2017 නොවැම්බර් 18 වන සෙනසුරාදා

අැලා්ෙසියස්ට ටෙලිෆා්ෙන් කරපු මන්ත්‍රීලා කා්ෙප් කමිටුවෙන් යන්න ඕන

 2017 නොවැම්බර් 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 223

හම්බන්තොට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ

ආණ්ඩුවට අද රාජපක්ෂවරු අමතක කරන්න බැරිවෙලා 
රාජපක්ෂලා යාළුවන්ට බැංකු සුද්ද කරන්න දුන්නෙ නැහැ 
අගමැතිතුමාගෙන් වැඩ අරගෙන එතුමාට දොස්කීම වැරදියි 
පළිගැනීම් හමුවේ පක්ෂය පාවලා දීලා නෑ 
අපි ඡන්දෙට එන්නේ පුළුල් සන්ධානයකින්
හෙට මෛත්‍රීපාල මහත්තයා එජාපය අතහැරියොත් අපට ආණ්ඩුවක් හදන්න පුළුවන්

 

එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කරපු අය පොහොට්ටුවට හේත්තුවෙලා. මේ නිසා ශ්‍රීලනිපය දෙකට කැඩිලා. මේ වෙන්නේ රාජපක්ෂලාගේ ගේම් එකක් නේද? 

මේ තීන්දුව ගත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්න විරුද්ධ පක්ෂ කණ්ඩායම. ඒකමතික තීන්දුවක් ගත්තා. ඒ වගේම ගමේ පහළ නායකත්වයත් ඒ වෙනකොට තීරණයක් අරගෙන තිබ්බේ. මොකද ඒ අය තමයි ආණ්ඩුව නිසා වැඩියෙන් බැටකෑවේ. ඒ නිසා අපිට කිසිසේත් එජාපය සමඟ දේශපාලන ගමනක් යන්න බෑ. එහෙම වුණොත් ශක්තිමත් විපක්ෂයක් බිහිවෙන්නේ නෑ. මොකද ඒ විපක්ෂය දෙමළ ජාතික සන්ධානයෙන්වත්, ජනතා විමුක්ති පෙරමුණෙන්වත් ඉටුවෙන්නේ නෑ.

රාජපක්ෂවරු කියන්නේ ශ්‍රීලනිපයේ හිමිකරුවෝ වගේ හිටිය පිරිසක්. ඒ අයගේ හෘද සාක්ෂියට අනුව පුළුවන්ද වෙනත් පක්ෂයක හිටගන්න?

අපි කිසිසේත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැර ගිහිල්ලා නෑ. ඒත් පුළුල් සංධානයකින් මැතිවරණයට ඉදිරිපත් වෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැම මැතිවරණයකදීම පුළුල් සන්ධානයකින් තමයි ඉදිරිපත් වෙන්නේ. අපි ඇත්තටම ශ්‍රීලනිපයේ ප්‍රතිපත්ති ආරක්ෂා කරන කණ්ඩායම. ශ්‍රීලනිපය ගැන කලකිරෙන්න ඕන වර්තමාන නායකත්වය ඇතුළු එම පක්ෂයේ ඉන්න කට්ටිය. මොකද ඒ අය අමු අමුවේ ශ්‍රීලනිප ප්‍රතිපත්ති එජාපයට පාවාදීලා තියෙනවා. අපි කරන්නේ බණ්ඩාරනායක මහත්තයලා ඩී.ඒ. රාජපක්ෂ මහත්වරු කරපු දේශපාලනය.

මෛත්‍රිපාල සිරිසේන මහත්තයා ශ්‍රීලනිප මහලේකම් කරන්න වැඩකරපු කෙනෙක් තමයි ඔබේ පියා. එදා ඔබේ පියාට හොඳවුණු මෛත්‍රී අද කොහොමද වැඩක් නැතිවෙන්නේ?

අපිට මෙතන පුද්ගලයෝ පදනම් වෙච්ච ගැටලුවක් නෑ. අපේ ගැටලුව තියෙන්නේ ප්‍රතිපත්තිමය ප්‍රශ්නයක්. ඒක මෛත්‍රීපාල ජනාධිපතිතුමාවත්, චන්ද්‍රිකා කුමාරණතුංග මැතිනියවත් නෙමෙයි ප්‍රශ්නය. ඒත් මහින්ද රාජපක්ෂ මහත්තයා මෙතෙක් කල් දේශපාලනය කළේ ශ්‍රීලනිප ප්‍රතිපත්තියට අනුව. අපි පක්ෂයට විරුද්ධව ගිහින් නෑ. අපිට ප්‍රතිපත්තියක් තියෙනවා. මහින්ද රාජපක්ෂ මහත්තයට ඒ නිසා මෛත්‍රිපාල ජනාධිපතිතුමා එක්ක ප්‍රශ්නයක් නෑ. ඒත් එතුමාට තියෙනවද දන්නේ නෑ හැබැයි ප්‍රතිපත්තිමය ගැටලුවක්.

