය. ඉතිහාසයේ පළමු වතාවට හිටපු මහබැංකු අධිපතිවරයකුට තම කාලය තුළ සිදුවූ ගනුදෙනුවකට අදාළව ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් ඉදිරියේ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දීමටත් සාක්ෂි ලබාදීමටත් සිදුවිය. ඔහුට පදවිය අහිමිවූයේද බැඳුම්කර ගනුදෙනුවට අදාළවය. ඒ කොමිසම පිහිටුවීමටත් පෙරය. ඒ අනුව බැඳුම්කර වංචාව හේතුවෙන් මුලින්ම පට්ටම ගැලවුණේ වත්මන් ආණ්ඩුවේ පළමු මහා බැංකු අධිපතිවරයාගේය.

මහ බැංකුවට අදාළව බැඳුම්කර කොමිසමේ තවත් සුවිශේෂ සිද්ධියක් තිබේ. එනම් වත්මන් මහබැංකු අධිපතිගේත් හිටපු මහ බැංකු අධිපතිවරුන් දෙදෙනකුගේ නම් කොමිසම ඉදිරියේ සඳහන් වීමය. වත්මන් මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා මුලින්ම සාක්ෂියට කැඳවනු ලැබූ ප්‍රධාන නිලධාරියා විය. කොමිසම හමුවේ අවසානයට සාක්ෂි දුන් ප්‍රධාන හිටපු නිලධාරියා වූයේ අර්ජුන මහේන්ද්‍රන්ය. ඒ අතර වාරයේ 63 දෙනකු සාක්ෂි ලබාදීමට පැමිණ තිබිණි. ඒ අතුරින් කැපී පෙනුණේ අනීකා විජේසූරියගේ සාක්ෂියයි. නමුත් ඒ සාක්ෂිය හේතුවෙන් කොමිසම අවසන් වනවිට අනීකාට රට හැර දමා යන්නට සිදුව තිබුණේ ඇය ඇතුළු පවුලේ අයට එල්ල වූ මරණ තර්ජන හේතුවෙනි. කොමිසම අවසන් වන විට ඇමැතිවරුන්ගේ පට්ටම් ගැලවීම, සාක්ෂිවලට කැඳවීම පමණක් නොව මරණ තර්ජන ගැනද සඳහන් වීම අද රටේ පවතින දේශපාලනයේ සැබෑ තත්ත්වය පෙන්නුම් කරන සාධකයක් බව සමහර දේශපාලන විචාරකයන්ගේ මතය වී තිබේ.

බැඳුම්කර කොමිෂන් සභාව සාක්ෂි විමසීම අවසන් කළද එහි ප්‍රතිවිපාක ගැන හරියටම දැනගන්නට ලැබෙනු ඇත්තේ වාර්තාව නිකුත් වීමෙන් අනතුරැව බව පැහැදිලිය. එම වාර්තාව පැහැදිලිවම ශ්‍රීලනිපයත්, යූ.එන්.පී.යත් අතර විරසකය වැඩිකරනු ඇත. මුලසිටම බැඳුම්කරයට පහරදුන්නේ ආණ්ඩුව තුළ සිටින ශ්‍රීලනිප මැති ඇමැතින්ලා බව පැහැදිලිව පෙනුණේය. ඊට සාපේක්ෂව මහින්ද පාර්ශ්වයෙන් එල්ල වුණේ අඩු ප්‍රහාරයකි. තනිව ශ්‍රීලනිප ආණ්ඩුවක් බිහි කිරීමට කැසකවන ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් තුළ පවතින අදහසට බැඳුම්කර වාර්තාව පාවාඩයක් එළනු ඇතැයි ඔවුන්ගේ අපේක්ෂාව බව පැහැදිලිය.

