2017 ඔක්තෝබර් 28 වන සෙනසුරාදා

අබේගේ විප්ලවය

 2017 ඔක්තෝබර් 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 220

ෂින්සෝ අබේ ජපානයේ දේශපාලන ඉතිහාසයේ වාර්තාවක්ද පිහිටුවමින් තුන්වැනි වරටත් එරට අගමැති පදවියට පත්විය. ඔහු පසුගිය ඉරිදා (22) මහවැසි කුණාටු මැද පැවැති මැතිවරණයෙන් ජයගත්තේ “ඩයට්” පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක මන්ත්‍රී ආසන සංඛ්‍යාවක් දිනා ගනිමිනි. ඔහු මේ මැතිවරණයට මුහුණ දීමට පෙර තම ජනප්‍රියත්වය සම්බන්ධයෙන් ප්‍රබල දේශපාලන කුණාටුවකට මැදිව සිටි තත්ත්වයක් තුළ ලබාගෙන ඇති ජයග්‍රහණය එරට විපක්ෂයටත් මාධ්‍යවලටත් ප්‍රහේළිකාවක් වී තිබේ. එය එරට දේශපාලනයට ප්‍රහේළිකාවක් වුවත් අපේ රටේ වත්මන් දේශපාලනයට හොඳ පාඩමක් විය හැකි බැවින් ෂින්සෝ අබේගේ විප්ලවය ගැන කතා කළ යුතුය.

ඔහු ජපානයේ මුලින්ම අගමැති පදවියට පත්වූයේ 2006 වසරේ සැප්තැම්බර් 26 වැනිදා පැවැති පාර්ලිමේන්තු විශේෂ සැසියකදීය. නමුත් ප්‍රථම ධූර කාලය සීමා වූයේ වසරකටත් අඩු කාලයකටය. ජපන් දේශපාලන නායකයන්ට ලාබාල වයසක් වූ අවුරුදු 52ද අගමැති පදවියට පත් වුවද සෞඛ්‍ය හේතු ඉදිරිපත් කරමින් ඔහු ඉවත් විය. ඉන් අනතුරුව ගෙවීගිය කාලය ජපාන දේශපාලනයේ සංක්‍රාන්ති සමයක් වූ අතර අගමැතිවරු කිහිපදෙනෙක්ම පත්වූහ. එසේම පදවි අතහැර ගියහ. මේ කාලසීමාවෙන් පසුව 2012 දෙසැම්බර් 26 වැනිදා පැවැති මහ මැතිවරණයෙන් ෂින්සෝ අබේ යළි අගමැති පදවියට පත් විය. ඉන් වසර දෙකකට පසුව 2014 දී පැවැති හදිසි මැතිවරණයෙන්ද ඔහු ජයග්‍රහණය කළේය.

ෂින්සෝ අබේගේ එම ධූර කාලය අවසන් වීමට තිබුණේ ලබන වසරේදීය. නමුත් දැන් කාලයක පටන්ම ඔහුගේ ජනප්‍රියත්වය පහළ වැටෙමින් තිබිණි. ඔහුගේ පාලන කාලයට එල්ල වූ චෝදනා අතර දූෂණ සිදුවීම්ද පවුලේ සමීපතමයන් පාලනයට හවුල් කර ගැනීමද විය. ඒවා අපේ රටේ දේශපාලනයටද පොදුය. අපේ රටේ ද මෙවැනි චෝදනා එල්ල වනවිට පාලකයන්ගේ ජනප්‍රියත්වය පිරිහෙයි. මහින්ද රාජපක්ෂ පාලන කාලයේදී ද එය සිදුවිය. එවැනිම චෝදනා මේ යහපාලන ආණ්ඩුවට එරෙහිවද එල්ලවෙමින් තිබේ.

