ඇමැතිගෙ ඡන්ද බෝලෙ
දවසින් දවස කල් යමින් තිබෙන පළාත් පාලන ඡන්දය පැවැත්වීමට එකම බාධාව වශයෙන් අවසානයේ සැලකුණු තේරී පත්වන සභිකයන් සංඛ්‍යාව සඳහන් ගැසට් පත්‍රයට විෂයභාර ඇමැති ෆයිසර් මුස්තාපා මහතා පසුගිය 1 වැනිදා අත්සන් තැබීය. එම අත්සන් තැබීමෙන් පසුව ඡන්දය ස්ථීරවම පැවැත්වෙන්නේදැයි ඇමැතිවරයාගෙන් මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයට පිළිතුරු වූයේ “මගේ වගකීම මෙතැනින් අවසානයි.... දැන් පිච් එක රෙඩි. මැච් එක ගහන්න පුළුවන්.... බෝල බැට් අරගෙන...” යනාදී වශයෙනි. එක තැනක ඔහු සඳහන් කළේ බෝල අත ගගා ඉන්න මට පුරුද්දක් නැහැ කියාය. ඔහු කිව්වේ මැතිවරණ දිනය ප්‍රකාශ කිරීම කොමිසමේ වැඩක් බවය.
හැබැයි ඡන්දය හරියටම පැවැත්වේද යන ප්‍රශ්නයට ඍජු පිළිතුරක් ඔහුගෙන් නොලැබිණි. නමුත් ඔහුගේ බෝල කතාවටත් ඡන්ද දිනය ගැන කොමිසම කියන කතාවලටත් නොයෙක් උපමා උපහැරණ දිග හැරෙමින් තිබේ. එක් දේශපාලන විචාරකයෙක් කියා තිබුණේ පසුගිය දෙවසරේ මැතිවරණ කොමිසම ඡන්දය පැවැත්වෙන දිනය පිළිබඳ කියූ අනාවැකිත් අපේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළ අනාවැකිත් අතර වෙනසක් නැති බවය. ඒ දෙකම වැරදුණු බවය.
ඇමැතිවරයාගේ බෝල කතාවට තව අයෙක් කියා තිබුණේ මැතිවරණ යනු බෝල ක්‍රීඩාවක් නම් එහි බෝලය ප්‍රජාතන්ත්‍රවාදය බවය. ඒ කියන්නේ ඔක්කොම උඩ පැන පැන බැටදෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය නම් බෝලයට බවය. ඔහු තවදුරටත් කියා තිබුණේ හරියටම ඡන්දය තියන බව නිසැකවම බලාගත හැකි වන්නේ බජට් එකෙන් පමණක් බවයි.
බැසිල්ගේ ඡන්ද විහිළු
පුංචි ඡන්දයට පෙර සූදානමක් වශයෙන් මැතිවරණ කොමිසම පසුගිය සතියේ පක්ෂ නියෝජිතයන් හමුවිය. අලුත් ක්‍රමය යටතේ ඡන්දය පැවැත්වීම පැහැදිලි කිරීම එම රැස්වීමේ අරමුණ වී තිබිණි. පක්ෂවල අදහස් කොමිසමට ලබාගැනීම තවත් අරමුණක් විය.
මේ සාකච්ඡාවේදී බැසිල් රාජපක්ෂ දිගින් දිගටම ප්‍රශ්න නැගීම මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රියගේ අවධානයට ලක්විය. මල් පොහොට්ටු සලකුණු යටතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් බැසිල් මේ රුස්වීමේදී ප්‍රශ්න ගණනාවක් අසද්දී “ඔබට මෙතරම් ප්‍රශ්න තිබෙන එක ගැන මට නම් පුදුමයි.” යනුවෙන් සභාපති දේශප්‍රිය පැවැසුවේය.
“මගේ පක්ෂය අලුත්. ඡන්ද ක්‍රම ගැන කිසිම අවබෝධයක් නෑ. අලුත් පක්ෂයක් හැටියට අපිට වැඩිපුර දැනගන්න ඕනෑ.” බැසිල්ගේ පිළිතුර විය.
ඒ පිළිතුර ඇසුණ වහාම මහින්ද දේශප්‍රියට සිනා පහළ විය. අද දවසේ අහපු ලොකුම විහිළුව ඕකයි කියූ ඔහු මෙසේද කිව්වේය.
“මම දන්නවා ඔබ ඉහළම පෙළේ පරිගණක පද්ධතියක් යොදාගෙන අරලිය ගහ මන්දිරයේ ඉඳල ඡන්ද යාන්ත්‍රණය මෙහෙයවපු හැටි. ඡන්ද කරන හැටි දන්නෙ නැහැ කියලා ඔබ කියනවා නම් ඒක මට මහ විහිළුවක්.”
- ඩේලි මිරර්
රටට ආගමට හානියක් වුණොත් කථානායක වෙඩි තබාගන්නවලු
නව ව්‍යවස්ථා කෙටුම්පත රට තුළ විශාල කතිකාවක් ඇතිකර තිබේ. මේ හේතුවෙන් කථානායක කරැ ජයසූරිය මහතාගේ දුරකථනයටද විවේකයක් නැතිව ගොස් තිබේ. බොදු සංවිධානවලින්ද මහ සඟරුවනින්ද යෝජිත ව්‍යවස්ථා සංශෝධන පිළිබඳ විමසමින් ලැබෙන දුරකථන ඇමැතුම් ප්‍රමාණය අධික වීම ඊට හේතුවය.
මීට කලින් සතියේ සිකුරාදා දහවල් වනවිට එවැනි ඇමතුම් 32ක් ඔහුට ලැබී තිබිණි. ඔහු ඇමැතූ භික්ෂූන් වහන්සේලා ප්‍රකාශ කර තිබුණේ රටත් බුදුදහමත් ආරක්ෂා කර ගැනීම සඳහා ඉදිරිපත් විය යුතු බවය. ඔහුගේ පිළිතුර වී තිබුණේ රටට හෝ කිසිදු ආගමක සාමාජිකයකුට හෝ හානියක් සිදුවිය හැකි කිසිවකට තමන් ඉඩ නොතබන බවය. එසේ සිදුවුවහොත් පිස්තෝලයක් ගෙන තමාටම වෙඩි තබාගන්නා බවද ඔහු ප්‍රකාශ කර තිබිණි.
- සන්ඩේ ටයිම්ස්