නිදහස ලැබීමෙන් පසුව මෙරට ව්‍යවස්ථාව අවස්ථා දෙකකදී සම්පූර්ණයෙන්ම වෙනස් විය. තවත් අවස්ථාවකදී හඳුන්වා දෙන ලද 13 වැනි සංශෝධනය එම අවස්ථා දෙකටම වඩා වෙනස් විය. ඊට පසුබිම් හේතු සහ ඒ හා සම්බන්ධව රටේ ඇතිවූ කැරළි කෝලාහල රටේ ගමන් මගේ සුවිශේෂ සළකුණක් වීම ඊට හේතු වී තිබිණි.
සෝල්බරි කොමිෂන් වාර්තා මත පදනම් වෙමින් 1948 දී නිදහස ලබන විට පැවැති ලංකාවේ ව්‍යවස්ථාව මුලින්ම වෙනස් කෙරුණේ 1972 වසරේදීය. 1970 පැවැති මහමැතිවරණයෙන් ඩඩ්ලිගේ යූ.එන්.පී.ය පරදවා සිරිමාවෝ නායකත්වය දුන් ශ්‍රීල.නි.ප. ප්‍රමුඛ සමගි පෙරමුණට තුනෙන් දෙකක බලයක් ලැබීම ව්‍යවස්ථාව වෙනස් කිරීමට මග පෑදුවේය. එහිදී මූලික වශයෙන් ශ්‍රී ලංකා රජය බ්‍රිතාන්‍ය කිරීටය සමඟ සම්බන්ධ කරමින් තිබූ වගන්ති ඉවත් කරනු ලැබූ අතර අධිකරණ පද්ධතිය ද ඒ අනුව වෙනස් විය. පොදු රාජ්‍ය මණ්ඩලීය සාමාජිකත්වය තබා ගනිමින් ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත්වූයේ එම ව්‍යවස්ථාව හරහා නිසා එය ජනරජ ව්‍යවස්ථාව වශයෙන්ද හඳුන්වනු ලැබිණි. එම ව්‍යවස්ථාව හඳුන්වා දුන් සිරිමාවෝගේ රජය 1977 දී පැවැති මහ මැතිවරණයෙන් පරාජය විය.
එම පරාජයට හේතුවූයේ ජනරජ ව්‍යවස්ථාව නොව එම ව්‍යවස්ථාව හඳුන්වාදීම ආවරණයක් හැටියට යොදා ගනිමින් නියමිත කාලයට වඩා අවුරුදු දෙකක් වැඩිපුර රජය පවත්වාගෙන යෑමත් රටේ ජනතාවගේ පොදු ප්‍රශ්න කෙරෙහි කිසිදු ආකාරයක සැලකිල්ලක් නොදැක්වීම හේතුවෙන් රටේ ප්‍රශ්න ගොඩගැසීමත් බව පොදු පිළිගැනීම විය. ආහාර අහේනිය, දැරිය නොහැකි බඩු මිල, හාල් පොලු, මිරිස් පොලු සහ සතියට දින දෙකක් බත් කෑම තහනම් කිරීම සහ පිටරටින් ගෙන්විය යුතු බෙහෙත් ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පවා වෙළඳපොළේ හිඟවීම එම පරාජයට පසුබිම සපයා තිබිණි.