ජනප්‍රියත්වය තනි ඉලක්කමට බහින තරමට ළංවෙද්දී උතුරු කොරියාවේ මිසයිලයක් ජපානයේ හොකයිඩෝ දූපත් උඩින් ගොස් මුහුදට වැටී පිපිරුවේය. රටේ ආරක්ෂාව අංක එකට තබා කතා කරමින් ෂින්සෝ අබේ අළු ගසාදමා නැගිට්ටේ ඒ සමඟය. වැඩි දවසක් යන්නට පෙර ඊළඟ මිසයිලයද ජපානය උඩින් පියැඹුවේය. ෂින්සෝ අබේ ජාතිය අමතා කතා කරමින් උතුරු කොරියාවේ මිසයිල හේතුවෙන් තම රටට එල්ලවන තර්ජනයට වහාම පිළිතුරු දිය යුතු බව කිව්වේය. ඔහු දිගින් දිගටම කිව්වේ උතුරු කොරියාවට තම රටට බිය ගැන්වීමට කිසිදා ඉඩ නොදෙන බවය. උතුරු කොරියාවට අවශ්‍ය පරිදි කටයුතු කිරීමට ජපානය සූදානම් නැති බවද ඔහු ලොවටම ඇසෙන්නට කිව්වේය.

ෂින්සෝ අබේගේ පිරිහෙන ජනප්‍රියත්වයෙන් ලබන වසරේ පැවැත්වෙන මැතිවරණයේදී වාසි ගැනීමට පිටපොට ගසමින් සිටි ජපානයේ විපක්ෂය අන්දුන් කුන්දුන් විය. රටේ අගමැති වශයෙන් අබේට තිබූ රටපුරා ජනතාව ආමන්ත්‍රණය කිරීමේ හැකියාවක් විපක්ෂයට නොතිබිණි. එහි ඊළඟ ප්‍රතිඵලය වූයේ එරට විපක්ෂය භේදභින්න වී යාමයි.

උතුරු කොරියාවට එරෙහිව අතපයේ හිරි ඇරගන්න නම් රටේ ව්‍යවස්ථාව වෙනස් කළ යුතු යැයි ෂින්සෝ අබේ ඊළඟට කිව්වේය. ජපානයට රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදාවක් පවත්වාගෙන යාමට එරට ව්‍යවස්ථාවෙන් ඉඩක් නැත. දෙවැනි ලෝක යුද්ධය හේතුවෙන් ඇහිරී ගිය මේ ජාතික ආරක්ෂක හිඩැස වසා දැමීම සඳහා ව්‍යවස්ථාව වෙනස් කළ යුතු බවට අදහසක් ඔහු ඉදිරිපත් කළේ උතුරු කොරියාවේ හිතුවක්කාරී මිසයිල විදිල්ල හේතුවෙන් තම රටේ වැසියන්ට සිදුවිය හැකි අනතුර වළක්වා ගැනීම චේතනාව ඉදිරියට දමමිනි. ව්‍යවස්ථාව වෙනස් කිරීමට ජනතාවගේ එතරම් කැමැත්තක් පළ නොවීය. එහෙත් උතුරු කොරියා තර්ජනයත් විපක්ෂය සී සී කඩවීමත් තුරුම්පු සේ යොදා ගනිමින් ෂින්සෝ අබේ පසුගිය සැප්තැම්බර් 25 වැනිදා හදිසියේම මහ මැතිවරණයක් කැඳවූයේය. 

ඒ අවස්ථාවේදී එරට මාධ්‍ය බොහෝමයක් ප්‍රකාශ කර තිබුණේ අබේගේ මේ හදිසි මැතිවරණය කැඳවීම දේශපාලන සූදුවක් බවය. එයින් ඔහුට ජය ගැනීමට තිබෙන හැකියාව පිළිබඳව ඔවුන් මුලසිටම සැකපහළ කර තිබිණි. නමුත් ඡන්දයෙන් තමන් ජයගන්නා බවත් ව්‍යවස්ථාව වෙනස් කළ හැකිවන තරමට තුනෙන් දෙකක ජයග්‍රහණයක් තමන් අපේක්ෂා කරන බවත් ඔහු මුලසිටම කිව්වේය. ඒ කෙරෙහි ඔහු විශ්වාසයද තැබුවේය.

