2017 නොවැම්බර් 25 වන සෙනසුරාදා

බ්‍රේක් නැතුව පල්ලමේ

 2017 නොවැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 135

කවුද මේ වෙලාවේ ඡන්දයකට යාමට අකැමැති?

විධායක ජනාධිපති පදවියත්, අගමැති පදවියත්, අයවැය දෙවැනි වර කියැවීමේදී තුනෙන් දෙකක පාර්ලිමේන්තු බලයක් තිබෙන ආණ්ඩුවක් ඡන්දයකට යාමට අකැමැති වෙන්නෙ ඇයි?

එහෙම වෙන්නෙ ඇයි කියා සොයාබැලීමට පසුගිය සති කිහිපයේ ආණ්ඩුවත් විපක්ෂයත් ක්‍රියා කළ ආකාරය ගැන විපරම් කිරීම සුදුසුය.

පසුගිය මාසය දෙක තුළ රටේ පාලනයේ වැදගත් සිදුවීම් ගණනාවක් දකින්නට තිබුණේය. බැඳුම්කර කොමිසමේ සාක්ෂි විභාගයේ අන්තිම දින කිහිපය වනවිට එහි සියලු බර හැරෙමින් තිබුණේ යූ.එන්.පී.ය දෙසටය. එය ඔවුන්ගේ කැමැත්තට හේතු වුණේ නැත. අළුයට ගිනි වරින් වර පෙනී නොපෙනී ඇවිලෙමින් තිබූ යූ.එන්.පී. ශ්‍රී ලංකා මත ගැටුම් එළියට පැන්නේ ඒ සමඟිනි. මතගැටුම් ඒ වනවිටත් නොතිබුණා නොවේ. එහෙත් ප්‍රසිද්ධියේ කුලල් කා ගන්නා මට්ටමට එය පත්වුණේ බැඳුම්කර කොමිසමේ සාක්ෂි විභාගය අවසාන කොටසේදීය.

එම දින කිහිපය එළඹෙන විට බැඳුම්කර කොමිසමේ වැරදිකරුවන් කවුරුත් විය හැකිද යන්න රට තුළද මාතෘකාවක් වී තිබිණි. එය වඩාත් ඇවිස්සුණේ යූ.එන්.පී. ප්‍රබල මන්ත්‍රීවරැන් දෙදෙනකු වූ මලික් සහ කබීර් දෙදෙනා ද සාක්ෂි විභාගයට කැඳවනු ලැබීමෙන් පසුවය. ඔවුන් දෙදෙනා තමන්ගෙන් විමසූ කරුණුවලට පැහැදිලි කිරීම් ලබාදීමෙන් පසුව එළියට පැමිණ මාධ්‍යයටත් කරුණු කියා පිටත්ව ගොස් තිබුණි. මීළඟට බැඳුම්කර කොමිසම ලොකුම මාතෘකාව බවට පත්වුණේ අගමැතිවරයා තමන් කරුණු දැක්වීමට කොමිසම ඉදිරියේ පෙනී සිටීමට සූදානම් බව ප්‍රකාශ කිරීමෙන් පසුවය. ඒ වනවිටද ආණ්ඩුව ඇතුළේ පාර්ශව දෙක අතර හොඳ හිත හොඳටම පලුදු වී තිබූ අතර ආණ්ඩුවේ සම්මුතියක් තිබුණු බව පෙනුණේ වරින් වර ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් මුණගැසෙන අවස්ථාවලදී එක ළඟ හිඳගෙන සතුටු සාමිච්චියේ යෙදෙන බවට සඳහන් ඡායාරූපවලිනි. ඒ හැර සතියට හෝ දෙකකට වරක් දෙදෙනා මුණගැසී සාකච්ඡා කරන බවද සඳහන් වෙයි. 

කෙසේ වුවද කොමිසම හමුවට අගමැති පැමිණීම රටේ ලොකු දේශපාලන පෙරළිකාර සිදුවීමක් විය. ඊට එක් හේතුවක් වූයේ මේ රටේ දේශපාලන ඉතිහාසය තුළ තමන්ගේ ආණ්ඩුවකින් පත්කරන ලද කරුණු සොයා බැලීමේ කොමිසමක් හමුවට ගිය පළමු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වීමය. අනෙක බැඳුම්කරයට සම්බන්ධ ප්‍රධාන චරිත දෙකක් වන හිටපු මුදල් ඇමති රවි සහ හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් අගමැතිගේ තේරීම් දෙකක් වීමය.

