2017 නොවැම්බර් 04 වන සෙනසුරාදා

පාතාලය රජවීම

 2017 නොවැම්බර් 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 145

දකුණේ පාතාලය යළි සක්‍රීය වී තිබේ. ගිනිකන්දක් පුපුරා ගිනිදැල්, ලාවා, අළු විසිරී යන ආකාරය සිහිගන්වමින් තුවක්කු පත්තු වෙයි. මිනී මරාගැනීම් ඇරුඹී තිබේ. රිටර්න් එක වශයෙන් තවත් ගිනිඅවි ක්‍රියාත්මක වී තුවාල කරැවෝ රෝහල් ගත කෙරෙති. ඒ ගිනිඅවිවලින් නිකුත් වන දුමාරය කවදා අවසන් වේ දැයි කිව නොහැක.

පාතාලය කියා හැඳින්වූවාට මේ ගිනිඅවි පත්තුවෙන්නේත් බෝම්බ ගැසීම් සිදුවන්නේත් පොළොව යට නොවේ. මහපොළොව උඩය. මිනීමරන්න පාතාලයන් එන්නෙත් හොර රහසේ නොවේ. අලුත් මෝටර් සයිකල්වලින් හෝ අලුත් මෝටර් රථවලිනි. ඔවුන් අත දරා සිටින්නේත් ගල්කටස් හෝ ඩප්පි කුප්පි නොවේ. තුවක්කු නම් ටී. 56 වර්ගයේ හමුදාව භාවිතා කරන නවීන පන්නයේ ගිනිඅවිය. පිස්තෝලයද බෝම්බද එසේමය. යුද්ධයකදී භාවිතා කෙරෙන වර්ගයේ නවීන වර්ගයේ ඒවාය.

අප මතුපිටින් දකින්නේ පිරිසක් කඩාපැන තවත් පිරිසකට හෝ පුද්ගලයකුට වෙඩි තබා හෝ බෝම්බ ගසා පැනයන සිද්ධියක් පමණි. නමුත් ඒ හා බැඳුණු යටින් දිවෙන ක්‍රියාදාමය එළියට එන්නේ කලාතුරකිනි. මහ දවාලේ වුවත් මහ රෑ වුවත් මිනී මරා පොලීසියට හසු නොවී පළායන ප්‍රබල පාතාල නායකයන් බොහෝ විට කවදාවත් පොලීසියට හසු නොවන බවත් අත්අඩංගුවට ගනු ලබන්නේ ඔවුන්ගේ ගෝලයන් බවත් ප්‍රසිද්ධ රහසකි. බොහෝ විට මේ ගෝලයෝද මාස කිහිපයකින් හෝ වසර දෙක තුනකින් එළියට පැමිණ යළිත් නතර වන්නේ පාතාලය ඇතුළේමය. ඔවුන් යළි පාතාලයට පැමිණීම වළක්වන කිසිම ක්‍රියාමාර්ගයක් නැත. මාංචු පිටින් පිහිනීම පුරුදු කිරීම, සැඟවූ අවි සොයා දීමට යාම, පොලිස් නිලධාරීන්ට පහර දීමට යාම වැනි අවස්ථාවලදී මේ අපරාධකරුවන් එක්කෙනා දෙන්නා අඩුවන නමුත් ඒ අඩුව පුරවන්නට තවත් පිරිස් ඕනෑ තරම් සිටීම හේතුවෙන් පාතාලය කවදාවත් වැසෙන්නේ නැත.

ගමක, නගරයක දෙපිරිසක් අතර හෝ කිහිප දෙනකු නැතහොත් දෙදෙනකු අතර ක්ෂණික කෝපය නිසා හටගන්නා මිනී මැරැම් පාතාල අපරාධ ගණයට වැටෙන්නේ නැත. එසේම අතරින් පතර සිදුවන ගෙවල් බිඳුම්, සොරකම් ද පාතාලයේ අපරාධ නොවේ. නමුත් සංවිධානාත්මකව සිදුවන මිනී මැරුම්, කප්පම් ගැනීම් සහ මහාපරිමාණ සොරකම් කිරීම් පාතාල අණසක යටතේ සිදුවන වැඩය. ඊළඟට සිදුවන්නේ පාතාලය ක්‍රියාත්මක කරන පවුල් අතර බලය ඇල්ලීම සඳහා වන සටනකි. ඒ නිසාම සිදුවන පළිගැනීම් හේතුවෙන් මිනීමරා ගැනීමත් නොනැවතී ඉදිරියට යයි. පසුගියදා කොස්ගොඩ සිදුවූ සිව් මිනීමැරුම එවැනි පළිගැනීමක් බව හෙළිවී තිබේ. මේ ආකාරයේ පළිගැනීම් විසින් මේ වනවිට දකුණේ පවුල් කිහිපයකට අයත් විශාල පිරිසක් බිලිගෙන ඇති බවද පොලීසියෙන් වාර්තා වෙයි. මේ ඇතැමුන් බලවත්, ධනවත් පවුල්වල සාමාජිකයන් බවද සඳහන් වෙයි. සමහරුන් එළියේ වැඩ මෙහෙය වන්නේ සිරගෙදර සිටිමිනි. ඔවුහු එතරම් බලවත් වූවෝය.