අන්තිමට ෂින්යෝ අබේ තුනෙන් දෙකක බලයක් ලබාගනිමින් ජපානයේ අගමැති ධුරයට පත් විය. මාස කිහිපයකට පෙර ජනප්‍රියත්වයේ පතුලේ සිටි ඔහු එයින් මිදී යළි අගමැති වීමට භාවිත කළේ විපක්ෂයේ භේදභින්න වීමත් ජාතික ආරක්ෂාව සඳහා උතුරු කොරියාවට එරෙහිව තද ප්‍රතිපත්තියක පිහිටා කටයුතු කිරීමත් යන සාධක දෙක පමණි. මෙය අපේ රටේ දේශපාලනයට කොතරම් අදාළ වනු ඇතිද?

අපේ රටේ විපක්ෂය ඇත්තේත් බෙදිලාය. පාර්ලිමේන්තුව තුළ නිල විපක්ෂය කියා එකකි. ඒකාබද්ධ විපක්ෂය කියා තව එකකි. ඒ අතර ස්වාධීන යැයි ප්‍රකාශ කරන මන්ත්‍රීවරු ද සිටිති. බැලූ බැල්මට වෙනත් රටකින් ජාතික ආරක්ෂාවට තර්ජනයක් ද නැත. උතුරට ෆෙඩරල් ඉල්ලනවා යැයි පවතින මතවාදය ප්‍රබලව මහජනතාව අතර කතාබහට ලක්වුවත් ඉක්මන් තර්ජනයක් නැත. එසේ නම් ඡන්දයක් තියන්න මේ තරම් ආණ්ඩුව පස්ස ගහන්නේ ඇයි? ෂින්සෝ අබේගේ උපක්‍රම හෝ භාවිත කිරීමට ආණ්ඩුව ඉදිරිපත් වන බවක්ද නොපෙනේ. එසේ නම් වැරැද්ද ඇත්තේ වෙනත් තැනක විය යුතුය.

ඡන්දයක් ඉක්මනින් තැබීම හෝ ප්‍රමාද වී තැබීම හෝ එහි ප්‍රතිඵලයට බලපාන බව අතීත උදාහරණ වලින් පැහැදිලි වෙයි. කල්ගතවන තරමට ආණ්ඩුවක් පිරිහෙන නිසා තියෙන ඡන්දයක් ඉක්මනින් තියන්න ඕනෑම නායකයකු කැමැති වනු ඇත. 75 තිබිය යුතු ඡන්දය 77ට ගෙන සිරිමාවෝගේ රජය ඉල්ලං කෑවා සේම 1982 දී පැවැත්විය යුතුව තිබූ මහ ඡන්දය නොතියා ජනමත විචාරණයක් පැවැත්වීමෙන් ජේ.ආර්.ගේ ආණ්ඩුව ද ඉල්ලං කෑවේය. ඔවුන්ට ජනමත විචාරණයේ දී ලැබුණේ 50.1%ක ප්‍රතිශතයක් පමණක් වුවද පාර්ලිමේන්තුවේ දී එය දිගටම හයෙන් පහක බොරු බලයක් පෙන්නුම් කළේ නියමිත පරිදි පාර්ලිමේන්තු මැතිවරණය නොපැවැත්වූ බැවිනි.

එයින් රටේ අඩුම වශයෙන් ප්‍රබල ප්‍රතිචාර 2ක් හටගත් බව ඒ කාලයේ බොහෝ දේශපාලන විචාරකයන්ගේ මතය වී තිබුණේය. එකක් ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන දේශපාලන ධාරාවෙන් මිදී ගරිල්ලා සටනකට අවතීර්ණ වීමය. එහි ප්‍රතිඵලය වූයේ 1987 වන විට දකුණේ තරුණයන්ගේ කැරැල්ලක් හට ගැනීමය. අනෙක 1983 ජූලි කලබල සහ ඒ හේතුවෙන්ම ඉන්පසුව වසර 26 ක් පුරා දිග්ගැසුණු යුද්ධයයි. පළාත්පාලන ඡන්ද දිගින් දිගටම කල් යනවිට මේ ඉතිහාසය යළි යළි මතක්වීම වළක්වා ගත නොහැකිය.

