යන්ත්‍රය කෝටි 12 යි. හැබැයි වැඩ හරිම ප්‍රමාදයි
රාජ්‍ය ආරක්ෂාව භාර ආයතනයක් විසින් තම සාමාජිකයන්ට අලුත් හැඳුනුම්පත් ලබාදීම සඳහා අලුතින්ම යන්ත්‍රයක් ගෙන්වා ගෙන තිබේ. එහි වටිනාකම රුපියල් කෝටි 12 ක් බව සඳහන් වේ.
මේ මිල දී ගැනීම සිදු කළ ආකාරය ගැන වෙනම විමර්ශනයක් සිදුවෙමින් පවතී. ඒ අතරේ දැනගන්නට ලැබී ඇත්තේ එම නවීන යන්ත්‍රයෙන් දවසකට නිපදවිය හැක්කේ හැඳුනුම්පත් 200 ක් පමණක් බවය.
මේ ගනුදෙනුව ගැන දන්නා කියන ආරංචි මාර්ගයක් ප්‍රකාශ කළේ මේ යන්ත්‍රය උපයෝගී කරගනිමින් සියලු සාමාජිකයන්ට හැඳුනුම්පත් ලබාදීම සඳහා අඩුම තරමින් දවස් දාහක්වත් ගතවනු ඇති බවය.
► සන්ඩේ ටයිම්ස්
අත් නැති හැට්ට තහනම ඉවතට
පාර්ලිමේන්තු මන්දිරයේ නිල කුටිවල රැඳී රාජකාරිවල යෙදෙන කාන්තාවන් අත් නැති හැට්ට ඇඳීම වළක්වමින් පනවා තිබූ නීතිය ලිහිල් කිරීමට කතානායක කරු ජයසූරිය මහතා පියවර ගෙන තිබේ. පුවත්පත මගින් මේ අත් නැති හැට්ට තහනම ගැන ලියා මාස 09කට පසුව මේ තීරණය ප්‍රකාශයට පත් විය.
එවැනි ඇඳුමින් සැරසී පැමිණෙන කාන්තාවන්ට මින් පසුව ආරක්ෂක අංශ නිලධාරිනියන් විසින් ඇඳුම ගැන උපදෙස් ලබා නොදෙනු ඇත.
රජයේ සේවක සංඛ්‍යාව අතරේ කාන්තා නිලධාරිනියන් ක්‍රම ක්‍රමයෙන් වැඩිවෙමින් පවතී. ඔවුන් එවැනි ඇඳුමකින් සැරසී සිටීම නොවැදගත් පෙනුමක් ලබාදෙන බව මීට කලින් ඔවුන්ගේ අවධානයට ලක් කරනු ලැබීය. කෙසේ වුවද මෙය ආරම්භ වී ඇත්තේ කාන්තා මන්ත්‍රීවරියක විසින් වේත්‍රධාරී වරයා අත එවැනි කාන්තා නිලධාරිනියකට යවන ලද කෙටි සටහනකින් අත් නැති හැට්ට වලින් සැරසී රාජකාරියට නොඑන්නැයි කළ දැනුම් දීමකින් බවද සඳහන් වේ.
අත් නැති හැට්ට තහනම් බවට සඳහන් බෝඩ් එක මේ අනුව ඉවත් කර ඇතැයි ද එහි දැන් කාන්තාවන්ගේ රාජකාරි ඇඳුම “සාරිය” යනුවෙන් පමණක් සඳහන් කර ඇතැයි ද පවසයි.
මේ තීන්දුව සම්බන්ධයෙන් කතානායකවරයාට ප්‍රසාදය පළ කෙරෙයි. මේ අතර නිලධාරියකු ප්‍රකාශ කර තිබුණේ මන්ත්‍රීවරියන්ට මේ ලිහිල් කිරීම බලනොපාන බවය. ඔවුන් දිගටම සාරිය සමඟ අත් සහිත හැට්ට ඇඳ පාර්ලිමේන්තුවට පැමිණිය යුතුය.
► සන්ඩේ ටයිම්ස්
මංගලගේ පිළිතුර
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් රට පුරා විවිධ මත ප්‍රකාශ වෙමින් තිබේ. ඒ අතරේ පසුගියදා ගම්පහ දී පැවැති සාකච්ඡා මණ්ඩපයක දී හිටපු හමුදා නිලධාරියකු විසින් කර තිබූ ප්‍රකාශයක් මහත් ආන්දෝලනයකට තුඩු දී තිබේ. එහි දී ඔහු සඳහන් කර තිබුණේ රටට නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට සහාය දක්වන සියලුදෙනාට මරණය හිමිකර යුතු බවය.
මෙම ප්‍රකාශයට ජනමාධ්‍ය හා මුදල් ඇමැති මංගල සමරවීර මහතා පසුගියදා පිළිතුරක් ලබා දී තිබිණි. මංගලගේ එම පිළිතුරේ සඳහන් වුණේ රට තුළ තිරසාර සාමයක් ඇති කිරීම සඳහා නව ව්‍යවස්ථාවක් ගෙන ආ යුතු යැයි 2015 වසරේ දී මේ රටේ 63 ලක්ෂයක් ජනතාව ඡන්දය භාවිත කර ඇති බව මතක් කර දීම අවශ්‍ය බවය. එම හැටතුන් ලක්ෂයක් දෙනා රටේ තිරසාර සාමය, ස්ථාවරත්වය, සංහිඳියාව සහ ඉසුරුමත් බව වෙනුවෙන් ඡන්දය භාවිත කළ බවද ඔහුගේ නිවේදනය සඳහන් කරයි.
තමන්ට බලය නොමැති අවස්ථාවක කිසිදු බියකින් තොරව මෙතරම් භයානක සහ බියගන්වන සුළු ප්‍රකාශයක් විවෘත සභාවක් ඉදිරියේ කිව හැකි නම් ඔවුන් අත බලය තිබූ කාලයේ සිදුකර ඇති ක්‍රියාවන් පිළිබඳව සිතාගැනීමට මේ රටේ බුද්ධිමත් ජනතාවට හැකියාව ඇතැයි ද ඔහුගේ දීර්ඝ පිළිතුරේ සඳහන් විය.
► ඩේලි මිරර්