ජේ.ආර්.ගේ රජය බලයට පත්වීමෙන් පසුව ආර්ථික ප්‍රතිපත්ති ලිහිල් කොට විවෘත ආර්ථිකය හරහා ලෝකයට රට නිරාවරණය කිරීමත් ආහාර ද්‍රව්‍ය සුලබ කිරීමත් කර්මාන්ත ඇතිකර රැකියා සැපයීමත් හේතුවෙන් රට විශාල පරිවර්තනයකට ලක්විය. මේ පරිවර්තන යුගය ජේ.ආර්. තමන්ගේ අභිමතය පරිදි ව්‍යවස්ථාව වෙනස් කිරීමට යොදා ගත්තේය. හයෙන් පහක බලයේ උණුසුම එහෙමම තිබියදීම ජනතාවගේ අතමිට මුදල් ගැවසෙන, රට රැකියාවලට දොර ඇරුණු නිදහස් වෙළෙඳ කලාපය හරහා රැකියා සුලබ වූ “මධුසමය” ව්‍යවස්ථාව වෙනස් කිරීමට යොදවා ගැනීමට තරම් ජේ.ආර්. සූක්ෂම විය. ඔහු ජනරජ ව්‍යවස්ථාවේ කොටස් මුළුමනින්ම වෙනස් කරන්න ගියේ නැත. තමන්ගේ ගණන් බැලීමට අනුව යූ.ඇන්.පී.ය හැමදා ආණ්ඩු බලයේ තබා ගැනීමට අවශ්‍ය කරන මැතිවරණ ක්‍රමයක්ද යකඩ හස්තයකින් පාර්ලිමේන්තුව ඇතුළු මුළු රටම පාලනය කළහැකි වන පරිදි විධායක බලතල ඇතුළත් ජනාධිපති ක්‍රමයක්ද ජේ.ආර්. සාර්ථකව ගොඩ දා ගත්තේය. එයට එරෙහිව නැගුණු හඬ ආණ්ඩුවේ බලය හමුවේ හීන් කෙඳිරියක් පමණක් විය. ජේ.ආර්. පාරම්බෑවේ ගැහැනියක් මිනිසකු කිරීමට සහ මිනිසකු ගැහැනියක් කිරීමට පමණක් එම ව්‍යවස්ථාවට කළ නොහැකි බවය.
සිරිමාවෝ හා ජේ.ආර්. දෙදෙනාටම ව්‍යස්ථාව වෙනස් කිරීම සඳහා ජනතාවගේ බලය තිබූ බව සැබෑය. තමන්ට ලැබුණු පාලන කාලයේ මධුසමය තුළදීම ව්‍යස්ථාව ගොඩ දා ගැනීම මේ නායකයන් දෙදෙනාගේම අභිප්‍රාය වූ බවත් පැහැදිලිය. එම අවස්ථා දෙකේදීම ඡන්ද ප්‍රකාශනවල මෙවැනි වෙනස්කම් සිදුකරන බව සඳහන් වී තිබිණි. 71 දී ජ.වි.පෙ. කැරුල්ලට මුහුණදීමට සිරිමාවෝ රජයට සිදු නොවන්නට ඔවුන් ව්‍යවස්ථාව වෙනස් කිරීමට 72 වනතුරැවත් නොසිටින බව සහතිකය. නමුත් මේ නායකයන් දෙදෙනාම ව්‍යස්ථාව සැකසීමේදී උතුරේ දේශපාලන නායකයාගේ අදහස්වලට කන් දුන්නේ ඉතාම අඩුවෙන් බව කැපී පෙනුණේය. ජනරජ ව්‍යවස්ථාව හඳුන්වාදීමේදී චෙල්වනායගම්ලාගේ උග්‍ර ජාතිවාදී අදහස් වශයෙන් සැලකුණ යෝජනාවලටත් විධායක ජනාධිපති ක්‍රමය හඳුන්වා දුන් අවස්ථාවේ මෝරමින් තිබූ උතුරේ තරුණයන්ගේ දැඩි අන්තවාදී අදහස් ඉදිරිපත් කළ අමිර්තලිංගම්ලාටත් ව්‍යස්ථා සැකසීමේ කාර්යභාරයේදී තැනක් නොතිබිණි. එය ඓතිහාසික අත්වැරැද්දක් වූ බව පසුකාලයකදී ඇතැම් දේශපාලන විචාරකයන්ගේ මතය වී තිබිණි.
කෙසේ වුවද සිරිමාවෝගේ ජනරජ ව්‍යවස්ථාව නම් ලොකු ගැටලුවකට මුහුණ නොදුන් නමුත් ජේ.ආර්.ගේ විධායක ජනාධිපති ව්‍යවස්ථා නම් 1987 දී ලොකු “ටෙස්ට්” එකකට මුහුණ දුන්නේය. ඒ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය හඳුන්වා දුන් අවස්ථාවයි. ගැහැනියක් පිරිමියකු කිරීම පමණක් කළ නොහැකි යැයි කී ව්‍යවස්ථාව අවලංගු කාසියක් බවට පත්වී තිබිණි. රජීව් ගාන්ධි ලංකාවට ඇවිත් බලෙන්ම ගිවිසුම ගැහැව්වේ 13 වැනි ව්‍යවස්ථාව බලාත්මක කරමිනි. හයෙන් පහක් බලයක් තිබූ ජේ.ආර්. ගිවිසුමේ නිකම් අත්සන් කරුවෙක් පමණක් විය.