කෙසේ වුවද පුංචි ඡන්දය සම්බන්ධයෙන් පමණක් නොව පළාත් සභා, මහ මැතිවරණය සහ ජනාධිපතිවරණය සම්බන්ධයෙන්ද ආණ්ඩුව තුළ තවමත් ඒකමතික බවක් නැත. යූ.එන්.පී. පාර්ශ්වය දිගටම බලකරන්නේ හැකි ඉක්මණින් පළාත් පාලන මැතිවරණය පවත්වන ලෙසටය. මෙතැනදී ඔවුන් භාවිත කරන්නේ ෂින්සෝ අබේගේ න්‍යායයයි. යූ.එන්.පී.යට සාපේක්ෂව ප්‍රධාන විපක්ෂය භේද වී සිටියි. එම විපක්ෂයේ සිටිය යුතු එහෙත් ආණ්ඩුවේ සිටින මෛත්‍රීපාල පාර්ශ්වය පළාත් පාලන ඡන්දය දෙස කෙළින් බලන්න කිසිම කැමැත්තක් නැත. ඡන්දය කල්දමා ගැනීමට කරුණු එකතු කිරීමට වඩා දෙයක් ඔවුන් කරන්නේ නැත. මහින්ද රාජපක්ෂ ඒ සම්බන්ධයෙන් පසුගිය සතියේ සන්ඩේ ටයිම්ස් පුවත්පතට කියා තිබුණේ ආණ්ඩුව උවමනාවෙන්ම ඡන්දය කල් අරින බවය. ඡන්දය තැබුවහොත් මෛත්‍රීපාල සිරිසේනට සහාය දක්වන පාර්ශ්වයට අයිති වන්නේ තුන්වැනි තැන කියාය. බැසිල් රාජපක්ෂ පසුගියදා ප්‍රකාශ කර තිබුණේ පුංචි ඡන්දය පැවැත් වුවොත් මහින්ද රාජපක්ෂට සහාය දක්වන ශ්‍රී ලංකා පොදුජන පක්ෂය පළාත් පාලන ආයතන 337න් 200ක් පමණ ජයග්‍රහණය කරන බවය. කෙසේ වුවද ඉන්පසුව දේශපාලන විචාරකයන් ප්‍රකාශ කර තිබුණේ එය යථාර්ථයෙන් බොහෝ ඈත සංඛ්‍යාලේඛනයක් බවය.

යූ.එන්.පී.යද පුංචි ඡන්දයේම එල්ලී සිටින්නේ එයින් වැඩි සභා ගණනක් දිනාගෙන තම බලය තහවුරු කර ගනිමින් තනිවම රජයක් පිහිටුවිය හැකිය යන පණිවුඩය ලබාදීමටය. එහෙත් පාක්ෂිකයන්ගේ බලාපොරොත්තු සුන් වී ගොස් ඇති කාල වකවානුවක එවැනි ජයග්‍රහණයක් ලබාගැනීම දුෂ්කර කාර්යයක් වීමට හොඳටම ඉඩ තිබේ. ඔවුන් මාන බලන්නේ ශ්‍රීලනිපය තුළ පවතින බල අරගලයෙන් ප්‍රයෝජනය ගෙන පුංචි ඡන්දයේ තනි ජයග්‍රාහකයා වීමට බවට සැකයක් නැත. එහෙත් පවතින වාතාවරණය යටතේ එම ඉලක්කය සපුරා ගැනීම හිතන තරම් පහසු නොවීමට ඉඩ තිබේ.