පිටින් බලන කෙනෙකුට හිතෙන්න පුළුවන් නේද රාජපක්ෂලාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වෙනකොට ඒ නිසයි මේ විරුද්ධකම් පෙන්නන්නේ කියලා?

අපි කවදාවත් පළිගැනීම් හමුවේ පක්ෂය පාවලා දීලා නෑ. එදත් මහින්ද රාජපක්ෂ මහත්තයාගෙන් පළිගන්නකොට ඔහු පක්ෂයේ හිටියේ. මොකද ඒ ප්‍රතිපත්තිය නිසා. හැබැයි ප්‍රතිපත්ති පාවලා දෙනවා නම් ඒ ප්‍රතිපත්ති රකින්න අමතක කරන්නෙත් නෑ.

ඔබ හිතන්නේ නැද්ද මේ පක්ෂ දෙක ඉදිරියේදීවත් එකතුවෙන තැනකට එයි කියලා. එහෙම ක්‍රමයක් තියෙනවද?

එක්සත් ජාතික පක්ෂයෙන් ශ්‍රීලනිපය ඉවත් වෙනවා නම් පක්ෂයේ ප්‍රතිපත්තිවලට ඒ කට්ටිය එනවා නම් අපිට පුළුවන් හිතලා බලන්න.

ජනාධිපතිවරයා පත්කළේ ඔබලා නෙමෙයි එජාපය. ඔබලා කියන තරම් ඉක්මනට තීරණයක් ගන්න බෑනේ. ඔහු සාධාරණ විය යුතුයි නේ?

ඔහුට එකපාර එජාප ඡන්දවලින් ජනාධිපතිවෙලා ශ්‍රීලනිප සභාපති වෙන්න පුළුවන්නම් පැය 48ක් ඇතුළත ඒ වගේම හයිය තියෙන්නත් ඕන මෙවැනි තීන්දුවක් ගන්න.

මේ වෙන්වීම තුළ වැඩිම වාසිය එන්නේ එජාපයට නේද?

කිසිසේත්ම නෑ. මෙහෙම හිතන්න ශ්‍රීලනිපයට ඡන්දය දුන්නත් එජාපයට ඡන්දය දුන්නත් ඒක ආණ්ඩුවට දෙන ඡන්දයක් හා සමානයි. මොකද මේ දෙගොල්ලොම ආණ්ඩුවෙනේ. මම කියන්නේ ආණ්ඩුවට ඡන්දයක් දෙන්න ඕන නම් ශ්‍රීලනිපයට දෙන්න එපා ඒක එජාපයට දුන්නම ඉවරයි. මොකද හැට දෙලක්ෂයම එතැනනේ ඉන්නේ. ඒ වගේම කියන්න ඕන අද ජනතා විමුක්ති පෙරමුණ ඉන්නෙත් ආණ්ඩුවේ. ඔවුන් හැසිරෙන හැටියෙන් පේනවා. ඒ නිසා ආණ්ඩු විරෝධී කිසි කෙනෙක් ඔය කියන පක්ෂවලට දෙන්නේ නෑ.

ශ්‍රීලනිප ඇමතිවරු කියන්නේ ඒකාබද්ධයත් එකතුවෙන්න ලෑස්තියි. රාජපක්ෂවරු තමයි කකුලෙන් අදින්නේ කියලා?

රාජපක්ෂවරු ඉන්නේ ජනතාවගේ පැත්තේ. අපි ජනතාව කියන දේ අහනවා. හෙට මෛත්‍රීපාල මහත්තයා එජාපය අතඇරියොත් අපිට පුළුවන් ආණ්ඩුවක් හදන්න. ඒත් එයාලා හදන්නේ එජාපය එක්ක ඉන්න ගමන් මහින්ද මහත්තයගේ කරේ ගිහින් ඡන්දය දිනන්න.

ඔබලගේ සංවිධානයෙන් ආණ්ඩු බලයක් ගත්තා කියමුකෝ. දැන් එකේ නායකත්වය දෙන්න ඕනත් රාජපක්ෂ කෙනෙක්ටමද?