මීට පෙර ආණ්ඩු පාලන යුගවලදී ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ට එරෙහිව කරුණු සොයා බැලීමේ කොමිෂන් සභා පත්කෙරුණු බවට සැබෑය. නමුත් මෙවර එය එසේ නොවීමට බලපෑ කරුණු දෙකක් තිබේ. එකක් මේ රජය “හයිබ්‍රිඩ්” රජයක් වීමයි. අනෙක පසුගිය රජය පැරදවීමට එයට එරෙහිව ගෙන ආ ලොකුම චෝදනාව වන හොරකමකට ඉදිරියෙන් ආණ්ඩුවේ නම ගෑවීමය. රජය “හයිබ්‍රිඩ්” වීම හේතුවෙන් කල්තබාම චෝදනාවේ දැලි පැල්ලම්වලින් නිදහස් වීමට මෛත්‍රීපාල පාර්ශවයේ ශ්‍රී.ල.නි.ප. මන්ත්‍රීවරුන්ට අවස්ථාව ලැබුණි. එපමණක් නොව ශ්‍රී.ල.නි.ප.යේ සදාකාලික විරුද්ධ පාර්ශවය වන සැබෑ දේශපාලන සතුරා වන යූ.එන්.පී.යට එරෙහිව යළිත් දේශපාලන සටනක් පටන් ගැනීමටද ඔවුන්ට අවස්ථාව පෑදුණේය. දැනට සිදුවෙමින් පවතින සහ ඉදිරියේදී සිදුවීමට නියමිත දේශපාලන පෙරළි ගණනාවකට පසුගිය සති කිහිපය තුළ වූ සිදුවීම් හේතුවන බව කියන්නේ එබැවිනි.

මේ අලකලංචි මැද කෝප් කමිටුවේ සාමාජික මන්ත්‍රීවරුන් අර්ජුන ඇලෝසියස් සමඟ දුරකතන සම්බන්ධතා පැවැත්වූ බව හෙළිවීම පල්ලමක් බහිද්දී බ්‍රේක් කැඩුණු කාර් එකක තත්ත්වයට රජය පත්කර තිබේ. මේ හෙළිදරව්ව කොමිසම හමුවේ සිදුවූයේ අගමැතිගෙන් කරැණු විමසීම සිදුවූ දිනට පෙර සතියේය. එදින කොමිසම හමුවේ සාක්ෂි දීමට පැමිණි සී.අයි.ඩී.යේ නිලධාරියකු විසින් මේ තොරතුරැ හෙළි කරද්දී යූ.එන්.පී. මන්ත්‍රී පිරිසක් ගැස්සුණු බව පැහැදිලි විය. දුරකතන සබඳතා පැවැත්වූ අවස්ථා ගණන සහ දින වකවානු හෙළිකිරීම තමන්ගේ දුරකතන “ටැප්” කිරීමක් වශයෙන් හඳුන්වා දුන් ඔවුන් එය පාර්ලිමේන්තු මන්ත්‍රීවරැන්ගේ වරප්‍රසාද කඩ කිරීමක් වශයෙන්ද හඳුන්වාදෙනු ලැබීය. මේ ගැන කතානායකවරයාට ලැබුණු පැමිණිලි හේතුවෙන් සිද්ධිය සම්බන්ධයෙන් පක්ෂනායක සාකච්ඡාවක් කැඳවීමට තීරණය වී තිබිණි. නමුත් පක්ෂනායක හමුව කැඳවීමට පෙර සිදුවූ ප්‍රකාශ දෙකකින් තත්ත්වය වෙනස් වී ගියේය.

