2017 නොවැම්බර් 25 වන සෙනසුරාදා

හාල් - පොල් සහ තෙල්

 2017 නොවැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 62

බඩුමිල වැඩිවෙන ප්‍රමාණය දරා ගැනීමට අමාරු තරමට වැඩ සිදුවෙමින් තිබේ. ඔක්තෝබර් මාසය තුළ එය බෙහෙවින් ඉහළ ගොස් ඇතැයි සංඛ්‍යාලේඛන සඳහන් කරයි. එම ලේඛන අනුව උද්ධමනය පසුගිය මාසය තුළ මෑත කාලයේ ඉහළම අගයක් පෙන්නුම් කර තිබිණි. එම ලේඛන අවශ්‍ය නැත. කඩපොළට ගියවිට උද්ධමනයේ තරම මැනගත හැකිය.

බඩුවල ගණන් වැඩිවීමට බලපාන විවිධ හේතු තිබිය හැකි නමුත් පොදු මහජනතාවට එම හේතු එතරම් අදාළ වන්නේ නැත. උද්ධමනය වැනි වචනයක එල්ලී සිටිමින් එහි තේරුම කුමක්දැයි සොයා බැලීමද ඔවුන්ගේ විෂය පථයෙන් ඈතය. එහෙත් ඔවුන්ට දැනෙන එක දෙයක් තිබේ. මාසයක් ජීවත්වීම සඳහා අතට ලැබෙන වැටුප සතියෙන් දෙකෙන් වාෂ්ප වන බවය. කෑමට බීමට වියදම් කළවිට අත්‍යාවශ්‍ය බිල් ගෙවීම් සඳහා මුදලක් අතේ ඉතිරි නොවන බවය. වේලක් ඇර වේලක් කෑමත් අමාරු තත්ත්වයට පත් වනවිට ජනතාව කොතරම් අසරණ වන්නේදැයි දන්නේ ඊට මුහුණ දෙන ජනතාවම පමණි.

සහල් මිල ගණන් දැන් වසරක් පමණ තිස්සේ ඉහළ නගිමින් තිබේ. ඒ ගැන සොයා බැලීමට සිටින ඇමැතිවරුන් විවිධ තර්ක ඉදිරිපත් කළත් සහල් මිල බහින්නේම නැත. දැනට වෙළෙඳපොළේ වැඩියෙන්ම අලෙවි වන්නේ කැඩුණු සහල් බව පැවසීම පමණක් තත්ත්වයේ බරපතළකම සිතා ගැනීමට ප්‍රමාණවත්ය. තමන්ගේ ප්‍රධාන ආහාරය තමන්ට අත පෙවිය හැකි ප්‍රමාණයෙන් එහාට යනවිට විකල්ප සොයා යාමට ජනතාවට සිදුවෙයි. තමන්ට හොඳ සහල් මිලට ගැනීමට හැකිනම් කැඩුණු සහල් මිලදී ගැනීමට කවුරුත් කැමති නැත. ඔවුන් එම සහල් මිලට ගැනීමට ඇති එකම හේතුව එහි මිල අඩුකම මිස වෙනත් හේතුවක් නොවේ.

සහල් මිල ගණන් ඉහළ යනවිට එය ගෙදරදොරේ පමණක් නොව හෝටල්, රෙස්ටුරන්ට් සහ බත් පැකට් අලෙවිකරුවන්ටද ගැටලු මතු කරයි. කොළඹ නගරයට දිනකට පැමිණෙන ජනතාවගෙන් විශාල පිරිසක් ආහාර පාන ගැනීම සඳහා යායුතු වන්නේ හෝටල් සහ රෙස්ටුරන්ට්වලටය. රැකියාවට පැමිණෙන පිරිස් ගෙදරින් කෑම එක නොගෙනාවොත් බත් පැකට් එක ගත යුත්තේ හෝටලයකින් හෝ බත් පැකට් අලෙවි කරන පුද්ගලයන්ගෙනි. එම බත් පතේ මිල ගණන් දවසින් දවස ඉහළ යයි. ඒ හා සමානව එහි තිබෙන ගුණාත්මක බව, රසවත් බව පහළ වැටෙමින් තිබේ. ව්‍යාපාරිකයන්ට වුවද දරාගත හැකි මට්ටමක් තිබේ. තමන්ගේ නිෂ්පාදනය බාල්දු කර විකිණීමට ඔවුන් තුළ කැමැත්තක් නැති වුවද බත් පැකට් එකේ ගණන ඉහළ දැමිය යුත්තේ වැඩි දෙනකුට දැරිය හැකි මිලක් දක්වා පමණි. එතැනින් පසු කළ හැක්කේ මිල ගණන් එසේම තබාගෙන බත් පැකට්ටුවේ තත්ත්වය බාල කිරීම පමණි. දැන් සිදුවෙමින් පවතින්නේ එයයි.