අපි එහෙම කියන්නේ නෑ. ජනතාව ඉල්ලන කෙනා තමයි නායකයා වෙන්න ඕන.

ශ්‍රීලනිපයේ ඇමැතිවරු කියනවා රාජපක්ෂ නොවන කෙනෙකුට නායකත්වය දෙන්න ලෑස්තියි කියලා. දැන් එහෙනම් ඔබලටත් ඒ ගමනට එකතු වෙන්න පුළුවන් නේද?

ඒ ගන්න මනුස්සයට කියන්නකෝ අගමැති අයින් කරලා, එජාපය අයින් කරලා ලෑස්ති වෙන්න කියලා. අපි නායකයා ගේන්නම් ඔය ශ්‍රීලනිපයේ ඇමැතිවරුත් වැරදිනේ අගමැතිතුමාගෙන් වැඩ අරගෙන එතුමා එලවන්න කියන එක. මේවා මෙහෙම කියද්දි රටට ආයෝජකයෝ එයිද? ඒ නිසා ඔය කයිවාරු ගගහා ඉඳලා වැඩක් නෑනේ.

ඒකාබද්ධයේ ඉන්න මහින්දානන්ද, ඩලස්, බන්දුල වගේ මන්ත්‍රීවරු කැමතියිනේ එකතු වෙන්න?

අපි පුළුල් සංවිධානයකින් යන්නේ. ඒ නිසා ශ්‍රීලනිපයේ අයටත් කියන්නේ අපිත් එක්ක එකතුවෙන්න කියලා. අරුන්දික ආවා. දුලිප් ආවා. අපේ අය කියන්නේ අයින්වෙලා එන්න කියලා.

හැබැයි ඔබේ බාප්පලා දෙන්නෙක් වන බැසිල් රාජපක්ෂත් ගෝඨාභය රාජපක්ෂත් මේ සම්මුතිය ගැන ඉන්නේ මත දෙකක කියලයි ආරංචිය

ඒ දෙන්නගෙම මතය තියෙන්නේ ආණ්ඩුව වෙනස් වියයුතුයි කියලා. එහෙම මත ගැටුමක් නෑ. 

බැඳුම්කර චෝදනාව කියන්නේ මේ රටේ විශාල වශයෙන් කතාවෙන දෙයක්. ආණ්ඩුවෙන් චෝදනා කළා ඇලෝසියස් ඔබේ මිතුරෙක් කියලා. මොකද්ද මේ යාළුකම?

නාමල් රාජපක්ෂට හුඟක් යාළුවෝ ඉන්නවා. ඔය ඇලෝසියස් මුදලාලි විතරක් නෙමෙයි රටේ ලෝකේ නොයෙක් යාළුවෝ ඉන්නවා. හැබැයි ඒ යාළුවන්ට මහ බැංකු සුද්ද කරන්න අවස්ථාවක් දුන්නේ නෑ. ඒකෙන් පැහැදිලියි මහින්ද රාජපක්ෂවත් නාමල් රාජපක්ෂවත්, කිසිදු රාජපක්ෂ කෙනෙක්ගේ යාළුවන්ට රට හූරගෙන කන්න දුන්නේ නෑ කියන එක. හැබැයි නාමල්ගේ යාළුවා කිය කිය මහබැංකුව සුද්ද කරන්න අවස්ථාව දුන්නේ මේ ආණ්ඩුවනේ. ඇලෝසියස් යාළුවා තමයි. ඒක නැතිවෙන්නේ නෑ. හැබැයි ඒ කියලා සුද්ද කරන්න දෙන්නේ නෑ.

ඔබලගේ ආණ්ඩුවත් එක්ක බලද්දි මේ ආණ්ඩුව බැඳුම්කර සිද්ධියේ සියලුදේ හෙළි කරනවා කියලා තේරෙන්නේ නැද්ද. ඉස්සරනම් හැංගුවා. දැන් පරීක්ෂණත් තියෙනවා?

මේ වාර්තාවක් හදන්නේ. අවංකව දඬුවම් දෙන්න ඕන නම් ඒකාබද්ධ විපක්ෂයට කළා වගේ පහළ උසාවියේ නඩුවක් දාලා නඩු අහන්න තිබ්බනේ.

ඒත් බලන්නකෝ ඇමැතිවරුන්ගේ නම් ගම් පවා ආණ්ඩුව හංඟන්නේ නැතුව ඉදිරිපත් කරනවා. විනිවිදයි නේද පරික්ෂණ?