ඉන් එකක් වූයේ බැඳුම්කර කොමිසම මගින් මන්ත්‍රීවරුන්ගේ චෝදනා ප්‍රතික්ෂේප කරමින් නිකුත් කරන ලද නිවේදනයයි. ඔවුන් ප්‍රකාශ කළේ මෙහිදී කිසිදු පුද්ගලයකුගේ දුරකතනයක් ටැප් කර නැති බවය. කොමිසම හමුවේ හෙළිකරනු ලැබුවේ අර්ජුන ඇලෝසියස් සමඟ දුරකතනයෙන් සම්බන්ධ වූ පිරිසගේ අංක සහ දින වකවානු පමණක් බවත් දුරකථන ටැප් කිරීමක් සිදුව ඇතැයි පළවෙන වාර්තා අසත්‍ය සහ වැරදි වැටහීම් බවත්ය. කෙසේ වුවද මන්ත්‍රීවරැන් කෝප් කමිටුවේ කටයුතු කරන අතරවාරයේ අර්ජුන ඇලෝසියස් සමඟ දුරකතන කතාබහ පැවැත්වීම රටේ විශාල ආන්දෝලනයක් ඇති කළේය. ටෙලිෆෝන් කතාව කෝප් කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා පවා අපහසු තත්ත්වයට ඇද දමා තිබෙන බව පැහැදිලිය.

මේ සිද්ධිය මහින්ද පාර්ශ්වය විසින් තමන්ගේ වාසියට හරවා ගත්තේ ඒ පසුබිම ඇතුළේය. ඒකාබද්ධයේ මන්ත්‍රීන් පමණක් නොව මහින්දත් ප්‍රසිද්ධියේ දුරකථන ටැප් කිරීම්වලට එරෙහිව ඝෝෂා කළේය. තමන්ගේ කාලයේදී නම් කිසි දිනක කාගේවත් දුරකථනයක් ටැප්කර නැතැයි ඔහු කියා තිබිණි. එහෙත් දේශපාලන විචාරකයන් ගණනාවක් විසින්ම මහින්දගේ මේ කතාව පිළිගෙන තිබුණේ නැත. ඉන් එක් අයකු කියා තිබුණේ රටේ ජනතාව “බූරුවන්” හැටියට හිතාගෙන එවැනි ප්‍රකාශයක් කර ඇති බවය. ඒ කෙසේ වෙතත් මේ සිද්ධිය ආණ්ඩුව ඇතුළේ විශාල දෙදරීමක් ඇතිකර තිබෙන බව නම් පැහැදිලිය.

මෙම ඇමතුම් පිළිබඳව රහස් පොලිස් නිලධාරියා විසින් ඉදිරිපත් කර තිබූ තොරතුරු අනුව කෝප් කමිටුව පරීක්ෂණය සිදුකළ 2016 මැයි මස 06 සහ 2016 ඔක්තෝබර් 28 වැනිදාත් අතර කාලය තුළ මේ සබඳතා පවත්වා ඇතැයි කියයි. ලබාගෙන තිබූ ඇමැතුම් සංඛ්‍යාවද තොරතුරුවල සඳහන් විය. අදාළ මන්ත්‍රීවරුන් කඩිගුලක් සේ ඇවිස්සී ගියේ මේ දින වකවානු හේතුවෙන් විය යුතුය. ඒකාබද්ධ විපක්ෂය කිව්වේ ඇමැතුම් ගත් මන්ත්‍රීන් ගැනත් පරීක්ෂණයක් කළ යුතු බවය.

කෙසේ වුවද මේ තත්ත්වය තවදුරටත් පුපුරා ගියේ රාජ්‍ය ඇමැති සුජීව සේනසිංහ පිටකෝට්ටේ සිරිකොත මන්දිරයේදී පසුගිය 21 වැනිදා (අඟහරුවාදා) මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විවේචනය කිරීමය. එය ප්‍රබල විවේචනයක් විය.

“මම ඇත්තටම ජනාධිපතිතුමන් ගැන ඉන්නේ විශාල කලකිරීමකින්. අපි එතුමන් පත්කළේ ජීවිතය කැපකරලා. රාජපක්ෂලාත් විනාශ කරලා, එජාපයත් විනාශකරලා එතුමන් 2020 දී විශාල බලයට එයි කියලා එක්තරා නාලිකාවක් එතුමාට දැනුම් දී තිබෙනවා. මාසෙකට කලින් මම එතුමන්ට කතා කරලා මේ ගැන ඇහැව්වා” මෙසේ කියූ සුජීව සේනසිංහ මිග් ගනුදෙනුවට, නැව් ගනුදෙනුවලට, ඇඩ්වර්ටයිසිං කොම්පැණිවලට කෝ ජනාධිපති කොමිසම් කියාද විමසුවේය.