පාතාලය ක්‍රියාත්මක වන්නේ කෙසේදැයි වැටහීමකින් තොරව එය මර්දනය කිරීමට යාම නිෂ්ඵල ක්‍රියාවකි. කොස්ගොඩ සිව් මිනීමැරුමේ සැකකරුවන් හඳුනාගැනීම හෝ ඔවුන් අත්අඩංගුවට ගැනීම අවශ්‍ය වුවද ඒ හේතුවෙන් පාතාලයේ වැඩ නතර වන්නේ නැත. අනෙක් අතට පාතාලයේ සැබෑ කෙරුම්කාරයන් පොලීසියට හසුවන්නේ කලාතුරකිනි. එසේ අල්ලා ගත්තත් ඔවුන් ඒ සැණින් මුදාහැරීමට විශාල බලපෑම් එල්ලවන බව අපි අත්දැකීම්වලින්ම දැනසිටිමු. ලංකාව ඇතුළතදී නොව පිටරටකදී වුවද එවැනි බලයක් පාතාල නායකයන්ට තිබේ. ඔවුන්ට රැකවරණ සලසන දේශපාලන බලවතුන් සිටින තාක් පාතාලය යහමින් ක්‍රියාත්මක වීම වළක්වනු නොහැකිය. මේ රටේ දරුණු අපරාධ සිදුකර පිට රටට පැනගෙන සිටින මාතර මධූෂ් නමැත්තා ඉන්දියාවේදී අත්අඩංගුවට ගනු ලැබුවත් ඔහු අද වනතුරු මෙරටට ගෙනඒමට හැකියාව ලැබී නැත්තේ මෙවැනි බලපෑම් හේතුවෙන් බවද කියති. ඔහු එහි සිටියත් මෙරට සිටින ඔහුගේ ගෝලයෝ මිනීමරා ගනිති, කප්පම් කල්ලි මෙහෙයවති. මහා පරිමාණ කුඩු ජාවාරම් කරති. මෙය පොලීසියේ අදක්ෂතාව නිසා සිදුවන දෙයක් නොව දේශපාලන බලය විසින් පොලීසියේ බලය යට කිරීම නිසා සිදුවන්නක් බව වටහා ගැනීම අසීරු නැත.

පාතාලය ක්‍රියාත්මක වීම සඳහා අවශ්‍ය මූලික සාධක දෙකක් තිබේ. එකක් ඔවුන් අතට නවීන පන්නයේ අවිආයුධ ලැබීමය. දෙවැන්න ඒ අවි සැපයීම සහ ඔවුන් ආරක්ෂා කිරීම සඳහා දේශපාලන බලවතුන්ගේ ඉදිරිපත් වීමය. පොලීසිය අසරණ වන්නේ මෙතැනදීය. අවිආයුධ නැත්නම් සහ බලවතුන්ගේ සහාය නැත්නම් පාතාලය කවදාවත් හිස ඔසොවන්නේ නැත. පොලීසිය අතටම අල්ලාගන්නා කෙරුමන් සහ ඔවුන්ගේ ගෝලයන් අතහැරීමට සිදුවන්නේ නැතහොත් ඔවුන් ගැන සියලු තොරතුරු දැනගෙන අහක බලාගෙන ඉන්නට සිදුවන්නේ බලවතුන්ගේ බලපෑම හේතුවෙනි. දේශපාලන බලවතුන් විසින් පාතාලය සුරතල් කරන තාක් මේ ගැටලුව විසඳෙන්නේ නැත. කරැමය නම් සෑම දේශපාලන පක්ෂයකටම පාතාලය කරන අපරාධ පෙනෙන්න පටන් ගන්නේ විපක්ෂයේ සිටියදී වීමය. බලයේ සිටියදී සමහරුන්ට පාතාලයන් පෙනෙන්නේ “අපට උදව් කරන ළමයි” හැටියටය.

පාතාල මර්දනය සඳහා කැපවී දක්ෂ ලෙස මෙහෙයුම් කරන පොලීසියේ නිලධාරීහු සිටිති. ඔවුන්ගේ අතපය ද බැඳ දැමෙන්නේ ඉහත කී කාරණා හේතුවෙනි. පොලීසිය බණ භාවනා ප්‍රගුණ කරමින් සිටින විට අපරාධ වැඩිවීම ගැන කෑගසා පළක් නැත. අනෙක් අතට ඉහළ පොලිස් නිලධාරීන් අහිංසකයන්ගේ කන පලන විටත් ඊටත් ඉහළ පොලිස් ලොක්කන් නොයෙකුත් විෂමාචාර වැඩට නම ගෑවුණු පුද්ගලයන් සමඟ කරට අතදාගෙන ෆේස් බුකිවල සැරිසරණ විටත් පාතාල මර්දනයක් ගැන කතා කිරීමත් විහිළුවක් පමණි.

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00