සමහරවිට මේ ආණ්ඩුව හිතන්න ඇති ඇලෝසියස් නාමල්ගේ යාළුවා. මේ නිසා කොමිසමේදී නාමල්ගේ නම හෙළි කරන්න පුළුවන් වෙයි කියලා. ඒත් වැඩේ බැක් ෆයර් වෙන්න ඇති. මට නම් හිතෙන්නෙම රජපක්ෂලා හිරකරන්න මේ කොමිසම දැම්මේ කියලා.

ඔබට හිතෙන්නේ නැද්ද රාජපක්ෂ ආණ්ඩුවේ වැරදි කරපු ඇමැතිවරු රකිනකොට මේ ආණ්ඩුවේ ඇමැතිවරු ගෙදර යනවා කියලා?

ඔය අයින් වෙනවා කිව්වට අයින් වෙන්නේ නෑනේ. පුළුවන්නම් ආණ්ඩුව මේ ප්‍රතිපත්තියම දැන් ඔය ඇලෝසියස්ට කතා කළා කියන කොප් එකේ අයටත් අනුගමනය කරන්න කියන්න. පස් දෙනෙක්ගේ ඇමතුම් තියෙනවා. මේ අය කෝප් කමිටුවේ නේ. වැරදියිනේ. කොහොමද නාමල් රජපක්ෂගේ අංකය තිබ්බා නම් ඔය අය හැසිරෙන හැටි බලන්න තිබ්බා. ඒ නිසා දැන් ඔය සුජීව, දයාසිරි, අජිත් ඇමැතිවරුත් අප්පුහාමි, රාජකරුණා මන්ත්‍රීවරුත් ඉස්සෙල්ලම කරන්න ඕන කෝප් කමිටුවෙන් අයින් වෙන එක. ඊටපස්සේ රවී කරුණානායක මන්ත්‍රීවරයා වගේ ඇමැතිකමෙන් ඉල්ලලා අස්වෙලා පිටිපස්සෙන් වාඩි වෙන්න කියන්න. එහෙම ප්‍රතිපත්තියක් නෑ. දැන් බලන්න හම්බන්තොට වරාය විකිණීම වැරදියි කිව්වා. අර්ජුන ඇමැතිතුමාව අයින් කළානේ. ඒක වැරදියි කිව්ව විජේදාස ඇමැතිතුමා අයින් කළානේ. ඒක සාධාරණයි. මේ පැලැස්තර විතරයි. දැන් බලන්න අලුතෙන් අධිකරණ පිහිටුවන්න කියලා කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී යෝජනා කරනවා. මේ ආණ්ඩුවද - මේ පක්ෂයක්. මොකද්ද ඒ අයට තියෙන අයිතිය?

දැන් ආණ්ඩුවේම ඉන්න ඇමැතිවරු කියනවා රටේ අධිකරණ පද්ධතිය දූෂිතයි කියලා. නීතිපති දෙපාර්තමේන්තුව පක්ෂග්‍රාහී කියලා ඔබත් පිළිගන්නවද?

ඇත්ත ජනතාව නෙමෙයි. මේ ආණ්ඩුවේ කට්ටිය. ඕක හරි නම් චෝදනා කරන්න ඕන අපි. උදාහරණයක් හැටියට මහ බැංකුවේ සේවකයන් නීතිපති දෙපාර්තමේන්තුවේ වැඩ කරන දහයකට විරුද්ධව නඩු දාලා තියෙනවා. ඔහුට තර්ජනය කළා කියලා. ඔය නඩු දාලා තියෙන 10 දෙනා තමයි මට අධිචෝදනා දාලා තියෙන්නේ. ගෝඨාභය රාජපක්ෂට නඩු දාලා තියෙන්නේ. බැසිල් රාජපක්ෂට අධි චෝදනා දාලා තියෙන්නේ. ඉතිං එහෙනම් අපිටත් කියන්න පුළුවන්නේ. ඒත් අපි එහෙම කරන්නේ නෑ.

ඒ කියන්නේ අධිකරණ පද්ධතිය සම්බන්ධයෙන් ආණ්ඩුවට තියෙන සැකයවත් රාජපක්ෂවරුන්ට නැද්ද?

