කොළඹ චීන මංගල්‍යය
• කොළඹ පෝට් සිටිය, හම්බන්තොට වරාය වැනි දැවැන්ත ආයෝජන හරහා චීනය ශ්‍රී ලංකා ආර්ථිකයේ වැදගත් කොටස්කරුවකු බවට පත්ව සිටී. ඩොලර් බිලියන ගණන් ආයෝජන පමණක් නොව කොළඹ නගරයට චීනයෙන් පෙරළා සෙනෙහස දක්වන අවස්ථා ද දැන් උද්ගත වෙමින් තිබේ. ඉන් එක් අවස්ථාවක් ලබන දෙසැම්බර් 17 වැනිදා කොළඹ නිදහස් පිටියේ දී ක්‍රියාත්මක වෙයි. ඒ චීන ජාතිකයන් 150 දෙනකුගේ විවාහ මංගල උත්සවයකි.
මේ මහා චීන - කොළඹ විවාහ මංගලෝත්සවය සඳහා මනාලයන් සහ මනාලියන් තෝරාගැනීමට කොළඹ චීන තානාපති කාර්යාලය දැන් කටයුතු කරමින් සිටී. ඉතා සුන්දර, මනස්කාන්ත වටපිටාවක් යටතේ පැවැත්වෙන මෙම මහා මංගල්‍යයේ ප්‍රධාන අමුත්තා වශයෙන් සහභාගි වන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාය. විවාහ සහතික බෙදාදීම සිදුවන්නේ ජනාධිපතිවරයා අතිනි.
විවාහාභිෂේක ලබන මනාලයන් සහ මනාලියෝ ඉන් පසුව බත්තරමුල්ල වෝටර්ස් එජ්හි රාත්‍රී භෝජන සංග්‍රහයකට සහභාගි වෙති. ඊළඟ දිනයේ කාණ්ඩ තුනකට බෙදී යාල, සීගිරිය සහ මහනුවර සංචාරය කිරීමට ඔවුන් පිටත්ව යාමට නියමිතය.
මේ කාර්යය සංවිධානය කිරීමේ වගකීම මහ නගර සහ බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍යාංශයටත්, බීජිංහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට සහ සංචාරක අධිකාරියටත් පැවරී තිබේ.
I සන්ඩේ ටයිම්ස්
ගෝඩ් ෆාදර් එක්ක හිටි ලොක්කා
• පාතාලයේ ගෝඩ් ෆාදර් කෙනකු වශයෙන් ඇතැමුන් හඳුන්වනු ලබන කැරෝකේ අධිරාජ්‍යයක් ගොඩනගාගෙන සිටින ව්‍යාපාරිකයකු මීට කිහිපයකට උඩදී තරු හෝටලයක දී පොලීසියේ ඉහළම ලොක්කකු හමු වී තිබිණි.
සාමාන්‍ය ඇඳුමින් සැරසී සිටි පොලිස් ලොක්කා අසලම සිටිමින් ඡායාරූපයට පෙනී සිටීමට “ව්‍යාපාරිකයා” වගබලාගෙන තිබිණි. එය භාවනා කිරීමට නුසුදුසු රාත්‍රී කාලය වූ බැවින්දෝ පොලිස් ලොක්කා රතු වයින් වලින් සප්පායම් වෙමින් සිටිය දී කැරෝකේ රජු ඔහු සමඟ ඡායාරූප ගතවිය. ඔහුගේ ෆේස් බුකියේ ඉන් ඡායාරූප තුනක් පළ වී තිබුණු අතර තමන් පොලිස් ලොක්කා වසර 20 ක් තිස්සේ හඳුනන බවද සඳහන් විය.
මේ ඡායාරූප කාකි සූට් දේහධාරීන් අතරේ ප්‍රචාර වෙත්ම ඡායාරෑප ෆේස් බුකියෙන් අතුරුදන් විය. නමුත් ඒ වන විටද බොහෝ දෙනා එය කොපි කරගෙන තිබිණි.
මීට කලකට පෙර පොලීසියේ ඉහළම ලොක්කෙක් කුඩු ජාවාරම්කරැවකු සමඟ ඡායාරෑප ගත විය. මේ ඡායාරූප සංසරණය වෙද්දී පොලිස් ලොක්කාට තනතුර හැරයාමට සිදු විය... මේ අය කවදාවත් පාඩම් ඉගෙන නොගන්නේද?
I සන්ඩේ ටයිම්ස්
ද්විත්ව පුරවැසි හබය
• ගීතා කුමාරසිංහට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමි වූයේ ද්විත්ව පුරවැසිභාවය හේතුවෙනි. ඒ සමඟ දේශපාලන කරළියේ කතාබහට ලක් වූයේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දේශපාලන ප්‍රවේශය වැළැක්වීමට මෙය හේතුවක් විය හැකි බවය. ඔහු කියා තිබුණේ තමන් දේශපාලනයට පැමිණීමට අදහස් නොකරන නමුත් ජනතාවගෙන් ඉල්ලීමක් කෙරුණොත් ඒ සම්බන්ධයෙන් සලකා බලන බවය. ඒ අවස්ථාවේ දී තමන් දරන අමෙරිකානු පුරවැසිභාවය අත්හළ හැකි බවත් කොළඹ අමෙරිකානු තානාපති කාර්යාලයට ගොස් අයැදුම්පත ඇතුළු අවශ්‍ය පෝරම පුරවා දී සති දෙකකින් එම පුරවැසිභාවය අත්හළ හැකි බවත් ඔහු සඳහන් කර තිබිණි.
එහෙත් අමෙරිකාවේ පමණක් නොව ලොවේ බලවත් කිසිම රටක පුරවැසිභාවය එසේ අතහැරිය නොහැක. ඒ සඳහා ගතවන කාලය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වීම නිසා ඇතැම් විට ඊට වසර ගණනාවක්ම ගත විය හැකිය.
කෙසේ වුවත් අමෙරිකාවේ කැමැත්ත ගෝඨාභය ශ්‍රී ලංකාවේ ඉහළම පුරවැසියා වනු දැකීම නම් සති දෙකින් වැඩේ හරිය. නමුත් එසේ නොවන්නේ නම් ගෝඨාභයගේ එම අයැදුම්පත අමෙරිකානු අධිකරණයේත් මානව හිමිකම් කොමිසම ඇතුළු ආයතනවලත් නැවතීමට ඉඩ තිබේ.
- සන්ඩේ ටයිම්ස්