13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඊට පෙර සිදු කෙරුණු ව්‍යවස්ථා සංශෝධන දෙකටම වඩා හැරවුම් ලක්ෂයක් විය. හේතුව එය රටම ගිනි ඇවිල වූ සංශෝධනයක් වීමයි. ඊට විරුද්ධව පිටකොටුවේ බෝධිය අසළ උපවාස, උද්ඝෝෂණ සංවිධානය කළේ එවකට විපක්ෂයේ බලවත්ම පක්ෂය වූ ශ්‍රීල.නි.ප.යයි. මහින්ද රාජපක්ෂ මහතා එදා එම සටනේ ලොකු බලකණුවක් විය. ඔවුන් කෑ ගසා කියා සිටියේ මේ 13 වැනි ව්‍යවස්ථාව හරහා රට බෙදෙන බවය. උතුරැ නැගෙනහිර වෙනම රාජ්‍යයක් බිහිවන බවය. ලංකාව ඉන්දියාවේ කොලණියක් බවට පත්වනු ඇතැයි කියාය. සිංහල භාෂාවත්, සම්බුද්ධ ශාසනයත් බරපතළ විනාශයකට තල්ලු කර ඇති බවය.
මේ සියලු සටන්පාඨ වලට එදා ලොකු ඉල්ලුමක් තිබිණි. කැලෑවැදී ප්‍රචණ්ඩ දේශපාලනයක යෙදෙමින් සිටි ජ.වි.පෙ. ඒ වනවිට දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය නම් සංවිධානය ඉදිරියට දමාගෙන එම සටන් පාඨවලට පණ පෙව්වේය. කොළඹ බිත්තිවල, තාප්පවල ජේ.ආර්. මරමු යැයි කියන තරමට භීෂණය දැඩි විය. ඒ සියල්ල සිදුවූයේ ජේ.ආර්.ගේ මහ බලවත් විධායක ජනාධිපති ව්‍යවස්ථාවේ සියලු බලතල අතේ තිබියදී වීම දේශපාලන සරදමක් විය.
13 වැනි ව්‍යවස්ථාව යටතේ රට කැඩෙන බව කියමින් එදා පිටකොටුවේදී කෑගැසූ මහින්ද අදත් පාර්ලිමේන්තුවේ කියන්නේත් නව ව්‍යවස්ථා කෙටුම්පත යටතේ රට කෑලිවලට කැඩෙන බවය. 13 වැනි සංශෝධනය බලාත්මක වී දැන් වසර 30ක් ඉක්මගොස් අවසන්ය. එහෙත් රට කැඩුණේ නැත. උතුරු නැගෙනහිර වෙනම රාජ්‍යයක් බිහිවූයේත් නැත. සිංහල භාෂාවත්, බුදුදහමත් තිබුණාටත් වඩා පෝෂණය වී සිය මුල් ස්ථාන රැකගෙන සිටී. දෙමළ භාෂාවද රජයේ නිල භාෂාවක් කළවිට සිංහල භාෂාව නැති වී යනු ඇතැයි එදා කෑ ගැසුවත් සිංහල භාෂාවට කිසිදු හානියක් වී නැත. ව්‍යවස්ථා සංශෝධන හේතුවෙන් තවදුරටත් ශ්‍රී ලංකාව ඒකීය රටක් වශයෙන් නොපතිනු ඇතැයි එදා කෑ ගැසුවත් රටේ ඒකීයභාවයට තවමත් හානියක් වී නැත. එහෙත් 13 වැනි සංශෝධනය තවම ක්‍රියාත්මකය.
87 කතා එසේ වුවද අද අගමැති රනිල් පවසන්නේ නව ව්‍යවස්ථා කෙටුම්පතින් පසුව ඉදිරිපත් කෙරෙන නව යෝජනා තුළින්ද රටේ ඒකීය බව සුරක්ෂිත වී ඇති බවය. රටේ ඒකීයභාවය වෙනස් වෙන කිසිදු සංශෝධනයකට තමන් ඉඩ නොදෙන බව ජනාධිපති මෛත්‍රීපාලද පවසයි. ඒකීය රටක් තුළ නොබෙදුණු රටක් තුළ බලය බෙදීමක් තමන්ට අවශ්‍ය බව දෙමළ ජාතික පෙරමුණේ නායක සම්පන්දන් කියයි. රටේ ව්‍යවස්ථා සංශෝධන ඉතිහාසයේ මේ අවස්ථාව වෙනම පරිච්ඡේදයක් විය හැකි බව මේ කතා තුනෙන්ද ඊට එකහෙළා විරුද්ධ වන පාර්ශ්වයට නායකත්වය දෙන මහින්දගේ අදහස් දැක්වීම්වලින්ද වටහා ගත හැකිය. ජවිපෙ පමණක් එදාට වඩා මධ්‍යස්ථ ස්ථාවරයකට පැමිණ සිටින බව පෙනේ. රටේ ඒකීය භාවයටත් බුද්ධාගමේ ප්‍රමුඛත්වයටත් හානි සිදු නොවන ව්‍යවස්ථා සංශෝධනයකට තමන් විරුද්ධ නොවන බව ඔවුන්ගේ අදහස බව පෙනේ.