පොල් ගෙඩියක ගණනද තවමත් රුපියල් 100 ඉක්මවූ ගමන්ම පවතී. මේ නිසා පොල් සම්බෝලයි බතුයි කෑමවේලද අද සුපිරි කෑමක් බවට පත්ව තිබේ. පොල් ගෙඩි දෙකක් මිලදී ගනු වෙනුවට ගාන ලද පොල් මේස හැඳි දෙක තුනක් මිලට ගෙන යන පිරිස්ද සිටින බව කියති. ඇතැම් එළවළු මිල ගණන්ද පවතින්නේ ඉහළ මට්ටමකය. පොල් සහ එළවළු මිලට කාලගුණික, ස්වභාවික ආපදාවල බලපෑම්ද තිබෙන බව සැබෑය. එහෙත් ආණ්ඩුවේ වගකීම වන්නේ ඉදිරියේදී ඇතිවන තත්ත්වයන් පිළිබඳව සැලකිල්ලෙන් සිට ජනතාව මුහුණ දෙන පීඩනය අවම කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමය. එසේම දැඩි නියඟය හේතුවෙන් තම බෝග විනාශ වී ගිය ලක්ෂ ගණනක් වන ගොවි පවුල්වල සුබසෙත වෙනුවෙන් කටයුතු කිරීමය. වටපිට බැලූ විට අපට නම් පෙනෙන්නේ මේ දෙකම සිදු නොවන බවය.

හාල්-පොල් එසේ වනවිට ඊළඟට ජනතාවට මුහුණදීමට සිදුව ඇති තවත් ගැටලුවක් වන්නේ තෙල් අර්බුදය වරින්වර මතුවීමය. මෙවර සැබෑවටම පෙට්රල් හිඟයක් නොතිබූ බව හෙළිවුවද හිඟයක් නැතැයි තෙල් සංස්ථාව කළ ප්‍රකාශය පිළිගැනීමට ජනතාව සූදානම් නොවීම පෙට්රල් ෂෙඩ්වල යළිත් පෝලිම් ඇති කිරීමට හේතුවී තිබිණි. මෙය ආණ්ඩුව පැත්තෙන් යහපත් තත්ත්වයක් නොවේ. ඇමැතිවරයකු ප්‍රකාශ කරන දේ පිළිගැනීමට ජනතාව සූදානම් නොවීම ආණ්ඩුව කෙරෙහි විශ්වාසය නැතිවී යාමකි. ඒ සම්බන්ධයෙන් නිලධාරියකු හෝ කිහිප දෙනකුට දොස් පැවරීමෙන් පළක් නැත. ඉන්ධන අර්බුදය ගැන සොයාබැලීමට පත්කරන ලද ඇමැති කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කොට ජනතාවගේ විශ්වාසය දිනා ගැනීමට තෙල් ඇමැතිවරයා කටයුතු නොකළහොත් එය ආණ්ඩුවට පාරා වළල්ලක් විය හැකි බව වටහා ගැනීම අවශ්‍යය. වාණිජ කටයුතු, කෘෂිකර්ම ඇතුළු රටේ ජීවන වියදම ඉහළ දැමීමට හේතු කාරණා සපයන සියලු ඇමැතිවරුන්ද මේ කෙරෙහි සැලකිලිමත් වීම අවශ්‍යය. ජීවන වියදමින් බැටකන ජනතාව පෙට්රල් පෝලිම්වලද රස්තියාදුවීමට සැලැස්වීම මහා අපරාධයකි. ඒවා වළක්වා ගැනීමට ආණ්ඩුවට ශක්තිය තිබිය යුතුය.

හැම ආණ්ඩුවක්ම බලයට පත්වූ ගමන් ජනතාවට කියන්නේ පටි තද කරගන්නැයි කියාය. ජනතාව කොතරම් පටි තදකරගෙන බලා සිටියත් එය බුරුල් කරගත හැකි දවසක් නම් කවදාවත් ආවේ නැත. ඒ වෙනුවට ජනතාව දකින්නේ තමන්ගේ ඡන්දයෙන් බලයට පත්වී මැතිසබයට ගිය මැති ඇමැතිවරැන්ගේ කඳ බඩ මහත් වී හොඳට පාට වැටෙන බව පමණි. තමන් තුළ තිබෙන මේ ජීවන වියදම් පඹගාලෙන් එළියට පැන ගන්නේ කවදාදැයි යන බලාපොරොත්තුව තමන් විසින් මැතිසබයට යැවූ තම නියෝජිතයන්ගෙන් ඉටු නොවන්නේ නම් ජනතාවට සිදුවන්නේ තද කරගත් පටි එසේම තිබියදී හූල්ලමින් බලාසිටීම පමණි. එවැනි තත්ත්වයකට ජනතාව යොමු නොකිරීම රජයේ යුතුකමකි.

 

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00