අපිත් තවම විශ්වාස කරනවා නීතිපති දෙපාර්තමේන්තුවට ඇඟිලි ගහන්න බෑ. ඇඟිලි ගහන එක වැරදියි කියලා අපි විශ්වාස කරනවා අවංකවම මේ ආණ්ඩුව නීතිපති දෙපාර්තමේන්තුවට ඇඟිලි ගැසීමේ උවමනාවක් තියෙනවා කියලා. විජේදාස රාජපක්ෂ මහත්තයා ඉවත් වෙන්නෙම මට නීතිපති දෙපාර්තමේන්තුවට ඇඟිලි ගහන්න බෑ කියලා. ඒකෙන්ම තෙරෙනවානේ ආණ්ඩුවේ උවමනාව. අපි කවදාවත් ඇඟිලි ගැසුවේ නෑ නීතිපති දෙපාර්තමේන්තුවට.

නීතිපති දෙපාර්තමේන්තුවට ඇඟිලි නොගැහුවට අග්‍රවිනිශ්චකාරවරිය එළෙව්වනේ?

එතුමිය ඉවත් කළේ පාර්ලිමේන්තුවෙන්නේ. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලයෙන්නේ. ඒත් මොහාන් පීරිස් සර්ව අයින් කළේ කොහොමද? එක ලියුමකින්. මම දිවුරුම් දුන්නේ ශිරානි බණ්ඩාරනායක මැතිනිය ඉස්සරහා. මම කනගාටු වෙනවා අපේ සිද්ධියේදී ඡන්දය දීමට සිදුවීම ගැන.

හැබැයි ඇය එලවීමේ පිටුපස හිටියේ රාජපක්ෂවරුනේ?

වැඩේ පිටිපස්සේ රාජපක්ෂවරු හිටියත් නැතත් කියන එක නෙමෙයිනේ මෙතන තියෙන්නේ. අපි ක්‍රමවේදය අනුගමනය කළානේ. ඒත් මොහාන් පීරිස් සර්ව අයින් කළේ මොන ක්‍රමවේදයෙන්ද. නෑ කිසි ක්‍රමයක් නෑ. ආණ්ඩුව කිව්වේ ඔහුගේ පත්වීම වලංගු නෑ කියලා. එතකොට එයා දුන්න නඩු තීන්දුවලට මොකද වෙන්නේ. ඒකට සද්ද නෑ. 
පසුගියදා හම්බන්තොටදී ඉඩම් විකිණීම ගැන විරෝධයක් තිබ්බා. ඒත් ආණ්ඩුවෙන් කියන්නේ ඔබලගේ ආණ්ඩුවෙන්ම වික්ක දේවල් බේරගන්න ඔබලම බොරුවට රඟපානව කියලා. ඒ නිසා අහිංසක මිනිස්සු හිරේ යනවා කියලා.
අපි  බේරෙන්නේ නෑ. හැබැයි ජනතාව බේරගන්නවා. හිරේ යන්න බයක් නෑ. අපි කටවහගෙන ඉන්නෙත් නෑ. ආණ්ඩුව දැන් අලුත් පනත ගේනවා විදේශිකයන්ට ඉඩම් මිලදී ගන්න පුළුවන් කියලා. දැන් අර ෂැන්ග්‍රිලා එකට අක්කර පහක් වික්කා කියලා කෑගහපු අය කෝ? අන්න මම දැක්කා ජනාධිපතිතුමයි අගමැතිතුමයි ගිහිල්ලා ෂැන්ග්‍රිලා එක විවෘත කළා. ලජ්ජයිනේ.

ඇත්තටම මේ ආණ්ඩුව අද විඳවන්නේ ඔබලගේ ආණ්ඩුව ගහපු ගැට නිසා කියලයි ආණ්ඩුව කියන්නේ?

ඊට වඩා වෙලා තියෙන්නේ ආණ්ඩුවට රාජපක්ෂවරු අමතක කරන්න බැරිවෙලා තියෙනවා. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කාලයේ ආයෝජකයෝ ආවා. රැකියා ලැබුණනේ. ඔය මෛත්‍රීපාල මහත්තයා අද විවෘත කරන්නේ අපි පටන් ගත්ත ඒවනේ. මේ ආණ්ඩුව වොක්ස්වැගන් කම්හලට විතරයි මුල් ගල තිබ්බේ. ඒකත් වැහුවා. අන්තිමට කොම්පැණියෙන් කිව්වා අපි එහෙම ආයෝජනයක් කළේ නෑ කියලා. මේ ආණ්ඩුවට ඇත්තටම වැඩ බෑ.