මේ ප්‍රකාශය කළේ සුජීව සේනසිංහ රාජ්‍ය ඇමැතිවරයා වුවද එයා සමස්ත යූ.එන්.පී.යේ අදහස බවට සැකයක් නැත. එම මාධ්‍ය සාකච්ඡාව පැවැත්වූයේ සිරිකොතදී එනම් යූ.එන්.පී. පක්ෂ මූලස්ථානයේදීය. සුජීව පැවසූ දෙයට එරෙහිව යූ.එන්.පී.යේ ප්‍රකාශයක් නිකුත් වූයේද නැත.

මෙය යූ.එන්.පී.යේ මතය වශයෙන් සලකන විට ඊට එරෙහිව ශ්‍රීලනිප මෛත්‍රීපාල පාර්ශ්වය විසින් දක්වන අදහස් යූ.එන්.පී. මන්ත්‍රීවරුන්ට එරෙහිව දක්වන මතයක් වීම නොවැළැක්විය හැක. විශේෂ ව්‍යාපෘති ඇමැති ආචාර්ය සරත් අමුණුගම පසුගිය බ්‍රහස්පතින්දා (23) තම අමාත්‍යංශයේ මාධ්‍ය හමුවකදී සුජීවගේ ප්‍රකාශය හෙළා දැක්කේය. එක් එක් පුද්ගලයකුට අවශ්‍ය පරිදි ජනාධිපතිවරයා විවේචනය කිරීමට යාමෙන් රාජ්‍ය පාලනය අවුල් සහගත තත්ත්වයට පත්වන බව ඔහු පැවසුවේ කුමන පක්ෂයකින් පැමිණියත් මන්ත්‍රීවරැන් ජනාධිපතිවරයා විවේචනය කිරීම සුදුසු ක්‍රියාවක් නොවන බවය. ඔහු සාකච්ඡාවේදී කළ ප්‍රකාශ අතර මෙසේද සඳහන් වී තිබිණි.

“ඔහොම විවේචනය කළාම ජනාධිපතිවරයාට පිළිතුරු දෙන්න ඔය විදියට මාධ්‍ය සාකච්ඡා කියමින් විවේචනය කිරීම සුදුසු නෑ. ඒක ඉතාම වැරදි වැඩක්.”

“අපටත් එජාපය සමග ගැටලු තිබෙනවා. ඒවා අපි ප්‍රසිද්ධියේ කියන්නේ නෑ. ඔය විදියට රාජ්‍ය නායකයා විවේචනය කරන්න ගියොත් ආණ්ඩු කරන්න බෑ.”

සරත් අමුණුගම ඇමැතිවරයා මේ කියන්නේ ශ්‍රීලනිප මෛත්‍රී පාර්ශ්වයේ අදහසය. මේ අනුව කෙනකුට හැඟී යන්නේ යූ.එන්.පී. සහ ශ්‍රීලනිප අතර තිබූ සම්මුතිය දැන් විරසකයක් බවට වර්ධනය වෙමින් තිබෙන බවය. මේ හේතුවෙන් ආණ්ඩුවට එක්ව විසඳාගත යුතුව ඇති ප්‍රශ්න දිගින් දිගටම තවදුරටත් ප්‍රශ්න වශයෙන්ම පවතිනු ඇත.

මේ අතර සුජීව සේනසිංහගේ පුපුරා යාම හේතුවෙන් හටගෙන තිබෙන විරසකය සමතයකට පත් කර ගැනීම සඳහා ජනපති සහ අගමැති අතර හමුවක්ද පැවැත්වීමට නියමිත විය. ඉන්දියාවේ සංචාරයකට සහභාගි වී සිටින අගමැතිවරයා සිකුරාදා ආපසු පැමිණීමට නියමිතව සිටි අතර ඒ පැමිණි වහාම සාකච්ඡාව සඳහා වේලාවක් වෙන්කර ගැනීමට කටයුතු යොදා තිබිණි. ලබන සතියේ සිදුකෙරෙන ජනාධිපතිවරයාගේ දකුණු කොරියා සංචාරයට පෙර මේ ගැටලුව විසඳා ගැනීම නායකයන් දෙදෙනාම උනන්දු වනු ඇත.