රට කඩන ව්‍යවස්ථාවට අත උස්සන සියලු දෙනා දේශද්‍රෝහීන් බවත් ඔවුන්ට මරණය හිමිවිය යුතු බවත් 87 දී පැවසුවේ ජවිපෙ කාබන් කොපිය වූ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයයි. රට කඩන ව්‍යවස්ථාවට අත උස්සන සියලු දෙනා දේශද්‍රෝහීන් බවත් ඔවුන් මරාදැමිය යුතු බවත් අද කියන්නේ මහින්ද රාජපක්ෂලාගේ කඳවුරේ වේදිකාවල ඔහු ඉදිරිපිට සිටිමින් කතාකරන හිටපු හමුදා නිලධාරීන්ය. එදා දේශප්‍රේමීන් සැඟවී සිටිමින් ද්‍රෝහීන් මරාදැමිය යුතු යැයි කියන විට අද ද්‍රෝහීන් මරාදැමිය යුතුයි “දේශප්‍රේමීන්” කියන්නේ එළිපිටමය. කාලය ඇතිකළ වෙනසක මහත මේ යැයි කියනු හැර වෙනත් කිවයුතු දෙයක් නැත.
මහින්ද රාජපක්ෂ පසුගිය බ්‍රහස්පතින්දා (02) ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ විශේෂ පාර්ලිමේන්තු සැසිවාරයට සම්බන්ධ වෙමින් දීර්ඝ කතාවක් කළේය. ඔහු නායකත්වය දෙන පාර්ශ්වයේ සියලු අදහස් එමගින් සම්පිණ්ඩනය කර තිබූ බව පෙනෙන්නට තිබිණි. ඔහුගේ කතාවේ කොටස් කිහිපයක උපුටා ගැනීම් මෙසේය.
“මේ ව්‍යවස්ථා යෝජනා සාධාරණීකරණය කරන්න මේ ගොල්ලො කියනවා මම මගේ 2015 ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අලුත් ව්‍යවස්ථාවක් ගැන සඳහන් කරලා තිබුණා කියලා. ඔව් තිබුණා තමයි. නමුත් මෙතන තියෙන ප්‍රශ්නය රට බෙදන ව්‍යවස්ථාවක් ගෙන එන එකයි. 2015 ජනාධිපතිවරණයේදීවත් පාර්ලිමේන්තු මැතිවරණයේදීවත් සම්පූර්ණයෙන්ම අලුත් ව්‍යවස්ථාවක් ගෙන එන්න කිසිවකුටත් වරමක් ලැබුණෙ නැහැ.”
“මේ ඉදිරිපත් කර ඇති යෝජනාවලට අනුව මේ ආකාරයට පළාත් ඒකකවලට බලය පැවරුවාට පස්සේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලයකින් හා ජනමත විචාරණයකින්වත් ඒ බලතල ආපසු පවරා ගන්න බැරිවෙන ආකාරයට විධිවිධාන සම්පාදන කිරීමට යෝජනා වෙලා තියෙනවා.”
“උතුරේ දේශපාලනඥයන්ට බලය බෙදීම කියන සංකල්පයෙන් ප්‍රයෝජනයක් තිබුණත් අනෙක් සියලුම ජනවාර්ගික හා ආගමික පදනමක් ඇති දේශපාලන පක්ෂවලට එයින් ඇතිවන්නේ අගතියක් පමණයි. මේ යෝජනා කර තියෙන හැටියට උතුරු-නැගෙනහිර පළාත් දෙක තනි පළාතක් හැටියට සැලකීමේ යෝජනාවට මුස්ලිම් ප්‍රජාවට එකඟවෙන්න පුළුවන්ද?