ඇමැති මහින්ද අමරවීර පසුගිය සඳුදා (16) පැවැති මාධ්‍ය හමුවකදී කියා තිබුණේ වසර 2020 දී තනි බලයක් සහිත ආණ්ඩුවක් පිහිටුවීම ශ්‍රීලනිපයේ බලාපොරොත්තුව බවය. හවුල් ආණ්ඩු මින්පසු බිහි නොවන බවද ඔහු කියා තිබිණි. බැඳුම්කර කොමිසම සම්බන්ධයෙන්ද කරුණු දක්වා තිබූ අමරවීර අගමැතිවරයා කොමිසමට ඉදිරිපත් වීම ඉතා හොඳ ක්‍රියාවක් වශයෙන් අගය කරමින් කතා කළේය. මෙවැනි දේවල් මින් පෙර මේ රටේ දකින්නට නොලැබුණු බවත් ඔහු කියා තිබිණි. “මෙච්චරකල් මේ වගේ දේවල් අපි දැක්කේ පිටරටවලයි. මම කියන්නේ මේ ආණ්ඩුවේ වගේම පසුගිය ආණ්ඩුවේත් වංචා හා දූෂණ සොයන්න ඕනෑ. හැබැයි මේ ආණ්ඩුවේ වංචා දූෂණ ගැන වඩාත් ඉක්මණින් පරීක්ෂා කරන්න ඕනෑ” යැයිද අමරවීරගේ කතාවේ සඳහන් විය. ඔහු වෙනත් ස්ථානයකදී කියා තිබුණේ බැඳුම්කර කොමිසමේ වාර්තාව නිකුත් වූ පසුව එය රැගෙන නඩු දැමීමට වුවද තමා සූදානම් බවය. මේ අනුව බැඳුම්කර කොමිසම සහ එහි නිකුත්වීමට තිබෙන වාර්තාව මේ රටේ වත්මන් දේශපාලනයේ හැරවුම් ලක්ෂයක් වීමට බොහෝදුරට ඉඩ තිබේ. 

බැඳුම්කර කොමිසමේ වාර්තාවෙන් උපරිම පල නෙළා ගන්නේ කවුදැයි විමසුවොත් ඇත්තේ එකම පිළිතුරකි. ඒ ජනාධිපතිවරයාය. ආණ්ඩුවේ යූ.එන්.පී. පාර්ශ්වය පාලනය කර ගැනීමට ඔහු බැඳුම්කර කොමිසමේ වාර්තාව යොදවා ගන්නා බව නිසැකය. මේ සම්බන්ධව යූ.එන්.පී. ලොකු ලොක්කන්ගේ අවධානය යොමුව තිබෙන බව පැහැදිලිය. එහෙත් එය පිටින් පෙනෙන්නට නැත.

කෙසේ වුවද ඇතැම් දේශපාලන විචාරකයන්ගේ අදහස බැඳුම්කර කොමිසමේ වාර්තාව සකස් වුවද එය එතැනින් එහාට යාමට ඇත්තේ සීමිත ඉඩකඩක් බවය. එයට හේතුව එම වාර්තාව පදනම් කරගනිමින් අධිකරණ කටයුත්තකට යොමු වුවහොත් එය යූ.එන්.පී. ඇමැතිවරුන් කිහිප දෙනකුට එරෙහිව නඩු කීමක් වීමට හොඳටම ඉඩ තිබෙන බැවිනි. එසේ නඩු දමා හවුල් ආණ්ඩුවක් කරගෙන යන්නේ කෙසේද යන්න ගැටලුවකි.

මේ ආකාරයට පාර්ශ්ව දෙක අතර සීතල යුද්ධයක් පවතින විට තිබිය යුතු ඡන්ද නොතැබීම පුදුමයට කරුණක් නොවේ. පුංචි ඡන්දයට තිබෙන බාධක ඉවත් කිරීම නිසා නිසැකවම එය ජනවාරියේ පැවැත්වෙනු ඇතැයි ඊයේ පෙරේදා වනතුරු පැවැති බලාපොරොත්තුව තවදුරටත් කල් යන බව පෙනෙන්නට තිබේ. දැන්නම් එය නොකෙරෙන දීගයක් තරමට වැඩ සිදුවෙමින් තිබේ.

පුංචි ඡන්දය පැවැත්වීමට බාධාවක්ව තිබූ සීමා නිර්ණය කටයුතු අවසන් වී එය ගැසට් කර මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා සංශෝධන ආඥා පනත් තුනද සම්මත කළත් එයට තවත් පොල්ලක් වැටී තිබේ. ඒ නුවරඑළිය දිස්ත්‍රික්කය පදනම් කර ගනිමිනි. ද්‍රවිඩ ප්‍රගතිශීලී සංධානය මගින් කරන ලද ඉල්ලීමක් අනුව නුවරඑළිය දිසාව තුළ ප්‍රාදේශීය සභා කිහිපයක් අලුතින් ඇති කිරීමට පියවර ගැනීම ඊට හේතුව වශයෙන් දක්වා තිබේ. එය හේතුවකට වඩා පුංචි ඡන්දය කල් දැමීම සඳහා ආවරණයක් වශයෙන් යොදාගෙන ඇතැයි කීම වඩාත් සාධාරණ වනු ඇත.