කෙසේවුවද මේ ගැටලුව ශ්‍රීලනිපය තුළ ඇති අර්බුදය විසඳාගැනීම් සඳහා කටයුතු කරන පුද්ගල කණ්ඩායම්වලට ආශීර්වාදයක් වී තිබේ. මහින්ද පාර්ශ්වය දිගින් දිගටම පැවැසුවේ තමන්ගේ පොදු සතුරා යූ.එන්.පී.ය බවය. ඔවුන්ගෙන් ගැලවී එන්නේ නම් එක්ව කටයුතු කිරීමට සූදානම් බවය. මේ නිසා සුජීව සේනසිංහගේ වාග් ප්‍රහාරය ශ්‍රීලනිපයේ භේද වී සිටින දෙපිරිස අතර විරසකය අඩුකිරීමට මිස වැඩිකිරීමට හේතු නොවනු ඇත. බැඳුම්කරය සම්බන්ධ විමර්ශන කටයුතුවලදී මේ දෙපිරිසම දරන්නේ එකම ස්ථාවරයකි. එය මෙතෙක් රජයක් මගින් සිදුකරන ලද ලොකුම හොරකම බවට මේ දෙපිරිසම චෝදනා කරති. එසේම කොමිෂන් සභා වාර්තාව පිටවූ වහාම ඊට සම්බන්ධ වැරදිකරුවන්ට එරෙහිව නීති මගින් කටයුතු කරන බව මෛත්‍රී පාර්ශ්වයේ ඇමැතිවරු කියති. මහින්ද පාර්ශ්වයටද ඊට වඩා වෙනස් අදහසක් දැරීමට හැකියාවක් නැත. 

එහෙම වුණත් ටෙලිෆෝන් ටැප් චෝදනාවේදී මහින්ද පාර්ශ්වය යූ.එන්.පී. මන්ත්‍රීවරැන්ගේ ස්ථාවරය ගත් බව පෙනෙන්න තිබිණි. ඔවුන් කීවේද මෙය බරපතළ වැරැද්දක් බවය. මන්ත්‍රීවරැන්ගේ දුරකතන ටැප් කිරීම වරප්‍රසාද කඩවීමක් බවය. එහෙත් විමර්ශන සිදුකිරීමේදී රහස් පොලීසිය මගින් දුරකතන දත්ත ලබාගැනීම සාමාන්‍ය ක්‍රියාවකි. එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ දුරකතන ඇමැතුම් දත්ත ලබාගැනීම සහ එය කොමිසමක් හමුවේ ප්‍රකාශ කිරීම වරප්‍රසාද කඩවීමක්දැයි වරප්‍රසාද කමිටුවේදී තීරණය කෙරෙනු ඇත.

ආණ්ඩුව මීළඟට මුහුණදෙන ලොකුම ගැටලුව පුංචි ඡන්දයයි. ඇපැල් උසාවි තීන්දුව හේතුවෙන් අදාළ ගැසට්ටුව වාරණය වුවත් ඒ හේතුවෙන් ඡන්දය කල්දැමීමට යූ.එන්.පී.ය සූදානම් නැත. ශ්‍රීලනිපයත් සූදානම් නැතැයි කියයි. ඒකාබද්ධ විපක්ෂයත් ජවිපෙත් ඡන්දය ලබා ගැනීම සඳහා සටනට බැසීමටත් සූදානම්ය. ගැසට්ටුවට වගකිවයුතු ෆයිසර් මුස්තාපා ඇමැතිවරයාට එරෙහිව විශ්වාසභංග 2ක්ද බාරදී තිබේ. එසේ නම් පුංචි ඡන්දය පැවැත්වීම සිතාමතා කල්දමන ආකාරයට කටයුතු කරන්නේ කවුද? තවම හරි පිළිතුරක් නැති ප්‍රශ්නයකි.

යහපාලන රජය දැන් යන්නේ බ්‍රේක් නැතිවය. යන ගමන් එය හදා ගැනීමට නායක දෙදෙනාම දරණ උත්සාහය රජයේ ඉදිරි ගමන තීරණය කෙරෙනු ඇත. තමන්ගේ ආණ්ඩුවට එරෙහිව නැගුණු චෝදනා විමර්ශනයට කොමිසමක් පත්කළ, ඒ කොමිසම හමුවට ඇමැතිවරුන් පමණක් නොව අගමැතිත් කැඳවපු ආණ්ඩුවක් පුංචි ඡන්දයකට මුහුණදීමට අකැමැති ඇයිදැයි යන ප්‍රශ්නයට උත්තරය ඇත්තේත් එතැනය.

I ශශීන්ද්‍ර