හැබැයි සයිටම් ඔබේ ආණ්ඩුව කාලේදී හදපු ආයතනයක්. දැන් ප්‍රශ්නයෙන් විඳවන්නේ මේ ආණ්ඩුව. දැන් ඔබලත් සයිටම් විරෝධියි. දෙබිඩි වැඩනේ?

සයිටම් ප්‍රශ්නය උග්‍රවුණේ විශ්වවිද්‍යාල කොමිෂන් සභාව සයිටම් එකෙන් රාජිත ඇමැතිතුමා අයින් කරපු එක. සයිටම් එකට ප්‍රමිතියක් ගන්න කොමිසමක් දාලා ත්‍රිපුද්ගල කමිටුවක් හදල නිර්ණායක දහයක් දීලා තිබ්බේ. ඒ අනුවයි රෝහල හැදුවේ. ඒත් අද මොකද වුණේ ආණ්ඩුව ආපු ගමන් ඒ කමිටුව අයින් කළා. යූ.ජී.සී. එක ඉවත් කරායින් පස්සේ සම්පූර්ණයෙන් මේක පෞද්ගලික ආයතනයක් වෙනවා. එතනයි ප්‍රශ්නය ආවේ. මෙතන තියෙන්නේ ප්‍රමිතිය සම්බන්ධ අවුලක්. මේක මේ දෙගොල්ලම එකතුවෙලා කරපු දෙයක්. කෝටි 22ක් ඕනේ මාසයකට මේකට ණය ගෙවන්නයි පාලනයටයි. ඒ දැන දැනත් ගත්තා ආණ්ඩුවට. රාජපක්ෂලගේ ණය ගෙවන්න බෑ කියලා වරායවල්, ගුවන් තොටුපලවල් විකුණනකොට මේ ඉස්පිරිතාලේ ගත්තා ආණ්ඩුවට. අපි කියන්නේ මේ ළමයින්ගේ ප්‍රශ්නය විසඳලා දෙන්න. හැබැයි ප්‍රමිතිය විනාශ නොකර.

මේ ළඟදි ඉඳලා ඒකාබද්ධයේම පක්ෂයක් වෙච්ච ජාතික නිදහස් පෙරමුණේ ප්‍රශ්න. බලයට එන්න ඉන්න ඒකාබද්ධය ඇතුළෙත් ප්‍රශ්නනේ?

මේක පුළුල් සන්ධානයක්. ඒ ඇතුළේ නොයෙක් මතිමතාන්තර තියෙනවා. ඒවා විසඳගෙන තමයි අපි යන්නේ. ආණ්ඩුවේ ඉන්නේ පක්ෂ දෙකයි. ඒක ඇතුළෙත් ප්‍රශ්න. අපේ පක්ෂ 18ක් විතර තියෙනවා. එත් පොඩි පොඩි මතිමතාන්තර එනවා. කොහොම වුණත් අවසාන නිගමනය තමයි මේ ආණ්ඩුව ගෙදර යවන්නේ කොහොමද කියන එක.

ඇයි මේ තිබ්බ ජවය, සටන්කාමී බව නිවැරදි දැක්ම නාමල්ට ඉස්සෙල්ලා ආණ්ඩුවේදී තිබ්බේ නැත්තේ?

එදා අපි හිටියේ සංවර්ධන මානසිකත්වයකින්. එදා අපිට පුළුල් දැක්මක් තිබ්බා. අවුරුදු 20කට සංවර්ධනය කිරීමේ ක්‍රමවේදයක් තිබ්බා. දකුණ විතරක් නෙමෙයි උතුරත් සංවර්ධනය කිරීමේ අරමුණු අපිට තිබ්බා. මම උතුරේ සංවර්ධනය බාරව හිටියා. මට බාරව තිබුණේ ඒ වගකීම්. ඒ දේවල් මම ඉෂ්ඨ කළා. ඒත් අද තියෙන්නේ විපක්ෂයේ කාර්යභාරය. ඒ වෙනුවෙන් අපි පෙනී ඉන්නවා.

අර්ජුන ඇමැතිතුමා නම් කිව්වේ රාජපක්ෂලාට පාර්ලිමේන්තුවට බයිසිකලයෙන් යන්න පවා අවස්ථාව හදලා දුන්නේ ආණ්ඩුව කියලා?

එතුමට අමතක වෙන්න ඇති අපේ ආණ්ඩුව කාලෙත් මහින්ද මහත්තයා එක්ක එතුමා බයිසිකලෙන් පාර්ලිමේන්තු ගියා.

♦ ගයාන් ගාල්ලගේ

 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00