ද්‍රවිඩ ප්‍රගතිශීලී සංධානයේ නායකයා වන්නේ මනෝ ගනේෂන්ය. ඔහු වත්මන් රජයේ ජාතික ඒකාබද්ධතා සමාජ සහජීවන හා රාජ්‍ය භාෂා පිළිබඳ ඇමැතිවරයාය. ඔහු පසුගියදා මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් පළාත් සභා සහ පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්තාෆාගෙන් ඉල්ලීමක් කළේ එක් එක් සභාවෙන් පත්විය යුතු සභිකයන් සංඛ්‍යාව සඳහන් කෙරෙන ගැසට් එකට අත්සන් නොකරන ලෙසටය. නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිහිටුවීමට නියමිත නව ප්‍රාදේශීය සභා ස්ථාපිත කරන තුරු එය කල්දැමිය යුතු යැයි ඔහු ප්‍රකාශ කර තිබිණි.

මනෝ ගනේෂන්ගේ පක්ෂය ඉන්දීය සම්භවයක් සහිත දෙමළ ජනතාවගේ අභිලාෂයන් වෙනුවෙන් පෙනී සිටින පක්ෂයකි. ඔහු ප්‍රකාශ කරන්නේ කඳුකරයේ වතු කම්කරු ජනතාව සඳහා ප්‍රාදේශීය සභා මීට වඩා සංඛ්‍යාවක් ස්ථාපිත කළයුතු බවය. ඔහුගේ තර්කය වී තිබෙන්නේ නුවරඑළිය සහ අඹගමුව ප්‍රාදේශීය සභා දෙකේ එක් එක් සභාව සඳහා ලක්ෂ දෙකකට අධික ජනතාවක් සිටින බවය. එම සභා දෙකේ පාලනය වඩාත් විධිමත් සහ ජනතා හිතවාදී එකක් වීම සඳහා තවත් ප්‍රාදේශීය සභා කිහිපයක් පිහිටුවීම අවශ්‍ය බව ඔවුන්ගේ තර්කය වී තිබේ. බැලූ බැල්මට එය සාධාරණ තර්කයක් බව පෙනේ.

එසේ වුවද වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ සීමා නිර්ණය කටයුතුවල යෙදෙමින් සිටි රජයට නුවරඑළිය දිස්ත්‍රික්කය අමතක වෙන්නට ක්‍රමයක් නැත. අලුතින් ප්‍රාදේශීය සභා නිර්මාණය කිරීමට ඕනෑතරම් කල්වේලා ආණ්ඩුවට තිබිණි. මේ බව මතක් කිරීමට මනෝ ගනේෂන් ඇමැතිවරයාටද කාලය තිබිණි. පුංචි ඡන්දය පැවැත්වීමට සියලු කටයුතු සූදානම් වෙමින් තිබියදී මේ ප්‍රශ්නය ඇද ගැනීමෙන් පැහැදිලි වන්නේ මෙය ඡන්දය කල්දමා ගැනීමේ උපක්‍රමයක් වශයෙන් භාවිත කෙරෙන බවය. ඇමැතිවරයා ආණ්ඩුවේ න්‍යාය පත්‍රයට අනුව තම පක්ෂයේ කටයුතු මෙහෙයවන බවය.

හරියට බැලුවොත් ඒ ඡන්දය පැවැත්වීමට අවශ්‍ය නම් දැන් කළ යුතුව තිබෙන්නේ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභාවලට පත්විය යුතු සභිකයන් සංඛ්‍යාව සඳහන් ගැසට් පත්‍රය නිකුත් කිරීම පමණි. නමුත් නොකෙරෙන්නේද එයමය.
බලයේ සිටින කිසිම ආණ්ඩුවක් පුංචි ඡන්දය තැබීමට අකැමැති වන්නේ නැත. මහින්දගේ කාලය පමණක් නොව 2001 වසරේ රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් පිහිටුවූ ආණ්ඩුවද ඊළඟ වසරේම පුංචි ඡන්දය පැවැත්වීය. යූ.එන්.පී. ප්‍රමුඛ සන්ධානයට අත්තනගල්ල ප්‍රාදේශීය සභාව පවා ජයගැනීමට හැකිවිය. බලයේ ඉන්න ආණ්ඩුවකට පුංචි ඡන්දය එච්චරම ෂුවර්ය. එච්චර ෂුවර් ඡන්දය තියාගන්න තවම මේ හවුල් ආණ්ඩුවට නොහැකි වීම කනගාටුවකි.