මහින්ද තම කතාවේදී ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේ බලය බෙදීමේ යෝජනා අතහැර පසුගිය ජනපතිවරණයේදී ලබාදුන් ව්‍යවස්ථාමය ප්‍රතිඥා දෙක පමණක් ක්‍රියාත්මක කරන ලෙසටය.
මහින්ද 1987 දී රට දෙකට කරන ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන එන බව කියා පාරට බැස උද්ඝෝෂණය කළේය. 2005 ජනාධිපතිවරණයේදී 13 පමණක් නොව 13+ (තර්ටීන් ප්ලස්) දීමට වුවත් සූදානම් යැයි කිව්වේය. දැන් කියන්නේ බලය බෙදීමේ යෝජනා අතහරින ලෙසටය. හැබැයි මෙහෙම කියන්න වෙනත් කිසිම දේශපාලන නායකයකුට වඩා මහින්දට අයිතියක් තිබේ. ඒ ඔහු අන් සියලු නායකයන්ට කළ නොහැකි වූ ප්‍රභාකරන්ගේ ම්ලේච්ඡ ත්‍රස්තවාදී යුද්ධය අවසන් කිරීමට නායකත්වය ලබාදීම හේතුවෙනි. ඒ අර්ථයෙන් මේ රටේ බලය බෙදීමෙන් උතුරේ ගැටලුව විසඳා ගැනීමේ ස්වර්ණමය අවස්ථාව තිබුණේ මහින්දටය. එහෙත් ඔහු බලය බෙදීමට වඩා බලය බදා ගැනීමට නැඹුරු විය. 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය එම ක්‍රියාවේ අග්‍රඵලය විය.
මේ අනුව බලන විට රටේ ව්‍යවස්ථාව වෙනස් කිරීමට අදාළ යෝජනා ගෙන ඒම සම්බන්ධයෙන් වඩාත්ම අවාසිදායක පරිසරයක සිටින්නේ වත්මන් ආණ්ඩුවය. “මධුසමය” අවසන් වී දික්කසාදයටද ආසන්නව සිටින ආණ්ඩුව බලයට පත්වූ අවස්ථාවේ තිබූ ජනප්‍රියත්වය දැන් නැත. ඊට මූලික වූ හේතු අතර බැඳුම්කර වංචාව, ආර්ථිකය බින්දුවට වැටීම, උග්‍ර ජීවන වියදම පමණක් නොව අත ගගා සිටින ප්‍රශ්න හේතුවෙන් රටේ අවිනිශ්චිතභාවයක් පැන නැගීමද වෙයි. මහින්දට හැමදාම තිබූ මහා සංඝරත්නයේ ආශීර්වාදය සංසන්දනාත්මකව මේ ආණ්ඩුවට අඩුය. එවැනි ආශීර්වාදයක් නැතිව රටේ අනාගතයට ඍජුවම බලපාන ව්‍යවස්ථාව සංශෝධනය කිරීම වැනි භාරදූර කාර්යයක් ගොඩදා ගැනීමට හැකියාවක් නැත. මේ යථාර්ථය ආණ්ඩුව අවබෝධ කරගෙන නැති බව පැහැදිලිය.
එයට අමතරව ආණ්ඩුව තමන් කරන කියන දේ පිළිබඳව මහජනතාව දැනුම්වත් කිරීම අතින් ඉන්නේ ඉතාම දුර්වල තැනකය. එම අඩුපාඩුව ආණ්ඩුවේ මුල පටන්ම තිබුණි. ව්‍යවස්ථා සංශෝධන අවස්ථාවේදී එය බරපතළ බාධාවක් වී තිබේ. මේ සියලු ගැටලු අර්බුද බවට පත්වීමටද එය හේතුවකි.
මේ පසුබිමේ ව්‍යවස්ථා කෙටුම්පත රජය ඇතුළත අර්බුදයක් වන තරමට ලකුණු පහළවෙමින් තිබේ. එය ^72 ජනරජ ව්‍යවස්ථාව, 78 විධායක ජනාධිපති ව්‍යවස්ථාව, 87 13 වැනි සංශෝධනය යන අවස්ථා තුනටම වඩා වෙනස් මගක් ගන්නා බව පෙනේ. 87 කියූ දේ 2017 දී මෙනෙහි කරන ආකාරයටම තව අවුරැදු කීයකින් 2017 ගැන මෙනෙහි කරන්න සිදුවනු ඇතිදැයි කියන්න දන්නේ නැත.
ශශීන්ද්‍ර