ශ්‍රීලනිපයේ අනන්‍යතාවයද රැකගනිමින් මේ අවස්ථාවේ මහජනතාව ඉදිරියට ගොස් ඡන්දය වෙනුවෙන් කැම්පේන් කිරීම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට ගැටලුවකි. ඔහු 2015 ජනවාරි ජනාධිපතිවරණයට මුහුණ දී ජයගත්තේ ශ්‍රීලනිප ඡන්දවලින් නොවේ. ඇත්තෙන්ම ඔහු එදා ඡන්දයට කැම්පේන් කළේ ශ්‍රීලනිප අපේක්ෂකයාට එරෙහිවය. ඉන්පසුව 2015 අගෝස්තු පාර්ලිමේන්තු මැතිවරණයේදී ශ්‍රීලනිප ජයග්‍රහණය වැළැක්වූයේ සිරිසේන මහතා බවට ප්‍රබල මතයක් එම පක්ෂය තුළ පවතී. ඇතැම් විචාරකයන්ගේ මතය වී තිබෙන්නේ එම අවස්ථාවේදී සිරිසේන මහතා ජනාධිපති වශයෙන් සිටිමින් ඡන්ද කැම්පේන් එකට සහාය නොදක්වා සිටියේ නම් මහින්ද නායකත්වය දුන් ශ්‍රීලනිපයට 100 ඉක්මවා ආසන සංඛ්‍යාවක් දිනාගත හැකිවනු ඇති බවය. එසේ වී නම් යූ.එන්.පී.යේ ආසන සංඛ්‍යාව 100 දක්වා පමණ පහළ බැසීමට ඉඩ තිබූ බවත් පාර්ලිමේන්තුවේ බහුතර බලය ලබාගෙන ආණ්ඩුවක් පිහිටුවීමට මහින්ද රාජපක්ෂට හැකියාව තිබූ බවත් සෑම ශ්‍රීලනිප සාමාජිකයකුගේම අදහස වී තිබේ. එම අවස්ථාව අහිමි කළේ ජනාධිපතිවරයා බවට ඔවුහු චෝදනා නගති. මේ නිසා ශ්‍රීලනිප සාමාජිකයන් ඉදිරියට ගොස් ඡන්දය ඉල්ලීම සිරිසේන මහතාට දුෂ්කර කාර්යයක් වනු ඇත. පුංචි ඡන්දය දිගින් දිගටම “තාක්ෂණික” හේතු මත කල් යන්නේ මේ නිසා නොවේදැයි කෙනෙකුට ප්‍රශ්න කළ හැකිය.

මේ අතර ආණ්ඩුව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් බලවත් අර්බුදයකට මුහුණ දෙමින් සිටී. ව්‍යවස්ථා සම්පාදන කමිටුවේ අතුරු වාර්තාව එළියට දැමීමෙන් පසුව ඒ සම්බන්ධයෙන් විශාල කතිකාවක් රටපුරා ඇතිවෙමින් තිබේ. එයට ප්‍රධාන හේතුව ව්‍යවස්ථා කෙටුම්පත ප්‍රතික්ෂේප කළයුතු බවට මහා සංඝරත්නයෙන් නැගුණු ප්‍රබල මතයයි. ඉන්පසුව විද්වතුන් පිරිසකගෙන්ද ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන්ද ප්‍රශ්නාවලි යොමු වී තිබේ. යහපාලන රජය බලයට පත්කිරීම සඳහා වෙහෙස වූ සිවිල් සමාජ ක්‍රියාකාරිකයන්ද මේ නැගෙන විරෝධය මැද නිහඬ බවක ගිලී යන බව පෙනෙන්නට තිබේ. ඊට හේතුව කෙටුම්පත සම්බන්ධව සුබවාදීව අදහස් දැක්විය යුතුව සිටින යූ.එන්.පී.යේ මැති ඇමැතිවරුන්ද ජනප්‍රිය රැල්ලටම එකතු වී අදහස් දැක්වීම විය හැකිය. නව ව්‍යවස්ථාවක් සහ බලය බෙදීමක් අවශ්‍ය බව කිව්වත් එය මතවාදී ලෙස ජනතාව තුළට ගෙන යාමේ උත්සාහයක් ඔවුන් තුළින් පෙනෙන්නට නැත.

රටක ව්‍යවස්ථාව වෙනස් කිරීමට බොහෝ දෙනා අකැමැතිය. ජපානයේ වුවද වෙනසක් නැත. ෂින්සෝ අබේ තුනෙන් දෙකක ජයක් ලැබූවද ඊට දවස් තුනකට පසුව සිදුකළ මත සමීක්ෂණයකදී හෙළි වී තිබුණේ ඔවුන්ගේ බහුතරය ව්‍යවස්ථාව වෙනස් කරනවාට විරුද්ධ බවය. තුනෙන් දෙකක බලයක් තිබෙන ශ්‍රී ලංකාවේ රජයද අද මුහුණ දී සිටින්නේ එම තත්ත්වයටමය. එකම වෙනස ෂින්සෝ අබේට තිබෙන ජනප්‍රියත්වය සහ බලය මේ ආණ්ඩුවට නොතිබීමය.

 ශශීන්ද්‍ර

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00