ඡන්දය නොතැබීමට ප්‍රධානම හේතුව ශ්‍රීලනිපය තුළ පවතින බල අරගලය බව සැඟවිය නොහැකිය. බෙදීමක් සහිතව ඡන්දයට ගියොත් ශ්‍රීලනිපයේ මෛත්‍රී පාර්ශ්වය තුන්වැනි තැනට වැටීම වැළැක්විය නොහැක. මේ නිසා ඡන්දෙට පෙර එක්කෝ ඔවුන් දෙපාර්ශ්වය සමගි වියයුතුය. නැතහොත් මහින්දගේ පාර්ශ්වය දුර්වල වනතුරු බලා සිටිය යුතුය. මේ දෙකම දැන්ම නම් සිදුවන පාටක් නැත.

මේ අතර යූ.එන්.පී.යද පසුගියදා ලොකු කැළඹීමකට මුහුණ දුන්නේය. ආණ්ඩුව හවුල් වුවද යෝජිත ව්‍යවස්ථා කෙටුම්පත ඉදිරියට තල්ලු කරගෙන යන්නේ යූ.එන්.පී.ය තනිවම වාගේය. ජනාධිපතිවරයා රට දෙකඩ කරන, බුද්ධාගමට තැන අහිමි කරන ව්‍යවස්ථාවක් ගෙනඒමට ඉඩ නොතබන බව ප්‍රකාශ කළද ශ්‍රීලනිප මැති ඇමැතිලා අඩුම තරමින් එවැනි අදහසක් හෝ ප්‍රකාශ කරන්නේ කලාතුරකිනි.

මේ තත්ත්වය වඩාත් සංකීර්ණ වූත් පසුගියදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ව්‍යවස්ථා කෙටුම්පත විවේචනය කරමින් දැඩි ස්වරයෙන් නිවේදනයක් නිකුත් කිරීමත් සමගය. මෙය රට කැඩීමකට උතුරු නැගෙනහිර දෙපළාත් එක් කිරීමට, ෆෙඩරල් රාජ්‍යයක් ඇති කිරීමට සහ බුද්ධාගමට තැන නැති කිරීමට ක්‍රියාකරන ජාතිවාදී පදනමේ ව්‍යවස්ථාවක් බවට දීර්ඝව ඔහු කරුණු දක්වා තිබිණි. ඊට දින දෙකකට පසුව මල්වතු-අස්ගිරි දෙපාර්ශ්වයේ කාරක සංඝ සභා දෙක ඒකාබද්ධව පැවැත්වූ රැස්වීමකදී නව ව්‍යවස්ථාවට විරෝධය දැක්වීමට ගනු ලැබූ තීන්දුවත් එයට මාධ්‍ය හරහා විශාල ප්‍රතිචාරයක් ලැබීමත් හේතුවෙන් යූ.එන්.පී.ය කැළඹීමට පත්විය. ඊට පිළිතුරු සැපයීමට ඉදිරිපත් වූයේ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාමය.

අග්‍රාමාත්‍යවරයා දැඩි ලෙස විරෝධය පෑවේ මල්වතු මහ නාහිමිගේ ඡායාරූපය පළකිරීම හරහා උන්වහන්සේගේ අනුමැතිය ඇතුළු නිකුත් වූ නිවේදනයක් වශයෙන් හැඟීමත් ජනතාව තුළ ඇති වන බව ප්‍රකාශ කරමිනි. කෙසේ වුවද ජනාධිපතිවරයා මේ නිවේදනය සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කළේ නැත. එසේ අදහස් දැක්වීමෙන් වැළකී සිටියේ ව්‍යවස්ථාව සම්බන්ධයෙන් පවතින නොකැමැත්ත නිසාද යූ.එන්.පී.යේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් පවතින නොකැමැත්ත නිසාද යන්න පැවැසීම නම් අපහසුය.

 ශශීන්ද්‍ර